ළඟ ළඟ සිදුවන භූමිකම්පා මහා විනාශයක පෙරනිමිතිද? | සිළුමිණ

ළඟ ළඟ සිදුවන භූමිකම්පා මහා විනාශයක පෙරනිමිතිද?

මේවසරේ දැනට වැඩිම ජීවිත හානි වාර්තා කළ ඉන්දුනීසියානු භූමිකම්පාව

මේ වසර ආරම්භයේ සිට නිතර අසන්නට ලැබුණු දෙයක් වූයේ වරින් වර සිදුවූ භූමිකම්පා පිළිබඳ විස්තරයි. පෘථිවියේ භූ තැටිතල එකිනෙක ගැටීම මත සිදුවන භූමිකම්පා යනු සාමාන්‍ය දෙයක් වුවද මැග්නිටියුඩ් මාපකයේ ඉහළ අගයක් ගන්නා භූමිකම්පා වාසනාවට මෙන් එතරම් සුලභ නොවේ.

ලොව පුරා සිදුවන භූමිකම්පා වාර්තා කිරීමට දියුණු තාක්ෂණය ඔස්සේ ක්‍රම කිහිපයක් දියත් කර තිබෙන අතර එම භූමිකම්පා පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට නිරතුරුව සැදී පැහැදි සිටින වෙබ් අඩවිද කිහිපයක්ම වේ. මේ වෙබ් අඩවි නිරීක්ෂණය කරන්නේ නම් සාමාන්‍යයෙන් මැග්නිටියුඩ් දෙකට අඩු භූමිකම්පා වසරකට සිය ගණනින් ලොව පුරා වාර්තා වන බව හඳුනාගත හැකි වනු ඇත. එහෙත් 2021 වසර ආරම්භයේ සිට මේ වන විට මැග්නිටියුඩ් ඒකක හතට වැඩි භූමි කම්පා දෙකක් පමණද, ඒකක පහට වැඩි භූමිකම්පා කිහිපයක්මද වාර්තා වී තිබේ. මෙය එතරම් හොඳ තත්ත්වයක් නොවන බව අනුමාන කළ හැකි වන්නේ දරුණු භූමිකම්පාවකට පෙර පෙර කම්පන සිදුවන බව අවස්ථා කිහිපයකදීම මීට පෙර නිරීක්ෂණය වී ඇති බැවිනි.

 

2011 වසරේ භූමිකම්පාවේ දී න්‍යෂ්ටික බලාගාරය ගිනිගනිමින්
 

මේ වසර උදාවී මේ වන විට ගත වී ඇත්තේ දින පනහකට ආසන්න කාලයක් වුවද මේ දක්වා ඒකක හතට වැඩි භූමිකම්පා තුනක් වාර්තා වී තිබේ. වාර්තා වී ඇති ඒකක හයත් හතත් අතර ප්‍රබලතාවෙන් යුතු භූමි කම්පා සංඛ්‍යාව 22කි. ඒකක පහත් හයත් අතර ප්‍රබලතාවෙන් යුතු භූමිකම්පා 277ක් ද, ඒකක හතරත් පහත් අතර ප්‍රබලතාවෙන් යුතු භූමිකම්පා 1200ක් පමණද සිදුවී තිබේ. යළිත් මේ භූමිකම්පා සියල්ල සිදුවී ඇත්තේ මාස එකහමාරක පමණ කාලයක් තුළ බව අමතක කළ යුතු නැත.

ගතවූ දින පනහක කාලය තුළ සිදු වී ඇති ප්‍රභලතම භූමි කම්පාව වාර්තා වී ඇත්තේ පෙබරවාරි 10වැනිදාය. ඒ නව කැලිඩෝනියා දූපත් ආසන්නයේය. මේ නව කැලිඩෝනියාව පිහිටා ඇත්තේ ඔස්ට්‍රේලියාව ආසන්නයේ එයට බටහිර දෙසිනි. එම භූමිකම්පාව මැග්නිටියුඩ් මාපක 7.7ක ප්‍රභලත්වයෙන් යුක්ත වූ අතර වාසනාවකට මෙන් එකද මරණයක් හෝ වාර්තා වූයේ නැත.එයට හේතුව වූයේ භූමිකම්පාව ගැඹුරු මුහුදේ සිදුවීම, එහි අපිකේන්ද්‍රය ආසන්නයේ රටවල් පිහිටා නොතිබීම සහ ආසන්න රටවල් වූ කැලිඩෝනියානු දූපත්ද අවම ජනගහනයකින් යුක්ත වීමය.

ෆුකුෂිමා භූමිකම්පාවේ අපිකේන්ද්‍රය. 2011 වසරේ භූමිකම්පාව වාර්තා වූයේද මේ ප්‍රදේශයෙන්මය.
 
සියලු කරුණු පෙළට එක් කළ විට පෙනී යන්නේ ඔස්ට්‍රේලියාවත්,ජපානය සහ ඉන්දියාවත් යා කරමින් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නේ නම් එම ප්‍රදේශයේ භූමිකම්පාවල වඩා සක්‍රීය බවක් දක්නට ලැබෙන බවයි. එසේ සක්‍රීය බවක අවසාන ප්‍රතිඵලය ප්‍රභලත්වයෙන් වඩා වැඩි භූමිකම්පාවක් වීමට විශාල ඉඩක් පවතින බව ඉතිහාසය පෙන්වා දී ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් නොවේය.
 
 
 

භූමිකම්පාව වාර්තා වීමෙන් පසු නවසීලන්තය ප්‍රධානව අවට දූපත් රාජ්‍ය කිහිපයකටම සුනාමි අනතුරු ඇඟවීම් සිදුකළද සුනාමි රළ කඩාවැදීමක් වාර්තා වූයේ නැත. දැනට වාර්තා වූ දෙවැනි ප්‍රබලතම භූමි කම්පාව පෙබරවාරි 13වැනිදා ජපානයෙන් වාර්තා විය. ඒ එරට මියාගි හි ෆුකුෂිමා ප්‍රදේශයෙනි.

මේ ප්‍රදේශයේ 2011 වසරේදී ඉතා බිහිසුණු භූමිකම්පාවක් සිදු වූ අතර එය මැග්නිටියුඩ් මාපක 9.0ක් විය. එහි දී අඩි 46ක් උසට නැඟුණු සුනාමි රළ පහර හේතුවෙන් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයට හානි සිදුවූ අතර එය චර්නොබිල් ඛේදවාචකයට පසු පෘථිවිය මත වාර්තා වූ බිහිසුණුම න්‍යෂ්ටික බලාගාර අනතුර විය.

පසුගියදා වාර්තා වූ භූමිකම්පාවද එම අතීත බිහිසුණු භූමිකම්පාව සිදුවූ අපිකේන්ද්‍රයට ආසන්නයේ සිදු වුවද එය එතරම් හානිකර වූයේ නැත. එහෙත් වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කළ භූමිකම්පාවක් පසුගිය ජනවාරි 14වැනිදා ඉන්දුනීසියාවෙන් වාර්තා විය.

 

2011 භූමිකම්පාවේ විනාශය

එරට බටහිර සුලවෙසි ප්‍රදේශයෙන් වාර්තා වූ මේ භූමිකම්පාව මැග්නිටියුඩ් 6.2ක ප්‍රබලත්වයකින් යුක්ත විය. එහෙත් මරණ සියයකට වඩා වාර්තා වූයේ භූමිකම්පාවට ලක්වූ ප්‍රදේශය අධික ජනගහනයකින් යුක්ත වූ නිසාය. පසුගිය ජනවාරි 21වැනිදා ද මැග්නිටියුඩ් 7-0ක භූමිකම්පාවක් පිලිපීන මුහුදෙන් වාර්තා වුවද එයද ජීවිත හානිවලින් තොර විය.

පසුගිය 13වැනිදා පැපුවා නිව්ගිනියා ප්‍රදේශයෙන්ද ඒකක 6.0ක භූමිකම්පාවක් වාර්තා වූ අතර පසුගිය 14වැනිදා ඉන්දියාවේ අම්රිත්සාර් නගරයටද භූකම්පනයක ප්‍රබලතාව අත්විඳීමට ලැබුණා. එය මැග්නිටියුඩ් 6.1ක ප්‍රබලත්වයෙන් යුත්ක බව වාර්තා විය. පසුව උස්බෙකිස්තානයටද මේ භූමි කම්පාව අත්විඳීමට ලැබුණු බව වාර්තා වූ අතර එම භූමිකම්පාවේ අපිකේන්ද්‍රය උස්බෙකිස්තානය ආශ්‍රිතව සිදුවී ඇති බව තහවුරු විය.

මේ සියලු කරුණු පෙළට එක් කළ විට පෙනී යන්නේ ඔස්ට්‍රේලියාවත්,ජපානය සහ ඉන්දියාවත් යා කරමින් ත්‍රිකෝණයක් නිර්මාණය කරන්නේ නම් එම ප්‍රදේශයේ භූමිකම්පාවල වඩා සක්‍රීය බවක් දක්නට ලැබෙන බවයි. එසේ සක්‍රීය බවක අවසාන ප්‍රතිඵලය ප්‍රබලත්වයෙන් වඩා වැඩි භූමිකම්පාවක් වීමට විශාල ඉඩක් පවතින බව ඉතිහාසය අපට පෙන්වා දී ඇත්තේ එක් අවස්ථාවකදී පමණක් නොවේය.

මැග්නිටියුඩ් ඒකක නවය ඉක්මවූ භූමිකම්පා ඉතිහාසයේ මේ දක්වා වාර්තා වී තිබෙන්නේ අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. එහෙත් ඒ වාර්තා වී ඇති භූමිකම්පා ප්‍රමාණයද හොඳටම ප්‍රමාණවත් යැයි හැ‌ඟෙන තරමට විනාශකාරී විය. මේඅන්දමින් එක් කලාපයක භූමිකම්පා සක්‍රීය වීම එක් ප්‍රබල භූමිකම්පාවක පෙර කම්පන වීමටද සැලකිය යුතු ඉඩක් තිබේ. යම් අන්දමකින් එවැනි විනාශයක් වූයේ නම් එය මේ මොහොතේ කොවිඩ් වයිරසයෙන් බැටකමින් සිටින ලෝකයට දරා ගත නොහැකි තරමේ ප්‍රහාරයක් වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවන්නේය.

 

2011 භුමිකම්පාවේදී සුනාමි රළ ජපානයට කඩා වදිමින්
 

මේ වන විට අපේ රටේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතවද මැග්නිටියුඩ් 3ට අඩු භූමිකම්පා කිහිපයක් වාර්තා වී ඇති බවද අමතක කළ යුතු නැත.

සාමාන්‍යයෙන් වසරක තුළ පෘථිවිය තුළ භූමිකම්පා 12,000- 15, 000ත් අතර ප්‍රමාණයක් සිදු වන අතර මෙවැනි සුළු කම්පන සැලකිය යුතු නොවන බවට වුවද තර්ක ඉදිරිපත් විය හැකිය. එහෙත් මේ සම්බන්ධව අවධානය යොමු කරන කවරෙකුට වුවද මේ වසරේ ආරම්භයේ සිට ෆැසිපික් සහ ඉන්දියන් සාගර කලාපයේ භූමිකම්පාවල වර්ධනයක් පවතින බව පැහැදිලිව දැකිය හැකිය.

කෙසේ වුවද සොබාදහම මිනිසාට පාලනය කළ නොහැකි බැවින් කළ යුතු හොඳම දෙය වඩාත් සැලකිල්ලෙන් පසුවීම සහ අනතුරකදී විය හැකි හානිය අවම කිරීමට සැලසුම් සකස් කිරීමය.

 

Comments