‘අලි නඩු’ නිසා පින්නවල අලි ජරමර | Page 2 | සිළුමිණ

‘අලි නඩු’ නිසා පින්නවල අලි ජරමර

 

අධිකරණයේ නඩු කියන අලි 19න් දැන් ඉන්නේ අලි 17යි

පින්නවල අලි අනාථාගාරය ආරම්භ කර ඉකුත් 16 වැනි දිනට වසර 46ක් සැපිරිණි. ගතවූ වසර හතළිස් හයක කාලය තුළ එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද ආකර්ෂණය දැඩි ලෙසින් දිනා ගත් සංචාරක මධ්‍යස්ථානයක් බවට එය පත්ව ඇත.

 

මෙම අලි අනාථාගාරය 1975 පෙබරවාරි මස 16 වැනි දින ආරම්භ වූයේ එවකට නාවික හා සංචාරක ඇමැතිවරයාව සිටි දිවංගත පී.බී.ජී. කලුගල්ලගේ අදහසකට අනුවය.මේ වන විට පින්නවල අලි අනාථාගාරයේ අලි ඇතුන් අසූ හය දෙනෙක් (86) සිටිති. අලි අභිජනන මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වූ මෙහිදී අලි පැටවුන් හැත්තෑවකට වඩා උපත ලබා තිබීමද විශේෂත්වයකි.

අලි රැලෙන් අතරමංව වනයේ තනිවූ අලි පැටවුන් වෙනුවෙන් අනාථාගාරයක් ලෙස 1975 වර්ෂයේදී ආරම්භ වූ පින්නවල අලි අනාථාගාරයට 2014 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා අධිකරණ නියෝග මත අලින් 19 දෙනකු බාර දී තිබේ.

එම අලින්ගෙන් 17දෙනකු මේ වන විටත් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටිති. අත්තනගල්ල, කඩුවෙල, කොළඹ, කැස්බෑව, මාතලේ, රත්නපුර හා දඹුල්ල අධිකරණ බල ප්‍රදේශවලින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ‘යහපාලන’ ආණ්ඩු කාලයේ අධිකරණයට ඉදිරිපත් කළ අලි ඇතුන් මෙලෙස ගෙන ආ බව කියති.

අලි බලා ගැනීමේ වගකීම

 

අත්අඩංගුවට ගන්නා අලි ඇතුන් වෙනුවෙන් වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව හීලෑ අලි ඇතුන් බලාගන්නා පළපුරුද්ද නොමැතිවීමත්, අවශ්‍ය ඇත්ගොව්වන් නොමැතිවීමත් මෙම අලි රඳවා තබාගැනීමට සුදුසු ස්ථාන හා පහසුකම් නොමැතිවීමත් මත මෙම අලි, නඩුව අවසන් වනතුරු රැකබලා ගැනීමේ වගකීම ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අධිකරණය මඟින් පවරා ඇත. ඒ අනුව අලින් සඳහා ස්වභාවික පරිසරයක සැකසුණු පහසුකම් මෙන්ම හීලෑ අලි බලන්නන් සිටින පින්නවල අලි අනාථාගාරයට මෙම අලි රැකබලා ගැනීමේ වගකීම අධිකරණයෙන් පැවරී ඇතැයි පැවසේ.

ඒ අනුව 2014 වසරේ අප්‍රේල් මාසයේදී ‘මිහිල’ නමැති අලියා මෙලෙස ප්‍රථමයෙන්ම පින්නවලට ගෙනැවිත් ඇත. ඉන් අනතුරුව 2015 වසරේ පෙබරවාරි මාසයේදී ‘කණ්ඩුල’ හා ‘කදිරා’ ද, එම වසරේම අප්‍රේල් මාසයේදී ‘චූටි මැණිකේ’ කෙනරද, මැයි මාසයේදී ‘චූටි මහත්තයා’, ’වස්තු’ හා ‘සාලිය’ද, අගෝස්තු මාසයේදී ‘සුද්දි’ හා ‘සිඟිති’ ද, ඔක්තෝබර් මාසයේදී ‘සහයෝග’ හා ‘චිලිමා ’ද, දෙසැම්බර් මාසයේදී ‘පාරමී’ හා ‘සුදුමැණිකේ’ද ලෙසින් 2015 වසර තුළ අලින් 13 දෙනකු පින්නවලට ගෙනවිත් ඇත. 2016 වසරේදී තවත් අලින් තුන් දෙනකු පින්නවලට අධිකරණ නියෝග මත ගෙනවිත් ඇති අතර, ඒ මැයි මාසයේදී ‘සීදේවී’,හා ජූලි මාසයේදී ‘සමාධි’ හා ‘සුමන’ ලෙසිනි.

අධිකරණයෙන් මෙම අලි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පින්නවල අලි අනාථාගාරයට ලබාදෙන විට ඔවුන්ගේ සියලු තොරතුරු ඇතුළත් ‘චිප්’ එකක් බැගින් එක් එක් අලියාගේ කන්පෙත්තේ සවිකර ඇත. ඊට අමතරව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම අලින්ට ලියාපදිංචි අංකයක්ද ලබා දී තිබේ.ඒ අනුව කදිරා - 147, සාලිය - 148, චූටි මැණිකේ - 163, චිලිමා - 164, සහයෝග - 202, සීදේවී - 203, සංඛ -207, සුද්දි - 209, වස්තු - 230, පාරමී - 332. සමාධි - 333, චූටි මහත්තයා - 334, සුදු මැණිකේ - 335, සිඟිති -350 හා සුමන - 347 යනාදී පරිද්දෙනි.

වයස අවුරුදු 4 සිට අවුරුදු 36 දක්වා අලින් 2014, 2015 හා 2016 වසර තුන තුළ අධිකරණයෙන් පින්නවල අලි අනාථාගාරයට යොමුකර ඇත. මෙලෙස මෙම අලි, අධිකරණ නියෝග මත ලබාදී ඇති අලි බැවින් මෙම අලි රැකබලා ගැනීම පින්නවල අලි අනාථාගාරයේ වගකීමක් බවට නිරායාසයෙන්ම පත්ව ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පින්නවල අලි අනාථාගාරයේ පාලක (සත්ව) ප්‍රධානී සංජය රත්නායක මෙසේ පැවසීය. ‘අධිකරණ නියෝගයකින් පින්නවල අලි අනාථාගාරයට ලබාදුන් අලින් නිසා මේ සම්බන්ධයෙන් අපි විශේෂ අවධානයක් යොමුකර කටයුතු කරනවා.

මේ එක් අලියෙක් වෙනුවෙන් සමහර අවස්ථාවල ඇත්ගොව්වන් තුන් හතර දෙනෙක් යොදවන්නත් සිදුවෙනවා. අලින්ට තුවාල නොවෙන්න රැකබලාගැනීම අපිට තිබෙන විශාල වගකීමක්.

අලි අතර තරමක් සැර අලිත් ඉන්නවා. ඔවුන් අනෙක් අලින්ට ගහන්නත් පුළුවන්. ඒ වගේම අනෙක් අලින්ගෙන් මේ අලින්ට අනතුරක් වෙන්නත් පුළුවන්. ඒ තත්වයන් වළක්වා ගන්න අපි දිවා රාත්‍රී විශේෂ අවධානයකින් කටයුතු කරනවා.’ පින්නවල අලි අනාථාගාරයට 2019 හා 2020 වසරවල ප්‍රවේශපත්‍රවලින් ලැබූ ආදායම හා මෙම අලි රැකබලාගැනීම සම්බන්ධයෙන් දරන්නට වන වියදම පිළිබඳ අප කළ විමසුමට පිළිතුරු දුන් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මෙසේ පැවසුවේය.

2019 ආදායම මිලියන 436

 

‘පින්නවල අලි අනාථාගාරය 2019 වර්ෂයේදී දේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන තිස් නවයකට අධික ආදායමක් හා විදේශීය සංචාරකයන්ගෙන් මිලියන හාරසිය තිස් හයකට අධික ආදායමක් ලැබුවා. 2020 වර්ෂයේදී කොරෝනා වසංගත තත්ත්වය මත එම ආදායම පහළ ගියා. කෙසේ වෙතත් 2020 වර්ෂයේදී දේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන එකොළහකට අධික මුදලක් හා විදේශීය සංචාරකයන්ගෙන් රුපියල් මිලියන එකසිය දෙකකට අධික මුදලක් අප උපයාගෙන තිබෙනවා.

නඩුවලට සම්බන්ධ අලින් වෙනුවෙන් වන වියදම අපට කියන්න බැහැ. සාමාන්‍යයෙන් අලියකුට දිනකට රුපියල් හය දහසත්, පහළොස් දහසත් අතර මුදලක් වැයවෙනවා. දළ වශයෙන් දිනක වියදම රුපියල් එකොළොස් දහස් පන්සියයක් පමණ ලෙසින් දැක්විය හැකියි. අලින් නඩු අලිද, අපේ අලිද කියලා බලන්න තරම් ලොකු අවශ්‍යතාවයක් නැහැ. මේ අපේ සම්පත්.අපේ රටේ සම්පත්.’ අලි අනාථාගාරයේ අලින් සඳහා දිනක වියදම අලියාගේ වයස, හීලෑ බව හෝ සැරපරුෂ බව, සෞඛ්‍ය තත්ත්වය වැනි කරුණු මත වෙනස් වන්නකි. සැරපරුෂ අලියකු සඳහා ඇත්ගොව්වන් තුන් හතර දෙනකු යෙදවීමේදී ඒ වෙනුවෙන් විශාල වියදමක් දැරීමට සිදුවේ. එසේම අලියකු රෝගී වීමේදී ලබාදෙන පලතුරු, විටමින්, බෙහෙත් වැනි ද්‍රව්‍ය සදහා අමතර මුදලක් දැරීමට සිදුවේ.

සැර අලි සම්බන්ධයෙන් ක්‍රියාකිරීමේදී පශු වෛද්‍යවරුන්ට හා සේවකයන්ට විශේෂ අවධානයකින් කටයුතු කිරීමට සිදුවේ. ඔවුන් බොහෝ විට කෑමට දෙන ද්‍රව්‍යවලින් පවා පහරදීමෙන් ඇත් ගොව්වන් තුවාල ලැබූ අවස්ථා රැසකි. අධිකරණ නියෝග මත පින්නවලට ගෙන එන ලද ‘සාලිය’ නමැති අලියා පහරදීමෙන් එහි අලි බලන්නෙකු මාස දෙකකට අධික කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇත. අධිකරණ නියෝග මත පින්නවල අලි අනාථාගාරයට ගෙන එන ලද පිරිමි අලි හැමෝම සැර අලින් යැයි පැවසෙන අතර, ’සීදේවි’ නමැති කෙනර එහි ගෙන ඒමට පෙර ඇත්ගොව්වා මරා දැමූ ඇතින්නක බවද පැවසේ. මේ අතර, අලින් සම්බන්ධ නඩු කටයුතු දිනෙන් දින ප්‍රමාදවීමෙන් පින්නවල අලි අනාථාගාරයට තවදුරටත් අමතර වගකීමක් දැරීමට සිදුව ඇති බව පිරිසක් පෙන්වා දෙති.

අලි නඩු නිසා කරදර ගොඩක්

 

අක්කර විසිපහක භූමියක් පුරා විහිදුණු පින්නවල අලි අනාථාගාරය අලින් සඳහා ප්‍රමාණවත් වුවද, බාහිරින් රැගෙන ආ අලින් නිසා අලි අනාථාගාරයේ අලින්ගේ ඉඩකඩ සීමාවී ඇති බව එම පිරිස් පවසති. විශේෂයෙන්ම නඩු භාණ්ඩ ලෙසින් ගෙන එන ලද මෙම අලින් සෙවණේ රඳවා තැබීමට අලි මඩු භාවිතා කෙරෙන බැවින් පින්නවල අලින්ට සිදුව ඇත්තේ එම ආගන්තුක අලින්ට ඉඩකඩ ලබාදී එළිමහනේ අව්වට වැස්සට නිරාවරණය වෙමින් රැදී සිටීමට බව ඔවුහු කියති. අලි අනාථාගාරයේ මෙම අඩු පහසුකම් මත අලින් රැදීසිටීමෙන් පසුගිය වසර ගණනාවක් තුළ අනාථාගාරයේ කෙනරක විසින් පැටවකු බිහි නොකිරීමද අවධානය යොමුවිය යුතු කරුණක් බව මෙම පිරිස් පෙන්වා දෙති.

එසේම අලින්ට අදාළ නඩු කවදා හෝ නිමාවන තුරු එම අලි නිරෝගීව තබාගැනීම සඳහා විටමින්, පලතුරු, බෙහෙත් යනාදිය වෙනුවෙන් අමතර මුදලක් වැයකිරීමටද අලි අනාථාගාරයට සිදුව ඇති බව බැවින් නඩු තීන්දුවකින් මෙම අලි අයිතිකරුවන්ට නැවත භාරදීමට තීරණය වන්නේ නම් ඔවුන් මෙතෙක් නඩත්තු කිරීම සඳහා රජයෙන් වැයකළ මුදල් එම අයගෙන් යළි අයකරගැනීමට කටයුතු කළ යුතු බවද ඔවුහු අවධාරණය කරති.

 සටහන හා ඡායාරූප- ඔස්වල්ඩ් ගොඩකුඹුර, රඹුක්කන විශේෂ

 

Comments