මලල ක්‍රීඩා ඔස්තාර් දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරන්නේ මිත්‍රකමට ද? | සිළුමිණ

මලල ක්‍රීඩා ඔස්තාර් දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරන්නේ මිත්‍රකමට ද?

 

ඕනෑම ක්‍රීඩාවක පැවැත්ම උදෙසා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරමටම ප්‍රේක්ෂකයින්ද වැදගත්ය. එසේ වුවත් ක්‍රීඩාවක් වටා ඒකරාශීවන සමස්ත ප්‍රේක්ෂයන්ම අදාළ ක්‍රීඩාවෙ මූලික සිද්ධාන්ත පිළිබඳව අවබෝධයක් ඇත්තේ නැත. මලල ක්‍රීඩාවේ ගැටලුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මලල ක්‍රීඩා සංගමයේ හිටපු තේරීම් කමිටු සභාපති හා දත්ත විශ්ලේෂකයා ද වන කැලණිය විශ්ව විද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ සමන් කුමාර ගුණවර්ධන මහතාගේ පිළිතුරු මෙයයි.

මලල ක්‍රීඩා තරගාවලියක් අවසානයේ දක්ෂතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැනීම සිදු කරන ක්‍රමවේදය කුමක් ද?

දක්ෂම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව තෝරාගන්නේ ඔවුන් හිමිකරගත් ජයග්‍රහණ සලකලා නොවෙයි. ඒ නිසා ඉසව් තුනක් දිනපු කෙනෙකු මග හැරිලා එක ඉසව්වක් දිනපු කෙනෙකුට ඒ සම්මානය ලැබෙන්න පුලුවන්. ලෝක මලල ක්‍රිඩා සංගමය වසර පහකට වරක් ඒ ඒ ඉසව් සඳහා දක්ෂතාවන් වෙනුවෙන් ලබාදෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණයන් නිවේදනය කරනවා. උදාහරණයක් ගත්තොත් මීටර් 100 ඉසව්වේ තත්පර 11.00 ක කාලය සඳහා ලකුණු 10 ක් ලබා දෙනවා නම් ඊට අඩු කාලයකට ලබා දෙන ප්‍රසාද ලකුණු ප්‍රමාණය වැඩියි. තත්පර 11.00 කට වැඩි කාලයක් වැයකරනකොට ප්‍රසාද ලකූණු අඩු වෙනවා. ඉතිං මේ ක්‍රමය අනුව ලංකාවේ ක්‍රීඩකයෙකුට හෙල්ල විසිකිරීම, මිටිය විසි කිරීම, කව පෙත්ත, යගුලිය, මැරතන් මීටර් 10000 මීටර් 5000 වැනි ඉසව්වල දස්කම් වලින් දක්ෂතම ක්‍රීඩකයා වීම අසීරුයි. මොකද ජාතික තරගාවලියකදි ඔය ඉසව් තුනක්ම දිනුවත් ලැබෙන ප්‍රසාද ලකුණු ප්‍රමානයට වඩා දක්ෂම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වීමට උස පැනීම , දුර පැනීම, කුන් පිම්ම, මීටර 400 වැනි එක ඉසව්වක උපරිම දක්ෂතාවයට හිමිවෙන ප්‍රසාද ලකුණූ ප්‍රමාණය වැඩියි.

අපි ඔය ක්‍රමවේදයට අනුගත වුනේ කොයි කාලයෙදීද..?

හැත්තෑව දශකයේ පමණ සිට තමයි එය සිදුකරන්නේ. හැබැයි විශේෂයෙන් තව එකක් කියන් ඕනෙ. දැන් දැන් සමහර පාසල්වල අවුරුදු 15 ට අඩු ළමයින්ටත් ඔය ක්‍රමවේදයට ඇතුළත් කරන්න උත්සාහ කරනවා. ඒත් ඒ වයසෙදී වැඩි ප්‍රසාද ලකුණු ලැබෙන ඉසව් වලට යොමු කරන්න ගියොත් ජයගත හැකි ඉසව් මඟ හැරෙන්න පුලුවන්. ඒ නිසා අවුරුදු 15 ට අඩු දරුවන් සහභාගි වෙන මලල ක්‍රීඩා තරග වලදී ජයග්‍රණය කරන ඉසව් ප්‍රමාණය අනවු ප්‍රසාද ලකුණු ලබාදීලා දක්ෂතම ක්‍රිඩකයා සහ ක්‍රීඩිකාව තෝරා ගැන ීම වඩාත් සුදුසුයි.

 

සීවලී එදිරිවීර

Comments