මැතිවරණ - කොරෝනා අස්සේ නතර නොවූ අයි.පී.එල් | සිළුමිණ

මැතිවරණ - කොරෝනා අස්සේ නතර නොවූ අයි.පී.එල්

 

කඩුලු 170 ක් ලබා ඇති ලසිත් මාලිංග වැඩිම කඩුලු ලබා ඇති පන්දු යවන්නා වෙයි. මේ දක්වා ඉනිමක වාර්තා වී ඇති වැඩිම ලකුණු ගණන නොදැවුණු ලකුණු 175 කි. මෙහි හිමිකරු ක්‍රිස් ගේල්ය.

දහහතර වැනි වරටත් පැවැත්වීමට නියමිත 2021 අයි.පි.එල්. තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පසුගියදා අවසන් කෙරුණේය. තෝරාගනු ලැබූ ක්‍රීඩකයින් 292 දෙනෙකු ක්‍රීඩක වෙන්දේසියට ඇතුළත් කර තිබු අතර මෙවර වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා වූයේ දකුණු අප්‍රිකාවේ ක්‍රිස් මොරිස්ය.

ඔහු තෝරාගත්තේ රාජස්තාන් රෝයල්ස් පිල විසිනි. එහිදී ඔහු අලෙවි වුයේ කෝටි 16.25 කටය. ඔහුට අමතරව ජායි රිචර්ඩ්සන් ,ග්ලෙන් මැක්ස්වල් යන ක්‍රීඩකයන්ද විශාල ගණන් වලට අලෙවි වුහ. මේ අනුව අලෙවි වූ විදෙස් ක්‍රීඩකයින් හා ඔවුන් අලෙවි වුණු වටිනාකම ඉන්දියන් රුපියල්වලින් මෙසේය.

ග්ලෙන් මැක්ස්වල් (කෝටි 14.25/ රෝයල් චෑලෙන්ජර්ස් බැංගලෝර්), ස්ටිව් ස්මිත් ( කෝටි 2.2 දිල්ලි කැපිටල්ස්), සකිබ් අල් හසන් (කෝටි 3.20/කල්කටා නයිට් රයිඩර්ස්), මොයින් අලි (කෝටි 7,චෙන්නායි සුපර් කින්ස්), ඩේවිඩ් මාලන් (කෝටි 1.50 පන්ජාබ් කින්ස්),ඇඩම් මිල්නේ (3.2, මුම්බායි ඉන්දියන්ස්), ජායි රිචර්ඩ්සන් (කෝටි 14, පන්ජාබ් කින්ස්), මුෂ්ටෆිෂර් රහමන් (කෝටි 01, රාජස්තාන් රෝයල්ස්), නේතන් කෝල්ටර් (කෝටි 05, මුම්බායි ඉන්දියන්ස්), රිලේ මර්ඩ්ත් (කෝටි 08, පන්ජාබ් කින්ස්), කයිල් ජේම්සන් (කෝටි 15, රෝයල් චෑලෙන්ජර්ස් බැංගලෝර්), ටොම් කරන් (කෝටි 5.25, දිල්ලි කැපිටල්ස්), මොයිසස් හෙන්රික්ස් (කෝටි 4.20, පන්ජාබ් කින්ස්), ෆේබියන් ඇලන් (ලක්ෂ 75, පන්ජාබ් කින්ස්), ඩැන් ක්‍රිස්ටියන් (කෝටි 4.8, රෝයල් චෑලෙන්ජර්ස් බැංගලෝර්), ලියම් ලිවින්ස්ටන් (ලක්ෂ 75, රාජස්තාන් රෝයල්ස්), ජේම්ස් නිෂම් (ලක්ෂ 50, මුම්බායි ඉන්දියන්ස්), සෑම් බිලින්ස් (කෝටි 02, දිල්ලි කැපිටල්ස්),ම ුජිබර් රහමන් ( කෝටි 1.50 සන්රයිස් හයිද්‍රාබාද්), බෙන් කට්න් (ලක්ෂ 75, කල්කටා නයිට් රයිඩර්ස් ),මාර්කෝ ජනසන් (ලක්ෂ 20,මුම්බායි ඉන්දියන්ස්) මේ අනුව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ජමෙයිකා, ඇෆ්ගනිස්තාන්, බංගලාදේශය යන රටවල ක්‍රීඩකයින් මෙසේ අලෙවි වූ ක්‍රීඩකයින් අතර වූ නමුත් විශේෂ සිදුවීම එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ මෙවර වෙන්දේසියෙහි අලෙවි නොවීමය.

මේ සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශ කරන හිටපු ක්‍රිකට් නායක වත්මන්හි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන පවසන්නේ මෙය ශ්‍රී ලංකා ක්‍රීඩකයින්හට තම දස්කම් ඔපවත් කර ගැනීම සඳහා ලැබුණු හොඳ දැනුම් දීමක් ලෙසින් තේරුම්ගත යුතු බවය. එමෙන්ම අනාගතයේදී මෙරට තරුණ ක්‍රිඩකයින් මේ සඳහා අවස්ථාව උදා කරගනු ඇති බවද ඔහු පවසා තිබිණි.

මෙවර අයි. පී.එල්. තරගාවලිය අප්‍රේල් 11 දින සිට ජුනි 06 දින දක්වා ඉන්දියාවේදීම පවත්වන බව දැනටමත් ප්‍රකාශ කර අවසන්ය. නමුත් මෙම තීරණයේ ප්‍රධාන තීරකයා කොවිඩ් 19 වීමට බොහෝ දුරට ඉඩ ඇත. එය එසේ වන්නේ මේ වනවිට ඉන්දියාව ආශ්‍රිතව යළි කොරෝනා ආසාදිතයන් වාර්තාවීම ඉහළ නැග ඇති පසුබිමකය.

කෙසේ නමුත් දැනට ලැබෙන තොරතුරු වලට අනුව මෙවර අයි.පී.එල් තරගාවලියේ ප්‍රේක්ෂක සහභාගිත්වය සියයට සියයක්ද ,සියයට පනහක්ද යන්න තවමත් නිශ්චිත තීරණයකට එළඹ නැත. එහි අවසන් තීරණය ගැනීමට නියමිතව ඇත්තේ මාර්තු මස මුල් සතියේදී ය.

ලොව වැඩිම ප්‍රේක්ෂක අවධානයක් යොමුවන විස්සයි විස්ස තරගාවලියක් වන මෙම තරගාවලිය ලොව ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් එල්ල කිරීමට සමත්වූ තරගාවලියකි.

2008 තරග වාරයේදී මුලින්ම ආරම්හවූ ඉන්දීය ප්‍රිමියර් ලිග් තරගාවලිය ආරම්භ වීමට බලපෑ මුලික හේතුවක් ලෙස 2007 වසරේ ඉන්දියාවේ දි විදෙස් ක්‍රීඩකයින්ගේද සහභාගිත්වය ඇතිව ආරම්භවූ අයි.සි.එල්.නැතහොත් ඉන්දීය ක්‍රිකට් ලිග් විස්සයි විස්ස තරගාවලිය නම් කළ හැක. මේ සඳහා ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ දැඩි විරෝධය එල්ලවිණි. ක්‍රීඩකයින් අයි.සි.එල්.කරා ඇදි යාම වැළැක්වීමට විකල්පයක් ලෙස ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේද ආශිර්වාදය ඇතිව 2008 වසරේ සිට අයි.පි.එල්.තරගාවලිය ආරම්භ කෙරිණි.

පසු කලෙක ඇයි.පී.එල්.තරගාවලිය සමග සම්බන්ධතා අහිමි කර ගත්තද මේ සඳහා මුලිකත්වය ගත් අයෙකු ලෙස එවකට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල උප සභාපතිවරයෙකු වූ ලලිත් මෝඩි නම් කළ හැක.

2008 පැවති මුල් තරගාවලියේ ශුරතාව අත් කර ගත්තේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමය,අවසන් තරගයේදී චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම ඔවුන් වෙතින් පරාජය විය, එමෙන්ම තරගාවලියේ වීරයා බවට පත් වුයේ ජයග්‍රාහි කණ්ඩායම නියෝජනය කළ ඕස්ට්‍රේලියාවේ ෂේන් වොට්සන් ය. එවර තරග වැදුණු කණ්ඩායම් ගණන අටකි, රාජස්තාන් රෝයල්ස්, කින්ග්ස් X1 පන්ජාබ්, චෙන්නායි සුපර් කින්ස්, දිල්ලි ඩෙයාර් ඩෙවල්ස්, ඩෙකන් චාර්ජස්, මුම්බායි ඉන්දියන්ස්,

කොල්කතා නයිට් රයිඩර්ස්,රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර්, එම කණ්ඩායම්ය.

මෙහි විශේෂත්වය මෙම තරගාවලිය ඇතැම් අවස්ථාවන්හි විදේශයන්හිදී ද පැවත්වී තිබීමයි. 2009 ඉන්දීය මැතිවරණය යෙදී තිබීම නිසා ආරක්ෂක තත්ත්වය මත දකුණු අප්‍රිකාව කරා තරගාවලිය රැගෙන ගිය අතර, පසුගිය වසරේ තරගාවලිය එක්සත් අරාබි එමිරයේ පැවැත්වූයේ කොරෝනා රෝගය හේතුවෙනි.

සමස්ත තරගාවලිය තුළ මේ වනවිට වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස්කර ගෙන ඇත්තේ ලකුණු 5878 ක් ලබා ඇති වත්මන් ඉන්දීය නායක විරාත් කෝලිය. කඩුලු 170 ක් ලබා ඇති ලසිත් මාලිංග වැඩිම කඩුලු ලබා ඇති පන්දු යවන්නා වෙයි. මේ දක්වා ඉනිමක වාර්තා වී ඇති වැඩිම ලකුණු ගණන නොදැවුණු ලකුණු 175 කි. මෙහි හිමිකරු ක්‍රිස් ගේල්ය. ඔහු පන්දු 66 කින් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල වෙනුවෙන් පුනේ වොරියර්ස් පිලට එරෙහිව මෙම ඉනිම ක්‍රියාත්මක කළේ 2013 වසරේ දී ය.

තරගාවලියේ මුල්ම ශතකය ලබා ගත්තේ 2008 බ්‍රෙන්ඩන් මැකලම්ය, ලකුණු ගණන නොදැවී 158කි.

මාලිංග හැරුණු විට මෙම තරගාවලිය තුළ දස්කම් දක්වා ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතර කුමාර් සංගක්කාර 2008 සිට කින්ග්ස් ඉලවන් පන්ජාබ්, 2011 සිට ඩෙකන් චාර්ජස්, 2013 සන්රයිස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් නියෝජනය

කර තරග 71 කදී ලකුණු 1678 ක්ද, මහේල ජයවර්ධන 2008 සිට කින්ස් X1 පන්ජාබ්, 2011 කෝචි ටස්කර්ස් හා පසුව දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම් නියෝජනය කළේ තරග 80 කදී ලකුණු 1802 ක් ලබමිනි. එමෙන්ම ඔහු මෙම තරගාවලියේ ශතකලාභියෙකි.

සුපිරි පන්දුයවන්නකු වූ මුත්තයියා මුරලිදරන් තරග 66 කදී කඩුලු 63 ක් බිඳ හෙලා ඇති අතර මුලදී චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායමද පසුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ද නියෝජනය කළේය. සනත් ජයසුරියද මෙහිදී අමතක කළ නොහැකි ය. ඔහු 2008 පන්දු 48 කින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන්

ලකුණු 114 ක් නොදැවී වාර්තා කළේ චෙන්නායි සුපර් කින්ස් කණ්ඩායමට එරෙහිවය.

 

Comments