අපේ රටේ වීදි නාට්‍යය පටන් ගත්තේ අනු­රා­ධ­පු­රය දුම්රියපළේදී | සිළුමිණ

අපේ රටේ වීදි නාට්‍යය පටන් ගත්තේ අනු­රා­ධ­පු­රය දුම්රියපළේදී

නිහාල් සුරංජි

ශ්‍රී ලංකාවේ වීදි නාට්‍ය කලාව ආරම්භ වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ (එවකට විද්‍යාලංකාර) ඉංග්‍රීසි ආචාර්යවරයෙක් වන ගාමිණී හත්තොටුවේගම මහතාගේ මූලිකත්වයෙනි. ඉතා අසීරු නාට්‍යයක් වන ඇගමෙම්නස් (ඊස්තිලස් ගේ ග්‍රීක නාට්‍ය) ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කරමින් ඇගමෙම්නස්ගේ ප්‍රධාන චරිතයට ද ජීවය දුන්නේය. ඉංග්‍රීසි අංශයේ උගන්නා සිසුන් සමඟ ඇන්ටන් චෙකොෆ්ගේ “මඟුල් පරස්තාව“ නාට්‍යය සිංහලෙන් ඉදිරිපත් කළේය.

ඔහුගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍ය සනිටුහන් වන්නේ 70 දශකයේ රංග ශිල්ප ශාලිකාවේ ධම්ම ජාගොඩයන් සමඟ එක් වීමෙනි. ඔහුගේ අනිකුත් නිර්මාණ කාර්යයන් අතර ප්‍රමුඛ කාර්ය වන්නේ විවෘත වීදි නාට්‍ය කණ්ඩායමේ නායකයා හා ප්‍රධාන අධ්‍යක්ෂවරයා ලෙස මිය යන තුරුම ක්‍රියා කිරීමයි. 1971 තරුණ නැගිටීමත් සමඟ ඇතිවන පුපුරා යෑම විවිධාකාරයෙන් සමාජ ප්‍රවාහය වෙනස් කිරීමට බලපාන අතර වීදි නාට්‍යත් මේ ගණයේම නැගිටීමකි.

වීදි නාට්‍ය යන යෙදුම සිංහල භාෂාවේ ශබ්ද කෝෂයට ප්‍රථම වතාවට ඇතුළු වන්නේ ද 1974 අගෝස්තු මස සංස්කෘතික දෙපාර්තමේන්තුවේ කලා සඟරාවට අනුරාධපුර නාට්‍ය දැක්ම ගැන ලියැවුණු ලිපියකිනි.

1974 ගාමිණී හත්තොටුවේගම ඇතුළු කණ්ඩායම ඉදිරිපත් කරනු ලැබූ නාට්‍ය මේ සියල්ලටම වඩා වෙනස් මඟක් ගත් බව අපට පෙනී යයි. තමන් වීදිනාට්‍ය හදන්න පෙලඹුණේ මිනිසුන්ගේ නැතිබැරිකමත් සමඟ බවත් ඒ නිසා එය දුප්පතුන්ගේ කලාවක් ලෙස ඔහු විසින් පවසා තිබුණි. එහෙත් ඇතැම් විචාරකයන් පැවසුයේ 1970 ගණන්වල ලෝකය පුරා වේගයෙන් හමාගිය ආර්ථික අවපාතයේ කුණාටුව මේ රටේ වීදි නාට්‍ය කලාවට පණදුන් බවයි.

හැත්තෑව දශකයේ මුලාරම්භය යනු ලෝක ආර්ථිකය හමුවේ ශ්‍රී ලංකාවේ ද පැසවමින් තිබූ ගිනි කන්ද පුපුරා ගිය ප්‍රථම අවස්ථාවයි. එම කාලය එහි උණුසුම තරුණයන්ට සේම තරුණ කලාකරුවන්ටත් හොඳ හැටි දැනුණි. වසන්ත ඔබේසේකරගේ වෙස් ගත්තෝ, ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව යන නිර්මාණ සිනමාවේ ද, සුගතපාල ද සිල්වාගේ දුන්න දුනුගමුවේ රූපරාමු වේදිකාවේ ද නිෂ්පාදනය වූ අතර ඉන් බැහැරට ධම්ම ජාගොඩගේ මළවුන්ගේ නැගිටීම ආදී නිර්මාණයන් ද නිර්මාණය විය. මෙම කාලයේදී ගාමිණී හත්තොටුවේගමයන් කථිකාචාර්යවරයෙකු ලෙස කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි අතර රංග කැබලි සමඟ සංගීත සොච්චමක් නමැති අපූරු නිර්මාණය විශ්වවිද්‍යාලයේ සිසුන් සමඟ ඉදිරිපත් කරන්නට යෙදුණි.

ගාමිණී හත්තොටුවේගමයන් රංග ශිල්ප ශාලිකාව සමඟ සම්බන්ධ වීමෙන් පසුව එහි සිසුන් සමඟ රංග කලාවේ ස්වකීය ඓතිහාසික මෙහෙවර ආරම්භ කරමින් 1974 පොසොන් පොහෝ දිනක අනුරාධපුරයේ ගම්මානයක හා දුම්රියපොළ වේදිකාවේ රංගනයන් ඉදිරිපත් කිරීමට පෙලඹුණි. එම රංගනය ඔවුන් ‘වීදි නාට්‍ය‘ යයි නම් කරන්නට යෙදුණි. ඒ සම්බන්ධයෙන් රංගන ශිල්පිනී දීපානි සිල්වා පවසන්නේ මෙවැන්නක්. “අප රටේ කාලයක සිට යටපත්ව තිබූ ආර්ථික හා දේශපාලන අර්බදයේ කැලඹීමක් හටගත්තේ 70 දශකයේ මුල්භාගයේදියි. ඒ සමඟ අපේ රටේ මාධ්‍යයන් නොයෙකුත් විකල්ප ධාරාවන් සොයා ගියා. 1974 කොළඹ රංග ශිල්ප ශාලිකාවෙ නාට්‍ය කලාව හදාරමින් සිටි සිසු පිරිසට ඒ ගැන දැනගන්නට ලැබුණා. සිසුන් කීප දෙනෙක් නාට්‍ය පිටපතක් හොයාගෙන පොසොන් එකට නාට්‍යයක් කරන්න ගාමිණී හත්තොටුවේගම මහතාගෙන් උපදෙස් ගත්තා. පොසොන් පොහෝ දිනක අනුරාධපුර පිට්ටනියක ඒවා රඟ දැක්වූවා. පසුදින කොළඹ බලා ඒමට පිටත් වුණු කණ්ඩායමට අනුරාධපුර දුම්රිය නැවතුමේදී යම් ඇබැද්දියක් වුණා. එම ඇබැද්දිය ක්ෂණික රංගනයක් ලෙස යොදාගෙන එම දුම්රිය වේදිකාවෙදි වීදි නාට්‍ය දර්ශනයක් ඉදිරිපත් කළා. මේ අත්හදා බැලීම සාර්ථක වුණාට පස්සේ සියලු දෙනාම ස්ථිර වීදි නාට්‍ය කණ්ඩායමක් ලෙස එකතුවී නායකත්වය ගාමිණී මහත්මයට පැවරුවා. ඉන්පසු දෙස් විදෙස් පුරා වීදි නාට්‍යය සංවිධාන කරමින් සමාජයේ පුරෝගාමී මෙහෙවරක නිරත වෙනවා.“

වීදි නාට්‍ය කලාවෙ එදා, අද හා හෙට දවස සම්බන්ධයෙන් විවරණයක යෙදෙන ඔහු නිහාල් සුරංජි. ගාමිණී හත්තොටුවේගම සමඟ මුල් යුගයේ සිටම වීදි නාට්‍ය කලාවේ නියැලෙන නිහාල් සුරංජි කොළඹ මරදාන, ඉබ්බන්වල ග්‍රාම සේවකවරයා ලෙස කටයුතු කරයි. හතා එක්ක විවෘත විදි නාට්‍ය කණ්ඩායම නමින් ග්‍රන්ථයක් පවා ලියා පළකර ඇති ඔහු වීදි නාට්‍ය කලාව පිළිබඳව බොහෝ දේ අනාවරණය කළේය.

“මම නාට්‍යයට අතපොත් තබන්නේ කොළඹ ආනන්දයෙන්. බන්දුල කොඩිකාර ගුරුවරයා සමඟ එකතුවී ආන්නද උදාවට ආනන්දයේ ඉතිහාසය ගැන වාර්තා රංගනයක් කළා. උසස් පෙළට ජීව විද්‍යාව කළත් හිත තිබුණේ කලාවට. ආනන්දය අපට විශ්වවිද්‍යාලයක් වුණා. ඒ වෙද්දි ලයනල් රංවල මහතා සමඟ නාට්‍ය වැඩමුළුවලට සම්බන්ධ වෙලා හිටියේ. විදේශීය නාට්‍යවේදීන් බොහොමයකගේ අගනා වැඩමුළුවලට ලංකාවෙදි සම්බන්ධ වෙලා පුළුල් දැනුමක් ලැබුවා. පයින් ඇවිදීම ඒ දිනවල මගේ විනෝදාංශයක්. පාරේ යද්දි මට තෙල් බෙහෙත් විකුණන අය, තවත් වෙළඳාම් කරන අය තම භාණ්ඩ විකුණගන්න අපූරු රංගනයක යෙදෙන අයුරු දුටුවා. අපි මීගමුව දූවේ 1980 දෙසැම්බර් නත්තල් දවසේ නාට්‍යයක් කළා. අපිට රු. 63 ක් ලැබුණා. ඒ ගාන විදයමට ඇති. ඇත්තටම මුදල් ඉපයීමේ බලාපොරොත්තුවක් අපට තිබුණේ නැහැ. කාලගෝල නාට්‍යයෙත් රඟපෑවා. 1985 රාජ්‍ය නාට්‍ය පාසලට ඇතුළත් වුණා. කොළඹ නාලන්දේ ගුරුවරියක් වන පද්මා අයිරාංගනී මගේ බිරිඳ හමුවුණෙත් එතනදි තමයි.

ඒ කාලේ ගාමිණී හත්තොටුවේගම සමඟ වීදි නාට්‍ය කරන්න දීපානි සිල්වා, නිමල් චන්ද්‍රසිරි, සෝමරත්න මුනසිංහ, උපුල් මායාදුන්නේ, උපාලි වීරසිංහ වගේ පිරිසක් එක්වී සිටියා.

ඒ කාලේ හොඳ නාට්‍ය වැඩපොළ තිබුණා. ඒ තුළින් කවුරුත් හොඳ පන්නරයක් ලැබුවා.

ලෝකයේ වෙනත් රටවල වීදි නාට්‍ය කලාව පිළිබඳව මම විමසීමි.

“විදි නාට්‍ය කලාව වඩා සංවිධානාත්මකව පවතිනවා. ඉන්දියාවේ බොහෝ ප්‍රචලිතයි. ඇමෙරිකාව, එංගලන්තය, බංග්ලාදේශය, ප්‍රංශය වගේ රටවලත් වීදි නාට්‍ය කලාව ප්‍රචලිතයි. බ්‍රෙඩ් ඇන්ඩ් පපට් තියටර් හි දැවැන්ත වෙස් මුහුණු උපයෝගි කරගෙන පිටරටවල පාන් අලෙවි කරමින් ආදායම් උපයනවා.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට වීදි නාට්‍යවලට තර්ජනයක්ද?

“කිසිසේත්ම තර්ජනයක් නැහැ. නමුත් නිල නොවන මර්දනයක් තියෙනවා. වීදි නාට්‍ය කලාවෙන් උල්පා දක්වන්නේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු. ජනතාව වෙනුවෙන් කථා කරද්දි ඉබේම නාට්‍යය මර්දනය කරනවා. දේශපාලනයෙන් තොරව මිනිසා ගැන කථා කරන්න බැහැ. ලෝකයේ විශිෂ්ට නාට්‍ය ගණනාවක් ලංකාවේ පෙන්නුවා. ඊස්කිලස් (ප්‍රොමිණියස් නමින්) සොපොත්ලීස් (ඊඩිපස් - විශිෂ්ට ශෝකාන්තයක්) යුඩිපිඩීස්ගේ ඇන්ටිගනී නාට්‍යය (ට්‍රෝජන් කාන්තාවෝ) ලෙසින්, ඇරිස් ට්‍රොනොනිස්ගේ වලාකුළු නාට්‍ය ඇසුරින් මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ සොක්‍රටීස් මෙන්ම ෂේක්ස්පියර්ගේ ජුලියස් සීසර්, මැක්බත්, හැම්ලට් ආදී වශයෙන්.

ඒත් වීදි නාට්‍යවලට ජනමාධ්‍යවලින් වුණත් අවම වශයෙන්වත් ප්‍රචාරණයක් දෙන්නෙ නෑ. නමුත් වීදි නාට්‍ය වියැකිලා නෑ. ගාමිණී මහත්මයාගෙන් පස්සේ දෙවෙනි පරපුර වීදි නාට්‍යය ඉදිරියට අරන් යනවා. චමරු පතිරණ, දීපානි සිල්වා ඇතුළු පිරිසක් වීදි නාට්‍ය කලාවත් සමඟ බද්ධ වී සිටිනවා. කොවිඩ් සමයට කලින් රජයේ සංස්කෘතික වැඩසටහන්වලට වගේම රාජ්‍ය නොවන සංවිධානත් වීදි නාට්‍ය උපයෝගි කරගත්තා. 1990 ගණන්වල නම් ජනමාධ්‍ය ආයතනවලින් වීදි නාට්‍ය කලාවට යම් පිටිවහලක් ලැබුණා.“

නිහාල් සුරංජි ජීවත් වන්නේ මරදාන දේවානම්පියත්ස මාවතේ. ග්‍රාමසේවකවරයෙක් ලෙස රාජකාරි කිරීමට රංගන ජීවිතයෙන් ලැබුණු ආභාසය ගැන විමසුවෙමි.

“මම 1998 මාදම්පිටිය, නවගම්පුර ග්‍රෑන්ඩ්පාස් උතුර, මහවත්ත උතුර හා දැන් ඉබ්බන්වල ග්‍රාම සේවක ලෙස දිගුකලක් සේවය කළා. දැන් අවුරුදු 60ක්. ළඟදි විශ්‍රාම යනවා. සිංහල, දෙමළ, බර්ගර්, මැලේ විවිධ ජාතීන් සමඟ කටයුතු කළා. මිනිසුන් නිවැරැදිව හඳුනාගන්න වීදි නාට්‍ය කලාව මට මහත් පිටිවහලක් වුණා.

වීදි නාට්‍යයේදි හඬ උච්චාරණය, ඇඳුම් පැලඳුම් වඩා වැදගත් නේද?

ඉලෙක්ට්‍රොනික හඬ උත්පාදන යන්ත්‍ර නැති නිසා ස්වභාවික හඬ තීව්‍ර කර ගැනීම බොහෝ වටිනවා. ක්ලිප් ඔන් මයික් වුණත් භාවිතා කරන්න විශාල වියදමක් යනවා. වීදි නාට්‍යවලට ගැළපෙන විදිහට ඇඳුමක් සකසාගන්න නම් නළුවන් දන්නවා. සමහරවිට එකම නළුවෙකුට හෝ නිළියකට චරිත කිහිපයක් කිරීමට සිදුවන නිසා සරල සැහැල්ලු ඇඳුම් භාවිතා කළ යුතුයි.

හත්තොටුවේගමයන්ගෙන් පසු වීදි නාට්‍ය කලාවට කණකොකා හැඬුවායැයි බොහෝ දෙනා කීවද ඔහුගෙන් පන්නරය ලත් සමරු පතිරණ, එරංග ප්‍රනාන්දු, දීපානි සිල්වා, නිහාල් සුරංජි, රවි ප්‍රනාන්දු, උපුල් මායාදුන්නේ, උපාලි වීරසිංහ, අමරදාස හීනුක්වැව, රංජිත් කිවිසිගමුව, සමන් හේමරත්න, යහෝධා ලක්ෂානි, නිමල් චන්ද්‍රසිරි, සඳුන් කුඹුරුතැන්න ඇතුළු තවත් පිරිසක් එම ක්ෂේත්‍රයේ යෙදී සිටිති.

ජනතා වේදිකා, විවෘත කලාකවය, ධාරණ, මීරිගම බිඟුසර, ගාලුනඩය, දිරියි කැදැල්ල, හබරාදූව සුභාවි, හොරණ ස්වාධීන වීදි නාට්‍ය කණ්ඩායම, බද්දේගම වීදි නාට්‍ය කණ්ඩායම, ජනතාවබෝධ කේන්ද්‍රීය (ජනතා සංස්කෘතික එකතුව) ඌව ප්‍රජා මධ්‍යස්ථානයේ පස්සර කණ්ඩායම, පදවිය කණ්ඩායම, වවුනියාව කණ්ඩායම, ස්ත්‍රී මධ්‍යස්ථානයේ කලාපයේ අපි වීදි නාට්‍ය කණ්ඩාම, ස්ත්‍රී මධ්‍යස්ථානය බියගම, ජ‘පුර පරපුර, සෞඛ්‍ය ප්‍රශ්න දැනුවත් කිරීමේ කණ්ඩායම, සමාජවාදී කලා සංගමය, ළමා කාන්තා අයිතිවාසිකම් සහ මානව හිමිකම් දැනුවත් කිරීම පිළිබඳ කණ්ඩායම, රඹේ සංස්කෘතික මධ්‍යස්ථාන කණ්ඩායම, ගංගොඩේ අප කණ්ඩායම, ස්වාධීන සංස්කෘතික සාමූහිකය, අලුත්පාර කණ්ඩායම, රංගකලා කවය, උඩරට ගැමි කාන්තා පෙරමුණ, අපේ වීදි නාට්‍ය කණ්ඩායම ආදී වීදි නාට්‍ය කණ්ඩායම් රැසක් දිවයින පුරා තම මෙහෙවර නිහඬව කරගෙන යති.

 

Comments