රැකියා දෙන කෙනෙක් වීමේ සිහි­නය සැබෑ කර­ගත්තා | සිළුමිණ

රැකියා දෙන කෙනෙක් වීමේ සිහි­නය සැබෑ කර­ගත්තා

 හැම­දාම ලෝකේ වෙනස් දේවල්, අලුත් දේවල් කළේ පොඩි මිනිස්සු... මම දරු­වන්ට නිත­රම කියන්නේ හිත් පුංචි කර­ගන්න එපා කියලා...
 

අමා­රු­වෙන්  තැනක් හොයා­ගෙන පන්තිය පටන් ගත්තත් දෙවැනි දවසේ යන­කොට පන්තියේ වහලා, ළමයි ටික පාරේ... 

 

 පුංචි කාලේ  අයි­යයි මමයි මැරුණු සත්තු ගෙදර ගෙනත් පරී­ක්ෂණ කර­නවා
 
 
දහය වස­රේදී  අයි­යත් එක්ක පොළට ගිහින් පොල් විකු­ණන ව්‍යාපා­ර­යක් පටන් ගත්තා... 
හංවැල්ල, මහ­ර­ගම පොළ­ව­ල්ව­ලත් පොල් විකිණුවා...
 
තාත්තාගේ හදිසි වියෝ­වෙන් අපේ පවුලේ ආර්ථි­කයේ විශාල පසු­බෑ­මක් ඇති වුණා...
 
 

“ලෝකය වඩාත් සුන්දර කරන්නේත් අරුත් ගන්වන්නේත් වෙනස් විදිහට හිතන මිනිස්සු” යන කියමන යථාර්ථයක් කළ මිනිසුන් විවිධ ක්ෂේත්‍රයන්හිදි අපට හමුවේ. එවැනි මිනිසුන්ගේ දිවි සැරිය තුළ ගැබ්ව ඇත්තේ අපූර්ව චමත්කාරයකි. එවැනි දිවිසැරියක් සහිත මිනිසකුට ‘ගුරුවරයා’ නමැති විශිෂ්ට භූමිකාවද එක් වූ විට එය අමිල වටිනාකමකි. සිසු නැණ පහන් දැල්වූ එවැනි විශිෂ්ට ගුරුවරුන් සොයා යන චාරිකාවේදී මෙවර අපගේ නැවතුම වූයේ මෙරට ජනප්‍රියතම භෞතික විද්‍යා ගුරුවරයකු වන ආචාර්ය අමිත් පුස්සැල්ලගේ දිවි මංසල යි.

 

“ දැනුම් තේරුම් තියෙන වයසේ ඉඳන් මගේ හිතේ තිබුණේ කවදහරි මම රැකියාවක් කරන කෙනෙක් වෙනුවට රැකියා දෙන කෙනෙක් වෙනවා කියන අදහස. මම හිතන්නේ ඒ හැඟීම තමයි ව්‍යවසායකයෙක් වෙන්න පාර හැදුවේ. මේ වෙද්දි මගේ ආයතනය හරහා ඍජුව සහ වක්‍ර 100කට පමණ රැකියා අවස්ථා දී තිබෙනවා. එය මට විශාල සතුටක්. ගුරුවරයකු වීම ගැන මම ඊටත් වඩා විශාල සතුටක් ලබනවා. මුදල්වලට උගන්වන නිසා ඇතැම් අය උපකාරක ගුරුවරුන් දෙස බලන්නේ පටු ආකල්පවලින්. නමුත් මේ දක්වා සාධාරණව සහ අවංකවම ඉගැන්වීමේ නිරත වූ නිසයි ක්ෂේත්‍රයේ ස්ථාවර වීමටත් විශාල සිසු පිරිසකගේ ආදරය සහ විශ්වාසය ලබන්නට හැකිවුණේ. එම නිසා ගුරුවරයකු වීම ගැන මම සලකන්නේ විශාල භාග්‍යයක් ලෙසයි”

ඒ සතුට ඔහු කැපවීමෙන් සහ උත්සාහයෙන් හිමිකරගත්තකි. ඒ සඳහා මාවත සැකසුණු ආකාරය ආචාර්ය අමිත් පුස්සැල්ල අප සමඟ බෙදාගත්තේ නිහතමානීවය. හෝමාගම ප්‍රදේශයේ සුන්දර ගමක මධ්‍යම පාන්තික පවුලක උපන් ඔහුගේ පියා ව්‍යාපාරිකයෙකි. මව ගෘහණියකි. වැඩිමහල් සහෝදරයකුට සහ බාල සහෝදරියකට මැදිව පවුලේ දෙවැනියා ලෙස උපන් අමිත් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ පහත්ගම රෝමානු කතෝලික කනිටු විද්‍යාලයෙනි. නිවෙස අසලින් ගලා බසින කැලණි නදියත් සුන්දර ගැමි පරිසරයත් පුස්සැල්ල දරුවන්ගේ ළමා වියට සුන්දරත්වයක් එක් කළේ සොබාදහමට ඔවුන් වඩාත් සමීප කරමිනි. එහෙත් ඒ සුන්දර, සැහැල්ලු දිවිය කණපිට හැරෙන්නේ පියාගේ හදිසි වියෝවත් සමඟය.

“එතකොට මම තුනේ පන්තියේ. මගේ අයියා හයේ පන්තියේ. නංගි ගොඩක් පොඩියි. තාත්තාගේ වියෝවෙන් අපේ පවුලේ ආර්ථිකයේ විශාල පසුබෑමක් ඇති වුණා. තාත්තාගේ පවුලේ ඥාතීන් අපට ගොඩක් උදවු කළා. ඒකට හේතුව මගේ තාත්තා හැමෝටම උදවු කළ, මනුස්සකමින් පිරිපුන් පුද්ගලයකු වීමයි. තාත්තා වැවූ රබර් ඉඩමත් අපේ ආදායම් මාර්ගය වුණා. තාත්තා ඉන්න කොට තාත්තගේ ලොරියෙන් ගමන් බිමන් ගිය අපි ඊට පස්සේ ගියේ පයින්. ඒ හැමදේටම අපි ටිකින් ටික හුරුවුණා.

ඔහොම කාලයක් යද්දී භීෂණ කාලේ පාසල් වැහුණු නිසා අපේ ඉගෙනීමත් අඩාළ වුණා. වහින කාලෙට රබර් වත්තේ කිරි කපන්න බැහැ. ඒ ආදායම නැති වුණාම අම්මා අපි තුන්දෙනාව ජීවත් කරවන්න ලොකු වෙහෙසක් ගත්තා. මට මතකයි ඒ කාලේ අම්මා පොල් අතු වියනවා. ගේ ළඟ තිබුණු ඇළට පොල් අතු දාලා ඒවා පොඟවන්න මායි අයියයි අම්මට උදවු කළා. මම දහයේ පන්තියේ විතර ඉන්නකොට මමයි අයියයි අවට ඉඩම්වලින් පොල් අරගෙන පොළවල්වලට ගිහින් විකුණන පොඩි ව්‍යාපාරයක් පටන් ගත්තා. හංවැල්ල, මහරගම පොළවල්වල මම ඒ විදිහට පොල් විකුණලා තියෙනවා. විකුණන්න බැරි පොඩි පොල් වේළලා කොප්පරා කරන්න අපි ගෙදර පැත්තක මඬුවකුත් හදගත්තා.

ඒ මොන දේ කළත් ඉගෙනීමේ වටිනාකම ගැන අපිට ලොකු හැඟීමක් තිබුණා. අම්මා හැම වෙලාවෙම අපිට ලොකු හයියක්, ආශිර්වාදයක් වුණා. තාත්තා නැති වුණේ තරුණ කාලේදිම වුණත් අම්මා දෙවැනි විවාහයකටවත් නොගිහින් අපි වෙනුවෙන් විශාල කැපකිරීමක් කළා. අම්මාගේ සෙනෙහස, රැකවරණය අපිට මිල කරන්න බැරි සම්පතක් වුණා.”

ආචාර්ය අමිත් ඒ සෙනෙහසට කෘතවේදී වන්නේ බොහෝ හැඟීම්බරවය. මවගේ අපරිමිත කැපකිරීමේ ප්‍රතිඵල නෙළාගන්නට පුස්සැල්ල දරුවන් සමත් වී සිටීම ඒ මෑණියන් ලද භාග්‍යයක් වැනිය. ආචාර්ය අමිත් පුස්සැල්ලගේ වැඩිමහල් සොහොයුරු කපිල පුස්සැල්ල මේ වන විට එංගලන්තයේ විශේෂඥ වෛද්‍යවරයෙකි. ආචාර්ය අමිත් පුස්සැල්ල නුගේගොඩ ‘සැසිප්’ උසස් අධ්‍යාපන ආයතනයේ සභාපතිවරයාය. නැඟණිය සහ ඇගේ සැමියාද ව්‍යාපාරය සඳහා විශාල සහයෝගයක් දක්වන බව කී ආචාර්ය අමිත් පුස්සැල්ල තමා ආ මාවත සිහිකරන්නේ නිහතමානී ආඩම්බරයකිනි.

“ සාමාන්‍ය පෙළ පන්තියේ සිට මම ඉගෙන ගත්තේ කඩුවෙල බෝමිරිය ජාතික පාසලේ. උසස් පෙළ සමත් වෙලා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. උසස් පෙළ අවසන් වුණාට පස්සේ මම හෝමාගම, අතුරුගිරියේ සති අන්තයේ සාමාන්‍යපෙළ දරුවන්ට ගණිතය ඉගැන්වුවා. මගේ අයියා ඒ කාලේ විශ්වවිද්‍යාල සිසුවෙක්. ඔහුත් ඒ කාලේ උසස්පෙළ ළමයින්ට භෞතික විද්‍යාව උගන්වනවා. දවසක් අයියට පන්තියක් කරන්න එන්න බැරිවුණ නිසා මට ඒ පන්තියේ ළමයින්ට උගන්වන්න සිදුවුණා. එදා තමයි මම භෞතික විද්‍යාව ඉගැන්වූ පළමු දවස. නමුත් මම ඒක හොඳින් කළ නිසා ඒ උපකාරක පන්තිය භාරව සිටි අනුර බටගොඩ සර් කිව්වා මට දිගටම ඒ පන්තිය කරන්න කියලා. ඒක තමයි මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය.

ඒ නිසා මටත් උගන්වන්න ආශාවක් ඇතිවුණා. පුංචි කාලේ ඉඳල ඒ විෂයය ගැන ආශාවක් තිබුණා. ඒකට එක හේතුවක් වුණේ මගේ අයියා පුංචි කාලේ ඉඳලා වෛද්‍යවරයෙක් වෙන බලාපොරොත්තුවෙන් පසුවීම. ඒ කාලේ අපි සතෙක් මැරිලා හිටියත් ඒ සතාගේ ඇටකටු ගෙනත් බලනවා, පරීක්ෂණ කරනවා. මම මුලින්ම ඉගැන්නුවේ සාමාන්‍යපෙළ දරුවන්ට. ඊට පස්සේ තමයි උසස්පෙළ දරුවන්ට භෞතික විද්‍යාව උගන්වන්න පටන් ගත්තේ. ඒ සඳහා අනුර පද්මකුමාර, අනුර බටගොඩ කියන ගුරුවරුන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. 1997දී මම මුලින්ම අතුරුගිරියේ පන්තිය පටන් ගත්තේ ළමයි හත්අට දෙනෙක්ගෙන්. ළමයි ටික ටික වැඩිවෙද්දි එතැන ඉඩ නැතිවුණු නිසා ඒ කිට්ටුවම කාමර කෑල්ලක් අරන් පන්තිය පටන් ගත්තා. ඊට පස්සේ නුගේගොඩ රොටරියේ පන්ති පටන් ගත්තා. ඒ හැම ආයතනයකම හිමිකරුවන්ගෙන් ලොකු සහයෝගයක් ලැබුණා.”

ඉවසීමෙන් සහ කැපවීමෙන් ඇරඹූ වෘත්තීමය ජීවිතය තුළ තමන්ටම ආවේණික ලකුණක් තබන්නට ආචාර්ය අමිත් පුස්සැල්ලට හැකිවිය. දිනෙන් දින ඔහු වෙත එන සිසුන් සංඛ්‍යාව වැඩිවෙද්දී විද්‍යාගාර පහසුකම් සහිත උසස් අධ්‍යාපන ආයතනයක් ඇරඹීමේ සිහිනය ඔහුගේ හදවතේ ලියලන්නට විය.

“ ඒ ගමන ලේසි වුණේ නැහැ. අමාරුවෙන් තැනක් හොයා ගෙන පන්තිය පටන් ගත්තා. නමුත් දෙවැනි දවසේ යනකොට පන්තියේ ගේට්ටුව වහලා, ළමයි ටික පාරේ. ලොකු දුකක්, කලකිරීමක් දැනුණා. ඒ කාලේ මම යන්නෙ එන්නේ මෝටර් සයිකලේ. පන්ති කරන්න මටම කියලා තැනක් හදාගන්නෝනි කියලා මම එදා දැඩිව අධිෂ්ඨාන කරගත්තා. ඉඩම් හෙව්වට සල්ලි ගොඩක් තිබුණේ නැහැ. නමුත් කොහොම හරි ඒ දේ කරනවා කියන අධිෂ්ඨානය හිතේ ලොකුවටම තිබුණා. අන්තිමට මගෙන් ඉගෙන ගත්ත දරුවෙක් ඇවිත් කිව්වා නුගේගොඩ ඉඩමක් තියෙනවා කියලා. ඒ වෙද්දි මම පදිංචියට නුගේගොඩ ඉඩමක් අරගෙන තිබුණේ බැංකු ණයක් වෙලා. නමුත් බැංකු එක්ක ගනුදෙනු හරියට කළ නිසා අර ඉඩම ගන්නත් බැංකුවෙන් උදවු ලැබුණා. ඒ 2002දි විතර. ”

උසස් පෙළ භෞතික විද්‍යා ගුරුවරයකු ලෙස ආචාර්ය අමිත් පුස්සැල්ලගේ වෘත්තිය ජීවිතයට වසර 24ක් වන අතර උපකාරක පන්ති ගුරුවරයකු ලෙස සම්පූර්ණ වෘත්තීය ජීවිතය දශක තුනක් සපුරා ඇත. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිසු දරුවන් මුහුණ දෙන අභියෝග ගැන ඔහු මෙසේ කීවේය.

“පාසල් ජීවිතය දරුවකුට ඉතා වටිනවා. මම පෝෂණය ලැබුවෙත් පාසල තුළින්. විෂය කරුණුවලින් විතරක් දරුවකුගේ සම්පූර්ණ පෞරුෂය ගොඩනැඟෙන්නේ නැහැ. බාහිර කුසලතා, ක්‍රීඩාව තුළින් දරුවකුගේ පෞරුෂයට ලැබෙන ආලෝකය ඉතා ප්‍රබලයි. පවතින තත්ත්වය තුළ විභාගවලට පෙනී සිටින දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය තුළින් යම් මට්ටමකට යැපෙන්න පුළුවන්. නමුත් පාසල තුළින් ලැබෙන පන්නරය ඉතා සුවිශේෂියි. ගමේ පාසලක් වුණත් නගරයේ පාසලක් වුණත් එහි වෙනසක් නැහැ. ”

ජීවිතය තුළ හමුවූ අභියෝග පිළිබඳ ආචාර්ය අමිත් පුස්සැල්ලගෙන් විමසුවේ ඔහුගේ ජීවිත දැක්ම තුළ අනාගත පරපුරට සුබවාදී දැක්මක් ගැබ්ව ඇති නිසාය.

“අභියෝග අපි කාටත් ඕනෑම ක්ෂේත්‍රයකදි හමුවනවා. නමුත් කරන්න බැහැ කියලා දෙයක් නැහැ. සමහර වෙලාවට අපේ දරුවො හිතනවා තමන් ඉගෙන ගන්නේ පොඩි ඉස්කෝලෙක නම්, ජීවත් වෙන්නෙ ගමක නම් ලොකු දේවල් කරන්න බැහැ කියලා. ඒක වැරදි අදහසක්. හැමදාම වෙනස් දේවල්, අලුත් දේවල් කළේ පොඩි මිනිස්සු. මම දරුවන්ට නිතරම කියන්නේ තමන්ගේ හිත් පුංචි කරගන්න එපා කියලා. බය නැතිව හරි දේ හරියට කරන්න. මම හැමදාම ජීවත් වුණේ මා පිළිබඳ විශ්වාසයෙන්. පවුලෙන් විශේෂයෙන් මගේ අම්මගෙන්, අයියගෙන් මගේ ජීවිතේට ලොකු එළියක් ලැබුණා. මට මතකයි උසස් පෙළ භෞතික විද්‍යා පන්තියේදි මොහාන් ලාල් ග්‍රේරු සර් නිතරම කියනවා සමාජයට සේවයක් වෙන්නේ ආත්මාර්ථකාමීත්වය තුළින් කියලා. එතුමා එයින් අදහස් කළේ වැරදි අදහසක් නෙවෙයි. තමන් ගැන හිතලා කෙනෙක් ඉදිරියට යන විට ඔහුගේ සහායට තවත් පිරිසක් අවශ්‍ය වෙනවා. ඒ තුළින් තමන්ගේ සාර්ථකත්වය වගේම අනුන්ගේ සාර්ථකත්වයක් ඇති වෙනවා කියන අදහසයි එතුමා පැවසුවේ. හැම ක්ෂේත්‍රයක්ම තරගකාරියි. නමුත් තරගයට බයේ සැඟවිලා ඉන්න බැහැ. ඊට මුහුණ දීම තුළයි ජයග්‍රහණය හිමිකර ගත හැක්කේ”

ඔහුගේ ඒ සියල්ල සිය ජීවිතයෙන් සනාථ කළ අයෙකි. දැනුමින්, කුසලතාවෙන් සහ යහපත් ආකල්පවලින් පිරිපුන් අනාගත පරපුරක් තුළින් රට ගොඩනැඟිය හැකි බව ආචාර්ය අමිත් පුස්සැල්ල නිබඳවම විශ්වාස කරයි.

“අපේ රට තුළ ඕනෑ තරම් අවස්ථා තිබෙනවා. ඉතා දක්ෂ මානව සම්පතක් වගේම වටිනා භෞතික සම්පත් රැසක් අපේ රට සතුයි. අපේ දරුවන් ඉතා දක්ෂයි. ඔවුන්ගේ නිර්මාණත්මක හැකියාව දියුණු කරන පර්යේෂණ ආයතන අවශ්‍යයයි. නිර්මාණශීලී හැකියාවෙන් ජාත්‍යන්තර දිනන්න අපේ දරුවන්ට පුළුවන්. ඒ සඳහා නිදහස, භාෂා දැනුම සහ යහපත් ආකල්ප දියුණු කරගැනීමට දරුවන්ට අවස්ථාව සලසා දිය යුතුයි. මගේ හිතේ බලාපොරොත්තුවක් තිබෙනවා අපේ දරුවන්ට නිදහසේ පර්යේෂණ කළ හැකි පර්යේෂණ ආයතනයක් ස්ථාපිත කරන්න. එවැනි ක්‍රමයක් තුළ වසර පහකින් මේ රට ගොඩනැඟිය හැකියි.”

ඔහු පවසන්නේ අනාගතය පිළිබඳ සුබ සිහින දකිමිනි. ඒවා හුදෙක් තමා වෙනුවෙන් නොව රට වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් දකින සුබ සිහිනය.

ආචාර්ය අමිත් පුස්සැල්ලගේ ජීවන අත්වැල බිරිය මුදිතා පුස්සැල්ල ය. ඔවුන් දෙපළගේ එකම පුතු නෙතුම් මේ වන විට ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ විද්‍යාවේදී උපාධිය හැදෑරීමට සූදානමින් සිටී. ජීවිතයේ සාර්ථකත්වයට බිරියගෙන් ලැබෙන සහයෝගය ඔහු සිහිපත් කළේ දයාර්ද්‍ර සිතිනි.

“ ඇයත් මමත් හමු වුණේ උසස්පෙළ කරන අවධියේදී. එදා සිට මේ දක්වා මගේ ජීවිතයට ඇයගෙන් ලැබුණු ශක්තිය අපමණයි. මුල් කාලයේ අපට ලොකු සම්පත් තිබුණේ නැහැ. ඒ වගේම උපකාරක පන්ති ගුරුවරයෙක් කියන්නේ විශාල කැපකිරීමක් කරන කෙනෙක්. සති අන්තයවත් පවුල සමඟ ගෙවන්න විවේකයක් නැති කෙනෙක්. නමුත් ඇය මුල සිටම මාවත් වෘත්තියත් මනාව තේරුම් ගත්තා. ඒ අවබෝධය, සහයෝගය නොවන්නට මේ ගමන සාර්ථක වන්නේ නැහැ.”

භෞතික සැප සම්පත් සියල්ලට ඉහළින් පවුලේ සතුට, සැනසුම අත්විඳින සැමියකු, පියකු ලෙස ආචාර්ය අමිත් පුස්සැල්ල ජීවිතය දකින්නේ එවැනි මානුෂීය ගුණදම් ඔස්සේය. ඒ නිසාම පසුකොට ආ ජීවිත මඟ සලකුණු ඔහු සිහිකරන්නේ ප්‍රීතියෙනි;සැනසීමෙනි. ජීවිතය පිළිබඳ අතිශය තෘප්තිමත් මිනිසකු වන ඔහු අනාගත පරපුරට මඟ කියන්නේද ඒ පහන් සිතිනි.

Comments