Uber Eats ලංකාවට හඳුන්වා දී වසර දෙකයි | Page 2 | සිළුමිණ

Uber Eats ලංකාවට හඳුන්වා දී වසර දෙකයි

Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි

 

 

 ලොව පුරා පාරිභෝගිකයන්ගේ හදවත් දිනාගත් Uber Eats ශ්‍රී ලංකාව තුළ දියත් කෙරුණේ මීට වසර 2 කට පෙරදී ය. එය ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය මූලික කරගත් ආහාරපාන සේවා ක්ෂේත්‍රයේ දැවැන්ත පෙරළියකට තුඩුදුන් පියවරක් වූ අතර, පාරිභෝගිකයන්ට ආහාරපාන වර්ග රාශියක් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමට අමතර එය විශාල පිරිසකට නම්‍යශීලී ආදායම් මාර්ගයක්ද නිර්මාණය කර දී තිබේ.

ශ්‍රී ලංකාව තුළ සිය දෙවැනි සංවත්සරය සැමරීම සම්බන්ධයෙන් Uber Eats Sri Lanka ප්‍රධානී භාව්නා දද්ලානි අදහස් දැක්වූයේ මෙසේ ය.

ශ්‍රී ලංකාවේ Uber Eats සේවාවට වසර 2 ක් සපිරෙන මේ මොහොතේ ඔබ ලබාගෙන ඇති ප්‍රගතිය ගැන තෘප්තිමත්ද?

2018 ඔක්තෝබර් මාසයේ අප මුලින්ම සේවා පටන් ගත්තේ කොළඹ ප්‍රදේශය තුළයි. ඉන්පසු ගතවූ වසර 2 තුළ අප කොළඹට අමතරව මහනුවර හා මීගමුව යන ප්‍රදේශ වලට සේවා ව්‍යාප්ත කළා. වර්ධනය සම්බන්ධයෙන් අපට වඩාත් වැදගත් වන දර්ශකය වන්නේ, පුද්ගලයන් හා කුඩා පරිමාණ ව්‍යාපාර කෙතරම් සංඛ්‍යාවකට අත්වැලක් වීමට අපට හැකිවුණාද යන්නයි. පසුගිය වසර 2 තුළ ඇණවුම් මිලියන 10 ක් ලැබීම යනු, පාරිභෝගික හදවත් දිනාගැනීමට අප කෙතරම් දුරකට සමත් වී ඇද්ද යන්න පිළිබඳ මනා සාක්ෂියක්. මේ වනවිට කුරියර් සේවා හවුල්කරුවන් 8,000 කට වැඩි පිරිසක් අප සමඟ එක්වී සිටිනවා.

මෙරටට හඳුන්වා දුන් ප්‍රථම අන්තර්ජාල ආහාරපාන සේවාව වූයේ Uber Eats. මේ වෙළඳපොළ සකසා ගැනීම දුෂ්කර වුණාද?

ශ්‍රී ලංකාවේ ආහාරපාන ඩිලිවරි සේවා කර්මාන්තයට තව විශාල දුරක් යා හැකියි. අප තවමත් සිටින්නේ එහි ආරම්භක අදියරේ බව අප විශ්වාස කරනවා.

නව තාක්ෂණය ඔස්සේ නව අවස්ථා සොයා යමින් ආපනශාලා හිමියන්, ප්‍රවාහන සේවා සහකරුවන් සහ පාරිභෝගිකයන් යන සියල්ලන්ටම ප්‍රතිලාභ සැලසෙන පසුබිමක් සැකසීමට අපට අවශ්‍යයි.

පාරිභෝගිකයන් දිනෙන් දින ක්ෂණිකව සේවා ලබාගත හැකි ජංගම ආර්ථිකයක් වෙත යොමුවෙමින් සිටිනවා.

Uber Eats App මගින් ආහාර ඇණවුම් කිරීමේදී ලැබෙන පහසුවට ඔවුන් ඇලුම් කරන්නේ ඒ නිසයි. අප ශ්‍රී ලංකාවේ ඩිලිවරි සේවා අභියෝග වලට විසඳුම් සපයමින් සිටින සිටින ශ්‍රී ලාංකික කණ්ඩායමක්. අපි හැදී වැඩුණු ගම් නගරවලටම සේවා සපයන්නට ලැබීම අප ලැබූ විශාල ගෞරවයක් කියා අප සිතනවා. Uber Eats යනු සෑම විටම වගකීම් සහගත ලෙස කටයුතු කරන සමාගමක්. ඒ වගේම අප සෑම විටම අදාළ සියලුම සම්ප්‍රදායන් හා නීතිරීති වලට අනුකූලව කටයුතු කරනවා.

ශ්‍රී ලංකාවේ වෙළඳපොළට Uber Eats ගළපා ගත්තේ කෙ‍ෙලසද?

ශ්‍රී ලංකාවේ වෙළඳපොළ බොහෝ අංශ වලින් අනික් වෙළඳපොළවලට සමාන වුවත් එහි සුවිශේෂී ලක්ෂණ රාශියක් තිබෙනවා. රටේ බොහෝ ප්‍රදේශ වලට තවමත් මෙම සේවා ව්‍යාප්ත වී නැහැ. දත්ත වලට මුල්තැන දෙන සමාගමක් ලෙස, අපට තව බොහෝ පුළුල් වීමට ඉඩකඩ ඇති බව අපට පෙනෙනවා. ඒ සම්බන්ධයෙන් අප දැනටමත් සැලසුම් සකස් කර තිබෙනවා. ඒවා ක්‍රියාත්මක කිරීමට ආසන්න වූ විට රටට හෙළි කරන්නම්.

මේ දක්වා Uber Eats ලැබූ විශාලතම ජයග්‍රහණය කුමක්ද?

අප සිතන ආකාරයට, දුෂ්කර අවස්ථාවලදී වැදගත් කාර්යභාරයන් ඉටුකිරීමට හැකිවීම තමයි අප ලද විශාලතම ජයග්‍රහණය. පාස්කු ප්‍රහාරයට පසු අපි ආපනශාලා වලට යළි නැඟී සිටීමට උදව් කළා.

COVID-19 ඇඳිරි නීතිය පැනවූ අවස්ථා වලදී පාරිභෝගිකයන්ට වගේම හවුල්කරුවන්ටත් අත්වැලක් වෙමින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ ක්‍රම සකස් කිරීමට පියවර ගත්තා.

කුරියර් සේවා හවුල්කරුවන්ට ශක්තියක් වීමට ඔවුන්ට සන්තෝසම් ලබාදීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නා. ඇඳිරිනීතිය පවතින කාලයේ පවා, දුෂ්කරතාවලට මුහුණ දුන් ජනතාව අතර රු. මිලියන 8.5 ක පමණ වටිනාකමකින් යුත් වියළි ආහාර බෙදාදීම සඳහා රජය සමග එක්ව කටයුතු කළා. වගකීම් සහගත ව්‍යාපාරයක් ලෙස අප සෑම විටම ජනතාවගේ යහපත වෙනුවෙන් කටයුතු කරනවා. ඒ වගේම රටේ අන්තර්ජාල ආහාරපාන කර්මාන්තය වෙනස් කරමින්, ශ්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් විවිධාකාරයේ ආහාරපාන ඇණවුම් කිරීමට හැකි පුළුල් පදනමක් නිර්මාණය කිරීමට හැකිවීම අපට මහත් සතුටක්.

කාන්තාවන්ට රැකියාවේදී සමතැන් ලැබිය යුතු බව අප විශ්වාස කරනවා. මෙය අපගේ කුරියර් සේවා හා ආපනශාලා හවුල්කරුවන්ටත් අදාළයි.

‘දිවියට දිරිය’ වැඩසටහන යටතේ අප කුරියර් සේවා වලට සම්බන්ධ වීමට මෙන්ම, තමන්ගේම ආපනශාලා විවෘත කිරීමට උනන්දු වුණු කාන්තාවන් රැසකට දොරටු විවර කර දී තිබෙනවා. මේ අය අතරින් බොහෝ දෙනකු සමග පුද්ගලිකව කතාබහ කිරීමට මට අවස්ථාව ලැබුණා. හැම විටම අපට ඔවුන්ගෙන් ඉගෙන ගැනීමට අලුත් දේවල් තිබෙනවා.

මේ අතරින් අපගේ කුරියර් සේවාවන්ට සම්බන්ධ වී සිටින ෂර්මිලාගේ කතාව මට විශේෂයි. ඇයට මෙම සේවාවෙන් මුදල් ඉතිරි කර ත්‍රිරෝද රථයක් සහ යතුරුපැදියක් මිලදී ගැනීමට හැකිවී තිබුණා. මෙවැනි අවස්ථා ලබා දෙන ක්‍රමවේදයක කොටස්කාරියක වන්නට ලැබීම මට ආඩම්බරයක්.

දැන් අප සමඟ සම්බන්ධ වී සිටින කාන්තාවන් සංඛ්‍යාව 1,000 කට ආසන්නයි.

ඉදිරි වසර 1 ත් 5 ත් අතර කාලය Uber Eats ප්‍රගතිය මොන වගේ වේවිද?

ඉදිරියේදී තවත් බොහෝ පුද්ගලයන්ටත්, ව්‍යාපාර වලටත් අත්වැලක් වෙන්නට අපට හැකි වේවි. එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වඩාත් පුළුල් හා ශක්තිමත් දායකත්වයක් ලබා දෙන පියවරක් වේවි.

Comments