ගුව­නින් සෙවණ සැදුණු කනු­ග­හ­වැ­ව | සිළුමිණ

ගුව­නින් සෙවණ සැදුණු කනු­ග­හ­වැ­ව

ඩබ්ලිව් එම් සුජා­නිගේ නිවෙස
ඩබ්ලිව් එම් සුජා­නිගේ නිවෙස

1989 වසරයි. උසස් පෙළ විභාගයෙන් පසුව උතුරුමැද පළාතේ දුෂ්කර ගම්මානවල දහම්පාසල් දරුවන්ට පුස්තකාල පහසුකම් ලබාදීමේ අරමුණින් මම එම දුෂ්කර ගම්මානවල සැරිසැරුවෙමි. දිනක් මැදවච්චිය දුම්රිය ස්ථානයේදී හඳුනාගත් හිමිනමක් පැවසුවේ කැබිතිගොල්ලෑවේ ඉතා දුෂ්කර ගම්මානයක් වන කනුගහවැව තමන් වහන්සේ වැඩසිටින බවත් එම ප්‍රදේශයේ දරුවන්ට යමක් කරන්නේ නම් අගනා බවයි.

විහා­ර­ස්ථා­නයේ ඉදි කිරීම්

උන් වහන්සේට එන බව දන්වා පසු දිනක පැමිණි මම කැබිතිගොල්ලෑවේ සිට කැඩී බිඳී ගිය බොරලු මාර්ගයේ ගමන් කෙළේ ස්වාමීන් වහන්සේ විසින් මා කැටුව යාමට එවන ලද ගැමියෙකුගේ බයිසිකලයේ පිටුපස නැගීගෙනය. කිලෝමීටර් 10කට ආසන්න දුරක් ගැස්සි ගැස්සී ගමන් කළ මම දින ගණනක් එහි ප්‍රතිඵල අත්වින්දෙමි.

ගම්මානයේ සියලුම ගෙවල් දිගින් අඩි 15ක් හෝ 18ක් පමණ වූ අතර පළලින් අඩි 10ක් හෝ 12ක් පමණක් විය. ඔවුන්ගේ සබ්බ සකල මනාවම එහි ඇතුළත් විය. බොහෝ නිවාසයට දොරවල් තිබුණේද නැත. සතුන් එනවාට රාත්‍රියට වසා දමන දොර පැළැල්ලකි.

යුද්ධය අවසන් වීමත් සමඟම සියලු පළාත් සංවර්ධනය වු නිසා එම ගම්මානයද සංවර්ධනය වන්නට ඇතැයි මම සිතුවෙමි. එහෙත් පසුගියදා මට හමු වූ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණයන් පැවසුවේ කනුගහවැව ගම්මානය තවමත් එලෙසින්ම පවත්නා බවයි.

එමනිසා ගුවන් හමුදාවේ වසර 70ට එම ගම්මානය සංවර්ධනය කිරීමට ගුවන් හමුදාව විසින් කටයුතු කරනු ලබන බවද ඔහු පැවසුවේය.

පසුගිය දින ජනපති ප්‍රධානත්වයෙන් කනුගහවැවදි පැවති ‘ජනපති ගම සමඟ පිළිසඳර’ වැඩසටහනේදී ජනපති දුන් උපදෙස් අනුව මෙම ගම සංවර්ධනය කෙරේ.

එම සංවර්ධන ක්‍රියාවලියේ ප්‍රගතිය බැලීම පිණිස අපි කනුගහවැව බලා ගියෙමු. වසර 32කට පසුව සංවර්ධනයේ අරුණලු ගම්මානයට වැටී තිබුණි. මාර්ග

රොහාන් සංජීව තමාට තැනෙන නව නිවෙස ඉදි­රියේ

කාපට් වී ඇත; විදුලියද ලැබී ඇත. පොල් අතු සෙවිලි කළ කනුගහවැව පාසලට අලුත් ගොඩනැගිලි ලැබී ඇත. එහෙත් වසර 32කට පෙර මා දුටු කුඩා නිවාස බහුතරයක් එසේම ඒ තත්ත්වයෙන්ම පවතී. පරම්පරා දෙක තුනකගේ ජීවිතවලට නම් ඒ සංවර්ධනය දැනී තිබුණේ නැත.

ගුවන් හමුදාව මේ ගම්මානයේ නිවාස 70ක් පළමු අදියර යටතේ තනා නිම කරන්නට කටයුතු කරනු ලබන අතර එයින් නිවාස 13ක් මේ වන විට පූර්ණ ලෙසින් තනා නිම කිරීමේ අවසන් අදියරට පැමිණ ඇත. එක් නිවසක් ඉදි කරන්නට අමුද්‍රව්‍ය වෙනුවෙන් පමණක් ගුවන් හමුදාව වැය කරන මුදල රුපියල ලක්ෂ 15කි. ඊට වැඩි ශ්‍රම දායකත්වයක් ගුවන් හමුදාවෙන් හිමි වේ.

තුන් බියෙන් ඇලළුණු කනුගහවැව ගම්මානයේ ජනතාවට ලහිලහියේ තැනෙන මේ නිවාස දිව්‍ය විමන් වී ඇත. හේ ජනතාවට එක් පැත්තකින් ජලය නැතිව විඳින දුක් සහිත බියකි. තවත් පැත්තකින් වන අලි බියයි. තමන් දුක් මහන්සියෙන් වගා කර ගන්නා භෝගයන් කුමන හෝ උපද්‍රවයකින් විනාශ වී යනු ඇතැයි දැනෙන බිය තෙවැන්නයි.

ගම්මානයේ පවුල් සංඛ්‍යාව 317කි. එයින් බහුතරයක්ම ගොවිතැන් බත් කරමින් දිවි ගෙවන්නෝ වෙති. ඔවුන්ගේ ජීවිත සරලය. අඩුම ගානේ රූපවාහිනී යන්ත්‍රයක් පවා ඇත්තේ නිවාස දෙක තුනක පමණි.

ගමේ බහුතරයකගේ වාහනය තවමත් පාපැදියයි. එයද ඇත්තේ සුළු පිරිසකටය.

කනුගහවැව ජනතාවට නිවාසයක් තනා ගන්නවා යන්න තවත් සියවසකතට හෝ සිතන්නටවත් නොහැකි බව පෙනෙන්නේ, දැනෙන්නේ පා පහරකින් පවා බිම දැමිය හැකි ඔවුන්ගේ නිවාස දෙස බැලීමෙනි. වසර 32කට පෙර තිබුණු පැල්පත් එලෙසින්ම පවතිනවා යනු ඔවුන්ට ස්ව උත්සාහයෙන් නැඟී සිටීම අපහසු බවකි.

එමනිසා ගුවන් හමුදාවේ මේ සමාජ සත්කාරය ඇත්තෙන්ම ඔවුන්ට මහ මෙරක් වනු ඇත. එදාත් ඔවුන්ට වතුර ප්‍රශ්නයක් තිබුණි. අදත් එසේමය. එදා තිබූ ත්‍රස්තවාදී තර්ජන වෙනුවට අද ඕනෑතරම් වන අලි තර්ජනයන්ය. මේ සියල්ලටම උපරිම විසඳුම් ලබා දෙන්නට ‘කනුගහවැව‘ ගුවන් හමුදාව සිදු කරන මේ සමාජ සත්කාරය අප අගය කළ යුතුය‍.

කනිෂ්ඨ පාසලක් වන කනුගහවැව විදුහලේ විදුහල්පතිවරයා වන්නේ ඩබ්ලිව්. ඒ. එස්. කේ. අනුරතිලක.

‘‘පාසලේ දරුවන් 87යි ඉන්නෙ, ගුරුවරුන් 7 දෙනෙක් ඉන්නවා. එයින් 4 දෙනෙක් සිවිල් ආරක්ෂක බළකායෙන් ස්වකැමැත්තෙන් දරුවන් වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්නට පැමිණි අයයි, තවත් අවුරුදු ගණනාවකට නොකෙරෙන සංවර්ධනයක් දැන් සිදුවෙන බව අපට පේනවා. මේක ගමට ලැබුණු වාසනාවක් ලෙසයි මම දකින්නෙ. පාසලට දැන් ක්‍රීඩා පිට්ටනියකුත් හැදෙනවා.

ඒ නිසා දරුවන්ගේ ක්‍රීඩා කුසලතාත් වැඩි දියුණු කර ගන්න හැකියාව ලැබේවි. ඒ වගේම පහසුකම් වැඩි නිසා දරුවන්ට ඉදිරියේදී වඩාත් හොඳින් අධ්‍යාපනය ලබන්නත් හැකි වේවි‘‘ ඔහු පැවසුවේය.

එමෙන්ම ඉදිරි ව්‍යාපෘති යටතේ කනුගහවැව ගමට බස් රථ නැවතුම්පොළක් ජල ටැංකියක්, හා ප්‍රජාශාලාවක්ද ඉදිවනු ඇත. එමෙන්ම කනුගහවැව ගමට පසුගිය 20 වැනිදා කිසිදා අමතක නොවන දිනයකි. ඒ සියලු රෝගාබාධයන්ට ප්‍රතිකාර කරනු ලබන ජංගම වෛද්‍ය සායන පැවැත්වීම නිසාය. ශල්‍යාගාරයක කළ යුතු සැත්කම් හැරෙන්නට අනෙක් සියලු වෛද්‍ය ප්‍රතිකාර එහිදී ලබා දෙමින් තිබුණි.

ගම්මානයෙන් වැඩි පිරිසක් එතැනය. එහෙත් අපි නිවාසවල සිටින නිවාසලාභීන් සොයා යන්නට වීමු.

රොහාන් සංජීව උපන් දා සිට දිවි ගෙවන්නේ කනුගහවැව මේ ගම්මානයේය. ‘‘මගේ අම්ම තාත්ත, අත්තල සේරම ජීවත්වෙලා තියෙන්නෙ මේ ගමේ ඉස්සර අපිට තිබුණෙ ත්‍රස්තවාදීන් බය. අවට සේරම ගම්මානවලට කොටි ගැහුවා. ගමේ අයෙත් කීප දෙනෙක් කොටින්ට බිලිවුණා.

අපිට වැස්සොත් ඇරෙන්න ගොවිතැන් කරන්න පහසුකම් නැහැ. ගමේ සේරම වගේ ගෙවල් මේ වගේ පැල්පත් තමයි. ‘‘ඔහු අත දිගුකර පෙන්වන ලද කුඩා අතුපැළ දිගින් අඩි 15කට නොවැඩිය. එතැනම ඔහුගේ නව නිවෙස ඉදි කෙරෙමින් පවතී. ‘‘ගුවන් හමුදාව මේ ගෙවල් හදල දුන්නෙ නැත්නම් අපට කවදාවත් මේ වගේ ගෙයක් හදන එක හීනයක් වගේ මහත්තයො.

සමහර දවස්වලට ගමේ අයගෙ අතේ රුපියල් විස්සක් තිහක් හොයා ගන්න නැහැ. හවසට කුප්පි ලාම්පුවට තෙල් ටික ගන්න විදිහක් නැතුව කලින් නිදියන අයත් ඉන්නවා. දරුවන්ට උගන්වන්න මේ ඉස්කෝලෙත් හදන එකත් ලොකු දෙයක්, නැත්නම් අපිට වගේම අපේ දරුවන්ටත් අධ්‍යාපනයක් නැති වෙනවා‘‘ ඩබ්ලිව්. එම්. සුජානිට නිවාසයක් පළමු වටයෙන් නොලැබුණද ඇයගේ ස්වාමිපුරුෂයාගේ මව වන ලීලාවතීට නිවසක් හිමිව තිබේ.

‘‘ඇත්තෙන්ම අපිනම් කවදාවත් නොහිතපු වාසනාවක් තමයි මේ ඇවිත් තියෙන්නෙ. ඒත් අපට මේ වතාවෙ ගෙයක් ලැබෙන්නේ නැහැ. ඊළඟ වටයෙ දෙනව කියල කිව්ව. මම දරුවො තුන් දෙනෙක් එක්ක මේ පුංචි පැළේ ඉන්නෙ පුළුවන්කමකට නෙමෙයි. මම විතරක් නෙමෙයි මේ ගමේ සේරම අය මේ විදිහට තමයි ජීවත් වෙන්නෙ. ඒක අපේ උරුමය වෙලා තියෙන්නෙ.

දැන් අපිට ලොකුම ප්‍රශ්නය වෙලා තියෙන්නෙ අලි ගම් වදින එකත. අලි වගා පාළු කරනවා. සමහර දවස්වල අලි ගම්වැදිල දවස් දෙක තුන ඉන්නව.

අපිට බොන වතුර ටිකවත් නැහැ. ඒකත් අපි බූලි ගන්නේ සල්ලි දීල, නාන්නත් කිලෝමීටර් 4ක් විතර පයින් යන්න ඕන. දවස් තුන හතරකට විතර තමයි නා ගන්න වෙන්නෙ. බොන්න වතුර ටික ලැබෙනවනම් ඒක ලොකුම පිනක්.

කනුගහවැව අභිනාවරාධිපති වත්තේවැවේ ධම්මපාල හිමියන් පවසන්නේද ජනතාවගේ දුක්ඛිත දිවි සටන ගැනය. ගුවන් හමුදාවෙන් විහාරස්ථානය ගොඩ නැංවීමට ලබා දෙන සහාය ගැන උන් වහන්සේ උදම් අනති.

‘‘ගමේ මිනිස්සු පන්සලට යනවා එනවා බොහොම අඩුයි. දානෙ දෙන්නත් එහෙම කට්ටියක් නැහැ. මම උයා පිහාගෙන තමයි දානය වළදන්නෙ. දානයක් දෙන්න තරම් ආදායමකුත් මේ අයට නැහැ. පන්සලේ ඝණ්ඨාර කුලුනයි බෝධි ප්‍රාකාරයයි ගුවන් හමුදාවේන හදන එක ලොකු දෙයක්. නැත්නම් මේ කපේදි ඕව හදන්න වෙන්නෙ නැහැ. මමත් පැදුරු කෑල්ලක් දාගෙන තමයි සැතපුණේ. ‘‘

ලබන 2 වැනිදා ජනාධිපතිවරයා අතින් මේ නිවාස ජනතා අයිතියට පැවරෙනු ඇත. ගම්වාසීන්ද බලා සිටින්නේ ඔවුන්ට අංග සම්පූර්ණ නව නිවාසයන්හි අයිතිය ලබා දෙන තුරුය. කොටි ත්‍රස්තවාදීන්ගේ තර්ජන පවතිද්දී රාත්‍රියට පමණක් නොව දවාලටත් ඉහළින් ගිය මෝටාර් එළි දුටු කනුගහවැව ගම්වැසියන්ට හෙට දිනයේ තම නිවසේ එළිය දකින්නට හැකි වනු ඇත.

Comments