ජිනීවා සට­නෙන් ඩය­ස්පෝ­රාව පසු ­බ­සියි | සිළුමිණ

ජිනීවා සට­නෙන් ඩය­ස්පෝ­රාව පසු ­බ­සියි

විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සහ  එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමසාරිස්  මිෂෙල් බැෂලේ
විදේශ ඇමති දිනේෂ් ගුණවර්ධන සහ එක්සත් ජාතීන්ගේ මානව හිමි­කම් කොමසාරිස් මිෂෙල් බැෂලේ

ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය පසුගිය සඳුදා ආරම්භ කෙරිණි. එහි ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය පවැත්වූයේ පසුගිය බදාදා ය. මෙම විවාදය ආරම්භයේ දී ශ්‍රී ලංකා පිළිබඳ අලුත් යෝජනාවක් 46/1 ලෙස බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් හයක් විසින් ඉදිරිපත් කරන ලද අතර; ශ්‍රී ලංකාවට කාලයක් ලබා දී වගවීම ඇතිකළ යුතු බවට ඇමරිකාව, ජර්මනිය, බ්‍රිතාන්‍ය, කැනඩාව, නෝර්වේ , ප්‍රංශය, ජපානය ඇතුළු රටවල් 14ක් බල කළේය. ඊට මැදිහත්වෙමින් රටවල් 20 ක් එම යෝජනාව ප්‍රතික්ෙෂ්ප කරමින් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ජිනීවා මානව හිමිකම් කවුන්සලය මැදිහත් නොවිය යුතු බවට තදින්ම අවධාරණය කරනු ලැබීම මෙවර මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේ විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාවේ කටයුතුවල දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට චෝදනා කළ එම රටවල් ස්වාධීනව ක්‍රියාත්මක විය යුතු මෙම කවුන්සලය දේශපාලනමය ක්‍රියාදාමයක නිරත වෙමින් අසාධාරණ බවත්; ශ්‍රී ලංකාවට හිරිහැර කරන්නට මාන බලන බවටත් එම රටවල් 20 චෝදනා කරන ලදී.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, නිදහස වෙනුවෙන් පෙනී සිටි පිලිපීනය, රුසියාව,වෙනිසියුලාව, කැලිපෝනියාව, පාකිස්ථානය, ඉරානය, චීනය, ‍ෙබලරුස්, මාලදිවයින, වියට්නාමය, සිරියාව, කාම්බෝජය, නේපාලය, ඊජිප්තුව, අසර්බයිජානය, ලාහෝ, නිගරගුවා, කියුබාව ඇතුළු රටවල් 20 ක් මෙම යෝජනාව හා මානව හිමිකම් කවුන්සලයේ ක්‍රියාකාරකම් හෙළා දැක ඇත. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ආරම්භයේ පටන් මේ දක්වා ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන ලද යෝජනාවක් සම්බන්ධයෙන් මෙතරම් රටවල් ප්‍රමාණයක් එනම් යෝජනාවට පක්ෂපාතී රටවල්වලට වඩා වැඩි ප්‍රමාණයක් විරුද්ධ වූ මුල්ම අවස්ථාව මෙය වනු ඇත.

මෙය විශේෂයෙන්ම මෙරට විදේශ අමාත්‍යවරයාගේ හා ඔහුගේ විදේශ සේවාවේ සුවිශේෂී ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස විග්‍රහ කළ හැකිය. මෙම විරෝධතා හමුවේ පිළිතුරු කතාව කළ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ නියෝජ්‍ය කොමසාරිස් නාඩා අල් නෂී සඳහන් කළේ; ශ්‍රී ලංකා රජය සමඟ වග වීම හා සුහදත්වය වෙනුවෙන් එක්ව කටයුතු කරන්නට සිය කවුන්සලය උත්සහ කරන බවත්; ශ්‍රී ලංකා රජය ද තමන් හා එක්ව කටයුතු කරනු ඇතැයි දිගටම විශ්වාස කරන බවත්ය.

ශ්‍රී ලංකාවට එරෙහිව 46/1 යන යෝජනාව බ්‍රිතාන්‍යයේ මූලිකත්වයෙන් ඉදිරිපත් කළ අතර; ශ්‍රී ලංකාවේ සිදුවූවා යැයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝණය වීම්, ජාත්‍යන්තර මානව නීති උල්ලංඝණය වීම්, ඇතුළු සියලු සිදුවීම් පිළිබඳව විවෘත වගවීම් ක්‍රියාදාමයට අනුගත වූ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීමට බලකර තිබිණි. මෙම විවාදයට එක්වෙමින් පිලිපීනය සඳහන් කළේ මහ කොමසාරිස්ගේ වාර්තාව අප අධ්‍යයනය කළෙමු. මෙය වැරදි තොරතුරු මත නිර්මාණය කරන ලද්දකි. ශ්‍රී ලංකාව මුහුණ දෙන අභියෝග පිළිබඳව අප අවධානය යොමුකළ යුතු බවත් අවධාරණය විණි.

ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරකම්වලට ජාත්‍යන්තරය උදවු කළ යුතු බව රුසියාව කියාසිටි අතර වැනිසියුලාව සඳහන් කළේ මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති සංහිඳියා වැඩපිළිවෙළ හෝ එහි ප්‍රගතිය ඇතුළත් කර නැති බව පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර; එරටේ ප්‍රගතිය සමාලෝචනය කර මානව හිමිකම් කවුන්සලය අපක්ෂපාතීව වාර්තා ඉදිරිපත් කළ යුතු බව පකිස්ථාන නියෝජිත පෙන්වා දුන්නේය. මෙම කරුණේ දී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය අගය කරන බව කී ඉරානය ශ්‍රීලංකාවට සහය විය යුතු අතර; එරටේ ස්වෛරීභාවයට ගරුකරමින් කටයුතු කළයුතු බව සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය රටක අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලිගැසීම තරයේ හෙළා දකින බව කියමින් ඊට තම රටේ දැඩි විරෝධය පළකර සිටින බවත්; එරටට සම්බාධක පැනවීමක් සිදු නොකළ යුතු බවත් මෙම කාරණයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය පක්ෂපාතී දේශපාලන ක්‍රියාදාමයක නිරත නොවිය යුතු බවත් තවදුරටත් එහිදී සඳහන් කර ඇත.

බෙලරැස් රාජ්‍ය අදහස් දක්වමින් කියා සිටියේ

‘අපගේ රට ශ්‍රී ලංකාවට එරෙහි යෝජනා ප්‍රතික්ෂේප කරනවා. ශ්‍රී ලංකා රජයේ තොරතුරු, අදහස්, කිසිවක් මේ කොමසාරිස්ගේ වාර්තාවට ඇතුළත් කර නෑ‘ යනුවෙන් විවේචනය කළේය. ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බව සඳහන් කළ මාලදිවයින; ආසියාවේ පැරණිතම ප්‍රජාතන්ත්‍රවාදය අගේ කරන රටක් ලෙස ශ්‍රී ලංකාව ක්‍රියා කරගෙන යන ආකාරය අනුමත කරන බවත් කීවේය. වියට්නාමය කියා සිටියේ මෙම ගැටලු සම්බන්ධයෙන් ශ්‍රීලංකාව තුළ සැලස්මක් ඇති බවත් එම සැලස්මට අනුව සියලු ගැටලු බාහිර ඇඟිලිගැසීම්වලින් තොරව විසඳා ගැනීමට ඉඩදිය යුතුයි.

මේ අතර යුද්ධයේ විපාක තවමත් විඳිමින් සිටින සිරියාවේ නියෝජිත මෙම විවාදයට එක්වෙමින් රටක අභ්‍යන්තර කටයුතු වලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අතනොපෑ යුතු බව පැවසුවේය. වැඩි දුරටත් අදහස් දැක්වූ හෙතෙම, ‘මෙම විෂයයේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරනවා. මෙහිදී දේශපාලඥයන් ලෙස ක්‍රියා නොකළ යුතුයි. මෙම දෙබිඩි පිළිවෙත හා දේශපාලන ක්‍රියාව අප තරයේ හෙළා දකිමු. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තනිමතයට කටයුතු නොකළ යුතුයි. ශ්‍රී ලංකාව සමඟ සාකච්ඡා කර විසඳුම් සෙවිය යුතුයි. ශ්‍රී ලංකාව අභ්‍යන්තරයෙන් මෙම ගැටලුවට විසඳුම් සොයනු ඇත. එය අප අගේ කරන්නෙමු. වැරදි තොරතුරු මත කොමසාරිස්වරිය මේ වාර්තාව එළිදක්වා ඇති බවක් පෙනේ‘ ලෙස කීවේය. ශ්‍රීලංකාව අභියෝග රැසකට මුහුණ දී මේ ගැටලු විසඳන්න ගෙන ඇති උත්සාහය අප අගේ කරන්නෙමු. එවන් මොහොතක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය දේශපාලන වශයෙන් ක්‍රියාත්මක නොවිය යුතුයි යැයි කාම්බෝජයේ නියෝජිත පෙන්වා දුන්නේය.

තිස් වසක් පුරා ත්‍රස්තවාදයෙන් පීඩාවිඳි ජනතාව වෙනුවෙන් කිසිවක් සිදු නොකළ මානව හිමිකම් සංවිධාන ජනතාවගේ මානව හිමිකම් රැකදුන් හමුදාවට පමණක් ඇඟිල්ල දික්කිරීම කොතෙක් දුරට සාධාරණද ?

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳව සෙවීමේ සාධාරණ ක්‍රමවේදයෙන් ශ්‍රී ලංකා රජය ඉවත් ව ඇති බවත් එය ජිනීවා යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් සනාථ වී ඇති බවත්; ශ්‍රී ලංකාව වගවීමෙන් ඉවත්ව ඇති බැවින් ඊට විකල්ප ක්‍රියාමාර්ගයක් පිළිබඳව සාමාජික රටවල් අවධානය යොමු කළ යුතුව ඇති බවත්; එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් සිය මානව හිමිකම් පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කළාය.

මේ අතර ඊට පිළිතුරු දෙමින් අදහස් දැක් වූ විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ, ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ඉදිරිපත් කළ වාර්තාව ශ්‍රී ලංකා රජය මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවය.

ජිනීවා මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීමට රටවල් 18 ඉදිරිපත්ව සිටින බව වාර්තා විය. මේ අතර විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය අමතමින් මෙසේ කීය.

‘මා ඔබ අමතන මේ අවස්ථාවේදී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය (OHCHR) සිය වාර්තාව පිළිබඳ මින් පෙර කිසිදා නොකළ ආකාරයේ ප්‍රචාරක ව්‍යාපාරයක් සමඟ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ප්‍රකාශයට පත් කර ඇත. දශක තුනක ගැටුමකින් ශ්‍රී ලංකාවේ වීරෝධාර ත්‍රිවිධ හමුදා 2009 දී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් අකර්මණ්‍ය කළේය. ශ්‍රී ලංකා රජය කටයුතු කළේ ලෝකයේ ක්‍රෑරතම බෙදුම්වාදී ත්‍රස්තවාදී සංවිධානයෙන් සිය ඒකීය රාජ්‍යයත්, ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවත් ආරක්ෂා කිරීම පෙරදැරි කරගෙනය. ලෝක නායකයන් දෙදෙනෙකු ඝාතනය කළ, එනම් ශ්‍රී ලංකාවේ ධූරය දරමින් සිටි ජනාධිපතිවරයකු සහ දේශසීමාවෙන් ඔබ්බට සිය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරමින් ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ඝාතනය කළ ලෝකයේ එකම ත්‍රස්තවාදී සංවිධානය එල්.ටී.ටී.ඊ. සංවිධානයයි. ත්‍රස්තවාදය අවසන් කිරීමෙන්, සියලු මානව හිමිකම් අතුරින් වඩාත් උතුම්ම අයිතිය වන ශ්‍රී ලංකාවේ සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු රට වැසියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු විය.

එසේ තිබියදීත් ආධිපත්‍යවාදී බලවේග ශ්‍රී ලංකාවට එරෙහිව අසත්‍ය කරුණුවලින් සමන්විත යෝජනාවක් ගෙන ඒමට එක්ව කටයුතු කළ අතර, අද දවසේ පවා ශ්‍රී ලංකාව සමඟ සිටින මිත්‍රශීලී රටවල උපකාරයෙන් එය පරාජයට පත් කරන ලදී. හුදෙක් දේශපාලන අභිප්‍රායන් පෙරදැරි කරගත් තවත් යෝජනා මේ කවුන්සිලයට ඉදිරිපත් කරන ලදී. ඒ හැම අවස්ථාවකදී ම, ඒවායේ ඇති ක්‍රියාපටිපාටි පිළිබඳ අයෝග්‍යතා මෙන් ම එවැනි ක්‍රියාවලීන් නිසා එක්සත් ජාතීන්ගේ සියලු සාමාජික රාජ්‍යයන්ට බලපාන භයානක පූර්වාදර්ශයක් ඇති විය හැකි ආකාරයත් ශ්‍රී ලංකාව පෙන්වා දුන් බව කියවේ. පසුගිය කාලයේ මානව හිමිකම් කවුන්සලයේ අනවශ්‍ය ඇඟිලිගැසීම් වලට ඉඩදීමෙන් අද ආණ්ඩුවට ගැටලු රාශියකට මුහුණ පෑමට සිදුව තිබේ. 2015 දී ශ්‍රී ලංකාවේ බලයට පත් වූ රජය මානව හිමිකම් කවුන්සිලය තුළ පෙර නොවූ විරූ ආකාරයකින් අපගේම රටට එරෙහිව ඉදිරිපත් වූ 30/1 යෝජනාවට සම-අනුග්‍රාහකයන් වශයෙන් සම්බන්ධ විය.ඉටු නොකළ හැකි මෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවූ බැඳීම් රාශියක් ඊට අන්තර්ගත විය. මෙය ත්‍රස්තවාදී ක්‍රියා නැවත හිස එසවීමේ අවස්ථාවක් උදා කරමින් 2019 පාස්කු ඉරිදා සිය ගණනකට මරණය ගෙන එමින් ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට තුඩු දුන්නේය.

2019 නොවැම්බර් මාසයේදී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් වෙත ශ්‍රී ලංකාවේ ජනතාව ලබාදුන් අති මහත් ජනවරමෙන් ඔවුන් මේ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම පැහැදිලිවම ප්‍රදර්ශනය විය. මේ ජනවරම පදනම් කරගෙන, මේ කවුන්සිලයේ 43 වැනි සැසියේදී ශ්‍රී ලංකාව යෝජනාවට සම -අනුග්‍රාහකත්වය දැක්වීමෙන් ඉවත් වන බව මම ප්‍රකාශයට පත් කරමි. මේ කවුන්සිලය ද ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය සමඟ ශ්‍රී ලංකාව තවදුරටත් කටයුතු කරනු ඇති බවත් මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ පරීක්ෂණ කොමිසමක් පත් කිරීම, ධරණීය සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම, ඉඩම් ආපසු ලබාදීමේ ප්‍රගතිය, බිම් බෝම්බ ඉවත් කිරීම හා නව ජීවනෝපාය මාර්ග ඇති කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් ඉටු කිරීමට පොරොන්දු වී ඇති බැඳීම් ක්‍රියාවට නැංවීමේ ප්‍රගතිය මෙන් ම විස්තරාත්මක යාවත්කාල තොරතුරු ද 2020 දෙසැම්බර් මාසයේදී මෙන්ම 2021 ජනවාරි මාසයේදී ද අපි මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයට සපයා ඇත්තෙමු. පසුගිය වසර පුරාම කෝවිඩ් -19 නිසා ඇති වූ බලපෑම්වලට එරෙහිව ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටියදී පවා මේ පියවර ගෙන ඇත. මේ අභියෝග මධ්‍යයේ වුව ද 2020 අගෝස්තු මාසයේදී නිදහස් හා සාධාරණ මහ මැතිවරණයක් පවත්වා, ආසියාවේ පැරණිතම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රයන්ගෙන් එකක් වන අප රටෙහි අප විසින් තුනෙන් දෙකක බලයක් සහිත රජයක් තෝරා පත්කර ගන්නා ලදී.

මේ සභාවේ හදිසි අවධානයට ලක් විය යුතු තත්ත්වයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ද, නැතහොත් මේ ව්‍යාපාරය මේ කවුන්සිලය ස්ථාපිත වී ඇති වටිනාකම් සහ මූලධර්ම ම උල්ලංඝණය කරන හුදෙක්ම දේශපාලනික ක්‍රියාමාර්ගයක් ද යන්න පිළිබඳව ස්වයං විනිශ්චයක යෙදෙන ලෙස මේ කවුන්සිලයේ සාමාජිකයන්ට මෙන්ම නිරීක්ෂකයන්ට ද මම බාර කරමි. විශේෂයෙන් ම විදේශයන්හි සිදු කරන ලද යුදමය මෙහෙයුම්වලදී නඩු පැවරීමෙන් සිය හමුදා භටයන් ආරක්ෂා කිරීම සඳහා සමහර රටවල් විසින් නීති සම්පාදනය කරනු ලබන අවස්ථාවකදී ඔවුන්ගේ අභිප්‍රායන්ගේ දෙබිඩි හා කුහක ස්වභාවය මෙයින් පෙනේ. ත්‍රස්තවාදයට එරෙහි අරගලයට මැදි වී සිටින රටවල චිත්ත ධෛර්යය සැලකිය යුතු ආකාරයෙන් නැති කිරීම හැර වෙනත් ප්‍රතිඵලයක් මින් ඇති විය නොහැකිය.

මෙම කවුන්සිලය අනුන්ගේ ප්‍රවාද, ඒකපාර්ශ්වික ක්‍රියා හෝ එක් කෝණයකින් පමණක් බලන සැක කටයුතු මූලාශ්‍රය අනුව කටයුතු නොකර, සිය මෙහෙයුම් මූලධර්මවලට එය අනුකූල විය යුතුය. මේ කවුන්සිලය සමඟ ඇති අපේ අඛණ්ඩ සහයෝගීතාව හා සම්බන්ධතාව නොතකා, නිරන්තරයෙන්ම පුළුල් ප්‍රචාරය වෙමින් පවතින බාහිර වශයෙන් මෙහෙයැවෙන උපදෙස් අවධාරණයෙන් ගැනීම තුළ විවිධාකාර අභියෝග ඇති විය හැකිය.

කිසිදා පෙර නොවූ ආකාරයේ ලෝක ව්‍යාප්ත වසංගතයක් හමුවේ මේ අවස්ථාවේදී අවශ්‍ය වන්නේ කවුන්සිලය තුළින් මතු වන දැඩි ද්වේශයට හා ක්‍රෝධයට වඩා එකමුතුකම ය. ඉහත දක්වන ලද කරුණු සලකා බලමින් කවුන්සිලය විසින් මේ යෝජනාව ප්‍රතික්ෂේප කොට සමාප්තියකට ගෙන ආ යුතු යැයි අපි දැනුම් දී සිටිමු යැයි කියමින් බුදුරජාණන් වහන්සේ වදාළ දහමින් කොටසක් උපුටා දක්වමින් කතාව අවසන් කළේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ විරසකය ආරම්භ වන්නේ 2009 මැයි මාසයේ යුද ගැටුම් අවසන් වීමත් සමඟය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ එවකට එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බැන්කී මූන්, දෙමළ ජනතාවගේ ගැටලු සඳහා රටේ සියලු ම ජනතාවට පිළිගත හැකි ජාතික විසඳුමක් සොයා ගැනීම පිණිස ක්‍රියාකරන බවට මෙන් ම ජාත්‍යන්තර මානව හිමිකම් උල්ලංඝණය සම්බන්ධයෙන් වගවීම ක්‍රියාවට නැඟීමේ ක්‍රියාදාමයක් දියත් කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. එම නිවේදනයට අනුව ක්‍රියා කරමින් සැමට සමාන අයිතිවාසිකම් සමඟ ජීවත්විය හැකි රටක් නිර්මාණය කරන්නට එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන් උත්සාහ කළත් කොටි ත්‍රස්තවාදීන් නතර කළ ස්ථානයේ සිට ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය ප්‍රමුඛ බෙදුම්වාදී සංවිධාන වෙනත් මාදිලියකින් සටන් කිරීමට යාමෙන් එය වැළකී ගියේය.

කෙසේ වෙතත් එම එකඟතාවලට අනුකූලව එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගේ නියමයෙන් අවසන් යුද්ධ ගැටුම් සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීමට පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම පශ්චාත් යුදකාලීන ශ්‍රී ලංකාවේ ජාතීන් අතර සංහිඳියාව උදෙසා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළේය"

"මෙය අහිංසක මිනිස් ජීවිත ඛේදනීය ලෙස අහිමි කරමින් තිස් වසරක් පුරා ඇදී ගිය ශ්‍රී ලංකාවේ ගැටුමෙන් උගත හැකි පැහැදිලි පාඩමකි. මෙම අත්දැකීම්වලින් පාඩම් අවධානයට ගෙන ප්‍රබල නීතිමය රාමුවක් සකස් කිරීම වූ කලී ගැටුමේ ගොදුරු බවට පත් වුණු සියලු දෙනා වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව ඉටු කළ යුතු පැහැදිලි වගකීමක්." යන්න එම වාර්තාව ඉදිරිපත් කර තිබූ නිර්දේශ විය.

මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එවකට සිටි මහ ලේකම් බැන් කී මූන් විසින් පත් කරන ලද දරුස්මාන් කමිටු වාර්තාවේ නිර්දේශ අතර තිබුණු විශේෂ කරුණක් වූයේ, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමය. ඉන්දුනීසියානු ජාතික මර්සුකි දරුස්මාන් විශේෂඥ කමිටුවේ සභාපති පදවිය හෙබ වූ අතර, දකුණු අප්‍රිකාවේ සත්‍යය හා ඒකාග්‍රතාව පිළිබඳ කොමිසමේ කොමසාරිස්වරියක වූ යස්මින් සූකා සහ ඇමෙරිකානු ජාතික ස්ටීවන් රට්නර් එහි සාමාජිකයන් වූ අතර 2011 වසරේදී දරුස්මාන් වාර්තාව නිකුත් කෙරිණි.

එයින් පසු නිකුත් වූයේ ශ්‍රී ලංකාවේ යුධ අපරාධ හා මානව හිමිකම් උල්ලංඝණය වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විමර්ශන කමිටු වාර්තාවයි. එය 2015 වසරේදී නිකුත් කෙරිණි. පරිච්ඡේද එකළොසකින් සමන්විත එම වාර්තාවේ ප්‍රධාන නිගමනය වූයේ, රජයේ හමුදා සහ විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) යන දෙපාර්ශ්වය ම යුද අපරාධ ලෙස සැලකිය යුතු අපරාධයන්ට වගකිව යුතු බවට පිළිගත හැකි සාක්ෂි තිබෙන බවය. එහෙත් කිසි දිනෙක කොටි සංවිධානයට එරෙහි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සඳහනක් නොකර දෙපාර්ශ්වයම වැරදි කළ බව කියමින් මෙරට හමුදාවන්ට දඬුවම් කිරීමට මාන බැලූහ. දරුස්මාන් වාර්තාවේ භයානකම නිර්දේශය වූයේ අධිකරණමය පරීක්ෂණයකට ලක් කර වරදකරුවන්ට දඬුවම් ලබා දිය යුතු බවත්; එවැනි පරීක්ෂණයක් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියට තනිව කළ නොහැකි බව සඳහන් කරමින් ඒ සඳහා මිශ්‍ර අධිකරණයක් නිර්දේශ කළේය. එම නිර්දේශය ක්‍රියාත්මක කිරීමේ මුවාවෙන් විදෙස් විරුවන් මෙරටට එවා රණවිරුවන් දඩයම් කිරීමේ උත්සහයක් පැවැතිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය 30/1 යෝජනාව සම්මත කළේ 2015 මාර්තු මාසයේ පැවැති සැසිවාරයේ දී ය. එම යෝජනාව බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහයෙන් ඉදිරිපත්කර සම්මත කරනු ලැබීය. එම යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ යහපාලන රජය කරුණු නවයකට එකඟ වී තිබිණි.

කෙසේ වෙතත් මෙවර මානව හිමිකම් කවුන්සලයේ දී කතා කළ ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බිලිංකන් කියා සිටියේ ශ්‍රී ලංකාව පසුගිය කාලයේ වගවීමෙන් මිදී කටයුතු නොකළ බවත්; එහි ප්‍රගතියක් දකින්නට නොතිබූ නිසාත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙනු ගෙනෙනු ලබන යෝජනාවට සහය දිය යුතු බවය. එමෙන්ම කැනඩාව නියෝජනය කළ විදේශ කටයුතු අමාත්‍ය මාර්ක් අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් හි තත්ත්වයත්, සුළු ජාතීන්ගේ මරණ ආදාහනය වැනි කරුණු සලකා යෝජනාවට සහය පළකරන බවද කීය.

එය කෙසේ වෙතත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය තුළ දෙමළ ඩයස්පෝරාවට මෙතෙක් තිබුණු පිළිගැනීම බොඳවී යාමට පටන්ගෙන ඇති අතර ඒ සමඟ දෙමළ ඩයස්පෝරාව ඇතුළු පාර්ශ්වයන් මහත් කලබලයට පත්ව සිටිති.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය සම්මත කරන යෝජිත යෝජනාවේ පළමු කෙටුම්පත දෙමළ ඩයස්පෝරාවට මෙන්ම දෙමළ ජනතා අයිතීන් වෙනුවෙන් සටන් වැදී සිටින අයව මුළා කොට ඇතැයි දෙමළ ඩයස්පෝරාවේ දේශපාලන අංශ ප්‍රධානි සුදන්රාජ් සඳහන් කළේය. මේ අතර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ඇමතු ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ මහ ලේකම් යූසුප් බින් අහමඩ් අල් ඔදයිමීන් සඳහන් කළේ, ත්‍රස්තවාදය තුරන් කර සාමය උදාකිරීමට ප්‍රාන්ත වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ගනු ලබන සෑම පියවරකටම සහය දීමට තම සංවිධානය සූදානමින් සිටින බවත් කීවේය.

Comments