නියෝජ්‍ය පොලි­ස්ප­ති­නි­ය පොලි­සි­යට අකැ­පද? | සිළුමිණ

නියෝජ්‍ය පොලි­ස්ප­ති­නි­ය පොලි­සි­යට අකැ­පද?

මේ දිනවල වඩා කතාබහට ලක්වන්නෙ මෙරට ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පත්වූ බිම්ෂානී ජාසිංහආරච්චි පිළිබඳවය. ඇය වැඩි වශයෙන්ම කතාබහට ලක් වීමට හේතු සාධකය වූයේ තනතුර ලැබී එහි උණුසුම යන්නටත් පෙර එම තනතුර අභියෝගයට ලක් කරමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 32ක් ගොනුකරන ලද පෙත්සම පිළිබඳව කථිකාවක් කරළියට පැමිණෙන්නට වීමය. මෙහි සුවිශේෂී කාරණය නම් ඇයගේ පත්වීමට අභියෝග කරනු ලබන්නේ ඇය එම තනතුරට තේරීපත් වුවද රෙගුලාසි වල ‘කාන්තා’ යන වචනය සදහන්ව නොමැති වීමයි. මේ සම්බන්ධයෙන් විද්වත්හු නොයෙක් අදහස් දරති. ඒ අනුව උසස් යැයි සම්මත පොලිස් නිලධාරීන් රැසක් විසින් එක් කාන්තාවකට එරෙහි වීම අපේ රටේ ශේෂව පවතින වැඩවසම් ගෝත්‍රවාදී මතවාදයන් තවමත් බලාත්මකව පවතින්නක් දැයි ඇතැම් විද්වතුන්ගේ තර්කනයයි. මෙරට පොලිසිය විධිමත් ආයතනයක් ලෙස 1866 වසරේ ආරම්භ විය. එහෙත් පොලිස් බළකාය සඳහා කාන්තාවන් බඳවා ගැනීම ආරම්භ වූයේ 1952 වසරේදී ය. එතැන් සිට 2017 දෙසැම්බර් මාසය දක්වා මෙරට කාන්තා පොලිස් නිලධාරිනියන් සංඛ්‍යාව 8,640කි. අනුමත කාන්තා පොලිස් නිලධාරිනියන් සංඛ්‍යාව 13.4% කි. මේ වන විට පොලිස් සේවයේ කාන්තා නිලධාරිනියන් 8,878කි. ඔවුන්ගෙන් 91.2% කොස්තාපල්වරියන් සහ සැරයන්වරියන් ය.

 

ලංකාවේ කාන්තාවන් පොලිස් සේවයට බඳවා ගනු ලබන්නේ නම් ඔවුන්ටද උසස්වීම් ක්‍රමවත්ව ලබාගැනීමේ හැකියාවක් තිබිය යුතුයි කියා මම විශ්වාස කරනවා. නියෝජ්‍ය පොලිස්පතිවරියක් ලෙස ඇය පත්වීම සම්බන්ධයෙන් ඉතා සතුටු වෙනවා.

බහුතරයක් පිරිමි නියෝජනය කරන ශ්‍රී ලංකා පොලිසිය වැනි ආයතනයක කාන්තාවක් උසස් තනතුරකට පත්වීම කාන්තා පුරුෂ සමානාත්මතාවයට හවුල් වීමක් ලෙස සැලකිය හැකියි.

ලෝකයේ මෙතරම් දියුණු වී පවතින කාලයක කාන්තාවක් වීම නිසා යම් ක්ෂේත්‍රයක් අතික්‍රමණය කිරීමේ අවකාශය කාන්තාවකට අහිමි කිරීමට උත්සාහ කිරීම ඉතා අසාධාරණයි.

කාන්තාවට වන වෙනස්කම් බැහැර කළ යුතුයි

මිනිස් අයිතිවාසිකම් පිළිබඳව කතා කරද්දී මිනිස් සමාජයේ ආරම්භයේ සිට සෑම සමාජ ක්‍රමයකම ගැහැනිය පිරිමියාට දෙවැනි කොට සැලකීමක් තිබුණා. සෑම සමාජයකම හැමදාම පුරුෂාධිපත්‍ය ඍජුව හෝ වක්‍රව තිබුණා.

මාතෘ මූලික සමාජය තිබුණ බවත් මවු දෙවඟන ඇදහූ බවත් මහී කාන්තාව ලෙස හැඳින් වුවත් කුමන ගෞරවනාම දුන්නත් ඒවා න්‍යායාත්මක කරුණු පමණයි. ප්‍රායෝගිකව ගත්තාම සෑම සමාජයකම කාන්තාව දෙවැනි තැන තියලයි කතා කළේ. බොහෝ සමාජවලට සාපේක්ෂව ලංකාවේ කාන්තාවට යම් තැනක් තිබෙනවා. එසේ කාන්තාවගේ තත්ත්වය සාධනීය තැනකට ආවා නම් ඒ වෙනස කෙරෙහි බලපෑ සාධකය අධ්‍යාපනය අතින් ශ්‍රී ලංකාවේ කාන්තාවෝ උසස් තැනකට පැමිණීමයි.

කාන්තාව අධ්‍යාපනයෙන් පුරුෂයා හා සම තැන හිටියත් මේ පුරුෂාධිපත්‍ය සමාජය ඇයට සම තැන දෙන්න පෙලඹෙන්නේ නැහැ.හමුදාව, පොලිසිය කියන්නේ පුරුෂාධිපත්‍යයට අධි වටිනාකමක් දෙන ආයතන වුවත් පුරුෂත්වය මතුකර දක්වන, සාම්ප්‍රදායික මතවාද ක්‍රියාත්මක වන සමාජයක් ලෙස මෙහි බලපෑම් බරපතළයි. කාන්තාවට ඉහළට ඒමට නොහැකි අයුරින් පනවා තිබෙන නීති අනිවාර්යෙන්ම නිශේධනය විය යුතුයි. කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය පිළිගෙන තිබෙන රටක් ලෙස ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ලිංග භේදය පදනම් කොටගෙන කිසිදු ලෙසකින් ස්ත්‍රී පුරුෂයන් වෙනස් කොට නොසැලකිය යුතුයි යන කාරණාව පිළිගෙන තිබෙනවා. සුදුසුකම් තිබෙනවා නම් සියලු පාර්ශ්වයන්ට සුදුසු තැන යෙදී සිටිය හැකියි. නීත්‍යානුකුලව සහ සමාජ සදාචාරාත්මකව සමතැන ලබා දිය යුතුයි. මෙරට ජනගහනයෙන් සියයට පනහකට වැඩි කාන්තා නියෝජනය ආර්ථිකයට වැඩි වටිනාකමක් එක් කරනවා.

එම නිසා සමාජ, ආර්ථික සාධකවලදී ඇයට වන වෙනස්කම් නිශේධනාත්මකව බැහැර කළ යුතුයි. කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටීමට කාන්තාවක් ඉහළ තනතුරු නියෝජනය කිරීම කාලෝචිතයි. ඊට කවුරුහරි ගැරහීමක් කරනවා නම් සමස්ත මිනිස්කමට කරන නිගාවක් සහ මානව හිමිකම් කඩ කිරීමක් ලෙසයි මා දකින්නේ.

කාන්තාව කියන්නේ බහු කාර්යයන් සඳහා නිපුණතාවක් ඇති අයකුටයි. බොහෝවිට පිරිමින්ට සාපේක්ෂව කාන්තාව ඉතා ශක්තිමත්. ඇය මවක් වන නිසා ඇයට පුළුවන් සියලු දේ හොඳින් විශ්ලේෂණය කිරීමට. ඇතැම් අයට මේවා ගැන කියන්න තියෙන්නේ හණමිටි අදහස් කියලා. එසේ නිගා කරන්නන් එය තමන්ගේ මවට, දියණියට, සොහොයුරියට කරන අසාධාරණයක් ලෙසයි මා දකින්නේ . මා එසේ කියන්නේ ඔවුනුත් කාන්තාවක් හේතුවෙන් මේ ලොවට පැමිණි අය වන නිසයි.

පෞද්ගලික අංශයේ රැකියා කරන කාන්තාවක් ලෙස කාන්තාවන් කොපමණ කාර්යක්ෂමද යන්න මා හොඳින් දන්නවා. හොඳ දරාගැනීමේ ශක්තියක්, ඕනෑම දත්තයක් විශ්ලේෂණය කිරීමේ හැකියාව, හදවතට වඩා බුද්ධියට සවන් දෙමින් තීරණ ගැනීමේ හැකියාව,හොඳ සමබරතාවක්, සෑම අභියෝගාත්මක අවස්ථාවකටම හොඳින් මුහුණ දීමේ හැකියාව ඇතුළු ගුණාංග රැසක් කාන්තාව සතුයි. ඕනෑම අයකුට කරදරයක් වූ විගස තමාගේම කෙනකු සේ සිතීමට හැකි වන්නේ කාන්තාවකට පමණයි.

බොහෝ කාන්තාවන් ඉදිරියට යන්නේ ඔවුන්ගේම හැකියාවෙන් සහ මහන්සියෙන්. මට සිතෙන අන්දමට මේ තනතුර ඇයට ඉතා සුදුසුයි.

 

මෙවැනි තනතුරකට කාර්යභාරය නිසි ලෙස ඉටු කරන නිලධාරිනියක් පත්වීම ඉතා සුදුසුයි. පොලිසියේ වගකීම නීතිය ආරක්ෂා කිරීමයි. බොහෝ විට කාන්තාවන් මුහුණ දෙන ගැටලු තේරුම් ගැනීමට මෙවැනි තනතුරක කාන්තා නිලධාරිනියක් සිටීම ඉතා වැදගත්.

පැත්තකින් රැකවරණය ආරක්ෂාව සැලසිය යුතුයි කියන තැනට වඩා ශක්තිමත් තැනක සිට කාන්තාවක් බැලිය යුතුයි. ඒ සඳහා නිසි සමාජ‍‍මය වටපිටාවක් සැලසීමට මෙවැනි නියෝජනයන් වඩා වැදගත් වේ. මෙහිදී අපි බැලිය යුත්තේ ඇයට එම හැකියාව තිබෙනවාද? සමාජයට ඇගෙන් ගත හැක්කක් තිබෙනවාද යන කාරණායි. ඇය මෙවැනි තනතුරකට පත්වීම සියලු කාන්තාවන්ට ධෛර්යයක්. සමාජයටත් ඇය විශාල පණිවුඩයක් දෙනවා. තම වගකීම් නොපිරිහෙලා ඉටු කරන කාන්තාවක් ලෙස ඇයගෙන් උකහා ගත හැකි බොහෝ දේ කාන්තාවන්ට තියෙනවා. ඒ වගේම කාන්තාවන්ට රැකියාවන්ගෙන් ඉහළට යෑමට බාධා පමුණුවන නීතිරීති ඇත්නම් ඒවා සංශෝධනය විය යුතුයි.

 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුකූලව සියලු දෙනාටම එක සමාන අයිතිවාසිකම් ලැබෙනවා. අසමානතාවයක් නැහැ. එහෙත් පොලිසියට කාන්තාවන් බඳවා ගැනීම කරනු ලැබුවේ නියමිත නිලධාරීන් සංඛ්‍යාවට ඇති පුරප්පාඩු අනුවයි. කාන්තා, පුරුෂ දෙවිදියකටයි පුරප්පාඩුවලට බඳවා ගන්නේ.

නියෝජ්‍ය පොලිස්පති ධුරයටත් පුරප්පාඩු තිබුණොත් පමණයි දිය හැක්කේ. කාන්තා, පිරිමි වෙනම නිලධාරින් සංඛ්‍යාවකට ඇති පුරප්පාඩු අනුවයි පත්වීම් දෙන්නේ. මේ දෙපාර්ශ්වයම එකට ගන්නවා නම් කවුරු දැම්මත් කමක් නැහැ, ඒ ගැන මට ගැටලුවක් නැහැ. මෙම පුරප්පාඩු පිරිමි හෝ කාන්තා පාර්ශ්වයෙන් පමණක් පුරවන්නට බැහැ. දෙගොල්ලොම ඉන්නවා. ඒ අනුවයි තනතුරු සකස් වෙන්නෙ. දැනට නියෝජ්‍ය පොලිස්පතිවරයකුට පුරප්පාඩු ඇතිනම් එම තනතුරට පත් කළ හැකියි.

මේවා කතාබහට ලක් කළ යුතු හේතු කාරණා නොවේ. මේවා අභ්‍යන්තර ගැටලු. නමුත් පොලිසිය කාර්යභාරය ගැන, මහජනයාට ශක්තිමත් සේවාවක් සාදා ගැනීම පොලිසිය කටයුතු කළ යුතු ආකාරය ගැන කතා කළ යුතුයි. මහජනතාවට නියමිත සේවයක් වනවාද යන්න ගැනයි අප කතාකළ යුතු වන්නේ. මාධ්‍යයේ කාර්යභාරය වන්නේත් එයයි.

යම් තනතුරකට පත්වුවහොත් ඒ තනතුරේ කාර්යභාරය ඉටු කළ හැකිද යන කාරණයත් වැදගත්. මම කියන්නේ කාන්තාවකට එය කළ නොහැකි කියා නොවෙයි. පිරිමි, කාන්තා මේ නිලධාරින් දෙපාර්ශ්වයටම තියෙන්නෙ පොලිසිය වෙනුවෙන් වැඩ කරන්නයි. කාන්තාවක් පොලිස්පති වුණත් කමක් නැහැ එහි කාර්යභාරය ඉටුකළ හැකි නම්. ප්‍රශ්නය තිබෙන්නේ එතැනට යාමට පළමුව ඒ හැකියාව ලබාගත යුතුයි. වැඩ කරන්නේ කොහොමද? තීරණ ගන්නෙ කෙසේද යන කාරණා ගැන අවබෝධය තිබිය යුතුයි. තනතුරු කරගහගෙන වැඩක් නැහැ වෙන කෙනෙක් ඒ වෙනුවෙන් දුවනවා නම්. මේ ප්‍රශ්නය දෙස අප පුළුල්ව බැලිය යුතුයි. එක දවසක් පොලිසිය වැහුවොත් වෙන්නෙ මොකක්ද? අපරාධ මැඬ පවත්වන්න, ස්ත්‍රී, දූෂණ, අපයෝජන, හොරකම්, මංකොල්ල නවත්වන්න දක්වන ක්‍රියාකාරීත්වයයි අපට වැදගත් වන්නේ.

කාන්තාවක් වීම ලෝකය ඉදිරියට යන්න බාධාවක් විය යුතු නැහැ. ලෝකයේ වෙනත් රටවල් ගත් විට විශේෂයෙන් ඉන්දුනීසියාව, එංගලන්තය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වැනි රටවල්වල සෑම පොලිසියකම පොලිස් නිලධාරිනියන් සිටිනවා.

මුල් කාලයේ ලංකාවේ ඒ සඳහා කෝටාව තිබුණේ අට දහස්ගණනක් වැනි සංඛ්‍යාවකට වුවත් දැන් අපිට එකොළොස් දහසකට වැඩි කෝටාවක් තිබෙනවා. එහෙත් දැනට කාන්තාවන් ඉන්නේ අට දහසකට අධික ප්‍රමාණයක් පමණයි. රැකියාවක් කිරීමට ලෝකයේ සෑම දෙනාටම ඇති අයිතිය මානව අයිතිවාසිකම් හා සමානයි. සියලු දෙනාම රැකියාවකදී ලබන්නේ එකම පුහුණුවක් නම් සියලු දේ පිරිමියාට සහ ගැහැනියට සම විය යුතුයි.

රජයේ නිලධාරින් ලෙස ස්ත්‍රී සහ පුරුෂයන් සියලු දෙනාම අයත් වනවා. කාන්තාවන්ට නිලධාරිනියක් කියාවත් කිව යුතු නැහැ. අපි නිතරම කතා කරන්නේ ස්ත්‍රී පුරුෂ භාවය ,මිනිස්සුන්ගෙ සමාජභාවය සහ සමානාත්මතාවය ගැනයි. අපේ රටේ ආයතනවල සේවය ස්ථිර වීම ගැන ඉහළින් සලකලා කතා කළාට ලෝකයේ වෙනත් රටවල තාවකාලික සේවය, කොන්ත්‍රාත් පදනම යනුවෙන් අවතක්සේරුවට ලක් කරන්නේ නැහැ. ඒ වගේම ස්ත්‍රී පුරුෂ යනුවෙන් කිසිදු භේදයක් නැතිව එකම වැටුප් තලයක සියලුම සේවකයන් කටයුතු කරනවා. නමුත් අපේ රටේ සමහර ආයතනවල ඇතැම් නීති නිසිලෙස නිරූපණය කරගෙන නැහැ. නිර්වචනය සම්බන්ධයෙන් යම් ගැටලු මේ අවස්ථාවේදීත් මතුවී තිබිය හැකියි. යල් පැන ගිය ස්ත්‍රී පුරුෂ භාවය සම්බන්ධ වූ නීති රීති සංශෝධනය විය යුතුයි. බොහෝ කාන්තාවන් අධ්‍යාපනයෙන් ඉදිරියටම පැමිණ තිබෙනවා. ඒ නිසා ඇයට හිමිවිය යුතු තැන කාටවත් නතර කරන්න බැහැ. කාන්තාවන්ට වගකීම් දැරීමේ හැකියාව විශේෂයෙන් පොලිසියේ ඉහළ තනතුරක් සඳහා උචිතයි. ගැහැනු සිටිය යුත්තේ කාර්යාල තුළ පමණක් යැයි සිතන මිනිසුන්ගේ ආකල්ප වෙනස් වීමත් මෙහිදී අවශ්‍යයි. කාන්තාවට ඕනෑම වේලාවක ක්ෂේත්‍රයට යා හැකි පරිසරයක් සකස් විය යුතුයි. නෛතික ප්‍රතිපාදන වෙනස් විය යුතු තැන්වලදී වෙනස් විය යුතුයි .

ලෝකයේ පළමු අගමැතිනිය පත්වූ රටේ විධායක ජනාධිපතිවරිය, අගමැතිවරිය ,ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරිය බවටත් කාන්තාවන් පත්වුණා. එසේ නම් නියෝජ්‍ය පොලිස්පතිනියක් පත්වීමේදී කාන්තාවට එම ඉහළ තනතුරට යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇත්තේ ඇයි? සියලුම ක්ෂේත්‍රවල සමාජයේ ඉහළ තැනක කාන්තාව ඉදිරියෙන් ඉන්නවා නම් ඇයි මේ තනතුරට පමණක් එවැනි ප්‍රශ්නයක් මතු කරන්නේ ? ඇමරිකාවේ වත්මන් උප ජනාධිපතිවරියත් කාන්තාවක්. ලෝකයේ බොහෝ රටවල්වල කාන්තාවන් ඉදිරියෙන් ඉන්නවා. එසේනම් ලංකාවේ පොලිසියට පමණක් මේ තනතුරට කාන්තාවක් නුසුදුසු වන්නේ යන ප්‍රශ්නය මෙහිදී මතු වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට විවිධ ක්ෂේත්‍රවලට ඇතුළත් වීමේ අයිතිය ලබා ලබාදී තිබෙනවා,සමානාත්මතාව පිළිගෙන තිබෙනවා.පොලිස් දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, වෛද්‍ය ක්ෂේත්‍රය, පරිපාලන ක්ෂේත්‍රයේ සහ දේශපාලනය තුළ කාන්තාවට විවර වූ අවකාශයක් තිබෙනවා. එහි මූලික ප්‍රතිපාදන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් වෙනවා.

නමුත් කාන්තාවක් වීම නිසා එවැනි අවකාශයක් වළක්වන යම් නීතියක් හෝ ප්‍රතිඥාවක් තිබෙනවා එය අපේ මූලික ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සිද්ධාන්තයට විරුද්ධයි.පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු වන කාන්තාවන්ට තමන්ගේ ආයතනය තුළ ඉහළ තනතුරුවලට යෑමට අවකාශ තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව එවැනි බාධක ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කර සම්මන කිරීම අවශ්‍යයි.

ඇයට පමණක් නොව පොලිස් දෙපාර්තමේන්තුවේ දැනට සිටින සියලුම කාන්තාවන්ට ඉහළ තනතුරුවලට යෑමට නිසි ක්‍රමවේදයක් තුළ අවස්ථාව තිබිය යුතුයි. එම නිසා මෙය පොදුවේ කාන්තාවන් සියලු දෙනාම වෙනුවෙන් මිස බිම්ෂානි පිළිබඳ කතාවක් පමණක්ම නොවෙයි. ඇයගේ පත්වීමේ තාක්ෂණික දෝෂයක් තිබෙනවා නම් එය ඇය කාන්තාවක් වීම නිසා මතුවන තාක්ෂණික දෝෂයක් නොවිය යුතුයි. ඒ තාක්ෂණික දෝෂය ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව වෙනස් විය යුතුයි. විදේශිකයන් විසින් පනවන ලද නීතිවලට අපි බැන්නට අපේ පොලිස් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නෙ බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය මත ගොඩනැඟුණු දණ්ඩ නීති සංග්‍රහය අනුවයි. පොලිස් දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය අදට සරිලන විදියට ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව සංශෝධනය විය යුතුයි. ලංකාවේ පාර්ලිමේන්තුවේ මේ නීති සංශෝධනය කර සම්මත කළ යුතුයි. නමුත් මූලික සංශෝධන ගැන විමර්ශනය කරන කමිටුවක් අද වෙනතුරුත් පත් කර නැහැ.

මගේ මතය අනුව අපි පිරිමියාට ගෞරව කළ යුතුයි. නිසි තැන ලබාදිය යුතුයි. නමුත් අද කාලයේ බොහෝ පිරිමින්ට තිබෙන ගැටලුවක් වන්නේ කාන්තාවක් යම් තැනකට ඒම නොරිස්සීමයි. ඔවුන්ට එය දරා ගැනීමට අපහසු වී තිබෙනවා. බිම්ෂානි මහත්මිය එම තනතුරට පත් වුවහොත් ආචාර කිරීම නොකරන ලෙස පසුගිය දිනවල බොලඳ කතාවක් තිබුණා.

ප්‍රෞඩ ඉතිහාසයක් තිබෙන රටක් ලෙස අපි ඒ පිළිබඳ ඉතාම ආඩම්බරයෙන් කතා කළා. දැන් තාක්ෂණ හා මුසු වෙමින් බටහිර ක්‍රමයකට අනුකූලව තමා බොහෝ මිනිසුන් ජීවත් වන්නේ. නමුත් ඔවුන්ගේ අදහස් තවමත් ඉතාම සාම්ප්‍රදායිකයි. මෙතන තිබෙන ගැටලුව වන්නේ එයයි. ලංකාවේ මිනිස්සුන්ට නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි වැනි කාන්තාවක් එම තනතුරට නුසුදුසු යැයි සැලකීම මට හැඟෙන්නේ කුහකකමක් ලෙසටයි. ඇයි. මට හැඟෙන ආකාරයට මෙහි ඇත්තේ කුහකකමක්. මෙය සිදු වූයේ සිංහල බෞද්ධ කෙනෙකුට නිසා බහුතර ජනතාව නිහඬව සිටිනවා. නමුත් මෙය වෙනත් ආගමක කෙනෙකුට සිදු වුණා නම් මානව අයිතිවාසිකම් සම්බන්ධ ගැටලු පවා පැන නැගිය හැකියි.

මම කතා කරන්නේ නියෝජ්‍ය පොලිස්පති බිම්ෂානි ගැන පමණක් නොවෙයි. සියලුම කාන්තාවන් වෙනුවෙනුයි. ඇයට මේ තනතුර ඉතා සුදුසුයි. ඒ වෙනුවෙන් අපි ඕනෑම තැනක සිට ගන්නවා. අපේ මේ හඬ නඟන්නේ මෙලෙස අසාධාරණයට ලක් වූ සියලු කාන්තාවන් වෙනුවෙන්.

 

 

 

 

 

 

Comments