රටම නැළ වූ හිරු ස්ටාර්-උදාර | Page 2 | සිළුමිණ

රටම නැළ වූ හිරු ස්ටාර්-උදාර

කුසලානය ලබා ගත් මොහොත
කුසලානය ලබා ගත් මොහොත

පේ රටේ සංගීත ලෝලීන්ට ඉකුත් විසි වෙනිදා රාත්‍රිය අමතක නොවන දිනයක් විය. ‘හිරු’ රූපවාහිනී නාළිකාව මඟින් සංවිධානය කරන ලද ‘හිරු ස්ටාර්ස් සීසන් 2’ රියැලිටි මෙවර තරගයේ ජයග්‍රහකයා ලෙස අභිෂේක ලැබුවේ අහුන්ගල්ල ගමට උදාරත්වයක් උදාකර දුන් උදාර කෞශල්‍ය තුරුණු ගායකයා ය.අම්මත්, තාත්තත් කුඩා කාලයේදීම අහිමි ව සිය ආච්චි අම්මා ළඟ හැදී වැඩෙමින් මෙම තරගයට දුක් මහන්සියෙන් ඉදිරිපත් වෙද්දී ආච්චි අම්මා ද මෙලොව හැර යෑම ඔහුගේ ගමනට මහත් බාධාවක් වුවද දුකේදී පිහිට වෙන හිත හොඳ මිතුරන් පිරිසක් සිටීම ශක්තියක් විය.

බාධක දුක් කම්කටොලු මධ්‍යයේ තරගකරුවන් හැත්තෑ දහසකට ආසන්න පිරිසක් සමඟ අවුරුදු එක හමාරක කාලයක සිට තරග කොට මෙවර කිරුළ හිමිකර ගත්තේ රුපියල් ලක්ෂ තිස් පහක් ‘මහේන්ද්‍රා’ ජීප් රථයත්, රුපියල් ලක්ෂ පනහක් වටිනා ගීත ඇල්බමය සහ රුපියල් ලක්ෂ දාහතකට ආසන්න මුදල් ත්‍යාගයත්, ඊට අමතරව ලක්ෂ ගණනක රසික හදවත් ද දිනා ගනිමිනි.

ඔහුගේ සමීපයෙන්ම සිට සහය දුන් මිතුරන් සිවුදෙනා සමඟ

එසේ ජන හද දිනාගත් අහුන්ගල්ලේ උදාර කෞශල්‍ය සිය නිවේසේදී සිළුමිණ සමඟ සාකච්ඡාවක නිතර වූයේ මෙසේය.

වර්ෂ 1995 ජූලි මස එකොළොස් වෙනි දින අහුන්ගල්ල මාකුඹුර ගම්මානයේ මම ඉපදුණේ. බළපිටිය රේවත ජාතික පාසලේ ඉගෙන ගත්තේ. මම කුඩා කාලයේ ඉඳලම අපේ ගෙදර තිබුණේ සංගීත වටපිටාවක්. තාත්තා කළෙත් ගීත ගැයීමයි. මගේ ලොකු මාමා සංජීව රාජපක්ෂ සංගීතඥයෙක්. එයා සංගීත කණ්ඩායම්වල ඩ්‍රම්ස් වාදනය කරනවා. ඒ නිසා ගීත ගායනයට මගේ හිත ඇදිල ගියා කිව්වොත් වඩා නිවැරදියි.

මම හයවෙනි ශ්‍රේණියේ ඉගෙන ගනිද්දී තාත්තා මිය ගියේ. අග හිඟකම්වලින් වැඩිවුණා මිස අඩුවුණේ නැහැ. මේ අතරවාරයේ තමයි අම්මත් අපිව දාල රට යන්නේ. ඩී. කුසුමලතා ද සිල්වා මගේ ආච්චි තමයි තනිනොතනියට හිටියේ. ආච්චිගෙ රැකවරණ මැද්දේ සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා.

පාසල් අධ්‍යාපනය නිමා කළ සැණින් සංගීතයට යොමු වුණා. අහුන්ගල්ලේ සුජිත් ද සිල්වා අයියා වන් මෑන් ෂෝ සංගීත බෑන්ඩ් එකක් පවත්වා ගෙන ගියා. මම සුජිත් අයියා සමඟ එකතු වෙලා සංගීත දැනුම වැඩි දියුණු කරගන්න උත්සාහ කළා. එහෙත් අතේ මිටේ සල්ලි නැතිව අඩුපාඩුකම් ඇතිවුණා. මට වුවමනා වුණා ආච්චිටත් බරක් නොවී රැකියාවක් කරන්න. සුජිත් අයියා සමඟ සංගීත වැඩ කරගෙන යද්දී හික්කඩුවේ හෝටල් පාසලට ගිහින් අවුරුද්දක පාඨමාලාවක් හැදෑරුවා. බෙන්තර ‘ටාජ් හෝටලයේ’ රූම් බෝයි කෙනෙක් හැටියට අවුරුද්දක් පුහුණු වුණා.

මේ රැකියාව නිසා මගේ සංගීත ගමනට ලොකු බාධාවක් වුණා. මංගල සාද වලදී’ උපන් දින සාදවලදී සින්දු කියන්න යන්න නිවාඩු ගන්න හරි අමාරු නිසා රැකියාවට ආයුබෝවන් කියල සංගීතෙටම යොමු වුණා. මේ අතරවාරයේ මගේම ගීත කිහිපයක් නිර්මාණය කරගෙන ජනප්‍රිය එෆ්. එම්. නාළිකා කිහිපයකට ගියත් මට ඉඩක් ලැබුණේ නැහැ. කලකිරිමෙන් ඉන්න විට තමයි හිරු නාළිකාවෙන් ‘හිරු ස්ටාර්ස් සීසන් 2’ආරම්භ කරන්නේ.

මම ඒකට ඔන් ලයින් මඟින් ඇප්ලිකේෂන් එකක් යැව්වා. මට වුවමනා වුණේ අවසාන වටයට ඇවිත් කිරුළ දිනාගන්න නොව ලැබෙන මුල්ම විනාඩි තුනෙන් හොඳ ගායනයක් ඉදිරිපත් කරල මිනිස්සු ටිකක් දිනා ගන්නයි. ඒ විනාඩි තුන මට මිලියන ගානක් වටිනවා. මගේ උපරිම දේ කරල මුල්ම දවසේ වැඩිම ජනතා ප්‍රසාදය දිනා ගන්න හැකිවුණා. එදායින් පස්සේ තවත් උනන්දු වුණා. විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණු උපදෙස් සහ සහයෝගය මට හරියටම වටිනවා. මම තරගයට ඉදිරිපත්වෙලා මුල්ම ගායනය ඉදිරිපත් කරන්න පෙර 2019 සැප්තාම්බර් වලදී ආච්චි මාව තනිකරල පරළොව ගියා. මට තිබුණු හයිය නැති වුණා; මම තනි වුණා.

ඔහුගේ ජයගුහණයට දිරි දුන් හිතවතුන් සමඟ

මම මුලටම එක එක සින්දු කියන විට බයිලා ගීතයකුත් ගායනා කළා. එහි මුල් වචන දෙක තුන කියන විට බිලී ප්‍රනාන්දු සර් තමයි කිව්වේ ඔයාට ගැළපෙන්නේ බයිලා මිසක් සරල ගීත නොවෙයි කියල. එතුමා කිව්වා බයිලා කිව්වොත් දිගු ගමනක් යන්න පුළුවන්. කිරුළත් දිනාගන්න පුළුවන් කියල මුල්ම අනාවැකිය කිව්වා. ඉන් පස්සේ බයිලා කියූ නිසා හැම තරගයකදීම මනාප අනූව පන්නල යන්න හැකි වුණා. එකකදී විතරයි අඩුවුණේ. අලුත් පරපුර අහපු නැති එම්. එස්. ප්‍රනාන්දු ඇතුළු සියලු බයිලා ගායකයන්ගේ ගීත තෝර ගත්තා. මට වැඩියෙන්ම ආදරය කළේ චූටි ළමයි. ඒ අය තමයි මට නිතරම ෆෝන් එකෙන් කතා කරන්නේ. එක පිරිසක් නොවෙයි ජාති බේදයෙන් තොරව කවුරුත් ආදරය කළා. ලොකු පිළිගැනීමක් තිබුණා. මහා සංඝරත්නයෙන්, පූජක ස්වාමීන් වහන්සේලාගෙන් ලොකු සහයක් ලැබුණා. ආශීර්වාද ලැබුණා; ඒක හරියට වටිනවා.

තරගයේ මැදක් හරියේ යනවිට හිරු ආයතනයට නිතර නිතර පුහුණුවීම් වලට යන්න සිදුවුණා. කාර්ය බහුලත්වය වැඩිවෙන බව දැක්ක මගේ හොඳම මිතුරෙක් වන ෂෙහාන් මධුසංඛගේ අම්මා රේණුකා දිල්රුක්ෂි නැන්දා මට කතා කරල කිව්වා ‘පුතේ ඔයාට ඔය වැඩ ටික තනියෙන් කරගන්න අමාරුයි නේද? ඔයා තරගය ගැන විතරක් හිතන්න. මම අනෙක් සියලු දේ බලා ගන්නම් කිව්වා. පුළුවන් තරම් කාලයක් අපේ ගෙදර ඉන්න; ඒක මට සතුටක්; ඔයා මට මගේ පුතෙක් වගෙයි’ කියල කිව්වා.

ඒක මට ලොකු ශක්තියක් වුණා. මම තනියම හිටිය නම් මේ ගමන මේ විදියට එන්න ලැබෙන්නේ නැහැ. මම කොතරම් තනියෙන් හිටියත්; යාළුවෝ ඇසුරු කළත් වැරදි මාර්ගවල ගියේ නැහැ. සමාජයේ වෙන දේවල් අනන්තවත් දකින්න ලැබෙනවා. නමට කැළලක් වෙන නිසා මම ඒ පැත්තට ගියේ නැහැ. ඒ නිසයි ගමේ අය මට ආදරය කළේ; එකතු වුණේ.

තරගයේ මැදක් යනවිට විනිශ්චය මණ්ඩලයේ තුන් දෙනාගෙන් කෙනෙක් තෝර ගන්න කිව්වා. මම පොඩි කාලයේ ඉඳලම ආදරය කරපු චරිතයක් තමයි මර්වින් පෙරේරා සංගීතඥයා. එතුමගේ ගීත වලට හරි කැමතියි. ඒ වගේම අමල් පෙරේරාටත් වැඩි ආදරයක් තිබුණා. මම දැක්ක දවසේ ඉඳලම එතුමා මට පියෙක් වගේ වුණා. ෂෙහාන්, නිරෝෂා දෙදෙනාත් ඒ වගේම මට උදවු කළා. නිතර ගුරුහරුකම් කියා දෙමින් වැරදි පෙන්වා දෙන නිසාත් කිසිවිට කිසි කෙනෙකුට අසාධාරණයක් නොකරන නිසා මම අමල් සර් තෝරා ගත්තා.

ඒ නිසයි මට මේ ගමන එන්න පුළුවන් වුණේ. මගේ මිතුරෝ සියලු දෙනා අමතක කරන්න බැහැ. ගමේ සියලු දෙනාම මට හිටියා. හිරු රූපවාහිනී ආයතනයට යන විට කවුරුවත් දැන හැඳිනගෙන හිටියේ නැහැ. ඒ ආයතනයේ පිරිසිදු කිරීම් අංශයේ ඉන්නා නැන්දා ඇතුළු සැම දෙනාගෙන්ම ලොකු සහයක් ලැබුණා. කතා කරන වචනයෙන් පවා ලොකු හයියක් දුන්නා. උද්දික ප්‍රේමරත්න අයියා මුල්ම නිවේදකයා වුණා. ඊට පස්සේ ආව සාරංග දිසාසේකර අයියත් මට ගුරුහරු කම් කියල දුන්නා.

හිරු ස්ටාර්ස් සංකල්පය ගෙනාපු ඒ. බී. සී. මාධ්‍ය ජාලයේ අධිපතිතුමාට ගොඩක් ස්තුති කරන්න ඕන. අපි වගේ යමක් කමක් කරගන්න බැරි උදවියට සංගීතය පැත්තෙන් ඉදිරියට යන්න තැනක් හදල දීම වෙනුවෙන්. සීසන් 3 වැඩ සටහනට එක්වෙන්න කියල සැම දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

සමිත්, ෂෙහාන්, නදීර ඇතුළු යාළුවෝ මගේ පස්සෙන් හිටියා. මට තිබුණේ ගිහින් සින්දු කියන්න විතරයි. ගමේ විතරක් නොවෙයි ලංකාව පුරාම කටවුට් ගහල තිබුණා. ඒ එකකටවත් මගෙන් සතයක්වත් වියදම් වුණේ නැහැ.

සමහර අයට ස්මාර්ට් ෆෝන් තිබුණේ නැහැ. බොහෝ දෙනා අමාරුවෙන් ෆෝන් අරගෙන මං වෙනුවෙන් එස්.එම්. එස් එව්වා. ගොඩක් අම්මල තාත්තල කතා කරල මට කියනවා පුතේ මට ෆෝන් එකක් නැහැ එස්.එම්. එස් කරන්න. පුතාට මම ආශීර්වාද කරනවා කියල.

ඒකම මට මේ ගමන එන්න ආශීර්වාදයක් වුණා. අද වනවිට මට රසිකයෝ විශාල පිරිසක් ඉන්නවා; ඒ අයගේ වටිනාකමට ලොකු වටිනාකමක් දෙන්න මම උපරිමයෙන් උත්සාහ කරනවා. ඉදිරියේදි හොඳ නිර්මාණ ටිකක් ඉදිරිපත් කරනවා. එමෙන්ම මම කිව්වේ ප්‍රවීණයන්ගේ සදා අමරණීය ගීත. ඒ ගීත රචනා කළ අයටත් තනු නිර්මාණය කළ අයටත් ගායක පිරිසටත් මගේ ප්‍රණාමය පුදකරනවා‘

 

Comments