රත්ගම හෙල්ලූ ද්විත්ව ඝාත­නයේ සුල­මුල පොල් කඩන්නා වමා­රයි | Page 2 | සිළුමිණ

රත්ගම හෙල්ලූ ද්විත්ව ඝාත­නයේ සුල­මුල පොල් කඩන්නා වමා­රයි

බුස්ස රූපිවල ප්‍රදේශයේ පදිංචි කුසුමාවති ද සිල්වා ඉස්කෝල හාමිනේ හෑත්තෑ දෙහැවිරිදිවියේ පසුවුවාය. කුසුමාවතී ඉස්කෝල හාමිනේ නිවෙසට වී විශ්‍රාම සුවයෙන් කල්ගෙවමින් සිටි අතර ඇයගේ සැමියා විශ්‍රාමලත් විදුහල්පතිවරයෙකි. ඔහු මිය යෑමෙන් පසු කුසුමාවතී ඉස්කොලේ හාමිනේ බුස්ස රූපිවල පිහිටි නිවසේ තනිවම පදිංචිව සිටියාය. ඇයට දරුවන් නොසිටි අතර මේ නිසා ඕ දිනයේ වැඩි කාලයක් ආගමට දහමට යොමුවෙමින් ගත කළාය. කුසුමාවතී ඉස්කෝලේ හාමිනේ ගැන ඇයගේ සහෝදරයෝ ද නිරතුරුව සොයා බැලූහ. කුසුමාවතී ඉස්කෝලේ හාමිනේගේ නිවසට කිලෝමිටරයක් පමණ දුරින් බුස්ස, මලිදුව, පහළවත්ත ප්‍රදේශයේ පෙදරේරුවකු වු නුවන් ප්‍රිතික පිංතු (34) පදිංචිව සිටියේය. නුවන් එක් දරු පියෙකි. ඔහුගේ දරුවාගේ වයස අවුරුදු 04කි. නුවන් ප්‍රිතික විනෝදකාමියෙකි. ඔහු මත්පැන්වලට ලොල් වී සිටි අයෙකි. එහෙත් ඔහු කිසිවෙකුටත් කරදරයක් නැතිව තමන්ගේ පාඩුවේ ජිවත් වූ අයෙකි. මත්පැන් ලෝලියකු වුවද නුවන් ප්‍රීතිකට ගමේ කොයිකවුරුත් ආදරය කළහ. ඔහු ගම්වැසියන් සමඟ ඉතා සමිපව කටයුතු කළේය.

දිනය ඉකුත් 05 වැනිදය. නුවන් එදින පස්වරුවේ මළ ගෙදරක ගොස් නිවසට පැමිණියේය. හේ ඇඟපත සෝදාගෙන පොඩි අඩියක් ගැසීම සඳහා මත්පැන් විකුණන තිත්පොළක් වෙත පාපැදියේ නැඟී පිටත්ව ගියේය. තමන් මේ නිවෙසින් යන අවසන් ගමන බව ඔහු සිහිනෙකින්වත් නොසිතන්නට ඇත. මත්පැන් පානය කිරිමෙන් පදමට සුර්වී සිටි නුවන් පාපැදිය තල්ලු කරගෙන නිවසට එමින් සිටියේය. ඒ වනවිට රෑ බෝවී තිබුණි. මේ අතර කුසුමාවතී ඉස්කොලේ හාමිනේ නිවසට වී බෞද්ධයා නාළිකාවේ විකාශනය වෙමින් තිබු ආගමික වැඩසටහනක් නරඹමින් සිටියාය. නුවන් නිවසට එනතෙක් බිරිද මගබලාගෙන සිටියාය. පසුදින උදෑසන බුස්ස රූපිවල ප්‍රදේශයේ නිවෙස් දෙකක් තුළදී අභිරහස් ලෙස පුද්ගලයන් දෙදෙනකු මිය ගිහින් මේ

නිවෙස අසල තිබූ මළ සිරුර

පුවත ලැව්ගින්නක් සේ ප්‍රදේශය පුරා පැතිරි ගියේ විදුලි වේගයෙනි. මේ අතරතුරේ කුසුමාවතී ඉස්කෝලේ හාමිනේගේ සහෝදරයකු ඇයගේ සුවදුක් සොයාබැලීම සඳහා ඇය පදිංචි නිවෙසට පැමිණියේය. කුසුමාවති ඉස්කෝලේ හාමිනේ නිවසේ සාලය මැද වැටී සිටියේය. ඒ වනවිට රුපවාහිනිය ද ක්‍රියාත්මක වෙමින් පැවතුණි. මේ පිළිබඳ ඉස්කෝලේ හාමිනේගේ සහෝදරයා පොලීසියට දැනුම් දුන්නේය. මේ අතර බූස්ස කොවිලවත්ත ප්‍රදේශයේ පාළු නිවසක ඉදිරිපස පෙදරේරුවා පිහි ඇනුම් සහිතව වැටී සිටියේය. එකී පාළු නිවසේ දෑස් අන්ධ පුද්ගලයකු සිටි අතර ඔහුට දිනපතා කෑම රැගෙන එන අයකු ලේ පෙරාගෙන බිම වැටී සිටි නුවන් දැක මේ ගැන පොලීසිය දැනුම්වත් කිරිමට කටයුතු කරනු ලැබීය.

නුවන් නැමති පෙදරේරුවාගේ සිරුරේ පිහි ඇනුම් 34ක් පමණ තිබු අතර පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ ගාල්ල කරාපිටිය වෛද්‍ය පිඨයේ අධිකරණ වෛද්‍ය අංශයේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යු.සි.පි.පෙරේරා විසින් පිහි ඇනුම්වලින් වු තුවාල නිසා මරණය වී ඇති බවට තීන්දු කළේය. කුසුමාවති ඉස්කොලේ හාමිනේගේ මරණය සම්බන්ධව ලබා දුන්නේ විවෘත තීන්දුවකි.

කුසුමාවති ඉස්කෝලේ හාමිනේ වැටී සිටි සාලයේ ලේ පැල්ලම් කිහිපයක් තිබු අතර එහි පාදයක අඩි සලකුණු සටහන් වී තිබුණි. එම පාද සටහනේ එක් ඇගිල්ලක් සටහන් වී නොතබුණි. පොලීසිය විසින් මේ පාද සටහන් ඔස්සේ විමර්ශන කටයුතු ආරම්භ කරනු ලැබීය. කුසුමාවති ඉස්කෝලහාමිනේ ගේ නිවසට මඳක් දුරින් පොල් කඩන හා එදිනෙදා කුලී වැඩකරන අයකු පදිංචිව සිටියේය. ඔහු ගම්මුන් හැඳින්වූයේ බකල් සරත් නැමති අනුවර්ත නාමයෙනි. බකල් සරත්ගේ පාදයක එක් ඇගිල්ලක් නොමැති අතර ඔහු කුසුමාවති ඉස්කෝල හාමිනේගේ වත්තේ පොල් කැඩීමද කරනු ලැබිය. බකල් සරත් නැමති පොල්කඩන්නා අත්අඩංගුවට ගනු ලැබීය. පොලීසිය ඉදිරියේ ඔහු සියල්ල වැමෑරියේය. බකල් සරත් පොල් කැඩීමෙන් තම දරු පවුලේ බඩවියත රැකගත් අයෙකි. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. බකල් සරත්ගේ මිතුරකු කුරුඳු තැලීමේ නිරතව සිටියේය. ඔහු හික්කඩුව මලවැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එක් දිනක් රාත්‍රියේ බකල් සරත් හා කුරුඳු තලන්නා කුරුදු වාඩියේ දි හමුවිය. මචං කුසුමාවති ඉස්කෝල හාමිනේ ළඟ හොඳට සල්ලි තියෙනවා. රත්තරනුත් ඇති. ඉස්කෝල හාමිනේට පැන්ෂන් දෙකකුත් ලැබෙනවා. බකල් සරත් කුරුඳු තලන්නාට කිවේය. ඒ අනුව කුසුමාවතී ඉස්කෝල හාමිනේගේ මුදල් හා රන්භාණ්ඩ කොල්ලකෑමට බකල් සරත් හා කුරුදු තලන්නා එක් වී සැලසුම් කරනු ලැබීය. ඉස්කෝලේ හාමිනේ ඝාතනය කිරීමේ සැලැස්මක් මොවුන් තුළ නොවීය.

ඉකුත් 05 වැනිදින රාත්‍රී බකල් සරත් හා කුරුඳු තලන්නා කුසුමාවතී ඉස්කෝල හාමිනේගේ නිවෙසට කඩා වැදුණහ. ඒ වනවිට ඉස්කෝල හාමිනේ බෞද්ධයා නාළිකාවේ ආගමික වැඩසටහනක් නරඹමින් සිටියේය. බකල් සරත් ඉස්කෝල හාමිනේ විසින් හඳුනාගනු ලැබීය. මින් බකල් සරත් හා කුරුඳු තලන්නා කලබලයට පත්වුහ. මුදල් හා රන්භාණ්ඩ සොරකම් කිරිමේ සැලැස්ම ලත්තැනම ලොප් වී ගියේය. ඉස්කෝලේ හාමිනේ මරා දැමීමට මොවුන් ක්ෂණිකව තීන්දු කරනු ලැබීය. ඉන්පසු මොවුන් දෙදෙනා කුසුමාවති ඉස්කෝල හාමිනේ සාලයේ බිම දමා පාගා ඇයගේ ගෙල සිරකොට මරා දමනු ලැබීය. ඉන්පසු පොල්කඩන්නා හා කුරුඳු තලන්නා කුසුමාවතී ඉස්කොලේ හාමිනේගේ මුදල් පසුම්බිය හා පිත්තල සෙම්බුවක් සොරකම් කරගෙන නිවසෙන් එළියට පැමිණියහ. මුදල් පසුම්බියේ රුපියල් දෙදහසක මුදලක් තිබු අතර; එම මුදල දෙදෙනා විසින් බෙදා ගනු ලැබීය. පොල්කඩන බකල් සරත් හා කුරුඳුතලන්නා ඉස්කෝල හාමිනේගේ නිවසින් එළියට බහිනවාත් සමඟ නුවන් තම පාපැදිය තල්ලුකරගෙන ඒ අසලින් ගමන් කරමින් සිටියේය. ඉස්කොලේ හාමිනේගේ නිවසේ සිට තමන් දෙදෙනා එළියට බසින අයුරු නුවන් නැමැති පෙදරේරුවා දකින්නට ඇති බවට බකල්සරත්ට හා කුරුඳු තලන්නාට සැකයක් ඇතිවිය. ඒ විතරක් නෙවෙයි; මීට මාස කිහිපයකට පමණ ඉහතදී බකල් සරත් පාපැදියකින් ගමන් කරමින් සිටියදී නුවන්ගේ නිවසේ සිටි සුනඛයා පාපැදියට පැනීම නිසා බකල් සරත්ගේ අත තුවාල විය. මේ නිසා මාස දෙකක් පමණ අතේ වෙළුම්පටි දමාගෙන බකල් සරත්ට සිටීමට සිදුවිය. ඒ සිද්ධිය නිසා බකල් සරත් නුවන් සමඟ අමනාපයෙන් පසුවී තිබේ.

ඉන්පසු බකල්සරත් හා කුරුඳු තලන්නා නිවෙස්වල මාර්ගය දෙසට සවිකොට ඇති සී.සී.ටී.වී කැමරා මගහරිමින් නුවන් පසුපස ගොස් ඔහු අල්ලා ගත්තේය. ඉන්පසු නුවන් බුස්ස රූපිවල ප්‍රදේශයේ පාළු නිවසක් තුළට රැගෙනවිත් මොවුන් අත තිබූ පිහිවලින් ඇන නුවන් ඝාතනය කරනු ලැබීය. ඝාතනයෙන් පසු බකල් සරත් හා කුරුදු තලන්නා ප්‍රදේශයෙන් පලාගොස් තිබුණි. පළමුව පොලීසිය විසින් බකල්සරත් කොටුකරගෙන තිබු අතර ඔහුගේ ප්‍රකාශමත කුරුඳු තලන්නා මෙකි ද්විත්ව ඝාතනවලට සම්බන්ධ බවට අනාවරණය විය. කුරුඳුතලන්නා මෙකී ඝාතන වලින් පසු මුහුදු ගොස් තිබු අතර ඔහුද පොලිසිය විසින් කොටුකරගනු ලැබීය. ඝාතනය සඳහා යොදාගත් පිහි දෙකක්,සොරකම් කරනු ලැබු පිත්තල් සෙම්බුව, මුදල් පසුම්බිය, ලේ තැවුරුණු ඇඳුම් ද පොලිසිය මගින් සොයාගනු ලැබීය. කුරුඳු තලන්නා අවිවාහකයකු වන හිටපු යුද හමුදා සෙබලෙකි. ඔහු යුද හමුදාවේ බොක්සිං කණ්ඩායම ද නියෝජනය කළ අයකු බවද විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෙකී ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු මස 03 වැනිදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කොට ඇත. ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, ගාල්ල කොට්ඨාශභාර පොලිස් අධිකාරි වකුම් ගිණිගේ, රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රභාත් විතානගේ, පොලිස් පරික්ෂක හෙට්ටිආරච්චි, අපරාධ අංශයේ ස්ථානාධිපති උ. පො. ප. පි.එල් පුෂ්පකුමාර, උ. පො. රංජිත්, උ. පො. ප. ජයසිංහ, උ. පො.ප ප්‍රේමසිංහ, පො. සැ. 13413 ප්‍රියන්ත, පො. කො. 66651 දළුගොඩ, පො. කො. 85210 නවරත්න, පො. කො. 68134 ප්‍රියන්ත යන නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.

Comments