ලොව ප්‍රථමවරට නිවුන් දරුවන්ගෙන් ක්‍රිකට් කණ්ඩායමක් | සිළුමිණ

ලොව ප්‍රථමවරට නිවුන් දරුවන්ගෙන් ක්‍රිකට් කණ්ඩායමක්

ලොව ප්‍රථම නිවු­න් ක්‍රිකට් කණ්ඩායමේ සමූහ ඡායාරූපය
ලොව ප්‍රථම නිවු­න් ක්‍රිකට් කණ්ඩායමේ සමූහ ඡායාරූපය

කෙනෙකු යම් පුද්ගලයකු දෙස නැවත නැවතත් හැරි හැරී බැලීමට නම් යම් විශේෂිත වූ හේතුවක් තිබිය යුතුමය. එහෙත් ඒ විශේෂත්වය ඔවුන්ට නම් ඉතා සාමාන්‍ය වූ දෙයකි. ඒ නිරතුරුවම ඔවුන් දෙස සමාජයේ කොයි කවුරුනුත් හැරි හැරී බලන නිසා ය. මේ සුවිශේෂීවූ සමාජ ආකර්ෂණය හිමිව ඇත්තේ නිවුන්නුන්ටය.

හඳුනාගත නොහැකි ආකාරයෙන් සමානකම් සහිතව මෙලොව එළිය දකින නිවුන්නු සැබවින් ම පවුලකට ආභරණයකි. හැඩරුවින් සමාන වූ දරුවන් දෙදෙනෙකු එකම ආකාරයේ ඇඳුම් පැලඳුම්වලින් හැඩ කරගෙන යන මාපිය යුවළක් තුළ ඇත්තේ ද අභිමානයකි. කෙනෙක් දුක් කම්කටොලු මැද දරුවන් හදා වඩා ගන්නා මාපියන් තුළ වුව ද නිවුන් දරුවන් සම්බන්ධයෙන් ඇත්තේ මහත් ආඩම්බරයකි.

නිවුන් දරුවන් දෙදෙනකු එකට සිටි විට දැනෙන අසිරිය එබඳු නම් නිවුන් දරුවන් දහස් ගණනක් එක්වූ විට දැනෙන අසිරිය කෙබඳු විය හැකි ද?

එවන්වූ දහස් ගණනක් එක් කිරීමට මුල්වූ අයකු විය. ඒ අතිශය අභියෝගාත්මක කාර්යයට මුල් වූයේ ද නිවුන් සාමාජිකයෙකි. ඒ උපුලි ගමගේ ය.

ක්‍රිකට් කණ්ඩායමට අයත් තුන් නිවුන් සාමාජිකයන් (වමේ සිට අභීත, අනූෂ සහ අදීෂ)

ඇය විසින් 1993 වසරේදී ආරම්භ කළ ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ මේ වනවිට සාමාජික සංඛ්‍යාව හතළිස්දහස ඉක්මවා ගොසිනි.

ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘවරියවූ උපුලි ගමගේ ගේ සංකල්පයක් මත ලොව ප්‍රථම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් දෙකක් පසුගිය 21 වැනිදා එළිදක්වන ලදී.

වාද්දුව ‘ෆිෂර්මන් විලා’ හෝටලයේ පැවැති මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වූයේ ‘ෆාස්ට් ත්‍රී සයිකල්’ ආයතනයේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ අනිල් බණ්ඩාරයි.

නිවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් අලංකාරවූ ඒ රාත්‍රියේ පිළිගැනීමේ කතාව කළ උපුලි ගමගේ මහත්මිය ශ්‍රී ලංකා නිවුන් සංවිධානය ගැනත්, ලොව ප්‍රථම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් බිහි කිරීමේදී මුහුණ දුන් අභියෝග පිළිබඳවත් විස්තර ක‍ළා ය.

මාගේ නිවුන් සොයුරිය චමරිත් මාත් මෙම සංවිධානය පටන් ගනිද්දී මෙවන් සංවිධානයක් බිහිව තිබුණේ නැහැ. නිවුන්නු නිසාම අපට බොහෝ තැන්වල හොඳ පිළිගැනීමක් තිබුණා. ඇත්තටම මෙය අමාත්‍යාංශයක් දක්වා යා යුතු ගමනක්.

අපේ සංවිධානයේ උත්සවවල එක වගේ මුහුණු හමුවෙනවා. නිවුන් සීයලා ආච්චිලා පවා අප සංවිධානයේ ඉන්නවා. අපේ සංවිධානයට අනුබද්ධව නිවුන් නර්තන කණ්ඩායම්, නිවුන් ගායක කණ්ඩායම්, නිවුන් වාදන කණ්ඩායම්, නිවුන් චිත්‍ර ශිල්පී සංසදය ආදිය තිබෙනවා. මේ බිහිවන්නේ ලොව ප්‍රථම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් දෙකයි.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා අපේ සාමාජිකයන් සිටිනවා. මේ සමහරුනට කොළඹට ඒම පවා සිහිනයක් වුණා. එහෙත් දක්ෂතා ඇති අයට ඉහළට ඒම සඳහා අප අවස්ථා උදා කරදී තිබෙනවා.

කොළඹ එන නිවුන්නුන්ට ඉන්න නිසි නිවහනක් නැහැ. සමහර උත්සවවලට එන නිවුන්නුන්ගෙන් අපේ ගේ පිරිලා ඉතිරිලා යනවා. මගේ ඇදන් යට පවා නිවුන්නු ඉන්නවා.

ලොව පළමු වරට එළිදකින මෙම නිවුන් ක්‍රිකට් කණ්ඩායම් ලෝක වාර්තාවක් ලෙස නම් කරන්න කියල අපි ඉල්ලා තිබෙනවා. ජාත්‍යන්තර නිවුන් ක්‍රිකට් තරගවලට හා ජාත්‍යන්තර නිවුන් ක්‍රිකට් සංවිධානවලට අපේ ක්‍රීඩකයන් යොමු කිරීමට බලාපොරොත්තු වෙනවා.

අගෝස්තු 23 ජාතික නිවුන් දිනය ලෙස නම් කරන ලෙස අප ඉල්ලා තිබෙනවා. අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ ශුභාශිංසනය මැද කොළඹදී නිවුන් සංස්කෘතික උලෙළක් පැවැත්වීමට අප කටයුතු කරනවා. ලොව රටවල් රැසකින් නිවුන්නු ඊට සහභාගි වීමට නියමිතයි.

පවුලකට නිවුන්නු ඉපදුණා කියලා ඒ තාත්තාගේ වැටුප දෙගුණ වන්නේ නැහැ. දරුවන් දෙදෙනකු දරා සිටින මවට දෙගුණයක් පෝෂණය අවශ්‍ය වෙනවා. එවන් පසුබිමක් යටතේ තමයි මේ නිවුන්නු මෙලොව එළිය දැක ඇත්තේ.

එහෙම පිරිසක් එකතු කරල හදපු අපේ සංවිධානයට කේන්ද්‍රස්ථානයක් නැහැ. පුහුණුවීම් සඳහා දුර පළාත්වල සිට කොළඹට එන නිවුන් ක්‍රීඩකයන්ට හරි හැටි පෝෂ්‍යදායි ආහාරපාන නැහැ. මේ අයගේ පහසුව සඳහා කොළඹ කේන්ද්‍රස්ථානයක් ඉදිවිය යුතුයි. ‘නිවුන් ක්‍රිකට්’ ටී ෂර්ට් එක අන්දවලා මම රටේ ඉහළම තැනට මේ ක්‍රීඩකයන් ගෙන යනවා. මම ඉපදුණේ සමාජ සේවයටයි කියල මම හිතනවා. මගේ මවත් ස්වාමි පුරුෂයාත් ඒ සඳහා මට සහය වෙනවා.

මෙහිදී ෆාස්ට් ත්‍රී සයිකල් ආයතනයේ නිර්මාතෘ අනිල් බණ්ඩාර අදහස් දක්වමින් මෙසේ කීය.

ලොව පු‍රා නිවුන්නුන්ගේ විශේෂ දක්ෂතා මම අහල දැකල අත්විඳල තියෙනවා. මේ සුවිශේෂ කණ්ඩායමට ලෝකයේ ආකර්ෂණය දිනාගන්න පුළුවන්. උනන්දුව, කැපවීම, දක්ෂතාවය හා ආත්ම ශක්තිය ඒ සඳහා අවශ්‍යයි‍. ලොව ක්‍රිකට්වලට ආශා කරන පිරිස් නිවුන් ක්‍රිකට් බලන්න ගෙන්වා ‍ගන්න පුළුවන්. මේ දරුවන්ට පුහුණුව සඳහා කොළඹ ස්ථානයක් සූදානම් කරලීමට මම කටයුතු කරනවා.

මීට වසර 200 – 300 ට පෙර ලොව මුදල් පාලනය කළේ 5% ක පිරිසක්. අන් සියලු දෙනා වැටුප් ශ්‍රමිකයො. සියලු බාධා ශක්තියක් කරගෙන කටයුතු කළහොත් අපට මේ තත්ත්වය වෙනස් කරන්න පුළුවන්. වැටුපට වහල් නොවී ව්‍යවසායකයො බවට පත්වන්න අපට පුළුවන්.

ක්‍රිකට් කණ්ඩායම් එළිදැක්වීමේ උත්සවය නිවුන් ශිල්පීන්ගේ ගායන වාදන හා රංගනවලින් වර්ණවත් විය.

ප්‍රධාන ආරාධිතයා වූ අනිල් බණ්ඩාර‍ ශ්‍රී ලංකා නිවුන් ක්‍රිකට් වෙබ් අඩවිය විවෘත කළ අතර ශ්‍රී ලංකා නිවුන් සංවිධානයේ නිර්මාතෘ උපුල් ගමගේ ‘නිවුන් ක්‍රිකට්’ වෙනුවෙන් තැනූ සුවිශේෂි කේක් ගෙඩිය කපා නිවුන් ක්‍රීඩකයන්ට තම අතින්ම කවන ලදී.

හඳුනාගත නොහැකි තරමට රුවෙන් එක සමානවූ නිවුන් සොයුරන් දෙදෙනෙකු මෙහිදී ගී ගායනා කරමින් පෑ පෙළහර කාගේත් ප්‍රසාදයට හේතු විය.

ඔවුන් පුත්තලම, පල්ලිවාසල්තුරෙයි, අම්මාතෝට්ටම්හි පදිංචි ගොවි පවුලක දරුවන්වූ නිපුන් කවිශ්ක හා නිශාන් කවිඳු යන දෙදෙනායි.

1999 වසරේ ඔක්තෝබර් 22 දින මෙලොව එළිය දුටු ඔවුන්ගේ මාපියන් වනුයේ කේ.එම්. ප්‍රියදර්ශනී සහ ආර්.ඒ. රෝහණ කුමාර යන දෙදෙනායි. ඔවුනට එක් බාල සොයුරියක් සිටියි.

තුරුන්මන්පිටිය, දාරළුව, ඒකල හා මාම්පුරිය ආදී ප්‍රදේශ රැසක පාසල්වල නේවාසිකව අධ්‍යාපනය ලැබූ ඔවුන්ට ගායන හැකියාව ලැබුණේ මවගෙන් බව ඔවුන් කියා සිටියේ භක්තියෙනි. මව දේවස්ථානයේ ගායනා කණ්ඩායමේ සාමාජිකාවකි. නිවුන් සංවිධානය තුළින් තම හැකියාවන් එළිදැක්වීමට මහත් පිටුවහලක් වූ බව ඔවුන් ප්‍රකාශ කරති.

නිවුන් ක්‍රිකට් එළිදැක්වූ ඒ රාත්‍රිය සැබැවින් ම වර්ණවත් රාත්‍රියක් වූ අතර රටේ විවිධ ප්‍රදේශවලින් ආ නිවුන්නු එක පොදියට ගී ගයන නටන ආකාරය කෙනකුට ප්‍රිය දසුනක් ම විය.

Comments