ජනපති ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය ශ්‍රි මහා බෝධිය අභියස දී | සිළුමිණ

ජනපති ප්‍රධානත්වයෙන් අලුත් සහල් මංගල්‍යය ශ්‍රි මහා බෝධිය අභියස දී

මෙවර ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ්‍රි මහා බෝධින් වහන්සේ අභියසදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන හතරවනදා(04) උත්කර්ෂවත් අයුරින් පැවැත්විමට කටයුතු යොදා තිබේ.
 
 
ගොවින් විසින් තම දහඩිය වගුරවා ලබාගත්  අස්වැන්නේ අග්‍ර භාගය බුදුන් වහන්සේට පුජාකිරිමේ උතුම්  උත්සවය ලෙස  සැලකෙන ජාතික අලුත් සහල් මංගල්‍යය මෙවර පනස් හතරවන(54)වරටත්  උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ. 
 
අනුරාධපුර  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිදු කරන මේ මහා මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ අප්‍රේල් මස 3 සහ 4 යන දෙදින තුළයි.   දිස්ත්‍රික් 25 න්ම රැස්කර  ගත් සහල් එදින ජය ශ්‍රී මහ බෝධින් වහන්සේට පුජා කෙරේ.  කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම රාජ්‍ය ආමත්‍යංශය , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව උත්සවය පවත්වන බව අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්  පී.ජී.එස්.එන්. ප්‍රියදර්ශනී මහත්මිය සදහන් කළාය. 
අප්‍රේල් 3 වනදා උදෑසන ජය ශ්‍රි මහා බෝදින් වහන්සේගේ සතර වාහල්කඩ කිරි ඉතිරවිමෙන් උත්සවය ආරම්භ වේ. පසුව හේවිසි පුජාවක් හා විවිධ ආගමික වතාවත් සිදු කිරිමට නියමිතයි. ඉන් අනතුරුව ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අබියස දී 3 වනදා රාත්‍රි  සර්ව රාත්‍රික පිරිත් දේශනාව පසුදා පහන් වන තුරු පැවැත්වේ. 
 
එසේම අප්‍රේල් 4 වනදා උදෑසන කිරි ආහාර පූජාවක් සිදු කෙරේ.   මහා සංඝරත්නයට හීල් දානය පිළිගැන්විම ඉන් අනතුරුව සිදු වේ. පසුව උත්සවයේ වැදගත්ම අවස්ථාවක් ලෙස අලුත් සහල් පෙරහැර සිංහ කනුව අසලින් ආරම්භ කරන අතර අනතුරුව පෙරහරින් පැමිණ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස තබා ඇති විසල් පාත්‍රයට අලුත් සහල් පිරවිම සිදුවේ.
 
අටමස්ථානාධිපති  පුජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමි ප්‍රධාන මහාසංඝරත්නයේ අනුශාසකත්වයෙන් මෙම උතුම් පුන්‍ය කටයුත්ත සිදු කරති. එහිදි පැවැත්වෙන ආගමික කටයුතු වලින් අනතුරුව  අලුත් සහල් මංගල්‍ය නිමිත කරගෙන සම්පාදිත සඟරාව පිළිගැන්වීමද සිදුවේ. 
තවද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මී පැණි හා ගිතෙල් පූජාවක් ද පවත්වනු ලැබේ. පලාත් නවයේ(09)  ගොවි සංවිධානවලට පිරිත් කරන ලද බිත්තර වි බෙදා දිම ද එහිදි  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකිරිමට නියමිතය. 
 
මහා සංඝරත්නය, මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරින්, මහ ජනතාව හා ආදි වාසින් මෙම අවස්ථාව සදහා සම්බන්ධ විමට නියමිතය.
 
(අමිල ප්‍රභාත් වනසිංහ-අනුරාධපුර අතිරේක)

Comments