අලුත්ම ශ්‍රී ලංකා වාර්තාලාභී පුත්‍රයා උෂාන් තිවංක | සිළුමිණ

අලුත්ම ශ්‍රී ලංකා වාර්තාලාභී පුත්‍රයා උෂාන් තිවංක

 

පෝලියෝ සටනින් පැරදුණු අම්මා හා තාත්තා හැදූ 

නාගලිංගම් කැපකාර තාත්තාගේ

තිවංකගේ ජීවිතය යනු බාධක වන ලැහැබකි.

පාදයේ ඇතිවූ ආබාධය සුවකර ගැනීමට තමන්ම වියදම් දරා ගනිමින් චීනයට යන උෂාන්ට එය සම්පූර්ණයෙන් සුව කර ගැනීමට නොහැකි වූයේ ආර්ථික අගහිඟකම්
නිසා ය.

‘තිවංක යනු තුන් තැනකින් වක් වූ යන්නයි. උෂාන් තිවංක පෙරේරා උස පනින්නකු වශයෙන් අහසේ ඉනි දෙකක් මත රඳවා ඇති හරස් දණ්ඩ තරණය කරද්දී තුන් තැනකට වඩා වැඩි ස්ථාන කීපයකින් තමන්ගේ සිරුර නමන්නේ යැයි කිවහොත් එය නිවැරැදිය. මේ නාගලිංගම් එදිරිවීරසිංහම්ගේ සුරතේ එල්ලී උස පැනීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූ තිවංකගේ කතාවය.’

ඒ වයස අවුරුදු 12න් පහළ බස්නාහිර පළාත් ක්‍රීඩා තරගාවලිය යි. පොඩ්ඩෝ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයීය ක්‍රීඩාංගණයට රොඳ බැඳ උන්නේ ඒ වෙනුවෙනි. දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ පොඩ්ඩෙක් පහසුවෙන්ම සිය ඉසව්ව ජය ගත්තේය. මේ පොඩ්ඩා මලල ක්‍රීඩා පුහුණුකරු පිලිප් රංජිත්ගේ මලල ක්‍රීඩා උකුසු ඇසට හසුවිය.

එය දිගු ගමනකට මුල යැයි මේ පොඩ්ඩාවත් එදා නොසිතන්නට ඇත. දුර පැනීම, උස පැනීම, කඩුලු තරණය, සහාය දිවීමේ ඉසව් පමණක් නොව, නිවාසාන්තර ක්‍රීඩා තරගවලදී හෙල්ල විසි කිරීමේදී ද මේ පොඩ්ඩා සමත්කම් පාමින් සිටියේය. නමුත් මේ සියල්ල අතරේ දියෙන් කිරි වෙන් කර ගැනීමට දක්ෂ හංසයකු මෙන් ක්‍රීඩකයකුට සුදුසු ඉසව්වක් සොයා දීමේ අභියෝගය තිබුණේ පුහුණුකරු පිලිප් රංජිත්ටය. ඔහු පොඩ්ඩා ගේ දක්ෂතා විවිධ කෝණවලින් අධීක්ෂණය කළේය. අවසානයේ හොඳම ඉසව්ව සොයාදීමට ඔහු සමත් වූයේය. ඒ උස පැනීමේ ඉසව්ව විය.

උස පැනීමේ ඉසව්වේ කඩඉම් පසු කරමින් පිලිප් රංජිත් ගේ මඟපෙන්වීම යටතේ මීටර් 2.00 දක්වා පැමිණෙන ඔහු එතැන් සිට මිටර් 2.24 දක්වා සාධනීය වූ ගමනක් යන්නේ සුරංජි සන්රත් ප්‍රනාන්දුගේ ගුරුහරුකම් යටතේය.

එම ගමන අද වනවිට සිය ක්‍රීඩා දිවියේ සුවිශේෂී කඩඉමක් දක්වා ඔසවා තබාගැනීමට ඔහුට හැකියාව උදාවිණි. ඒ මෙතෙක් මංජුල කුමාර විජේසේකර සතුව පැවැති උස පැනීමේ ජාතික වාර්තාව තමන් සතු කරගනිමිනි. ඒ ටෙක්සාස් රිලේස් උසස් අධ්‍යාපන ආයතන ක්‍රීඩා තරගාවලියේදී මීටර් 2.28 ක දක්ෂතාවයක් දක්වමිනි. එදා උස පැනීම ක්‍රීඩාව තෝරාගත් මේ පොඩ්ඩා අන් කිසිවෙක් නොව උෂාන් තිවංක පෙරේරායි.

ටෙක්සාස්හි ඔහු ඉගෙනුම ලබන උසස් විද්‍යාලයේ තිවංක තරණය කළ උස මේ වසරේ දී ලෝකයේ ඕනෑම ක්‍රීඩකයකු විසින් එළිමහන් උසපැනීමකදී දක්වන ලද තෙවන හොඳම දක්ෂතාව වීම ද විශේෂත්වයකි.

නව ශ්‍රී ලංකා වාර්තා ලාභී උෂාන් තිවංකට ජුනි 29 වන දායින් නිමා වන්නට නියමිත ඔලිම්පික් උ‍ෙලළට සුදුසුකම් ලැබීමේ කාලය ඉක්මවා යන්නට මත්තෙන් ඒ සඳහා සුදුසුකම් ලබා ගැනීමට මීටර් 2.33 ක උසක් තරණය කළ යුතුය. පරිසාධන මට්ටමට ළඟාවන 12 දෙනකු සහ එම ක්‍රීඩකයින්ට අමතරව ලෝක ශ්‍රේණිගත කිරීම්වලින් ඉහළින් සිටින 20 දෙනකු උස පැනීම සඳහා තෝරා ගනු ලබයි.

තිවංක 2019 වසරේ ශ්‍රී ලංකාවේ සිටියේය. එහිදී හතළිස් පස් වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළට ඔහු එක්ව සිටියේය. එහෙත් එය නිමා වූයේ කිසිදු නව බලාපොරොත්තුවකින් තොරව ය. 45 වසරක ජාතික මහා ක්‍රීඩා උලෙළ තරග ඉතිහාසය තුළ වැඩිම වතාවක් ජය තහවුරු කරගෙන තිබෙන්නේ බස්නාහිර පළාතයි.

එවර තරගාවලියේ දී බස්නාහිර පළාත දක්ෂතම ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව බිහි කිරීමේ ගෞරවය හිමිකරගෙන තිබිණි. ජාතික ක්‍රීඩා උලෙළ ජයගත් බස්නාහිර පළාත නියෝජනය කළ උෂාන් තිවංක පෙරේරා උස පැනීමේ ඉසව්වෙන් මීටර් 2.12ක දක්ෂතාවයක් දක්වමින් දක්ෂතම ක්‍රීඩකයා වූ අතර මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්ව තත්පර 13.90 කින් නිම කරමින් රන් පදක්කම දිනාගනිමින් ලක්ෂිකා සුගන්දී දක්ෂතම ක්‍රීඩිකාව වීමට සමත් විය.

උෂාන් තිවංකට මෙන්ම ලක්ෂිකා සුගන්දීට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉල්ලීම ඉටුකරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව නවීන මෝටර් රථ දෙකක් ප්‍රදානය කෙරිණි. ඒ එදා පිලිප් මහතා යටතේ පුහුණුව පිණිස පැමිණි කුඩා කොලුවා ජීවිතයේ ලද සුවිශේෂී ත්‍යාගය විණි. ඉන් පසු ඔහු තව තවත් දිරිමත් වූයේය.

තිවංකගේ ජීවිතය යනු බාධක වන ලැහැබකි. 45 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ උෂාන්ගේ ක්‍රීඩා දිවියේ සුවිශේෂ සංධිස්ථානයේ වූයේ එලෙසය. එමෙන් ම 2014 දී යොවුන් ක්‍රීඩා උලෙළෙන් දක්ෂතම ක්‍රීඩකයා ලෙස යතුරුපැදියක් දිනා ගැනීමට ද ඔහුට හැකිවිණි. මේ ආකාරයෙන් ඉදිරියට පැමිණි උෂාන්ට අමෙරිකාවේ වෙසෙන ආසියානු පදක්කම්ලාභී නාගලිංගම් එදිරවීරසිංහම් අත හිත දෙන්නේ මේ අතර ය.

2018දී ප්‍රථම වර අමෙරිකාවට යෑමට තිවංකට අවස්ථාව හිමි වුව ද, අමෙරිකානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යත්-වයක් දිනා ගැනීමට නම් දැඩි වෙහෙසක් දෑරීමට සිදුවිය.

පාදයේ ඇතිවූ ආබාධ තත්ත්වයක් සුවකර ගැනීම සඳහා තම අතින්ම වියදම් දරා ගනිමින් චීනයට යන උෂාන්ට එම තත්ත්වය සම්පූර්ණයෙන් සමනය කර ගැනීමට නොහැකි වූයේ ආර්ථික අගහිඟකම් දැඩිව දැනුණු නිසා ය. කෙසේ හෝ සිය පාදයේ ආබාධය ගැන වැඩි අවධානයක් යොමු කළ උෂාන් ක්‍රීඩා තරගාවලිවල හමුවූ චීන මිතුරන්ගෙන් ණයට මුදල් ලබා ගෙන පාදයේ ආබාධයත් සුව කරගත් නමුත්, මේ ආබාධය නිසාම අමෙරිකානු විශ්වවිද්‍යාලය මඟින් සම්පූර්ණ ශිෂ්‍ය-ත්වයක් ලබා ගැනීමට අසමත් විණි.

අවසානයේ චීන මිතුරන්ගේ ණය ගෙවීම සඳහාත් අමෙරිකානු විශ්වවිද්‍යාලයට ඇතුළුවීම සඳහාත් උෂාන් රුපියල් ලක්ෂ 19 ක මුදලක් සොයා ගැනීමේ අභියෝගයට මුහුණ දීම සඳහා තමන් ජාතික ක්‍රීඩා උෙලළේ දක්ෂතම ක්‍රීඩකයා වශයෙන් දිනාගත් මෝටර් රථය විකුණා දැමුවේ ඒ අනුවය.

පාසල් අවධියේ පටන් රටවල් කිහිපයක තරගාවලි නියෝජනය කර තිබෙන අතර, පාසල් මට්ටමේ සිට අන්තර්ජාතික තරගාවලි නියෝජනය කිරීමට උෂාන් වාසනාවන්ත විය. තායිලන්ත විවෘත තරගාවලියට සහ-භාගි වී ලෝකඩ පදක්කමක් දිනාගත්තේ මේ අතරවාරයේදී ය. අමෙරිකා එක්සත් ජනපදයේ ආරාධිත පෙන් බ්‍රවුන් තරගාවලිය මෙන්ම චිනයේ තරගාවලියකට ද එක්ව ඔහු අත්දැකීම් ලබාගත්තේය.

උෂාන්ගේ මවගෙන් හා පියාගෙන් විශාල රුකුලක් ක්‍රීඩාවට හිමිවෙයි. උෂාන් සිය ආත්මය ලෙස සලකන්නේ ද මව සහ පියා ය. ඔවුන් ගැන ද විශේෂයෙන් ම සඳහන් කළ යුතුමය. උෂාන්ගේ දෙමව්පියන් දෙදෙනාම පෝලියෝ රෝගයෙන් පෙළෙති. තිවංකගේ දෙමව්පියන් පෝලියෝ රෝගයෙන් පෙළුනත් ජව සම්පන්න පුතෙකු ජාතියට තිළිණ කර තිබීම සුවිශේෂී සිදුවීමකි.

උෂාන්ගේ අම්මා දේවී පෙරේරා පෝලියෝ රෝගයට ගොදුරුව ඇත්තේ වයස අවුරුදු හතරේදීය. තාත්තා නන්දසිරි පෙරේරා එම රෝගයට ගොදුරුවී ඇත්තේ වයස අවුරුදු පහේදී ය. විශේෂ අවශ්‍යතා සහිත අධ්‍යාපනයකට යොමු කෙරුණු ඔවුහු පසුව ස්වයං රැකියාවක නියුතුව සිටින විට විදේශිකයෙකු විසින් ගොඩනඟන ලද නිලේන්ඩර් එකමුතු සමාජ සංවිධානය ආයතනයට යොමු කෙරිණි. එහිදී ඇතිවූ දැන හැඳුනුම් මත ඔවුන් දෙදෙනා විවාහ දිවියට ඇතුළත් වී ඇති අතර එහි ප්‍රතිඵලය තිවංක වැනි ශක්තිමත් දරුවකු මෙලොව එළිය දැකීමය.

පෝලියෝ රෝගයෙන් පෙළෙන සිය මව සහ පියා අභියෝගයක් කරගත් උෂාන් ඒ අභියෝගය ජයගන්න මේ වනවිට ඇපකැප වි සිටියි. උෂාන්ගේ ගමන් මඟේ දෙමාපියන්ගේ ආශිර්වාදය හැම විටම ගැබ්වී ඇත. ඒ මෙන්ම ඔවුන්ට අහිමි වු ලොව ක්‍රීඩාවෙන් හිමි කරදිමට හැම විටම උත්සුක වී තිබේ.

ඔවුන් දැනට පදිංචි සිටින්නේ නිලේන්ඩර් එකමුතු සමාජ සංවිධාන ආයතනයේමය. එම ආයතනය පුන්‍යාතනයක් මෙන්ම ස්වයං රැකියා ආයතනයකි. එම ආයතනය මගින් ඔවුන්ට නැවැති සිටින්නට අවශ්‍ය පහසුකම් හා කැම බීම පසුගිය 20 වසර පුරාම ලබාදී තිබේ.

උෂාන්ගේ ගමන් මඟෙහි විශේෂයෙන් මාරිස්ස්ටෙලා විද්‍යාලයට ඇතුළත් කරගත් මර්වින් පියතුමා, සුනන්ද අල්විස් පියතුමා, චින්තන නෝනිස් පියතුමා හා අල්විස් පියතුමා පුහුණුකරුවන් වන පිළිප් රංජිත්, සුරංජි සන්රත් ප්‍රනාන්දු ,මාරිස්ස්ටෙල්ලා විද්‍යාලයේ ක්‍රීඩාභාර ආචාර්ය සුසන්ත තමෙල් , ටෝනි සිල්වා ද ඉමහත් ආශිර්වාදයකි.

මුළු ජිවිතයම අභියෝගයකී, එය ජයගැනීමත් අභියෝගයකි. නමුත් කැපවීම ආත්ම විශ්වාසය ඒ සෑම ප්‍රශ්නයකටම විසඳුම් ලබා දෙනු ඇත. ක්‍රීඩකයෙකුටම ඉදිරියට යාමට කැපවිම සහ ආත්ම විශ්වාසය තිබිය යුතුය.

අපේ ජිවිතයේ දිගු ගමනක් යා හැක්කේ ආත්ම විශ්වාසය හා කැපවිම තුළින්ය.

මේ අතර උෂාන් තිවංකගේ උස පැනිමේ ශ්‍රී ලංකා වාර්තාවට කෘතගුණ සැලකීමක් ලෙස තමාව ජාතික පුහුණු සංචිතයෙන් ඉවත් කර ඇති බවට ආරංචි යැයි, සුරංජි සන්රත් ප්‍රනාන්දු සිය සමාජ ජාලා ගිණුමට සටහනක් එක් කර තිබීම ද මෙහිදී අවසන් වශයෙන් සිහිපත් කළ යුතුව ඇත්තේ කනගාටුවෙනි.

 

Comments