ආත්ම ශක්තිය කිසි දා කිසිවකුටත් ඩැහැගත නොහැකිය | සිළුමිණ

ආත්ම ශක්තිය කිසි දා කිසිවකුටත් ඩැහැගත නොහැකිය

 

BETHANY hamilton

ධෛර්යය තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවට බෙතනි කදිම නිදර්ශනයකි. එකී ධෛර්යය ලබන්නට අවශ්‍ය වන්නේ විශාල හිතක්, හදවතක් පමණි.

අමරිකාවේ හවායි දූපතේ කැටුවායි පළාතේ සර්ෆින් හෙවත් මුහුදු රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව නිසා ප්‍රසිද්ධ වූ පවුලක් ජීවත් විය. එම පවුලේ පිය පුතු මේ ක්‍රීඩාවේ අතිදක්ෂයෝ ය. එකී පවුලට දියණියක් එක්වූයේ 1990 පෙබරවාරි 18 වැනිදා ය. ඇයට නම් තැබුණේ බෙතනි මෙයිගානි හැමිල්ටන් ලෙසිනි. උදේ හවස දකින තෙරක් නොපෙනෙන මහ සමුදුරත්, සර්ෆින් ක්‍රීඩාවත් ඇයගේ දිවියට නුහුරු, නුපුරුදු අත්දැකීමක් වූයේ නැත.

බෙතනි මුලින්ම මුහුදු රළ මත ලිස්සා ගියේ 1998 දී හෙවත් අවුරුදු 8 දීය. එකී ක්‍රීඩාවෙන් ඇය මුල් වරට ජයග්‍රහණයක් ලබන්නේ ද එම වසරේදීම ය. ඒ, රෙල්සන් මෙනෙහියුම් නම් තරගයෙන් මුල් තැන දිනාගනිමිනි. අමෙරිකාවේදී පැවැති ‘විවෘත කාන්තා සර්ෆින් ක්‍රීඩා ඉසව්වේන් ප්‍රථම ස්ථානය දිනාගැනීම 13 වැනි වියේ දී ඇය ලද තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

මෙසේ බෙතනි දිනෙන් දින සර්ෆින් ක්‍රීඩාවෙන් ඉහළට ගියේ ඒ ක්‍රීඩාවට ක්‍රීඩා ලොව තුළ ගෞරවනීයත්වයක් උරුම කරවන පෙරමං සලකුණු විදහා පෙන්වමිනි. නමුත් ඒ සියල්ල වෙනස් වූයේ 2003 ඔක්තෝබර් 03 වැනිදා ය.

එදින ඇය සිය ළබැඳි මිතුරියක සමඟින් හවායි හි ගයෙනා වෙරළ තීරයේ සර්ෆින් ක්‍රීඩාවේ යෙදෙමින් සිටියා ය. එක් වරම දිය කඳ දෙබෑ කරගෙන අඩි 14 ක් පමණ දිගැති මිනී කන මෝරෙක් මතුව ඇය ඩැහැගත්තේය. සැණෙන් ක්‍රියාත්මක වූ ජීවිතාරක්ෂකයෝ ඇයගේ ජීවිතය මුදවාගන්නට සමත් වූ නමුත් ඈ උන්නේ අසාධ්‍ය තත්ත්වයේ ය.

එහෙයින් බෙතනි වහා රෝහල්ගත කෙරිණි. ඇයගේ තුවාලයෙන් නොනවත්වාම රුධිරය ගලා ගියාය. ඒ ප්‍රමාණය සියයට 60 ක් පමණ විය. ඒ නිසා හටගත් දුර්වලතාවයෙන් ඇය දැඩි ලෙස කම්පනයට පත්ව සිටියා ය. කෙසේ නමුත් ඇයගේ ජීවිතය මරණයෙන් මිදිණි. ඒ වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය නිසාම ය. එනමුදු ඇයට ඇයගේ වම් අත අහිමි විය.

“මගේ හීනය වුණේ ලෝකයේ හොඳම සර්ෆින් ක්‍රීඩිකාවන්ගෙන් කෙනෙක් වෙන්නයි. ඒත් ඒ සේරම ඉවරයි. මම පුංචි කාලෙ ඉඳන් ආදරය කරපු මුහුදම ඒ ගමනට බාධාවක් වුණා.” ඇයගේ ගතේ වේදනාව මෙන් සිය දහස් වාරයක් හිතේ වේදනාව ඉහළ ගොස් තිබුණේ එය සිතන විටය.

සර්ෆින් ක්‍රීඩාවේදී සිරුරේ සමබර බව අත්‍යවශ්‍ය සාධකයකි. ඒ තත්ත්වය පවත්වාගන්නේ මූලිකවම දෙඅත්වලිනි. ඒත් දැන් ඇයට එක් අතක් අහිමි ය.

“සර්ෆින් කියන්නෙ මගේ ජීවිතේ. ඒකෙන් තොර අනාගතයක් මට ඇත්තෙම නෑ. අතක් නැති මම එක්කො සර්ෆින්වලින් අයින් වෙන්න ඕනැ. එහෙම නැත්නම් තනි අතින් ශරීරය සමබර කරන් සර්ෆින් කරන්න පුරුදු වෙන්න ඕනැ.” තීරණ දෙකක් අතර බෙතනි දෝලනය වූවාය.

“නෑ. මම සර්ෆින් අත අරින්නෙ නෑ. තනි අතින් ශරීරය සමබර කරගන්න පුරුදු වෙනවා.” බෙතනි ස්ථිර තීරණයකට එළඹුණාය. ඒ තරමට ඒ ක්‍රීඩාව ඇයගේ ජන්ම උරුමයක් බවට පත්වී තිබිණි.

එතැන් පටන් බෙතනි වෙහෙස වූයේ, කැප වූයේ තනි අතින් සිරුරේ සමබරතාවය පවත්වාගනිමින් සර්ෆින් ක්‍රීඩාවේ යෙදීමටය. එය කිසිසේත්ම පහසු කටයුත්තක් වූයේ නැත. එසේ වූ පමණින් ඇය උත්සාහය අත්හළේ ද නැත. ඉතාම දුෂ්කර පුහුණුවීම් රැසක ප්‍රතිඵල මල්පල ගැන්වෙමින් ඇයගේ උත්සාහය සාර්ථක විය.

තනි අතින් සිරුර සමබර කරගෙන බෙතනි සර්ෆින් ක්‍රීඩාවෙන් ලද ජයග්‍රහණ රැස ඊට කදිම සාක්ෂියකි. බෙතනිගේ කතාව සිනමාවට ද නැඟිණි. ධෛර්යය තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බවට එය කදිම නිදර්ශනයකි. එහෙත් එකී ධෛර්යය ලබන්නට අතක් නැතිවෙන්නට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ විශාල හිතක්, හදවතක් පමණි.

නඳුන් අමන්ද

මනමේන්ද්‍ර ආරච්චි

 

 

Comments