දිගු කලකට පසු ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට | සිළුමිණ

දිගු කලකට පසු ශ්‍රී ලංකා පිතිකරුවන් ලකුණු අතරට

 

කොදෙවු-ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගය...

මෙම ක්‍රිකට් වාරය තුළ දකුණු අප්‍රිකාවට හා එංගලන්තයට එරෙහිව අඛණ්ඩව ලැබූ ටෙස්ට් තරග හතරක මෙන්ම කොදෙව් කණ්ඩායමට එරෙහිව ලැබූ එක් දින තරග තුනක පරාජයෙන් අනතුරුව පසුගියදා ශ්‍රී ලං-කාව නැවතත් කොදෙව් පිලට එරෙහිව ඇන්ටිගාහි පැවැති පළමු ටෙස්ට් තරගය වඩාත් ගෞරවාන්විතව ජය පරාජයෙන් තොරව නිමා කර ගැනීමට සමත්වීම කැපී පෙනිණි. මුල් ඉනිමේ ශ්‍රී ලංකාව ලකුණු 169 කට දැවී යන විට මෙම තරගයද පරාජයෙන් නිමාවනු ඇති බවට බොහෝ දෙනා අපේක්ෂා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේ ටෙස්ට් තරගයකට ගැළපෙන අයුරෙන් මැනවින් ලකුණු රැස් කිරීම තරගය මෙසේ ගෞරවාන්විතව අව-සන් කර ගැනීමට හේතු විය. කලින් අපේක්ෂා කළ පරිදි ශ්‍රී ලංකාවට වැඩි තර්ජනය එල්ල වුණේ කොදෙව් වේගපන්දු යවන්නන්ගෙන් වූ අතර මුල් ඉනිමේදී වේගපන්දු යවන්නන් වූ ක්‍රෙමර් රෝච් 47/03 හා ජේසන් හෝල්ඩර් 27/05 ලෙස කඩුලු ලබා ගත් නමුත්, පසුගිය 2018 තරගාවලියේදී ශ්‍රී ලංකාවට වැඩිම තර්ජනයක් එල්ල කළ ෂනොන් ගේබ්‍රියල් වෙතින් මෙවර එතරම් තර්ජනාත්මක පන්දු යැවීමක් දැක ගැනීමට නොලැබිණි. පසුගියදා එංගලන්තය සමඟ පැවැති පළමු ටෙස්ට් තරගයේදී ශතකයක් ලද ලහිරු තිරිමාන්න එම ලකුණු රැස් කිරීමේ රිද්මය තවදුරටත් රඳවා ගනිමින් ශ්‍රී ලංකා මුල් ඉනිමේ වඩාත් සාර්ථකම පිතිකරුවා බවට පත්වූවේ ලකුණු 71 ක් ලබා ගනිමිනි.

මුල් ඉනිමේදී කොදෙව් පිතිහරඹයේද ශ්‍රී ලංකාවට වඩා වැඩි වෙනසක් දැක ගන්නට නොලැබුණු නමුත් 171/07 ලෙස කඩුලු දැවී ගොස් තිබු අවස්ථාවේදී කඩුලු රකින ජෝෂුවා ද සිල්වා 46 හා දඟ පන්දු යවන්නා වන රකිම් කොන්වෝල් 61 අතර, අටවන කඩුල්ල වෙනුවෙන් ඇතිවූ ලකුණු 90 ක සම්බන්ධතාවය කොදෙව් මුල් ඉනිම ශක්තිමත් කිරීමට හේතු විය. ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් අතරින් සුරංග ලක්මාල් තම අත්දැකීම් මැනවින් උපයෝගී කරගනිමින් විකට්ටුවෙන් විකට්ටුවට නියමිත එල්ලයට පන්දු යවමින් කොදෙව් පිත්කරුවන්ට එල්ල කළේ දැඩි තර්ජනයකි, මෙහි ප්‍රතිඵලය ඔහුගේ නමට ඉදිරියෙන් 47/05 ලෙස විශිෂ්ට පන්දු යැවීමක් සටහන් වීමය, ඔහුට මනා සහයෝගයක් ලබා දුන් දුෂ්මන්ත චමීර පිතිකරුවන් හට සිය වේගය උපයෝගී කර ගනිමින් තර්ජනය එල්ල කිරීම දැක ගැනීමට ලැබිණි. ශ්‍රී ලංකාව වෙනුවෙන්ද මුල් ඉනිමේ කඩුලු නවයක්ම බෙදී ගියේ වේගපන්දු යවන්නන් අතරය, මෙහිදී දුෂ්මන්ත චමීර 71/02 ලෙසද, විශ්ව ප්‍රනාන්දු 52/02 ලෙසද කඩුලු ලබාගත්හ. මුල් දින දෙක තුල දඟ පන්දු යවන්නන් හට එතරම් සහයක් ලබා නොදුන් කඩුල්ලේ ලසිත් ඇඹුල්දෙණිය හට ලබා ගැනීමට හැකි වූවේ එක කඩුල්ලක් පමණි.

මුල් ඉනිමේ වේගපන්දු යවන්නන් හට සහයක් ලබා දුන් තණ තීරුව වෙතින් දෙවැනි ඉනිමේ එතරම් සහයක් ඔවුනට නොලැබුණු අයුරු දෙපිලේම පිතිකරුවන් ලකුණු අතරට ඒමෙන් මැනවින් පැහැදිලි වූ අතර, දඟපන්දු යවන්නන් ඉදිරියෙන් සිටි බවක් දැක ගැනීමට ලැබිණි. කොදෙව් පිලේ දඟ පන්දු යවන්නා වූ කොදෙව් පිලේ කොන්වෝල් 137/03 ලෙසද, ශ්‍රී ලංකාවේ ලසිත් ඇඹුල්දෙණිය 62/02 ලෙසද ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමේ දස්කම් දැක්වූහ. එමෙන්ම දෙපිලේ වේග පන්දු යවන්නන්ගෙන් ක්‍රෙමර් රෝච් 74/03 ලෙසද විශ්ව ප්‍රනාන්දු 73/02 ලෙසද කැපී පෙනිණි.

මිට පෙර පැවැති ටෙස්ට් තරග හා සසඳන කල ලකුණු 102 ක් පසු පසින් සිට තම දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල මෙම තරගයේදීද පරාජය අභියස සිටි බවක් පෙනී ගියේ තරගය තවත් දින තුනකට ආසන්න කාලයක් ඉතිරිව තිබූ නිසාය. එසේ වුවද දිගු කලකට පසු මෙරට පිතිකරුවන් දියත් කළ ප්‍රශංසනීය පිතිහරඹය නියත පරාජයක් වළකාලීමට සමත්වුවාක් මෙන්ම යම් ජයග්‍රාහී මාවතකට ශ්‍රී ලංකාව අවතීර්ණ කිරීමට සමත්වූ බව කිව හැක. තම පළමු ටෙස්ට් තරගයේ ශතක අත් කරගත් මෙරට පිතිකරුවන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කලුවිතාරණ, තිලාන් සමරවීර වැනි පිතිකරුවන් අතරට මෙම ඉනිමේදී පැතුම් නිශ්ශංක ද එක්වීම ඉනිමේ වඩාත් කැපී පෙනුණු සිදුවීම ලෙස නම් කළ හැක, මෙහි විශේෂත්වය ඔහු තම පළමු ටෙස්ට් තරගයේදී විදේශයකදී ශතකයක් ලබා ගත් ප්‍රථම ශ්‍රී ලාංකික පිතිකරුවා වීමය. ඔහුට අමතරව ඔසඳ ප්‍රනාන්දු 91, නිරෝෂන් දික්වැල්ල 96 ලෙස ශතකය ආසන්නයටම පැමිණ ශතක අහිමි කර ගැනීම අවාසනාවකි. එමෙන්ම ලහිරු තිරිමාන්න ආරම්භක පිතිකරුවා ලෙස මුල් ඉනිමේ මෙන් දෙවැනි ඉනිමේදීද ස්ථාවරත්වයක් ගොඩ නගා ගැනීමට සමත් විය. ඒ ලකුණු 76ක් ලබමිනි. දනන්ජය ද සිල්වා දකුණු අප්‍රිකාවේ පැවැති පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව යළි පිටියට පැමිණීමෙන් පසුව මුල් ඉනිමේ දී ලකුණු 13 කට සීමා වුවද දෙවැනි ඉනිමේ දී ලකුණු 50 කින් තම දායකත්වය දැක්විය. නිරෝෂන් දික්-වැල්ල ගැන කතා කළහොත් ඔහු මේ වන විට ටෙස්ට් තරග 46 කදී අර්ධ ශතක 17 ක් වාර්තා කරගෙන ඇත්තේ එකම ශතකයක් හෝ ලබා නොගනිමිනි,2014 තම මුල් ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකා පිලට එරෙහිව ලකුණු 71 ක් ලබාගත් ඔහුට ඉන් පසු අවස්ථා කිහිපයකදීම ශතකය ආසන්නයට පැමිණීමට හැකි විය. පසුගියදා එංගලන්තය සමඟ ගාල්ලේදී පැවැති තරගයකදී ලකුණු 92, පාකිස්ථානයට එරෙහිව 2017 අබුඩාබිහිදී ලකුණු 83, සිම්බාබ්වේ පිලට එරෙහිව 2017 ආර්.ප්‍රේමදාස පිටියේදී 81, නවසීලන්තයට එරෙහිව 2018-19 වෙලින්ටන්හිදී 80 (නොදැවී) ඔහු ශතක අසලට පැමිණි ඉනිම් ලෙස නම් කළ හැක. එමෙන්ම මේ වන විට ලොව එකම ටෙස්ට් ශතකයක් හෝ නොලබා වැඩිම ටෙස්ට් අර්ධ ශතක ලබා ඇති පිතිකරුවාද ඔහු වෙයි. මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ එකම ශතකයක් හෝ නොමැතිව අර්ධ ශතක 16 ක් ලබා සිටි ඉන්දියාවේ හිටපු ආරම්භක පිතිකරුවෙකුවූ චේතාන් චව්හාන්ය.

දෙවැනි ඉනිමේ ශ්‍රී ලංකාව ලද ලකුණු 476 හේතුවෙන් කොදෙව්වනට දිනකට මඳක් වැඩි කාලයක් තුළ ලකුණු 375ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිවූ අතර, තමනට ජයග්‍රහණය කිරීමට අපහසු තරගයක නොපැරදී සිටීමේ කලාව මැනවින් වටහා ගනිමින් කොදෙව් පිතිකරුවන් දෙවැනි ඉනිම ක්‍රීඩා කළේ තම කඩුලු ආරක්ෂා කර ගනිමිනි. මේ අනුව තරගය නිමා වන විට ඔවුන්ගේ දෙවන ඉනිම පන්දු ඕවර 100 ක් තුළ ලකුණු 236/ 04 ලෙස සටහන්විණි. කලෙක සිට ටෙස්ට් පිටියේ කඩා වැටීමට ලක් වෙමින් පවතින කොදෙව් පිතිහරඹයේ විශාල අනාගත බලාපොරොත්තු දෙකක් ලෙස සැලකෙන කයිල් මේයර්ස් 52, නික්රුමා බොනර් නොදැවී 113 ලෙස ලකුණු වාර්තා කිරීම ඔවුන්ගේ දෙවැනි ඉනිමේ වඩාත් කැපී පෙනුණු සිදුවීම් ලෙස නම් කළ හැක.

 

 

Comments