මම සත්‍යවාදයට ගරු කරන මිථ්‍යාව ප්‍රතික්ෂේප කරන කෙනෙක් | සිළුමිණ

මම සත්‍යවාදයට ගරු කරන මිථ්‍යාව ප්‍රතික්ෂේප කරන කෙනෙක්

 

HIMASHA eshan

දොඩංගොඩ ජාතික පාසලෙන් අකුරු උගෙනීම ඇරඹි සමය හිමාෂ ඒෂාන්ගේ ක්‍රීඩාවේ බහතේරුම් යුගය යැයි කීවාට වරදක් නැත. එම පාසලේ දක්ෂතම ක්‍රීඩකයා වන ඔහු කොට්ටාස, කලාපීය දක්ෂතා දක්වා ඉනික්බිතිව සමස්ත ලංකා මට්ටමින් ජයග්‍රහණයන් සෙවීම ඇරඹුවේය. ඒ අනුව ඔහුට කළුතර ජාතික පාසලට ඇතුළත් වීමේ අවස්ථාව උදා විණි. ඒ පිටිබලයත් සමඟ ඔහු ජාත්‍යන්තරය ජයගන්නා වේග තරුව බවට පත්වුණේ කෙටි කාලයක් තුළදීය. මේ ඔහුගේ ජීවිතයේ අපි නොදකින පැතිකට පිළිබඳ කතාවය.

හිමාෂ ඔබ මොන වගේ කෙනෙක්ද?

අවංකවම අනුන්ට උදවු කරන, කරන්න කැමැති අවංක කෙනෙක්.

එතකොට ඉපැදුණේ කවදාද?

1995 වසරේ මැයි 7 වැනිදා. තව මාසයකින් විතර පස්සේ අවුරුදු 26 ලබනවා.

උපන් ගම?

කළුතර, දොඩංගොඩ

පවුලේ තොරතුරු එහෙම කොහොම ද?

මමයි, අම්මයි, තාත්තායි, අයියයි, අක්කයි.

පවුලේ අය ගැන විස්තර ටිකක් කතාකරමු ද?

මගේ පියා සිල්ලර කඩයක් කරන සාමාන්‍ය පුද්ගලයෙක්. මව ගෘහණියක්. අයියා හමුදා නිලධාරියෙක්. අක්කා අලෙවි විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන කෙනෙක්.

ඔබේ රුචි අරුචිකම් සම්-බන්ධයෙන් කතාකරන්න අපි කැමැතියි ?

ඉතින් කතාකරමු. ඒ ගැන ප්‍රශ්නයක් නෑ.

ඔබ විශේෂයෙන් කැමැති දේවල් එහෙම තියෙනව ද?

සත්‍ය. ඒකට තමයි මම කැමැතිම දේ. සත්‍යගරුකබව කියන්නේ මම උසස් විදිහට සලකන චර්-යාව.

එතකොට අකැමැති දේවල්?

ඒකේ අනිත් පැත්ත. අසත්‍යය, මවා පෑම, බොරුවට මම අකැමැතියි.

පත්තර එහෙම කියවනවාද?

ඇබ්බැහියක් ලෙසම නොවෙයි. නිදහස් වෙලාවට පත්තරයක් කියවනවා.

මොන වගේ පත්තරද වැඩි-යෙන් බලන්නේ?

සති අන්ත පත්තර බලන්න තමයි වෙලාවක් ලැබෙන්නේ. මොකද ‍ අපේ ගෙදරට ගන්නෙ සති අන්ත පත්තර තමයි.

ටී.වී.බලනවාද?

උනන්දුවෙන් මඟ නොහැර බැලිමේ ඇබ්-බැහියක් නම් නෑ. ගෙදර ඉඳිද්දී දාලා තිබුණොත් බැලෙනවා.

එතකොට පොත් එහෙම කියවනවාද?

මැතකදී නම් පොතක් කියවපු කාලයක් මතක නෑ. නමුත් කියවන්න කැමැතියි.

අන්තිමට කියවපු පොත මතක ද?

මතකයේ නෑ. ඒකෙන් තේරෙවි කොච්චර කාලෙකින් පොතක් කියවලා නැද්ද කියලා.

කැමැති ලේඛකයෝ ඉන්නවාද?

මාර්ටින් වික්‍රමසිංහ මහත්තයාගේ කෘතීන් කියවන්න කැමැතියි. විශේෂයෙන් එතැන තියෙනවා නේ නිදහස සහ නිදහසට ආසන්න යුගයේ සමාජ පෙරළිය. ඒ වගේ පොත් වලට කැමැතියි.

කැමැතිම පොතකුත් ඇති එහෙ-නම්?

විශේෂයක් නම් නෑ.

සිනමාවට කැමැතිද?

ඔව්.

මොන සිනමාවටද වඩාත් කැමැති?

සිංහල හා බටහිර සිනමාවට.

සංගීතයටත් කැමති ඇතිනෙ එහෙනම්?

හුඟාක් කැමතියි.

විශේෂයෙන් තෝරාගෙන අහන සිංදු තියෙනවාද?

70 – 80 දශකවල ගීතවලට තමයි වඩාත් කැමැති. නමුත් අර්ථවත් ගීතයක් නම් රසවිඳිය හැකි නම් ඕනෑම කාලයක ගීතයක් රසවිඳිනවා.

ඔයාගේ පරමාදර්ශී චරිතයක් තියෙනවා ද?

අම්මයි - තාත්තයි තමයි මගේ පරමාදර්ශයන් ද්විත්වය. එහෙම නැතිව වෙනත් විශේෂ චරිතයක් නෑ.

ඒ මොකද ?

මගේ අරමුණ තමයි. පරමාදර්ශී චරිතයක් වීම. ඒ නිසා වෙනත් කෙනෙක් අනුකරණය කරන්නේ නෑ.

ක්‍රීඩා සංචාරවලට යද්දී රට රටවල දකින සිත් ඇදගන්නසුලු දේවල් මොනවාද?

අපේ රට මිථ්‍යාවට යට වෙලා. නමුත් බොහෝ රටවල් මිථ්‍යාවෙන් මිදිලා සත්‍ය මත පදනම් වෙලා තියෙනවා දකිනවා. ඒ නිසා ඒ රටවල් දියුණුයි.

ආදරය ගැන මොනවද හිතෙන්නේ?

මම තවමත් ගෑනු ළමයකුට ආදරය කරන්න පටන් ගෙන නෑ.

විවාහය ගැන?

දෙපාර්ශ්වයම අවංක විය යුතුයි. ඒ වගේම ආදරය කරන කාලේ වගේම මැරෙන තුරාවටම ආදරයෙන් සිටිය යුතුයි. දෙදෙනා දෙදෙනාටම ගෞරව කළ යුතුයි.

අද කසාදය තරමට ම දික්කසාදය ගැනත් කතා කරනවා නේද?

අවංකවම ආදරය නොකර විවාහයේ දී වංක වුණාම දික්කසාදෙන් තමයි කෙළවර වෙන්නේ.

ඔයා අද සිටින තත්ත්වය ගැන මොකද හිතෙන්නේ?

දකුණු ආසියාව ජයගෙන ආසියාව ජයගෙන ජාත්‍යන්තරයට පියනැඟීමට හැකි වුණු නිසා ගොඩාක් සතුටුයි.

ඔයාගේ වයසේ ඉන්න, ඒ වුණාට ඔයාගේ තත්ත්වයට එන්න බැරිවුණ අය ගැන මොකද හිතෙන්නේ?

මම සෑහෙන දුරක් ආවා. තවත් යන්න ඒ වාගේම දුරක් තියෙනවා. හැබැයි හැමෝටම මේ ගමන යන්න හැකියි. හැබැයි අවංකවම උත්සාහයෙන් හා කැපවීමේන් තමන් කරන දේ කළ යුතුයි.

ඔබ කොළඹ දකින්නේ කොහොමද?

විවිධාකාර වූ මිනිසුන් සිටින විෂම සමාජ සංවි-ධානයකින් යුත් අතිශය කාර්ය බහුල නගරයක් ලෙසයි.

ඔබ ජීවිතයේ වැඩිපුර යන්න කැමැති තැන් තියෙනවාද?

ඔව්. බදුල්ල, බණ්ඩාරවෙල හා නුවරඑළිය ප්‍රදේ-ශවල සංචාරය කරන්න කැමැතියි.

ලෝකයේ ?

යුරෝපයට තමයි. එයිනුත් වැඩියෙන්ම කැමැති ඉතාලියටයි.

ජීවිතය තුළ දකින ලොකුම හීනේ ?

ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජයගෙන ඔලිම්පික් පද-ක්කමක් දීනිම හා වෘත්තීය මට්ටමින් රටට දේශයට වැඩදායී අභිමානවත් පුරවැසියෙක් වීම.

 

Comments