රතු එළි මතුවුණු පාපන්දු සෙල්ලම | සිළුමිණ

රතු එළි මතුවුණු පාපන්දු සෙල්ලම

 

අන්තර්ජාතිකව ක්‍රියාත්මක කෙරෙන වෘත්තීය පාපන්දු ලීග් තරගාවලියකට අනුරූපීව පළමු වරට හඳුන්වා දී ඇති "ශ්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලිය" මෙම මස 19 වැනි දින කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී සුබ මොහොතින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ.

නැවුම් අත්දැකීමක් ලෙස කරළියට හඳුන්වා දී ඇති මෙම තරගාවලිය තුළින් ක්‍රීඩකයන්ගේ දක්ෂතාවයන් අන්තර්ජාතික මට්ටමට ඔප මට්ටම් කරලීම ප්‍රමුඛතම අරමුණ වෙයි.

ශාරීරික යෝග්‍යතාවය වර්ධනය කිරීම හා නියතව පවත්වා ගැනීම, මානසික යහපැවැත්ම මුසු ක්‍රීඩක විනය, ක්‍රීඩා රටාවන් පිළිබඳ උපක්‍රමශීලිත්වය, ශිල්පීය ක්‍රමෝපායන් ප්‍රගුණ කිරීම සමඟ නිසි තැන ක්‍රියාත්මක කිරීම මෙන්ම, සාමාජයීය යහපැවැත්ම මුසු වූ කණ්ඩායම් හැඟීම මෙම තරගාවලිය තුළින් අපේක්ෂා කෙරේ.

අපක්ෂපාතී තීරණ දිය හැකි විනිශ්චයකරුවන් පිරිසක් රටට දායාද කර ගැනීමත්, ක්‍රීඩාවට හා පාපන්දුවට ආදරය කරන හා ඉදිරි දැක්මක් ඇති නිලධාරීන් පිරිසක් එක්රොක් කර ගැනීමත් නරඹන්නන්ගේ රසවින්දනයට උපරිම අවස්ථාව සලසා දීමත් මෙම තරගාවලිය පැවැත්වීමේ අභිමතාර්ථ අතර වෙයි.

යම් ගමනක් සාර්ථක කර ගැනීමට නම් එහි ආරම්භක පියවර තැබිය යුතුමය.

ආරම්භක පියවර නොගෙන කිසිම ඉලක්කයක් සාර්ථක කරගත් බවක් කිසිදා වාර්තා වී නොමැත්තේ එහෙයිනි. එය සිද්ධාන්තයකි. එබැවින් තවත් කල් නොමරා දේශීය පාපන්දු කෙළි බිමට ලීග් තරගාවලියක් වෘත්තීය මට්ටමින් මුසු කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය ගෙන ඇති ආරම්භය ප්‍රශංසනීයය. එයට පත්තර මහගෙදර "සිළුමිණ -ක්‍රීඩා" අපි සුබ පතමු. එමෙන්ම ඉලක්කය සාර්ථක කර ගැනීමට කණ්ඩායම් හැඟීමෙන් යුතුව වගකීමෙන් හා වගවීමෙන් ක්‍රියා කළ යුතු බව අපි මතක් කර සිටිමු.

මෙහි ආරම්භක පියවරක් ලෙස තෝරා ගත් ක්‍රීඩා සමාජ 10 ක සහභාගිත්වයෙන් යුතුව පෙරහුරු තරගාවලියක් පැවැත්වෙන ආකාරය පසුගිය දෙමසක කාලය තුළ අපිට දැකගන්නට හැකිවිය.

පසුගිය පෙබරවාරි මස 17 පස්වරු 05.00 ට පානදුර රෙඩ් ස්ටාර්ස් පාපන්දු සමාජය සහ කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය අතර, තරගයෙන් පෙරහුරු වටයේ තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ කෙරුණු අතර එහි අවසානය මාර්තු 24 දින සටහන් වූයේ පූර්ව කාල සටහනට අනුව තරග පැවැත්වීමේ හැකියාව ද පාපන්දු මහගෙදර ට ඇති බව ප්‍රදර්ශනය කරමිනි.

ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති "කොවිඩ් -19" රෝගයෙන් ක්‍රීඩකයන් සහ නිලධාරීන් ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍යාරක්ෂිත රෙගුලාසිවලට අනුකූලව සියලු තරග පැවැත්වීමට ගත් උත්සාහය කැපී පෙනේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඩිෆෙන්ඩර්ස් සහ රිනවුන් ක්‍රීඩා සමාජ අතර තරගය අත්හිටුවීමට ක්‍රියා කිරීම ද ඒ අතර විශේෂිත ය. ඒ කොළඹ රිනවුන් ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් කිහිපදෙනකුට වෛරසය ආසාදනය වී තිබීම හේතුවෙනි.

"ඒ" සහ "බී" යන කාණ්ඩ දෙකක් යටතේ ක්‍රීඩා සමාජ 05 බැගින් ශ්‍රේණිගත කරමින් මෙවර පෙරහුරු වටයේ තරගාවලිය පැවැති අතර එහිදී එක් කණ්ඩායමක් තරග 04 කට සහභාගි විය.

"ඒ" කාණ්ඩය යටතේ කළුතර බ්ලූ ස්ටාර්ස් ක්‍රීඩා සමාජය, කොළඹ Defenders පාපන්දු සමාජය, කොළඹ රත්නම් ක්‍රීඩා සමාජය, පානදුර රෙඩ් ස්ටාර්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ රිනවුන් ක්‍රීඩා සමාජය තරග කළ අතර, "බී" කාණ්ඩය යටතේ කොළඹ පාපන්දු සමාජය, කොළඹ බ්ලූ ඊගල් පාපන්දු සමාජය, වෙන්නප්පුව නිව් යංග්ස් පාපන්දු සමාජය. නාවලපිටිය අප් කන්ට්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය සහ කොළඹ සී හෝර්ක්ස් පාපන්දු සමාජය තරග වැදුණි. ඇතැම් කණ්ඩායම් වෙනුවෙන් විදේශීය ක්‍රීඩකයින් ඇතුළුව ශ්‍රී ලංකා ජාතික සුපිරි සංචිතයට අයත් ක්‍රීඩකයින් මෙන්ම මෙරට තුළ සිටින අති දක්ෂතම යොවුන් ක්‍රීඩකයන් රැසකගේ දායකත්වය ලබාගෙන තිබීම ප්‍රශස්ත ය.

ඒ අනුව පැවැති තරග අතරින් තරග 17 ක ජය සහ පරාජය තීරණය වීම කැපී පෙනුණි. ජය පරාජයෙන් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 02 කි. එක් තරගයක් අත්හැර දැමුණි. එම සියලු තරඟ තුළ වාර්තා කරන ලද ගෝල් සංඛ්‍යාව 69 කි. එය සාමාන්‍යය ලෙස ගත් කළ 03.63 කි. ඒ අතරේ වැඩිම ගෝල් සංඛ්‍යාව රැස් කළ කණ්ඩායම බවට අප් කන්ට්‍රී ලයන්ස් පිල පත් වන්නේ ගෝල් 15 ක් රැස්කරමිනි. ඒ තරගයකදී ගෝල් 03.75 ක සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

ගෝල් 10ක් සටහන් කරගත් කොළඹ පිල තෙ-වැනි ස්ථානයේ පසුවන්නේ 2.50 ක සාමාන්‍යය අගයක් රඳවා ගනිමින් වුවද තරග 03 කදී ගෝල් 08 ක් වාර්තා කර ගත් රිනවුන් ක්‍රීඩා සමාජය සටහන් කර ගත් ගෝල් රැස් කිරීමේ සාමාන්‍යය 02.66 කි.

නිව් යංග්ස් පිලට එරෙහිව වාර්තා වී ඇති ගෝල් ප්‍රමාණය 13 ක් වන අතර, රත්නම් පිලට එරෙහිව ගෝල් 11 ක් සටහන්ව තිබේ.

මෙම තරග "ඒ" කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට කළුතර බ්ලූ ස්ටාර් සමාජය සමත්වූ අතර කොළඹ පාපන්දු සමාජය සහ නාවලපිටිය අප් කන්ට්‍රී ලයන්ස් සමාජය "බී" කාණ්ඩයෙන් සමව පෙරමුණට පත්විය. ඒ තරග 03 බැගින් ජයග්‍රහණය කරමිනි. ඔවුන් එක් තරගය බැගින් පරාජයට පත්විය.

තරග 02 බැගින් ජයග්‍රහණය කිරීමට defenders, රෙඩ් ස්ටාර්ස් සහ සී හෝර්ක්ස් කණ්ඩායම් සමත්වූ අතර, රිනවුන් සහ රත්නම් යන දෙපිලට එක් තරගය බැගින් ජය ගැනීමට හැකි විය.

නිව් යංග්ස් සහ බ්ලූ ඊගල්ස් යන දෙපිලට එකදු තරගයක් හෝ ජය ගැනීමට නොහැකි වීම කැපී පෙනුණි. එහෙත් තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට නිව් යංග්ස් පිලට හැකිවූ අතර, බ්ලූ ඊගල්ස් පිල සහ සී හෝර්ක්ස් පිල එක් තරගය බැගින් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට සමත් විය.

පරාජිත කණ්ඩායම් අතරේ පෙරමුණ ගත් බ්ලූ ඊගල්ස් සහ රත්නම් යන දෙපිල තරග 03 බැගින් පරාජයට පත්විණි.

සුපර් ලීග් තරග මාලාවට අව-තීර්ණ වීමට මත්තෙන් ක්‍රියාත්මක වූ පෙරහුරු වටය සුහදශීලි ස්වරූපයක් ඉසුලුවද එහිදී ක්‍රීඩකයන් විසින් සිදු කරන ලද වැරදි රැසකි. එමඟින් ක්‍රීඩාවේ මහත්මා ගුණයට හානියක් වන ආකාරයක් ද දිස් විය. එහි ප්‍රතිඵලයක් ලෙස "රතු" කාඩ්පත මගින් පිටියෙන් පිටමං කිරීමේ අවස්ථා කිහිපයක් සමඟ "කහ" කාඩ්පත මඟින් දැඩි අවවාද ලැබීම් රැසක් ගැබ්ව තිබීම කනගාටුවට කරුණකි. නව නීතිරීති පිළිබඳ ක්‍රීඩකයන් දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළක අවශ්‍යතාව මෙමඟින් මනාව දිස්වේ.

නොසරුප් වචන භාවිත කරමින් විනිශ්චයට බාධා කිරීම හේතුවෙන් එක් කණ්ඩායමක කළමනාකරු ක්‍රීඩාංගණයෙන් පිටමං කිරීමට විනිශ්චයකරුවන්ට සිදුවීම පෙරහුරු වටයේ කැපී පෙනෙන සිදුවීමක් විය. එය ඉදිරි තරග වාරයේදී සිදු නොවීමට සියලුම කණ්ඩායම් වගබලා ගැනීම වටී.

ක්‍රීඩකයන්ගේ අනිසි ක්‍රීඩා රටාව මෙන්ම විනි-ශ්චයකරුවන්ගේ ද දුර්වලතා පෙරහුරු වටයේදී දිස් වීම බලාපොරොත්තු නොවූවකි. එක් තරග-යකදී ලකුණු සටහන් පත්‍රය සම්පූර්ණ කිරීමට විනිශ්චයකරුවන් සමත් නොවීම තම වගකීම පැහැර හැරීමක් සේ දැක්විය යුතුය. එහි ප්‍රතිඵලයක් ලෙස එම විනිශ්චය මඬුල්ල සඳහා තරග කීපයක වාරණයක් පැනවීමට විනිශ්චය මඩුලු ප්‍රධානියාට සිදුවූ බවද වාර්තා වෙයි. ඒ අතර ජාත්‍යන්තර මට්ටමේ විනිශ්චයකරුවන් දෙදෙනකු වීම ද ඇදහිය නොහැකි කාරණාවකි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ළඟ එන නිලවරණය පිළිබඳ අපි කිසිවක් නොකියමු. නමුත් එහි වත්මන් සභාපතීත්වය උසුලන අනුර ද සිල්වා සහ ලේකම් ධුරය උසුලන ජස්වර් ඔමාර් යන මහත්වරුන්ගේ සහසම්බන්ධතාවය පෙරහුරු වටයේ තරග ආරම්භයේ දී දක්නට ලැබුණත් පසුව එම තත්ත්වය දකින්නට නොලැබීම කැපී පෙනුණි. සාර්ථක ගමනක් සඳහා විරසක වීම් අත්හළ යුතු බවත් සම්මුතියෙන් සාකච්ඡාවෙන් සියල්ල තීරණයට එළඹිය යුතු බව නැවත නැවතත් අපි සිහි කර සිටිමු.

Comments