රසය අවුළන කොදෙවු ක්‍රිකට් මතකය | සිළුමිණ

රසය අවුළන කොදෙවු ක්‍රිකට් මතකය

‘කොදෙවු ක්‍රිකට් රස මතක ගොන්නකි. ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම් අතර එරට දී ක්‍රිකට් තරගාවලියක් ද පැවැත්වෙන හෙයින් ඒ රස මතක ගොනු අතර වඩාත් සුවිශේෂී මතක කීපයක් අප මෙවර මෙලෙස ගෙන හැර දක්වමු.’

ක්‍රිස්ටොපර් රණසිංහ

ලාරාගේ නොබිඳෙන දස්කම

සුපිරි කොදෙවු පිතිකරු බ්‍රයන් ලාරා ටෙස්ට් තරගවල පිතිකරුවකු රැස්කළ ඉහළම ලකුණු ඉනිමේ වාර්තාව තවමත් උසුලයි. එය 2004 දී ඇන්ටිගුවා සාන්ත ජෝන් පිටියේ දී එංගලන්තයට එරෙහිව නොදැවී රැස් කළ ලකුණු 400 කි. හතරේ පහරවල් 43 ක් සහ හයේ පහරවල් 4 ක් ඉනිමට ඇතුළත් විය. මෙම වාර්තාව වසර 16 ක් පැරණිය.

සීනු අම්මා

ඇය සුප්‍රකට බටහිර ඉන්දීය කොදෙවු ක්‍රිකට් ක්‍රීඩක කර්ට්ලි ඇම්බ්‍රෝස්ගේ අම්මා මිලී ඇම්බ්‍රෝස්යග ඇතැම් තැන්හි හිලී ඇම්බ්‍රෝස් යැයි කියැවෙයි. ජීවත් වුණේ කොදෙව් දූපත් වල ඇන්ටිගුවාවේ ය. (ඇය ඇන්ටිගුවාහි ශාන්ත ජෝන්හි දී මියගියා ය.)

කර්ට්ලි ඇන්ටිගුවා වල දී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරගයට සහභාගි වූ විට දී අම්මාට කරන්නට විශේෂ කටයුත්තක් තිබිණි. ඒ තම පුතු කර්ට්ලි කඩුල්ලක් දවා ගත් සැණින් සීනුවක් නාද කිරීම ය. එය ඈ කළේ නිවසට එපිටින් විහිදුණු වීථියට ගොසිණිග ඒ කර්ට්ලි පිතිකරුවකු දවා ගැනීමේ ප්‍රීතිය අසල්වාසින්ට දැනුම් දෙන්නට ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් කොදෙව් දූපත්වල සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ 1997 වසරේ තරගවාරයේ දී අම්මාට විවේකයක් තිබුණේම නැත. ඒ් ඇන්ටිගුවා හි පැවැති තරගයේ කර්ට්ලිගේ පන්දුයැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් අන්ද මන්ද වූ නිසාය. අම්මා හිලී එදා අට වතාවක් සීනුව නාද කළා ය. ඒ තම පුතු ශ්‍රී ලංකාව සමඟ තරගයේ දී තරගයේ වීරයා වෙමින් කඩුලු අටක් දවා ගත් නිසා ය.

අඩි 6යි අඟල් 8 ක් උසැති කර්ට්ලි එදා ඇන්ටිගුවාවල වඩාත් ජනප්‍රියව තිබූ පාපන්දු සහ පැසිපන්දු ක්‍රීඩාවන්ට වඩා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කළේය. ඔහුට ඒ වෙනුවෙන් පදනම දැම්මේ ද ඔහුගේ ආදරණීය අම්මා හිලීය.

“අපේ අම්මා ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරපු කෙනෙක්. අපේ හිටපු විශිෂ්ට කොදෙව් ක්‍රිඩකයින් ගැන අම්මා නිතර කතා කළා. ඒ හින්දා මගේ හිතත් ක්‍රිකට්වලට ඇදී ගියා” යි පසුකලෙක කර්ට්ලි ඇම්බ්‍රෝස් පවසා තිබුණේ එහෙයිනි. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අත්පොත් තැබූවේ ගමේ පාසලෙන්යග ඔහු වේග පන්දු යවන්නකු වුණේ උසත් ඇන්ටිගුවා ක්‍රිකට් පුහුණුකරු ඔහුට පෙන්වූ සාර්ථක මග පෙන්වීමත් නිසා ය.

කර්ට්ලිව එරට ක්‍රිකට් විචාරකයින් හඳුන්වා තිබුණේ “කොදෙව් වේග පන්දු බළ මුළුවේ ඇන්ටිගුවා දැවැන්තයා” කියා ය. වර්තමානයේ කොදෙව් වේගපන්දු උපදේශකවරයකු ලෙසත් ක්‍රිකට් විචාරකයකු ලෙසත් කටයුතු කරන කර්ට්ලි ඉඳහිට ගිටාර් වාදකයකු ලෙස ද සංගීත කණ්ඩායමකට සම්බන්ධව කටයුතු කරයි.

උසේ උස ගානර්

කර්ට්ලි ඇම්බ්‍රෝස් ගැන කතා කරන විට මෙන්ම උස සම්බන්ධයෙන් කියැවෙන අනෙක් කොදෙව් වේග පන්දු යවන්නා ජොයෙල් ගානර්ය. කර්ට්ලි මෙන් ඔහුත් අඩි 6 අගල් 8 ක් උසය. ක්‍රිකට් පිටියේ දී පෙන් වූ හැකියාව නිසා ගානර්ට “බිග් බර්ඩ්” කියා අන්වර්ථ නාමයක් ලැබී ඇත.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමෙන් පසු ගානර් වරක් කොදෙව්ි ඒ’ ක්‍රිකට් කණ්ඩායම සමඟ එහි කළමනාකරුවා ලෙස ශ්‍රී ලංකාවට පැමිණියේ ය. එහි පැවැති මාධ්‍ය හමුවකින් පසුව අපට ගානර් සමග කතාබස් කරන්නට අවස්ථාව ලැබුණේ ය. විහිළු තහළු කරමින් ද කොදෙව් ක්‍රිකට් ගැන කතා කරමින් ද ඔහු කීවේ කොළඹ ලැගුම් ගත් හෝටලයේ තමාගේ කාමරයට ඇඳන් දෙකක් යොදා නිදා ගන්නට සැලසු බවයි. මොකද මම උස වැඩියිනේ ඔහු කීවේ අපව සිනහ ගන්වමිනි. ඔහු පැලඳ සිටි දිගැති පාවහන් යුගලය ගැන මම ගානර්ගෙන් තොරතුරු විමසුවෙමි. ඊට පිළිතුරු වශයෙන් ගානර් සඳහන් කළේ බාබෙඩෝසවල පිහිටා ඇති පාවහන් සමාගමක් තමා වෙනුවෙන් විශේෂයෙන්ම පාවහන් සාදා දෙන බවයි. මෙලෙස නම රැන්දූ ගානර් කොදෙව් ක්‍රිකට් කළමනාකරුවකු, තේරිම් කමිටු සාමාජිකයකු, ක්‍රිකට් උපදේශකයකු ලෙස කටයුතු කොට අද බාබේඩෝස් ක්‍රිකට් සංගමයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.

 

එල්ලුම් ගස් ගිය පළමු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා

මෙය කොදෙව්වන්ට සුබදායී වාර්තාවක් නොවේ. එය අසුබ පුවතකි. නමුත් වාර්තාගත ය. ජැමෙයිකාවේ ලෙස්ලි හිල්ටන්, ටෙස්ට් තරග හයකටත්, පළමු පෙළ තරග 40කටත් ක්‍රීඩා කළ ක්‍රිඩකයෙකි. ඔහුගේ ක්‍රිකට් ගමන අතරමඟ දී නතර වූ අතර ඊට හේතුව වුණේ හිල්ටන් තමාගේ බිරිඳව ඝාතනය කිරිමයි.

ඊට වරදකරු වූ හිල්ටන්ව 1955 දී එල්ලා මරනු ලැබීය. වාර්තාවන අන්දමට මරණීය දණ්ඩනය නියමව එල්ලා මරනු ලැබු එකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා හිල්ටන් ය.

 

 

ලොයිඩ් හා දහස්වැනි ටෙස්ට් තරගය

ටෙස්ට් තරග වංශ කතාවේ 1000 වැනි තරගය පවත්වනු ලැබුවේ 1984 දීය. තරගයට පැවැත්වුණේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දීය. තරගය ජය පරාජයකින් තොරව නිමාව දුටු අතර කොදෙව් පිලේ නායකයා වූයේ ක්ලයිව් ලොයිඩ් ය. මේ කොදෙව්වන්ට හිමි තවත් වාර්තාවකි.

හොඳම ආරම්භක පිතිකරු යුගලය

ඩෙස්මන්ඩ් හේන්ස් සහ ගෝර්ඩ්න් ග්‍රිනිජ් යන කොදෙව් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වාර්තා තබා ඇත්තේ, ටෙස්ට් ක්‍රිකට් පිටියේ බිහි වූ හොඳම ආරම්භක පිතිකරු යුගලයක් ලෙස ය. ඉනිම් 148 ක දී ඉනිම ඇරැඹූ මොවුන් දෙදෙනා එක්ව රැස් කළ ලකුණු ගණන 6482කි. ශතක 16 ක සහ අර්ධ ශතක 26 ක සම්බන්ධතා වාර්තාවක් ඊට ඇතුළත් ය.

වික්ස්ගේ හැත්තෑ එකේ වාර්තාව

තවත් සුපිරි කොදෙව් පිතිකරුවකු වූ එවර්ටන් වික්ස් 1947 - 49 සමයේ දී පිහිටු වූ පිතිකරු වාර්තාවක් තවමත් බිඳ හෙළා නැත. එය ලකුණු 141, 128, 194, 62, 101, 90 සහ 56 වශයෙන් නොකඩවා වාර්තා වූ ඉනිම් හතක වාර්තාවයි. මෙය අවුරුදු 71 ක වාර්තාවකි.

 

සම වූ පළමු ටෙස්ට් තරගය

සමව අවසන් වූ ටෙස්ට් තරගයක් වාර්තා වන්නේ ටෙස්ට් තරග අරඹා අවුරුදු 83 කට පසුව ය. එනම් 1960 දීය තරගයට සහභාගී වුණේ ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම්ය. මෙම වාර්තාවටත් කොදෙව්වන් සම්බන්ධ ය. 

Comments