ලක්ෂ ගණන් සල්ලි ලැබෙන එල්ලේ අවසන් සටන අද | සිළුමිණ

ලක්ෂ ගණන් සල්ලි ලැබෙන එල්ලේ අවසන් සටන අද

 

අභිනවයෙන් තේරී පත්වූ ශ්‍රී ලංකා එල්ලේ සම්මේලන නිලධාරි මණ්ඩලය සිය ජාතික ක්‍රියාන්විතය ආරම්භ කරමින්, 2018 වසර වෙනුවෙන් හිටපු පරිපාලකයන් විසින් පවත්වන ලද ජාතික එල්ලේ තරගාවලියට අදාළ මෙතෙක් පවත්වා නොතිබූ අවසාන මහා තරගය අද (4) පෙරවරු 10ට වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් ආරම්භ වන මෙම අවසන් මහා තරගයේ දී එකිනෙකා මුණ ගැසීමට නියමිතව ඇත්තේ ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය හා උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය ය.

ජොසිටාවත්ත රශ්මි ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ඇත්තේ නාගොඩ ශ්‍රීමාලි ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරගයේ දී පරාජය කරමිනි. උදම්මිට ගාමිණී ක්‍රීඩා සමාජය මෙරට ප්‍රකට එල්ලේ කණ්ඩායමක් වන තොටලඟ අරුණ ක්‍රීඩා සමාජය අවසන් පූර්ව තරගයේ දී පරාජය කර ඇත.

කණ්ඩායම් 176 ක් සහභාගි වූ එම තරගාවලියේ තෙවන ස්ථානය තෝරාගැනීම සඳහා වන තරගය ද සෙනසුරාදා (3) වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

ජයග්‍රාහී කණ්ඩායමට මුදලින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් හිමි වන අතර, අනුශූරතාව සඳහා රුපියල් ලක්ෂයක මුදලක් හා තෙවන ස්ථානය වෙනුවෙන් රුපියල් 50,000 ක මුදලක් වෙන් කර ඇත.

ක්‍රීඩා අමාත්‍යවරයාට අමතර ව මෙම අවස්-ථාවට ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, ග්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා හා එල්ලේ සම්මේලනයේ හිටපු සභාපතිවරයකු මෙන්ම අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ද සහභාගි වෙති.

 

 

ඡායාරූප :- එස්.ආර්. කුමරේෂා

 

Comments