ශතක ගිරියක් වූ කෝලි | සිළුමිණ

ශතක ගිරියක් වූ කෝලි

 

විරාට් කෝලි පිළිබඳ ක්‍රිකට් ලොව අවධානය මුල් වරට යොමු වූයේ 2008 වසරේ පැවැති වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදීය. එහිදී කෝලි සාර්ථක නායකයකුගේ ලක්ෂණ මැනවින් ප්‍රදර්ශනය කරමින් ඉන්දීය යොවුන් පිල ලෝක ශූරතාවයට රැගෙන ගියේය.

එවර තරගාවලිය පැවැත්වූයේ මැලේසියාවේදී ය. ඊට රටවල් 16ක් සහභාගි විණි. අවසන් තරගයේදී ඩක්වර්ත් ලුවිස් ක්‍රමයට අනුව ඉන්දියාව ලකුණු 12 කින් දකුණු අප්‍රිකාව පරාජය කළේය.

‘ඔහු සැමවිටම ඔහුගේ දක්ෂතා ගැන දැඩි විශ්වාසයකින් සිටිනවා. ඒ වගේම ක්‍රීඩාව තුළ සිය ආධිපත්‍ය පවත්වාගෙන යෑමට ඔහු නිතරම උත්සාහ කරනවා. එය ඔහුගේ සාර්ථකත්වයට සෑහෙන බලපෑ කාරණයක්.’ මෙසේ පවසන්නේ 19න් පහළ ලෝක කුසලාන ජයග්‍රහණයේ ඉන්දීය පුහුණුකරුවා වූ ඔස්ට්‍රේලියාවේ ඩේව් වට්මෝර් ය.

එවර තරගාවලියට ක්‍රීඩා කරමින් පසු කලෙක ජාත්‍යන්තර තරග වරම් ලැබූ ක්‍රීඩකයෝ රැසකි. ඒ ඔස්ට්‍රේලියාවේ ෆිල් හියුස්, ජොෂ් හැසල්වුඩ්, ජේම්ස් පැටින්සන්, ස්ටීව් ස්මිත්, එංගලන්තයේ ස්ටීවන් ෆින්, ක්‍රිස් වොක්ස්ය. ඉන්දියාවේ කෝලි, රවීන්ද්‍ර ජඩේජා, මනීෂ් පාන්ඩේය. නවසීලන්ත පිලේ නායක කේන් විලියම්සන්, ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සවුති, පාකිස්තානයේ ඉමාඩ් වාසිම්, ෂාන් මෂූඩ්, ජුනෙයිඩ් ඛාන් සහ උමාර් අක්මාල්ය. ශ්‍රී ලංකාවේ නායක ආශාන් ප්‍රියංජන, දිනේෂ් චන්දිමාල්, ඩිල්ෂාන් මුණවීර, සචිත් පතිරණ, ඇන්ජලෝ පෙරේරා, කුසල් පෙරේරා, තිසර පෙරේරා, රොෂේන් සිල්වා සහ ළහිරු තිරිමාන්න, බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ඩැරන් බ්‍රාවෝ ය.

කෝලි මෙම තරගාවලියේදී පිතිකරුවකු ලෙසටත් සුපුරුදු පරිදි සාර්ථක වූයේය. විශේෂයෙන් කොදෙව් දූපත්වලට එරෙහිව ඔහු රැස් කළ ශතකය බොහෝ දෙනෙකුගේ අවධානයට යොමුවිණි.

කෝලිගේ ජාත්‍යන්තර තරග දිවිය ඇරඹෙන්නේත් එම වසරේදීම ය. හෙතෙම සිය මංගල එක්දින ජගත් තරගයට ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව දඹුල්ලේදී ය. එම තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගන්නේ කඩුලු අටකිනි. ගෞතම් ගාම්භීර් සමඟ කෝලි ඉනිම ඇරඹීය. ඔහු ලකුණු 12ක් රැස් කර ගත්තේය. දකුණතින් මඳ වේග පන්දු යැවූ නුවන් කුලසේකරගේ පන්දුවක් හමුවේ කෝලි කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියේය.

ඔහු මේ වනවිට රැස් කර තිබෙන ජාත්‍යන්තර එක්දින ලකුණු ගණන 12, 169 කි. ඊට ශතක 43 කි. අර්ධ ශතක 62 කි. එහි සාමාන්‍යය 59.07 කි.

2010 වසරේ දී කෝලි තම මංගල 20-20 ජගත් තරගයට ක්‍රීඩා කළේය. ප්‍රතිවාදීන් වූයේ සිම්බාබ්වේ දේශයයි. තරගයේ ජය ඉන්දියාව සතුවිණි. මැද පෙළට ක්‍රීඩා කළ කෝලි නොදැවී ලකුණු 26 ක් රැස් කළේය. මේ වනවිට කෝලිගේ 20-20 සමස්ත ලකුණු ගණන 3159 කි. එහි සාමාන්‍ය 52.65 කි. ඊට තවමත් ශතකයක් නැත. අර්ධ ශතක පමණක් 28 ක් ඇත.

කෝලි තම මංගල ටෙස්ට් වරම් ලැබූවේ 2011 වසරේදීය. ප්‍රතිවාදීන් වූයේ බටහිර ඉන්දීය කොදෙව්වන්ය. එහිදී ප්‍රථම ඉනිමට ලකුණු 04ක් ලැබූ ඔහු දෙවැනි ඉනිමේදී රැස්කළේ ලකුණු 15ක් පමණි. එසේ ඇරඹි ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ කෝලි මෙතෙක් රැස්කර ඇති ලකුණු ගණන7490 කි. එහි සාමාන්‍ය 52.37 කි. ඊට ශතක 27 ක් සහ අර්ධ ශතක 25ක් ඇතුළත් ය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් මංගල තරගාවලියේ සිටම කෝලි ක්‍රීඩා කරන්නේ රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමටය. එය බැංග්-ලෝරය නියෝජනය කරන කණ්ඩායමය. වසර ගණනක්ම එහි නායකත්වය ඔහු විසින් දරනු ලබයි. පිතිකරුවකු ලෙසට සාර්ථක වූ නමුත් එකවරක් හෝ සමස්ත තරගාවලියේ ශූරතාව හිමිකරගැනීමට ඔහුට හැකිවී නැත.

ඉන්දීය ජාතික කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස නායකයා වන්නේත් කෝලිය. එසේ වුවත් ගත වූ කාලයේදී එක්දින සහ 20-20 නායකත්වය රෝහිත් ෂර්මාට පිරිනැමිය යුතු බවට ප්‍රබල හඬක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම අයි.පී.එල්. තරගාවලියේදී අවස්ථා ගණනාවකදීම ශූරතාව දිනාගැනීමට ෂර්මාගේ නායකත්වයෙන් යුතු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වීම ඊට හේතුව ලෙස පවතී.

වසර 28 කට පසු එක්දින ලෝක කුසලාන ශූරතාව ඉන්දියාව හිමි කරගත්තේ 2011 වසරේදීය. කෝලි එම කණ්ඩායමේ ද සාමාජිකයෙකි. මීට අමතරව හෙතෙම 2013 දී අයි.සී,සී. ශූරයන්ගේ කුසලාන ශූරතාව හිමිකරගත් කණ්ඩායමේ ද සාමාජිකයකු විය. එසේ වුවත් 2015 (කෝලි-උප නායක) සහ 2019 එක්දින ලෝක කුසලාන (නායක) තරගාවලියන්හිදී ඉන්දියාවට අවසන් පූර්ව වටයෙන් සෑහීමකට පත්වීමට සිදුවූයේ ය.

2017 අයි.සී.සී. ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අනුශූරතාව හිමිකර ගත්තේ කෝලිගේ නායකත්වය යටතේ ඉන්දියාවය. එහිදී ප්‍රතිවාදීන් වෙමින් ශූරතාව හිමි කර ගත්තේ පාකිස්තානයයි.

20-20 ලෝක කුසලාන තරගාවලි ත්‍රිත්වයකට කෝලි ක්‍රීඩා කර ඇත. ඒ 2012/14 සහ 16 තරගාවලියන් හිදීය. මින් 2014 තරගාවලියේදී කෝලි උප නායකයා විය. එසේ වුවත් එවර ඉන්දියාවට අනුශූරතාවයෙන් සෑහීමට පත් වීමට සිදුවූයේ ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබාගත් නිසාවෙනි.

කෝලි ස්වාභාවිකවම ප්‍රහාරාත්මක පිතිකරුවෙකි. එසේම තාක්ෂණය අතින් පොහොසත් ය. ඔහුගේ පිතිහරඹයේ සාර්ථකත්වයට ද එය බලපා තිබේ. බොහෝ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් සහ විචාරකයන්ගේ පොදු මතයක් වන්නේ ඉදිරියේදී බොහෝ පිතිහරඹ වාර්තා කෝලි සිය අයිතියට පවරා ගනු ඇති බවය.

ඔහු මේ දිනවල සිටින්නේ බොහෝ සතුටිනි. ඊට හේතුභූත වන කාරණා ද්විත්වයක් ඇත. ඉන් පළමුවැන්න පිටියේදී සංචාරක එංගලන්ත පිල පරාජය කිරීම ය. අනෙක් හේතුව කෝලි-අනුෂ්කා ෂර්මා පවුලට දියණියක් එක්වීම යි. කෝලි ගැන මෙතෙක් අප කියූ කතාවේ පොදු හරය ඔහුගේ අධිෂ්ඨානය හා ශක්තියයි. එය සමාජගත විය යුත්තකි. තරුණ පෙළ තමන්ගේ ජීවිතය තුළට එන්නත් කරගත යුත්තකි. එවිට කෝලිලා තවත් දහස් ගණනක් උපද්දවන්ට හැකියාව ඇත. මේ ඊට සුදුසු කාලය ය.

නිමි.

Comments