‘ක්‍රිකට්’ වානේ පන්නරය ලැබූ හැටි | සිළුමිණ

‘ක්‍රිකට්’ වානේ පන්නරය ලැබූ හැටි

 

පිට පිට ලද පරාජවලින් පාඩම් ඉගෙන ගත් ශ්‍රී ලංකා පිල අඩුපාඩු නිවැරැදි කරගනිමින් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ ක්‍රමය හොඳින් ප්‍රගුණ කළ කණ්ඩායමක් විය.

 

‘96 ලෝක කුසලාන ජයග්‍රහණය පසුගිය දා උත්කර්ෂවත්ව සමරනු ලැබිණි. ඒ රටේ රාජ්‍ය ගෞරවය ද පෙරදැරි කරගනිමිනි. කෙසේ නමුත් ඒ සියලු කරුණුවලින් යළි යළිත් තහවුරු වුණේ එය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත්තේ අහම්බයකින් නොවන බවය. මන්දයත් ඒ සඳහා පැමිණි දීර්ඝ ගමනක් විය. ඒ ගමනේ හමුවන කිසිදා අමතක කළ නොහැකි වෛවර්ණ මතක පියසටහනකි මේ.’

"Oh....Caught & bowled ..what a wicket this is..Lara is gone..

This might be it"

ඊට දෙදවසකට පෙර ශ්‍රී ලංකාවට උඩ තියාගෙන නෙළූ ලාරා එරික් උපශාන්තගේ පන්දුවකට පෙරළා උඩ පන්දුවක් දී දැවී යන්නේ තරග⁣ය ශ්‍රී ලංකාවට විවර කරමිනි.

ඒ එකදාස් නවසිය අනූපහ වසරයි.

ක්‍රිකට් ලොව පෙරළිකාර කණ්ඩායම ලෙස එවකට නම් දරා සිටි ශ්‍රී ලංකාව ප්‍රබල රටවල් විටින් විට පුදුම කරවමින් අමුතුම විනෝදයක් ලබමින් සිටි කාලයයි.

එම වසරේ මැද භාගයේ පකිස්ථානය ඔවුන්ගේ රටේදීම ටෙස්ට් තරගාවලියක් ශ්‍රී ලංකාවට පරාජය වීමේ ලජ්ජාව වසාගන්නට රමීස් රාජා ප්‍රමුඛ පාකිස්ථානු කන්ඩායම ශ්‍රී ලංකාවට හා බටහිර ඉන්දීය කොදෙව්වන්ට ආරාධනා කරන්නේ තුන්කොන් එක්දින තරගාවලියක් සඳහාය.

තමන් කළේ ඉල්ලගෙන කෑමක් බව රමීස්ට වැටහෙන්නේ පකිස්තානුවන්ට අවසන් තරගයේ දී ශ්‍රී ලංකාවට හා කොදෙව්වන්ට අත්පුඩි තැළීමට සිදුවීමෙන් ය.

ඔක්තෝබර් 20 දා සාජා පිටියේ පැවැති තරගයට පෙර උදෑසනම කොළොන්නාව තෙල් ටැංකියට එල්ල වූ බෝම්බය ලොව පුරා ශ්‍රී ලාංකික සිත් වේදනාවට පත් කළේ රටේ දුක තුනී කිරීමේ වගකීම අර්ජුන ප්‍රමුඛ පිල මතට දමමිනි.

දවස් දෙක තුනකට පෙර ලකුණු 333ක් ලබාගත් තරගයත් පරාජයකට ආසන්න වූයෙන් පාඩමක් ⁣ඉගෙනගත් රිචී රිචඩ්සන් කාසියේ වාසිය දිනා පළමුව පිති හරඹයට එන්නැයි ශ්‍රී ලංකා පිලට ආරාධනයක් කළේය.

තරගාවලිය පුරා ලකුණු අතර සි⁣ටි මහානාම සුපුරුදු ඇණය ගසන්නට ගත් අතර ජයසූරිය කොළොන්නාවට ත්‍රස්තයන් ගැසූ මිසයිල වර්ගයේ මිසයිල ප්‍රහාරයන් පෙළක් සාජා පිටියේ යවමින් සිටියේය.

ලකුණු 57 ක් ලැබූ ජයසූරිය දැවී යන්නේ ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ මුළු ලකුණු 111 ක් වශයෙන් සටහන් වද්දීය.

ගුරුසිංහ වෙනුවට එන්නේ ශ්‍රී ලංකාව සතු ප්‍රබලම තුරුම්පුව වූ අරා ය.

අරවින්ද ද සිල්වාගේ පිත්තට යකා වැහෙන්නේ කොහේදී කුමන වෙලාවකදී ද යන්න දන්නා කිසිවෙක් නැත.

එහෙයින් මේ තරගයේදී මහානාම පසෙක තබා අරවින්ද කොදෙව් පන්දු යවන්නන්ව අල්ලේ නටවන්නේ පන්දු 34 කදී හතරේ පහර හතරක් හා හයේ පහර දෙකක් සමඟ ලකුණු 50ක් ලබමිනි.

රොෂාන් මහානාම ලකුණු 66 ක් රැස් කරන අතර හෂාන් තිලකරත්න රැස් කළ ලකුණු 32ත් සමඟින් ශ්‍රී ලංකාව පන්දුවාර 49.5 කදී සියල්ලන් දැවී ලකුණු 273ක් ලබන්නේ ජයක් ගැන සිහින දැකිය හැකි ලකුණු පුවරුවක් දක්වමිනි.

සියල්ල පන්දුයවන්නන් අතේය.

නමුත් ප්‍රමෝද්‍ය ආබාධයකට ලක්වීම නිසා ⁣කණ්ඩායමට කැඳවා තිබූ එරික් උපශාන්ත ක්‍රීඩා කොට තිබුණේ තරග දෙකකි.

නමුත් එය අඩුපාඩුවක් කර නොගත් උපශාන්ත ලකුණු 28 ක් වෙද්දීම විලියම්ස් දවාගන්නේ සාර්ථක ආරම්භයක් ලබාගනිමිනි.

එතැනින් පසු ප්‍ර⁣වේශම් විය යුතුය.

ලාරා මරු විකල්ලෙන් මෙන් පිත්ත කරකවන්නේය.

අර්ජුනගේ උපාය වැඩ කළේය.

වේගය අඩාළ කළ පන්දුවකට හසු වූ ලාරා පෙරළා දුන් උඩ පන්දුව රැකගත් උපශාන්ත පිටියේ නටන්නට වූයේ තමා තරගය විවෘත කර දුන් බව වැටහුණු නිසාය.

එතැනින් එහාට ගොඩනැඟුණු පීඩනය හමුවේ දුවද්දී දැවී යාම් දෙකකටත් හසුවූ කොදෙව් ඉනිම කෙමෙන් කෙමෙන් කඩා වැටෙන්නට විය.

චන්ද්‍රපෝල් ඇරඹූ දිගු ඉනිමට ධර්මසේන වහා තිත තැබූ අතර මුරලි හාපර්ව දවාගනිමින් පිතිකරණ ලැයිස්තුව අවසන් කළේය.

අංක දහයට ආ ගිබ්සන් ලකුණු 30 ක් ලැබූවද එය තරගයේ ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

පන්දුවාර 47කදී කොදෙව්වන් ලකුණු 223කට සීමා කළ ශ්‍රී ලංකාව සාජා සිංගර් කුසලාන, හිමි කර ගන්නේ ලෝක කුසලානයේදී පරිස්සම් විය යුතු හෝ බව ලොවටම පසක් කරමිනි.

එය ශ්‍රී ලංකාව රටින් පිටතදී රටවල් තුනකට හෝ ඊට වැඩි ගණනක් සහභාගී වූ තරගාවලියක් ජයගත් පළමු අවස්ථාව විය.

තරගයේ වීරයා අරවින්ද වූ අතර මහානාම තරගාවලියේ වීරයා විය.

මේ අතර ගල්ෆ් නිව්ස් නම් පුවත්පත රිචඩ් හැඩ්ලි කියූ කතාවක් උපුටා දක්වා තිබුණි.

‘එළඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ප්‍රේක්ෂකයන්ගේ ප්‍රියතම කණ්ඩායම වීමට අවශ්‍ය සුදුසුකම් සියල්ල ශ්‍රී ලංකාව සපුරාගෙන අවසන්.’

අත්දැකීම් තුළින් පන්නරයක් ලබාගත යුතුය.

පිට පිට ලද පරාජවලින් පාඩම් ඉගෙන ගත් ශ්‍රී ලංකා පිල අඩුපාඩු නිවැරැදි කරගනිමින් කණ්ඩායමක් ලෙස ක්‍රීඩා කිරීමේ ක්‍රමය හොඳින් ප්‍රගුණ කළ කණ්ඩායමක් විය.

ඊට හරියටම මාස පහකට පසුව එනම් 1996 මාර්තු 17 වැනිදා තනි දක්ෂතා වෙනුවට කණ්ඩායමක් ඇති තැන ජය ඇති බව ඔවුහු ලොවට මනාව පසක් කර දුන්නෝය.

පසුගියදා අතිඋත්කර්ෂවත් ලෙස සිහිපත් කළේ එකී වෛවර්ණ ජයග්‍රහණයේ අතීත මතකයන්ය.

 

ලුසිෆර්

චමිඳු ගිහාන්ත

Comments