‘සළු සර්’ ගුණ සමරත් | සිළුමිණ

‘සළු සර්’ ගුණ සමරත්

 

කළු නැති කළුතර ක්‍රිකට් හදවත්

ඉන්දියාවට නම් සුප්‍රකට ක්‍රිකට් පුහුණුකරුවෝ රාශියක් වෙති. ඒ අතරින් සචින්ගේ පුහුණුකරු අචේකාර් සර් සුප්‍රකටය. ශ්‍රී ලංකාව තුළ එවැනි පුහුණුකරුවන් අතර නෙල්සන් මෙන්ඩිස්, ලයනල් මෙන්ඩිස්, වෑන් සිල්වා ආදී විවිධ නම් ඉදිරියට එන්නේ නිතැතිනි. බින්දුවෙන් පටන්ගත් කුඩා මානවකයකු ක්‍රීඩකයකු බවට පත්කිරීම වූ කලි පුහුණුකරුවකු සතු අසීමිත වගකීමකි. එය විනයවත් ක්‍රීඩකයකු බිහි කරද්දී මෙන්ම ක්‍රීඩාවේ සැබෑ මූලිකාර්ථ තේරුම් ගනිමින් සිදුකරද්දී අතිශය බාරදුර කර්තව්‍යයකි. එය නිසි ලෙස ඉටුකළ පුහුණුකරුවකු ලෙසින් කළුතර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු සුනිල් සළුවඩන දැක්විය හැකිය. මේ ඔහුගේ විශ්‍රාම ගැනීමේ කතාවය.

මගේ පියා වතු අධිකාරිවරයෙක් වශයෙන් සේවය කළ නිසා මම මුලින්ම ගියේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට. එහි පහ වසර දක්වා අධ්‍යාපනය ලබද්දී මම විදුහලේ 11 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට ඇතුළත් වෙලා හිටියා.

තාත්තා ගාල්ලට මාරු වීමත් සමඟ අපට පයාගල ආච්චිලාගේ ගෙදර පදිංචිය එන්න සිද්ධ වුණා. එහෙම ඇවිත් ගමේ පාසලට ඇතුළත් වුණත් මට ඒ පාසලට යන්න ආශාවක් ආවේ නෑ. පසුව මගේ ඉල්ලීම පිට තාත්තා මාව කළුතර සිරිකුරුස විද්‍යාලයට ඇතුළත් කරන්න රැගෙන ගියා. ඒ පාසල සමඟ කතාකරලා බස් එකට නඟින්න බස් නැවතුම් පොළට එද්දී විශාල ක්‍රීඩාංගණයක් සහිත කළුතර විද්‍යාලය මම දැක්කා. ඉතින් මම තාත්තාට කිව්වා මාව ඒ පාසලට ඇතුළත් කරන්න කියලා. ඒ විදිහට තමයි මම කළුතර විද්‍යාලයට බැඳුණේ.

හැබැයි ඒ කාලේ කළුතර විද්‍යාලයේ 11 න් පහළ කණ්ඩායමක් හිටියේ නෑ. මම ක්‍රිකට් පුහුණුවට ගියේ අට වසරේදී විතරයි. 'මේ තෝරු මෝරු අස්සේ හාල් මැස්සන්ට ගහන්න බෑ කියලා මාව දැකපු ගමන් ක්‍රිකට් භාර ආචාර්යතුමා කිව්වා.'

ඒත් දිගටම පුහුණුවට ආපු මාව අතිරේක ක්‍රීඩකයෙක් විදිහට බඳවා ගත්තා. ඒත් කිසිම තරගයක මට ක්‍රීඩා කරන්න ලැබුණේ නෑ. පැවැත්වෙන තරගවලදී මගේ රාජකාරිය වුණේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට වතුර ගෙනැවිත් දෙන එකයි. ඒකාලේ මට හැමෝම නමකුත් පටබැඳලා තිබුණා. ඒ තමයි 'වෝටර් රිසව්' කියන නම.

ඔහොම යද්දී කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක රංජිත් ගුණතිලක හදිසියේ අසනීප වුණා. මාව කඩුලු රකින්නා ලෙස යොදාගත්තා. මුලින්ම ක්‍රීඩා කළ තරගය වුණේ 1972 දී අම්බලන්ගොඩ දේවානන්ද විද්‍යාලයට එරෙහිව ක්‍රීඩා කිරීමයි. අම්බලන්ගොඩදි පැවැති තරගයේ අවසන් දිනයේ අවසන් කඩුල්ල හැටියට මමයි, සුමනසේන කහවිටයි ක්‍රීඩා කරමින් සිටියා.

ඒ තරගය ජයගන්න දැන් අන්තිම පන්දුවට ගන්න වෙලා තිබුණේ එක ලකුණයි. මම ඒ ලකුණ ලබාගත්තා. තරගයේ ජය කළුතර විද්‍යාලයට හිමිවුණා. ඒ අනුව මට කණ්ඩායමේ තැනක් ලැබුණා. එදා අපේ කණ්ඩායමේ නායකත්වය දැරුවේ රංජිත් අන්ද්‍රාදියි. ඊට පසුව කණ්ඩායමේ නායකත්වය දැරුවේ පසුකලෙක යුද හමුදාවේ මේජර් ජනරාල්වරයකු වූ නිශ්ශංක විජේසිංහ මහතායි. මේ නායකයන්ගෙන් මට බොහෝ දේ ලැබුණා. ඔවුන් ගුරුහරුකම් ලබාදුන්නා. 1972 ඉඳලා වාර්ෂික මැංගුස් හටන වසර පහක් අපි අඛණ්ඩව දිනුවා. එහෙම දිනද්දී 1974 වසරේ කණ්ඩායමේ උපනායකයා මම. ඊට පස්සේ 1975 අවුරුද්දේ මම නායකයා බවට පත්වුණා.

ඊට පස්සේ මම කළුතර නාගරික ක්‍රීඩා සමාජය, කළුතර පී.සී.සී., බ්ලූම්ෆීල්ඩ්, හා එන්.සී.සී. යන ක්‍රීඩා සමාජවලටත් ක්‍රීඩා කළා.

ඒ කාලේ කළුතර විද්‍යාලයේ පළමු පෙළ පුහුණුකරු වශයෙන් කටයුතු කළේ රංජන් පරණවිතාන මහතායි. කනිෂ්ඨ කණ්ඩායමේ පුහුණුකරු වුණේ නීල් රාජපක්ෂ මහතායි. පස්සේ නීල් රාජපක්ෂ වෙනත් පාසලක පුහුණුකරුවකු වශයෙන් නික්ම ගියා. කනිෂ්ඨ කණ්ඩායම භාරගන්න කැමතිද කියලා රංජන් පරණවිතාන මගෙන් ඇහුවා. ඒ වෙද්දී මම වෑන් ද සිල්වා මහතා යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ පාඨමාලාවක් හදාරලා එම පරීක්ෂණය සමත් වෙලා සිටියා. එහෙම තමයි මම කළුතර විද්‍යාලයේ කනිෂ්ඨ පුහුණුකරුවා වුණේ. අවුරුදු 13 න් පහළ හා 15 න් පහළ කණ්ඩායම් පුහුණු කිරීමේ වගකීම තිබුණේ මටයි. එතකොට අපි මේ දේවල් කළේ ස්වේච්ඡාවෙන්. කලකට පසුව ආදි ශිෂ්‍ය සංගමය සුළු දීමනාවක් ගෙව්වා. නමුත් අපි එම මුදලත් ක්‍රීඩාව සහ ක්‍රීඩකයන් වෙනුවෙන්ම යෙදෙව්වා.

ඇත්තටම කියනවා නම් අපි ක්‍රීඩාව පවත්වාගෙන ගියේ අවම පහසුකම් සහිතව. අපට අවශ්‍ය තරම් ක්‍රීඩා භාණ්ඩ තිබුණේ නෑ. පැති මාරු කරගත්තා. ක්‍රිකට් පිති අලුත්වැඩියා කළා. මැටින් එක ලණු අරං අපිම මහගත්තා. ඒත් අපි දිගින් දිගටම ජයග්‍රහණ ලැබුවා.

මට පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායම පුහුණු කිරීමේ අවස්ථාව ලැබෙන්නේ 1993 වසරේදීයි. එවිට කණ්ඩායමේ නායකයා අසංක ලෙනෝරා. උදේ 5.30ට ගෙදරින් එන මම ආපහු ගෙදර යන්නේ රෑ 8.30ට. තිලකරත්න ඩිල්ෂාන් ඇතුළු ජාතික මට්ටමේ ක්‍රීඩකයින් පස් දෙනෙක් බිහිකරගත්තේ එවැනි කැපකිරීමක් කළ නිසයි. ඒ වගේම ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායමේ, 17 න් පහළ 19 න් පහළ කණ්ඩායම්වලට ක්‍රීඩකයින් රැසක් බිහිකරන්න මට හැකිවුණා. ඒ වගේම ක්‍රීඩකයන්ගේ විනය හොඳ මට්ටමක පවත්වාගෙන යන්න මට හැකියාව ලැබුණා.

එදා වෑන් සිල්වා මහතා මගෙන් ඉල්ලුවේ එක ජාතික මට්ටමේ ක්‍රීඩකයකු හදා දෙන ලෙසයි. මම පස් දෙනෙකුම හදා දුන්නා. ඒ ගැන මට සතුටුයි.' යැයි මෙම පරිණත පුහුණුකරුවා 'ක්‍රීඩා' හා පැවසීය.

ඔහු යුග දිවි ප්‍රාප්ත වූයේ 1999 වසරේදී ය. ඒ මහවැලි අමාත්‍යාංශයේ භාෂා පරිවර්තිකාවක ලෙස කටයුතු කළ රෝහිණී කරුණාතිලක මෙනෙවිය සමඟ ය. තමන්ගේ මෙම පුහුණු කාර්ය ඵලදායී ලෙස සඵල කරගැනීමට ඇගෙන් ලද සහයද මෙහිදී සළුවඩන මහතා අගය කළේය.

වසර තිහකට අධික කාලයක් කළුතර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් රැසක් බිහි කළ පුහුණුකරු සුනිල් සළුවඩනයන් පසුගියදා සිය පුහුණුකරණ ධුරයෙන් විශ්‍රාම ලැබුවේය.

ඒ වෙනුවෙන් පසුගියදා කළුතර විද්‍යාලයේ ආදි සිසුන් විසින් කළුතර පැනොරාමා හෝටල් පරිශ්‍රයේදී උපහාර උලෙළක් සංවිධානය කර තිබිණි. එහිදී ඔහු කළ අනුපමේය සේවය මිල කළ නොහැක්කක් වුවද රුපියල් ලක්ෂ විස්සක මුදල් ත්‍යාගයකින් ඇගයීමට ලක්කෙරුණේය. තිලකරත්න ඩිල්ෂාන්, මාලිංග බණ්ඩාර, සුජීව ද සිල්වා, මිලින්ද සිරිවර්ධන, රෝයි ද සිල්වා මෙන්ම තමන් සහභාගි වූ පළමු ටෙස්ට් තරගයේදීම ශතකයක් රැස්කළ පැතුම් නිශ්ශංකගේ පුහුණුකරුවා වනුයේ සුනිල් සළුවඩනයන්මය.

කළුතර විද්‍යාලයේ ආදි ක්‍රිකට් ක්‍රීඩකයන් සංවිධානය කළ මෙම උපහාර උත්සවයට ජාතික මට්ටමේ ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන ඇතුළු විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහභාගි වී සිටීම කැපී පෙනිණි. ඊට සහභාගි වීමට නොහැකි වූ විදෙස් ගතව සිටින බොහෝ ක්‍රීඩකයන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ උත්සව සභාව ඇමැතීමද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

කළුතර විදුහලේ වත්මන් විදුහල්පති හර්ෂණ පීරිස්, හිටපු විදුහල්පතිවරුන් වන නෙල්සන් පෙරේරා, සරත්චන්ද්‍ර සිල්වා, ඉන්දික පීරිස් සහ එච්.ඩී. දයාරත්න යන මහත්වරුන්ද මෙම උපහාර උළෙලට එක්ව සිටියහ.

කළුතර විද්‍යාලයේ හිටපු ක්‍රිකට් භාර ආචාර්යවරුන් වන බුද්ධදාස ආරියරත්න, වී.සී. කීර්තිසිංහ සහ ආර්.එල්. සී. කෝංගහවත්ත යන මහත්වරුන්ද ඇගයීමට ලක්කරමින් තිළිණ ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිය.

තමන් සම්මානයෙන් පුදලැබීමේ ගෞරවය සතුටින් සැමරූ සුනිල් සළුවඩනයන් කීවේ තම සේවය අවසන් වුවද කළුතර නගර සභා පිටියේ උදෑසන 5.30 සිට දහවල් වනතුරු තමන් රැඳෙන බවය. 'මම නගර සභා පිටියේ ඉන්නවා. මට තණකොළ සුවඳ දැනෙනවා. මගෙන් සේවයක් ගන්න කැමති ඕනෑම ක්‍රීඩකයකුට කළුතර නගර සභා පිටියට පැමිණීමට හැකියි.' ඔහු කියන්නේ ස්වකීය පුහුණු කටයුතු අවසන්ව නැති බවට ඉඟියක් සපයමිනි.

Comments