අපේ කාලයේ පත්තරකාරයකුගේ කතාව | සිළුමිණ

අපේ කාලයේ පත්තරකාරයකුගේ කතාව

 

කෘතිය - පොදු ජනයාගේ

පත්තරකාරයා

කර්තෘ - දෙනගම සිරිවර්ධන

කංචුක නිර්මාණය - ශාන්ත කේ. හේරත්

සරසවි ප්‍රකාශනයකි

මිල රු. 950

දුරකථනය 011 2841 302

“අපේ පුතාට සිවිල් සර්විස් පාස්වෙන එක මහ ලොකු කජ්ජක් නොවෙයි.”

පියාගේ වචන නංගි කෙනෙක් දයාසේනට වාර්තා කළා ය. ඒ සතියේම කොළඹ ලේක් හවුසියේ සේවය කරන මිතුරෙක් දයාසේනට හමු විය.”

ජීවිතයේ ඇතැම් හමුවීම් අනපේක්ෂිත ය. සමහර විට අපේ මුල් කාලයේ අපේක්ෂාවන් කුමන හේතුවක් නිසා හෝ ඒ අනපේක්ෂිත හමුවීම් හමුවේ වෙනස් වෙයි. ඒ වෙනස්වීම් හි යහපත හෝ අයහපත ජීවිතය විසින් ම තීරණය කරනු ලබයි.

“සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ ප්‍රධානියා වුයේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා ය.

ඔහු ලෝක දේශපාලනය, ලෝක සාහිත්‍යය, අන්තර්ජාතික පුවත්පත් කලාව පිළිබඳව ප්‍රශ්න කළේ ය. ඔහුගේ කෙටි ප්‍රශ්න වලට දයාසේනගෙන් ලැබුණේ දිගු පිළිතුරු ය.

එස්මන්ඩ් සතුටට පත් විය.”

දේශපාලනික වශයෙන් කුමන තැනක සිටියත්, එස්මන්ඩ් වික්‍රමසිංහ වැනි කෘතහස්ත පුවත්පත් කලාවේදී ප්‍රවීණයෙකු සතුටට පත් කිරීම පහසු කටයුත්තක් නොවු පසුබිමක දයාසේන එය සිදු කළේ ය. එය ඔහුගේ දීප්තිමත් අනාගතයක පළමු පියවර විය.

“පොදු ජනයාගේ පත්තකාරයා” මැයෙන් දෙනගම සිරිවර්ධන විසින් ලියන්නට යෙදුණ දයාසේන ගුණසිංහ චරිතාපදානය කතුවරයාට ම අනන්‍ය වු සරල සුගම එහෙත් අලංකාර බස් වහරකින් ලියවුණක් යැයි කීමෙන් පමණ ඉක්මවා කරුණු කියාපෑමක් නොවේ යැයි සිතමි. යමෙකුගේ චරිතයක් තෝරා ගත්විට එම චරිතයේ ම අත්දැකීම් කියුම් කෙරුම් සිය අපුර්ව, ඇතැම් විට උත්ප්‍රාසාත්මක වුත්, තවත් විටෙක ලයාන්විත වුත්, සැමවිට ම අලංකාරාත්මක වුත් බස් වහරකින් එම චරිතය ප්‍රතිනිර්මාණය කිරීම දෙනගම නිසඟයෙන් ම වාගේ සිදු කරන්නකි. මෙම කෘතියට අදාළව ගත් කළ ඒ වනාහි පුවත්පත් කලාවේදියෙකුගේ සැබෑ හැසිරීම කෙසේ විය යුතුද යන්න දයාසේන ගුණසිංහ චරිතය ඇසුරින් කරුණු ගෙනහැර පෑමක් ද වන්නේ ය.

“ස්වාධීන නිදහස්, සත්‍යවාදී, යුක්තිගරුක වාර්තාකරුවකුට මුදල් නැතිව වුව ද ජීවත් විය හැකි ය. එහෙත් ඒ දින කීපයක් පමණකි. ඔහු මරණයට පත්වනු ඇත. සෘජු ප්‍රතිපත්ති රැක ගනිමින් උත්තම පත්තර කලාවකට සම්බන්ධ වීමට ඔහුට ජීවත්වීමට උදව් කළ යුතු ය.”

එම උද්ධෘතය පසුබිමේ පවතින්නේ පොදුවේ ගත් කළ මෙරට ප්‍රවෘත්ති වාර්තාකරුවන් මුහුණ පා සිටින අවම ආර්ථික පැවැත්මේ කතාව යි. ඒ නිසා ම ඔවුන් පවත්වාගෙන යන විෂම කටයුතු, කාලය විසින් තමන්ගෙන් ඉල්ලා සිටින නව ප්‍රවෘත්ති පත්‍ර මෙහෙවරට නොගැළපෙන බව දත් දයාසේන නම් පුවත්පත් කලාවේදියා ඊට විසඳුම් සපයා ගත් ආකාරය එහිදී මැනවින් විස්තර වේ. එවැනි තැන්වල දී මෙම කෘතිය චරිතාපදානයක ස්වභාවය ඉක්මවා යමින් ප්‍රවෘත්ති පත්‍ර කර්තෘවරයෙකුට සුදුසුවන අත්පොතක් බවට ද පත් වෙයි.

“එදා උපාලි විජේවර්ධන දයා සමඟ කතාබහේ යෙදුණේ බොහෝ කාලයක සිට දන්නා හඳුනන අයෙකු මෙනි.”

ලේක්හවුසියෙන් එළියට බට දයා ඇතුළු කණ්ඩායමේ ජීවිත වෙනස් ම තැනකට ගොනු වුයේ මෙතැන් සිට යැයි මෙතන දී ඔබට සිතෙන්නට පුළුවන. එහෙත් ඇත්ත වශයෙන්ම එහිදී සිදු වුයේ ලංකාවේ සාම්ප්‍රදායික පුවත්පත් කලාව එකලට පමණක් නොව අදට ද සාපේක්ෂව එය තිබූ තැනින් සොලවා වෙනස් කළා වු විප්ලවීය යැයි කිව හැකි අන්දමේ වෙනසකි. ඒ වෙනස තුළ බොහෝ තරුණ ජනමාධ්‍යවේදීන් බිහි වී ඒ ආශිර්වාදලත් නියමුවාගේ මඟ පෙන්වීම ලබා අද වන විට ක්ෂේත්‍රයේ ම නියමු කාර්යභාරයන් ඉටු කරමින් සිටිනා ආකාරය දකින විට අපට යළි යළිත් සිහි කැඳවන්නේ ඒ විශිෂ්ට චරිතාපදානයම යි.

“1981 වන විට ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් පැවති අයුරු දිවයින මුල් පිටුවේ පළ විය. ඔස්ට්‍රේලියාවටත්, බටහිර රටවලටත් හෂීස් මත්ද්‍රව්‍යය යවන ලංකාවේ දේශපාලන බලවතකු ගැන ද ඒ මඟින් හෙළිදරව් විය.”

ඒ අයුරින් පැවති සම්මත ජාතික පුවත්ත් කලාව වෙනස් වු ඒ අරුණෝදයේ දී, “සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය විශේෂ සාකච්ඡාවක් අලුත් පුවත්පතට ලබා දුන්නා ය.” “ශ්‍රී ලංකාවේ ඇත්තේ රජයේ දූෂණ හෙළි නොකරන ඊට එරෙහිව පෑන මෙහෙය වන්නේ නැති, ලොක්කන්ට පන්දම් අල්ලන පුවත්පත් බව ඇය කීවා ය.”

1982 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වු ජේ. ආර්. ජයවර්ධන පුවත්පත් දැන්වීමකින් සිදු කළා වු “මට රකින්නට තනතුරක් නැත. රකින්නට බූදලයක් නැත.....” නම් ප්‍රකාශය මෙරට මැතිවරණ සංස්කෘතියත් සමඟ බැඳී පවතින මහජනතාව නොමඟ යවන දේශපාලන ව්‍යාජය හෙළිදරව් කිරීමට දයාසේන ලියු සීයාගේ කොලම නම් තීරු ලිපියේ වටිනාකම අද්‍යතන පුවත්පත් කලාව හමුවේ වුව කදිම පුර්වාදර්ශයක් නොවන්නේ ද? සැබෑ පත්‍ර කර්තෘවරයකුට තමන් ජීවත්වන කාලය මගහැර ලිවීම නොකළ හැක්කක් බවත්, එහිලා ඔහුගේ නිරීක්ෂණයේ සංවේදි විචක්ෂණ බව කොතරම් වැදගත් ද යන්නත් ඒ අනුව පැහැදිලි වෙයි.

එහෙත් ඒ කාලය එවැනි කාර්යයන්ට කොහෙත්ම හිතකර සමයක් නොවී ය. එය පුවත් වාරණයේ මෙන්ම මාධ්‍ය කතුවරුන්ට තර්ජනය කිරීමේ නරකම කාල වකවානුවක් වූයේ ය. ජනාධිපති ජේ ආර්. ජයවර්ධන උපාලි පුවත්පත් සමාගමේ සභාපතිවරයා සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා සිය නිවසට කැඳවා මෙසේ පැවසී ය.

“දිවයින අපට පහර දෙනවා වැඩියි. කතුවැකි, තීරු ලිපි, කාටුන් සහ ලිපි වලින් අපට ගහනවා. ඒවාට පිළිතුරු දෙන්න අපට සිදු වෙනවා. අපි පිළිතුරු දෙන්නේ කතුවැකි වලින්, තීරු ලිපි වලින්, කාටුන් වලින් නොවෙයි. මා ඔබ කැඳෙව්වේ පරිස්සම් වෙන්න කියන්න යි.”

ප්‍රංශයේ පාලකයකු වු චාල්ස් ඩිගෝල්ගේ ඒකාධිපති වියරුව හමුවේ ෂං පෝල් සාත්‍රෙ පැවසුවේ සීතල කාමරවල සිටිමින් විරෝධතා පැවැත්වීම නිෂ්ඵල කටයුත්තක් බව යි. ඒ වෙනුවෙන් මිනිසුන් අතරට යෑම අවශ්‍යම බව යි. ප්‍රවෘත්ති පත්‍ර කලාවට අදාළව දයාසේන ගුණසිංහයන් සිදු කළේ ද එවැනි ම දෙයකි. ඔහු අතින් නිර්මාණය වුයේ එවැනි වෙනසකි. දෙනගම සිරිවර්ධන ඉතා සුදුසු ලෙසින් දයාසේන සම්බන්ධයෙන් දක්වන ඔහු ලියූ දෑ හි උූද්ධෘත කෘතිය පුරා ම විහිදී තිබේ. එය එම කෘතියේ අන්තර්ගතය සනාථ හා පෝෂණය කරන ආකාරයෙන් දක්වා තිබීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුත්තකි. නිදසුනක් ලෙස පහත දැක්වෙන උද්ධෘතය පෙන්වා දිය හැකි ය.

“පුවත්පත් කලාවේදියා අනිවාර්යෙන් ම සාහිත්‍යකරුවකු විය යුතු නොවෙතත් එසේ වීම පුවත්පත් කලාවේ සජීවි පැවැත්මට හිතකර වෙයි. එපමණක් නොව පුවත්පත් කලාවේදියාගේ යහ පැවැත්මට ද හේතු වෙයි.

මක්නිසාද යත් පුවත්පත් කලාවේ දොර වැසී ගිය ද ජනතාව දැනුම්වත් කිරීමේ උතුම් මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට එමඟින් ඔහුට හැකිවන බැවිනි. පුවත්පත් කලාවේ පෑන ඔහුගෙන් උදුරාගනු ලැබුව ද සාහිත්‍යයේ පෑන ඔහු අත ඉතිරි වන හෙයිනි.”

-එය දයාසේන ගුණසිංහයන්ගේ ජීවිත යෙන්ම ලබා ගත් උද්ධෘතයක් වෙයි.

Comments