පාකිස්ථාන් මහ මුහුදේ රටවල් 43ක් පෑ පෙළහර | සිළුමිණ

පාකිස්ථාන් මහ මුහුදේ රටවල් 43ක් පෑ පෙළහර

පාකිස්ථාන සංචාරයකින් පසු...

‘සාමය යනු ජීවිතයේ සුන්දරත්වයයි. එය හිරු එළියයි. එය දරුවකුගේ සිනාව, මවකගේ ආදරය, පියකුගේ ප්‍රීතිය, පවුලක එකමුතුවයි. එය මිනිසාගේ දියුණුව, සාධාරණ හේතුවක් ජයග්‍රහණය කිරීම, සත්‍යයේ ජයග්‍රහණයයි‘ යනුවෙන් හඳුන්වාදීම වැරදි නැත.

ලෝක සාමයේ නිම්වළලු පුළුල් කරමින් පසුගියදා පාකිස්තානයේ කරච්චි මුහුදු කලාපයේදී ඉතා සාර්ථකව නිමාවට පත්වූ "අමාන් - 21" (AMAN – 21) බහුජාතික නාවික අභ්‍යාසය අන්තර්ජාතික සහයෝගිතාව ශක්තිමත් කරන පෙර ගමන්කරුවකු වූ බව සඳහන් කිරීම වැදගත්ය.

‘අමාන්’ යනු ‘සාමය’ යන අරුත ලොවට ගෙනෙන ද්විවාර්ෂික ව්‍යායාමයකි. විශේෂයෙන් එහි මූලික පරමාර්ථය වන්නේ, ඉන්දීය සාගර කලාපයේ ක්‍රියාත්මක වන සහ කලාපීය නොවන නාවිකයන් අතර සහයෝගිතාව, අන්තර් ක්‍රියාකාරීත්වය ප්‍රවර්ධනය කිරීමයි.

2007 වර්ෂයේ මෙම නාවික අභ්‍යාසය පාකිස්ථානය විසින් ආරම්භ කිරීමත් සමඟ අන්තර්ජාතික සහයෝගිතාව තවත් ශක්තිමත් වීමට මඟ සැලසිණි.

විශේෂයෙන් අප ජීවත්වන කලාපයේ පමණක් නොව ඉන් බැහැර කලාපවල සහයෝගිතාව සහ ස්ථාවරත්වය රඳා පවත්වා ගැනීමට මේ මඟින් මූලික පදනම සැකසී ඇති බව පෙන්වාදීම ඉතා වැදගත්ය. මුහුදු මංකොල්ලයන්, ත්‍රස්තවාදය, සමුද්‍රීය ආධිපත්‍ය සහ අපරාධවලට එරෙහිව එක්සත් පෙරමුණක් ලෙස ක්‍රියාත්මක වීම මෙම නාවික අභ්‍යාසයේදී එකඟත්වයකට පැමිණීම කැපී පෙනෙන සිද්ධියක් විය.

එම එකඟතාව තුළින් සාගරයේ සිදුවන නාවික වෙඩි හුවමාරු හා මුහුදු මංකොල්ලකෑම්වලට එරෙහි මෙහෙයුම්, ඒකාබද්ධ සබ්මැරීන් අභ්‍යාස, සන්නිවේදන උපායන්, ගුවන් ආරක්ෂාව, නාවික උපායමාර්ග, ශිල්පීය ක්‍රම හා ක්‍රමවේද භාවිත කරමින් සාගර කලාප තුළ සාමය ඇති කිරීම මෙම 'AMAN' සංකල්පයේ මූලික පදනම වූ බව කිව යුතුය.

'AMAN-21' 7 වැනි ද්විපාර්ශ්වික නාවික අභ්‍යාසයි. 2007 වර්ෂයේදී 'AMAN' නාවික අභ්‍යාසය පළමුවරට පැවැත්වෙන විට නාවික යාත්‍රා සමඟ ඊට රටවල් 28ක් එක්විය. නිරීක්ෂකයන් ලෙස රටවල් 29ක් සහභාගි විය. 2009 දී 'AMAN' දෙවැනි නාවික අභ්‍යාසය සඳහා රටවල් 24ක් ද නිරීක්ෂකයන් ලෙස රටවල් 29ක් ද එක්වූ අතර, 2011 පැවැති 'AMAN' තුන්වැනි අභ්‍යාසයට රටවල් 28ක් ද නිරීක්ෂකයන් 43ක් ද එක්වීම විශේෂත්වයක් විය. 2013 පැවැති 'AMAN' සිවුවැනි නාවික අභ්‍යාසයට රටවල් 29ක් එක්වූ අතර, නිරීක්ෂකයන් 36ක් එක්වී ඇත. පස්වැනි 'AMAN' අභ්‍යාසය 2017දී පැවැති අතර, ඊට රටවල් 34ක නාවික යාත්‍රා සමඟ නිරීක්ෂකයන් 67ක් සහභාගි වී තිබේ.

2019 පැවැති හයවැනි 'AMAN' නාවික අභ්‍යාසයට රටවල් 46ක නාවික යාත්‍රා සමඟ නිරීක්ෂකයන් 113ක් සහභාගි වී ඇත.

ක්‍රමයෙන් එම සහභාගිත්වය වැඩි වූ අතර, අමෙරිකාව, රුසියාව, චීනය, ප්‍රංශය, ජපානය, බ්‍රිතාන්‍ය, තුර්කිය, ඕස්ට්‍රේලියාව ආදී ලොව ප්‍රබල රාජ්‍යයන් සිය නාවික යාත්‍රා සමඟ 'AMAN' අභ්‍යාසයට එක්වීම සහ නාවික අත්දැකීම් හුවමාරු කැර ගැනීම මෙහි සාර්ථකත්වයට හා අදාළත්වයට හොඳම පිළිතුරකි.

මේ වසරේ පැවැත්වූ 'AMAN-21' නාවික අභ්‍යාසයට රටවල් 43ක ප්‍රහාරක විශාල නෞකාවන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 'ගජබාහු' නමැති ප්‍රහාරක නෞකාව කපිතාන් හර්ෂ ද සිල්වාගේ නායකත්වයෙන් නැවියන් 180ක් සමඟ මෙයට එක්වීම විශේෂත්වයකි. 2019දී අමෙරිකාවෙන් මිලදී ගන්නා ලද මෙම නෞකාව අධිකාරි බලය ලැබීමෙන් පසු පළමු විදේශ ගමන සනිටුහන් කෙළේ AMAN-21 අභ්‍යාසයට එක්වෙමින් වීම විශේෂත්වයකි.

ලෝකයේ දියුණු යැයි සැලකෙන නාවික යාත්‍රා සමඟ කරට කර සිටිමින් 'ගජබාහු' ප්‍රහාරක නෞකාව සහ එහි නැවියන් දැක්වූ නාවික ශිල්පීය නිපුණතාවන් මෙම අභ්‍යාසය නැරඹීමට පැමිණි ලොව වටා ආරාධිතයන්, නාවික නිලධාරීන් මවිතයට පත්කළ බව කිව යුතු කරුණකි.

ශ්‍රී ලංකාව කුඩා රාජ්‍යයක් වුව ද එහි නාවික හමුදාව ලබා ඇති නිපුණතා හා අත්දැකීම් අතිවිශාලය. විශේෂයෙන් වසර 30කට වැඩි කාලයක් පැවැති ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට කළ මෙහෙයුම් හා ශ්‍රී ලංකා නැවියන්ගේ අත්දැකීම් මේ අභ්‍යාසයට එක්වූ බොහෝ දෙනෙක් අතර නිරන්තර සාකච්ඡාවට බඳුන් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා නැවියන් න්‍යායාත්මකවත්, වඩාත් ප්‍රා‍යෝගිකවත් සිය නාවික නිපුණතා විදහා දැක්වීමට මේ අභ්‍යාසයේදී සමත් වූ බව කිවයුතුය.

කෙසේ නමුත් AMAN සංකල්පය, සමුද්‍රිය ආරක්ෂාව වටා භ්‍රමණය වනවා පමණක් නොව, නාවික රාජ්‍ය තාන්ත්‍රික භාවයක් (Naval Diplomacy) ඇති කිරීමට දායකත්වය සපයයි.

නාවික බලයත්, වඩාත් නම්‍යශීලී, ජංගමශීලී ආදී ගුණාංගවලින් පෝෂණය විය යුත්තේ මේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ඉදිරියට ගෙන යෑම සඳහාය. මේ නයින් බලන විට AMAN අභ්‍යාසය යනු නාවික රාජ්‍ය තාන්ත්‍රිකභාවය පවත්වා ගැනීම අරඹයා අතිශයින්ම වැදගත් මෙහෙයක් ඉටුකරන ගාමක බලවේගයක් බව පෙන්වාදීම ඉතා නිවැරැදි මෙන්ම කාලෝචිතය.

පාකිස්ථානයේ විදේශ ප්‍රතිපත්තියේ පරමාර්ථය මේ මඟින් ප්‍රකාශවීම කැපී පෙනෙන තවත් සිද්ධියක් ලෙස හඳුන්වා දීම වැදගත්ය.

අප ජීවත්වන ඉන්දීය සාගර කලාපයේ සිදුවෙමින් ඇති භූ දේශපාලනික, භූ ආර්ථික වෙනස්කම් කලාපීය නාවික හමුදාවන්ට අභියෝගාත්මකය. නිරන්තරයෙන්ම එහි ආරක්ෂිත පරිසරයක් තිබීම කලාපීය වශයෙන් පමණක් නොව ගෝලීය වශයෙන් සමුද්‍රිය වෙළෙඳාමට අදාළ වේ.

එමෙන්ම ඉහළ යමින් ඇති අවි සම්බන්ධ ක්‍රියාකාරකම්, මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම, මුහුදු කොල්ලකෑම් සහ නීති විරෝධී ක්‍රියාවන් අපට මැඬ පැවැත්විය හැක්කේ නාවික රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ඇති කිරීම තුළින් බව කිව යුතු කරුණකි.

අද වන විට සාගරය කේන්ද්‍ර කරගනිමින් සිදුවන නීති විරෝධී ක්‍රියාකාරකම් පාලනය කිරීමට, මැඬපැවැත්වීමට ලොව ප්‍රබල රාජ්‍යයන් ‍පවා අපොහොසත් වී තිබීම ප්‍රකට කරුණකි.

මේ පසුබිම තුළ AMAN අභ්‍යාස මඟින් සමුද්‍රිය ආරක්ෂාව හා අධිපත්‍ය පිළිබඳ ගැටලු හා විශේෂයෙන් සාම්ප්‍රදායික නොවන කාරණා පිළිබඳ තනිව ක්‍රියාත්මක වීමට රටකට ඇති නොහැකියාව හමුවේ එක්ව ක්‍රියා කිරීම පිළිබඳ ඇති වැදගත්කම හා රාජ්‍ය තාන්ත්‍රික පාඩම අපට මැනවින් කියා දෙයි. එසේම කලාපීය වශයෙන් සාමය හා ස්ථාවරත්වය වෙනුවෙන් පෙනී සිටීමේදී ක්‍රියා කිරීමේදී පාකිස්ථානයේ ධනාත්මක ප්‍රතිරූපය ලොවට දෙන ආදර්ශය මිල කළ නොහැකි බව මෙහිදී කිවයුතු ප්‍රබල කරුණකි.

කෙසේ නමුත් සමුදුරු බලයට සවිකම් කීම රටක කීර්තිය, ආරක්ෂාව සහ බලය වැඩි කරන අතර, එය දුර්වල වීම දේශපාලනිකව හා උපායමාර්ගිකව බලවත් වරදක් බව පෙන්නාදීම මෙහිදී වැදගත්ය.

Comments