මිනිසුන්ගේ ජීවන සංවේදිතාවන්ට වයස් සීමාවක් පනවන්න පුළුවන් ද? | සිළුමිණ

මිනිසුන්ගේ ජීවන සංවේදිතාවන්ට වයස් සීමාවක් පනවන්න පුළුවන් ද?

 

දසක හතරක් තිස්සේ පුර්ණකාලීනව මාධ්‍ය ක්ෂේත්‍රය නියැළීි සිටින තිලක් සේනාසිංහයන් වඩාත් නැඹූරුවක් දක්වන්නේ “ජන විශ්වාස හා ගුප්ත විශ්වාස“ පිළිබඳ ගවේෂණාත්මක මාධ්‍යකරණයටය. මේ ඇසුරෙන් පොත පත ගණනාවක් ලියා පළකර ඇති ඔහුගේ නවතම කෘතිය වන්නේ “ජ්‍යෙෂ්ඨ පුරවැසියකුගේ ප්‍රේමකතාවයි“.

 

ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ප්‍රේමය නම්වූ මේ නවකතාවට අත්දැකීම වන්නේ කුමක්ද?

ඒක මගේ පෞද්ගලික අත්දැකීමකට වඩා මට ලැබුණ අනුභූතියක් යැයි කියන්න පුළුවන්. මුලින් ම මෙහි එන ප්‍රධාන චරිතය මට හමු වන්නේ මා සේවය කළ පුවත්පතේ යම් කටයුත්තකට අනුරාධපුරයට ගොස් සිටිය දී යි.

සුදු වතින් සැරසී සිටි මේ සැට වයස් පසු කළ මේ මිනිසා මා දුටුවන ම පැකිළීමකින් තොරව කතා කිරීම මට පුදුමයක් වුණා. කොහොම හරි අපි හිතවත් වුණා. ඔහු කිව්වා දිගු කාලයක් තිස්සේ තමන් පදිංචිව සිටියේ ස්කැනේඩියානු රටකය කියලා. මේ වන විට දරු මල්ලන් ද ලොකු මහත් කරලා බිරිඳටත් සාධාරණය ඉටුවන අයුරින් කටයුතු කරලා තමයි ලංකාවට ඇවිල්ලා හිටියේ. ඒ ඇයි කියල ඇහුවම ඔහු කියනවා ස්ත්‍ර්‍රී පුරුෂ සම්බන්ධතා අතින් ඉහල ම සුඛ විහරනයක් තිබුණ රටක තමන් සිටියත්, කුමක් හෝ අඩුපාඩුවක් තමන්ට දැනුණ බව යි.

ඒත් මේ කතාවේ අවසානය සිදු වෙන්නේ මා නොසිතූ විදිහට යි. අනුරාධපුර ප්‍රදේශයේ අවසාන සීමාවේ වනාන්තර රක්ෂිතයක් අසල වු පැරණි නිවසක තමයි දෙවන වරට මේ පුද්ගලයාව මට හමු වෙන්නෙ. ඒ වගේ ම එතන දී තවත් චරිතයක් මට හමු වෙනවා.

ඒ ඔහුට වඩා අවුරුදු තිහකට තිස් පහකට වඩා වයසින් බාල කාන්තාවක්. ඔහුත් එදා වගේ සුදුවතින් සැරසිලා සිටියේ නෑ. මට මතක විදිහට බතික් සරමක්, කමිසයක් වගේ ඇඳුමකින් සැරසිලා සිටියේ. කාන්තාව හැසිරුණේත්, ගෙදර ස්වාමි දුව වගේ යැයි මට සිතුණා. ඔහුගේ මේ අලුත් වෙනස මම මගේ පරිකල්පනයෙන් නවකතාවක් බවට පෙරළුවා. ඒක තමයි “ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුගේ ප්‍රේමය.”

 

ඔබ මේ කතාවෙන් කියන්න හැදුවේ කුමක්ද?

මෙ කතා කරන අද දවසේත් මම දුටුවා සමාජ වෙබ් ජාලා අඩවියේ අවුරුදු 62 ක් වයසැති මිනිසෙක් තමන්ට වඩා අවුරුදු 40 කින් බාල කාන්තාවක සමඟ විවාහ වී සිටින පුවතක් පළ කරලා තියෙනවා. ඒ ගැන විවිධ අය විවිධ විදිහට අදහස් ප්‍රකාශ කර තිබුණා. ඒ බොහෝමයක් අදහස් හරිම සීමාන්තික යි.

තමන්ගේ මානසික විකෘතිතා එහෙම අදහස් ප්‍රකාශ කරලා තෘප්තිමත් කර ගනනවා ද කියලත් ඒවා කියවද් දි හිතෙනවා. මේකට කියන්නේ නීච කුතුහලය කියලා. මේ ඇවිල්ලා සැඟවුණ සෙවීමක්. යතුරු හිලෙන් බැලීමක්ය කියල කියන්න පුළුවන්. එහෙම නැතුව යහපත් නිරීක්ෂණයක් නෙවෙයි.

ගෙවල්වල නිදන කාමර එහෙම නැත්නම් නාන කාමරවල සාපරාධී අපරාධයක් වැනි දෙයක් සිදු වුණොත් එතන ප්‍රවෘත්ති වටිනාකමක් තියෙනවා. එහෙම නැතුව මෙවැනි මානුෂීය තත්ව ගැන තමන්ට හිතෙන හිතෙන විදිහට අදහස් පැවසීම හොඳ දෙයක් නෙවෙ යි.

අනිත්තෙක තමයි මිනිසුන්ගේ වයස්ගත වීම පිිළිබඳ අපේ රටේ අය දක්වන අවිචාරී හැඟිම. තමන්ගේ දෙමවුපියන් ගැන පවා ඇතැම් දරුවන් හිතන විදිහ හරි අවලස්සන යි.

මේ නවකතාවෙන් මට ඕන වුණේ මෙන්න මේ සමාජ හැසිරීම ගැන කතා කරන්න යි.

සමාජයක මනුෂ්‍ය සංවේදීතාවන් කියන හැඟීම්වලට වයස් සීමාවක් තියෙන්න බැහැනේ.

වයස් සීමාවකින් තොරව සෑම අයෙකුට ම අයිතියක් තියෙනවා අනෙකාට හිංසනයක් නොවන අන්දමින් තමන්ගේ සාධාරණ මනුෂ්‍ය හැඟිම භුක්ති විඳින්න.

අද අපේ සාහිත්‍යයේ නවකතා ලිවීම ඉතාම ජනප්‍රියයි. මේ ජනප්‍රියකමට නවකතා වලට සම්මාන ප්‍රදානයත් මේ සඳහා හේතු වෙලා තියෙනවා. මේ ගැන ඔබේ අදහස?

සම්මාන ලබපු ඇතැම් නවකතා මම කියවලා තියෙනවා. විශේෂත්වයක් හැටියට මා ඒවායින් අත් වින්දේ ඒවා කියවන්න කොයි තරම් අපහසු ද කියන එක යි.

යම් කතාවක් එක හුස්මට කියවාගෙන යන්න බැරි නම් මට නම් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක කොයි තරම් අති උත්තම කතාවක් වුණත් වැඩක් නෑනෙ ඒක කියවන්න පාඨකයෙක් පෙලඹෙන්නෙ නැත්නම්.

මගේ මේ නවකතාව ඉතා උසස් කෘතියක් යැයි කියන්න මම උත්සාහා කරනවා නෙවෙයි.

ඒත් මේ ගැන අදහස් දක්වමින් මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර කියු දේ තමයි, “මේ නවකතාවේ තියෙන විශේෂත්වය තමයි එක හුස්මට කියවාගෙන යන්න පුළුවන් වීමය කියන එක.“ කොහොම නමුත් මට හිතෙනවා මං මේ කරලා තියෙන්නේ කම්මලක ඉදගෙන රන් භාණ්ඩයක් හැඩ වැඩ කරනවා වගේ වැඩක්ය කියලා. නමුත් මට අවශ්‍ය වුණා මේ අත්දැකීම ගැන කියන්න.

ඒකට මම නවකතාව මාධ්‍යයක් හැටියට යොදා ගත්තා. ඒ සඳහා සම්මාන ලැබෙයි ද නැද්ද ඒ වගේ දේවල් මට වැදගත් නෑ.

 

මීට පෙර ඔබ විවිධ පොත පත ලියා තිබෙනවා ඒ කෘති ලිවීමට හේතුව පැහැදිලි කළොත්?

අද අපේ මේ සමාජයේ ම ඉන්නවා හොර වෙදුන්ය කියල කොටසක්.

මේ අය සමාජ ව්‍යසනයක් හා සමාන යි. මගේ “සසල විල” කෘතියට පාදක වෙන්නේ ඒ කියන හොර වෙදුන්ගේ සමාජ හැසිරීම. පුවත්පත් කලාවේදියෙක් හැටියට මගේ විෂය වුණේ ගුප්ත විශ්වාස ගැන ලිවීම. ඒ විදිහට කරුණු සොයා යද්දී ලබපු අත්දැකීම් තමයි මේ ලිවීමට හේතු වුණේ.

ඒ වගේ ම පැවිද්දෙක් පසුව උපැවිදිව සමාජයට ඇවිත් ගිහි සමාජයේ දී ලද අත්දැකීම් සාක්ෂාත් කර ගැනීම පසුබිම් කරගෙන “අග්නි චාමර” කෘතිය ලියනවා.

ඒ කොහොම නමුත් මම සාහිත්‍යධරයෙක් ය කියලා මම විශ්වාස කරන්නේ නැහැ.

මෙතන දී වුණේ මම ලබන ඇතැම් අත්දැකීම් ප්‍රකාශ කරන්න සාහිත්‍යකරණය මාධ්‍යයක් හැටියට යොදා ගැනීමට වැඩි දෙයක් නෙවෙ යි.

Comments