විශිෂ්ටයකුගේ ආත්ම කථනය | සිළුමිණ

විශිෂ්ටයකුගේ ආත්ම කථනය

 

 

කෘතිය-විශිෂ්ටයි ක්‍රිශිෂ්ටොෆ්

පරිවර්තක- දිලීප ජයකොඩි

ෆාස්ට් පබ්ලිෂින් ප්‍රකාශනයකි

මිල රු. 700

විමසීම් 077 114 3324

 

“චිත්‍රපටයක් සෑදීම යනු සැමදාම හිමිදිරි පාන්දර හයටවත් පිබිදීම සිදු වීම යි. සීතල විඳ ගැනීම යි. මඩ පිරී පොළවේ ඇවිදගෙන යාම යි. වර්ෂාවේ තෙත බරිත වීම යි. එය සිරුරේ සෑම ස්නායුවක් ම ප්‍රකම්පනයට පත් කරන්නකි. එක්තරා අවස්ථාවක දී එය ඔබේ ජීවිතයේ ප්‍රමුඛත ම කාර්යය බවට පත් වේ. අන් සියල්ල පැමිණෙන්නේ ඉන් පසුව ය. ඔබේ පවුල පවා, හැඟීම් පවා ඔබේ පුද්ගලික ජීවිතය පවා..... මේ කතාව දුම්රිය රියදුරන්ට, එසේ නැත්නම් බැංකු කරුවන්ට පවා කිව හැකි කතාවක් බව සැබැවි. ඔවුන් නිවැරැදි වීම් පිළිබඳ සැකයක් ද මට නැත. නමුත් මා ලියන්නේ මා ගැන යි. මම මගේ රැකියාව කරමින්, සමහර විට තවදුරටත් මම මේ රැකියාව නොකෙරිය යුතු බව මට සිතෙ යි. චිත්‍රපට නිර්මාපකයෙකුට අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු ඉවසීම නම් ගුණාංගයේ අවසානයට මම පැමිණෙමින් සිටිමි.”

කෙනෙකුට සිය චරිිතාපදානය විස්තරාත්මක ආඛ්‍යායනයක් ලෙසින් ඉදිරිපත් කළ හැකි ය. ඇතැම්හු එය නිර්මාණාත්මක නවකතා ශෛලියකින් ද ලිවීමට කැමති වෙති. එහෙත් සිය චරිතාවලෝකනය ගැඹුරු අවංකත්වයකින් ඉදිරිපත් කරන්නෙකුගේ ප්‍රකාශයන් අවසන් වන්නේ ආත්ම කථනයක් ලෙසිනි. ඊට හොඳම උදාහරණයක් වන්නේ “විශිෂ්ටයි ක්‍රිශිෂ්ටොෆ්” නමින් ප්‍රකාශිත ක්‍රිශිෂ්ටොෆ් කිසලොව්ස්කි නම් පෝලන්ත සිනමාකරුවාගේ ජීවිත කතාව යි. එය අර කීව නමින් සිංහලට නඟන්නේ දිලීප ජයකොඩි ය.

ක්‍රිශිෂ්ටොෆ් සිනමා පාසැලෙන් ඉවත්ව මුලින් ම රජයේ වාර්තා චිත්‍රපට අංශයට සම්බන්ධ වන අතර පසුව ඉන් ඉවත් වෙමින් වෘතාන්ත සිනමා නිර්මාණකරණයට එක් වෙයි. එසේ එකතු වන ඔහු ක්‍රිස්තියානි සංස්කෘතියේ එන දස පනත මෙන් චිත්‍රපට දහයක් නිර්මාණය කිරීම විශේෂත්වයක් වේ.

ඉනුත් “ෂෝට් ෆිල්ම් අබවුට් කිලිං” හා “ෂෝට් ෆිල්ම් අබවුට් ලව්” නම් චිත්‍රපට ද්වය ඔහුට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා දුන්නේ යැයි පැවසෙයි. එමෙන් ම “කලර්ස්” නමින් තුන් ඈඳුතු සිනමා කෘති පෙළක් නිර්මාණ කරන ඔහු ඒ කෘති ත්‍රිත්වය නම් කරන්නේ, “රෙඩ්”, “බ්ලු”, හා “වයිට්” යන වර්ණවල නම් වලිනි.

මේ නිර්මාණ හරහා ද මහත් සම්මානනීයත්වයක් ලබා ගන්නා ක්‍රිශිෂ්ටොෆ් පෝලන්ත සිනමාවේ විශිෂ්ට ප්‍රතිරූපයක් බවට ද පත් වේ.

ඔහුගේ මෙම චරිතාපදානය ගැන සලකන විට එය මුලින් කී ආකාරයට ම නිර්ව්‍යාජ ආත්ම කථනයක් ලෙසින් ගැනීම වඩාත් නිවැරැදි වේ. ඊට අදාළව ගත් කල කොමියුනිස්ට් දේශපාලනය හා බැඳුන රාජ්‍ය සමය ගැන පවසන අදහස් ඔහු ජීවත් වු කාලය හා බැඳුණ ඔහුගේ චර්යාව පිළිබඳව පෙන්වා දෙන කදිම පැහැදිලි කිරීමක් ය.

“කොමියුනිස්ට් පාලන සමයේ දී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුට ගත හැකි මං පෙත් තුනක් තිබිණ. පළමුවැන්න නම් චිත්‍රපට නොසාදා ම සිටීම යි. නමුත් අවංකව ම කීවොත් කොමියුනිස්ට් පාලනය නිසා ඉන් බැහැර වුවෙක් ගැන මම නොදනිමි. නමුත් එවැන්නන් සිටීමට පුළුවන. දෙවැන්න නම් ඔවුන්ගේ ආශිර්වාදය ලබන වර්ගයේ චිත්‍රපට සෑදීම යි.

එනම් රුසියාව ගැන, ලෙනින් ගැන, හමුදාව ගැන සම්බන්ධ චිත්‍රපට සෑදීම යි. තෙවැන්න නම් ආදරය, ස්වභාව දහම ආදී දේ ගැන චිත්‍රපට සෑදීම යි. මෙතැන දී මම හතරවෙනි මගකුත් සොයා ගතිමි. මගේ නිර්මාණශීලි පෞරුෂයට සරිලන මඟකි. එදා සිනමා පාසැලේදීත් අද ඉන් පිටතදීත් මා ගමන් ගන්නේ ඒ මගේම ය.”

ඒත් සමඟම තවත් තැනක දී මෙම අපූර්ව සිනමාකරුවා තමන් සිනමාකරණයේ දී දේශපාලනය ගැන මඳ උනන්දුවක් හෝ නොදැක්වුවා නම් කොතරම් හොඳදැයි සිත යි. තමන් අතින් නිර්මිත කෘතීන් මතට දේශපලනයේ සෙවණැල්ල යාන්තමටවත් නොවැටුණා නම් කොතරම් යහපත් දැයි සිත යි.

බැලු බැල්මට ම මේ ප්‍රකාශයෙන් හැඟී යන්නේ දේශපාලනය ගැන කලකිරුණු මනස්හි සාමාන්‍යයෙන් ඇතිවන සිතිවිල්ලකැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. නමුත් කෘතිය හොඳින් කියවන්නෙකුට එය තුළ පවත්නා වෙනස් සමාජ කියවීමක් ඔබ හමුවේ මතු වෙනු ඇත.

පරිවර්තන සාහිත්‍ය කලාව කැත සාහිත්‍ය ජාවාරමක් බවට පත්ව ඇති සමයක දිලීප ජයකොඩි වැනි තරුණ සමකාලීන පරිවර්තකයන් මෙවැනි විශිෂ්ටයන්ගේ චරිත කියවීම් සිංහල සාහිත්‍ය ක්ෂේත්‍රයට එක් කිරීම, මෙන්ම ෆාස්ට් පබ්ලිෂින් වැනි ප්‍රකාශන ආයතන එහි ලා මැදිහත්වීම ප්‍රශංසා කටයුතුම ය.

අනිත් අතට මෙවැනි කෘති වෙහෙසකින් තොරව කියවාගෙන යෑමට නම් සරල සුගම මෙන් ම නිර්මාණශීලි බස් වහරක ඇවැසියාව ද වෙසෙසින් මතක් කළ යුත්තකි. මෙම තරුණ පරිවර්තකයා එහි ලා අසමත් නැත. ඔහු තවදුරටත් එහි ලා සමත් වනු ඇතැයි යන විශ්වාසය ද ඒත් සමඟම ඔහු විසින් ම අප තුළ තහවුරු කරනු ලබයි.

Comments