සතියේ කවිපොත | සිළුමිණ

සතියේ කවිපොත

කෘතිය- දළ පුට්ටූවාගේ ආත්ම කථනය

කර්තෘ- බණ්ඩාර ඇහැළියගොඩ

මිල රුපියල් - 300 පිටු 97

විමසීම් - 077 7486482

සන්ථව ප්‍රකාශනයකි

 

මෙවර සතියේ කවි පොත ලෙස ඔබට ඉදිරිපත් කරන්නේ ප්‍රවීණ ගීපද රචක, මාධ්‍ය ‍ෙව්දී බණ්ඩාර ඇහැලියගොඩ විසින් රචිත දළ පුට්ටුවාගේ ආත්ම කථනය කාව්‍ය සංග්‍රහයයි.

කවියෙකු ලෙසින් ලේඛන කාර්යයට පිවිසි ඔහු අද වන විට විවිධ ඉසව් ඔස්සේ තම දක්ෂතා පෙන්නුම් කර ඇත. සිවුපදයට මුල් තැන දෙමින් රටේ බොහෝ ජනප්‍රිය චරිත, සාහිත්‍යධරයින් ආදි සුවිශේෂි වූ පුද්ගලයන් තේමා කොට ගනිමින් ලියැවුණ සඳැස් කවි අපට මෙම කාව්‍ය සංග්‍රහයේදී හමුවේ.

අලි ඇත්තු පිළිබඳ මිනිස්සුන්ගේ ඇති ඇල්ම කිසිදා නැති නොවන්නකි. එමෙන්ම අලි මිනිස් ගැටුම ද නිමා නොවන්නකි.

කොහොම වුණත් ගෙවුණ කාලයේදී කාගෙත් කතා බහට ලක් වූ දළ පූට්ටුවාගේ කතාව හද සසල කරන්නකි. දළ පූට්ටුවාගේ මරණය පමණක් නොව ගෙවුණ කාලයේ ඇත්තුන්ට සිදු වූ ඛේදවාචක නිමක් නැත සමස්ත අලි ඇතුන් නියෝජනය කරමින් දළ පූට්ටුවා කියන්නේ ඒ කතාවයි. මිනිසුන් විසින් කැලේ සද්ධන්තයා විනාශ කිරිම, උන්ට ඇති බිම් වනසා දැමීම ගැන කියන අතරේම කවියා මේ පවතින ඛේදවාචකය ගැන අවසානයේ සඳහන් කරන්නේ උපාහාසයෙනි.ඒ උපහාසය යට කරමින් මතුවන්නේ දුකකි, තැවුලකි. මාතෘකාව දළ පූට්ටුවාගේ මරණය.

ගේ දොර තනා යන මං අවුරා දමති

එවමින් යකඩ යකු නෑ පිරිවර මරති

කුම්බස්තල දෙබෑවන ලෙස ගිනි බිඳිති

ගජමුතු සොයා අමු අමුවෙම දළ කපති

 

ඒ දළ කපාගෙන යන්නේ මිනිසුන්ය

රඳවා තබන්නේ මිනියක දෙපසින්ය

මා මිය ගිය පසුත් කෙරුවේ අවමන්ය

මළ කළ තැබිය යුත්තේ ගව අංය

මිනිස්සු පවතින ආර්ථික රටාවත් සමඟ හැල්මේ දුවති. පවුලක් ලෙස එකට එක්වී කෑම ගන්නටවත් වෙලාවක් නැත. එක් එක් කෙනා නිවෙසට එන්නේ එක එක වෙලාවටය. දරුවෝ මවුපියෝ පවුලක් ලෙසට එකට එක්වී සිටින්නට කාලය හරස් වී ඇත.

නමුදු ලොවටම වයිරසයක් වූ කොරෝනා අපේ රටට යම් අයුරකින් ආශිර්වාදයක් වූ සෙයකි. ඉවක් බවක් නැතිව ඉබාගාතේ දිවූ ජීවිත වලට තම පවුල දරුවන් ඥාතින් සමඟ එකට ඉන්නට විවේකයක් ලැබුණාක් වැනිය.

කොරෝනා වයිරසය හේතුවෙන්ම ලෝකය වෙනස් වූ අයුරු, මිනිසුන්ගේ සිතුම් පැතුම් ආකල්ප වෙනස් මඟක් ගත් අයුරු පමණක් නොව පවුලක් ලෙස එකට ඉන්නට ලැබීම ගැන කවියා පවසන්නේ සතුටෙනි. මරණයේ වේදනාව භීතිය, වයිරසය පැතිරීමේ අවදානම මේ සියල්ල අතරේ ලැබූ ආශිර්වාදයක් ලෙස ජීවිතය අලුත් වීමක් ලෙස “කොරෝනා“ දකින කවියා මෙසේ ලියයි. මාතෘකාව කෝවිඩ් දහනවය.

හිටියත් වෙන්ව මීටරයක් දුර ඈත

වෙනදට වඩා හිත ඇතුළෙන් ළඟපාත

ළංවී හිදී දරු පැටවුන් සහජාත

කොවිඩ් වුණත් එක අතකින් නරක නැත

පසුගියා වියේ වූ මාධ්‍ය ලෝකයේ දැවැන්තයකු වූ ඇවිදින පුස්තකාලයක් බදු එඩ්වින් ආරියදායන් ගැන කවියා මෙසේ ලියන්නේය.

ලොව තතු ඇතැඹුලක් සේ එක මිටට ගෙන

සැකයක් බියක්නොමැතිව දිග හරින තැන

ඇස් කන් යොමාගෙන පසුවෙති සියලු දෙන

ආඩම්බරයි ඔබ වැනි ලක් පුතෙකු ගැන

 

බණ්ඩාර ඇහැළියගොඩයන් ගේ දළ පූට්ටුවාගේ ආත්මකථනය කාව්‍ය සංග්‍රහයේ ජනප්‍රිය කලාකරුවන් මියගිය යුග පුරුෂයන් මෙන්ම තවත් බොහො දෙනා අපට හමුවේ.

කවියෙකුට කවි ලිවීම සැනසිල්ලකි. ඔහු ගී පද රචකයකු වුවද වඩාත් ඇලුම් කරන්නේ ගීතයට වඩා කවියට යැයි මේ පොත කියවන විට අපට හැඟේ. ඔහු සිය කාව්‍ය සංග්‍රහයේ පෙරවදන ලියන්නේ ද කවියෙනි.

 

සිය ගණනකට වැඩියෙන් මා ලියන ලද

සමුදුරු ගොස් විරිත ඇතුළත් හතර පද

තැන තැන තිබිණි මම ඒවා එකට බැඳ

මේ පොත පළකරමි කියවා බලනවද

Comments