සබන් පෙට්ටිය | සිළුමිණ

සබන් පෙට්ටිය

 

මවු තුරුලට වන් බිලිඳෙකු මෙන් ඇය සංතෘප්ත වූවාය. බිලිඳු බඩ සා ද උණුහුම සහ සීත ද පලවා හරින තන පුඬුව සේම ඇළ දිය ඇගේ සිරුර සනහාලයි. මුරකාවලෙහි යෙදෙන දැවැන්තයන් සදිසි රූස්ස මාර ගස් ඇගේ ඇසින් අහස වසන් කරන්නට වෙර දරයි. එහෙත් දියෙහි ගිලි ගිලී ඇය ඒ සිය සියක් අතු ඉති අතරින් අහසේ නිල ද වලාකඩක සුද ද දුටුවාය.

නවම් හිරු මෙන්ම නවම් අහස ද අතිශයින් දීප්තිමත් විය. ළපල්ලෙන් ගැවසී ගත් ගහකොළ නුදුරෙහි එළඹෙන බක් මසෙහි පලවැල පුබුදුවාලන අපේක්ෂාවෙන් උතුරා යන්නාක් මෙනි.

බඩවැටියේ සරසරය ඇගේ සමාධිය බිඳ දමයි. ඇය අහසින් හා තුරු මුඳුනින් ඇස් ඉවතට ගත්තේ කැමැත්තෙන් නොවේ. තවත් වේලා වලාවක සුදෙන් සැනසෙන්නට තිබුණා නම් හොඳය.

“නානවද?“

ඇය දියෙහි ගිලී සිටියදීත් ඔහු ඇසුවේය. හුදෙක් සමීපයෙහි මනුස්ස පරාණයක් නොතකා සිටිය නොහැකි බැවිනි.

“ඉන්ඩ බෑ ගිරීස්මේ... ගිනි ගනී කියල හිතෙන්නෙ සේරම. ඒ තරං සැරයි පෑවිල්ල....“

“නවං ඉරට ඉතිං යකෙක් වැහෙනවනෙ කවදත්“

ඇය වඩාත් විමසිල්ලෙන් බැලුවේ ඔහු දක්කාගෙන ආ එළදෙන දෙසය.

“මේකි වෑ පිටියට එක්කාන යන්ඩ බෑ... පැටියා ගහන්න ඔන්න මෙන්න...“

මාර ගස් එක්ක සසඳා බලන කල කුරුමිට්ටෙක් සදිසි ගසෙහි එළදෙන දිගේලි කරමින් ඔහු පහදා දුන්නේය.

“ගාලෙ තියලා එන්ඩ තිබ්බනේ“ යි ඇය කීවේ පරාජිත හඬිනි. දැරිය නොහැකි තරම් මහත් උදරයක් එක්ක වෑයමෙන් ගාටන එළදෙන ඇගේ දුක්ඛ දෝමනස්සයන් අලුත් කරයි.

“මට විතරද මේ ලෝකෙ ළමයි නැත්තෙ...? මේක හරිම කරුමයක්නෙ. එළි විච්චි වෙලේ ඉඳලා කියවනවා ඉවරයක් නෑ. මට කනක් ඇහිලා ඉන්ඩ දෙන්නෙම නෑනෙ යකෝ“ යි ඇය කෑ ගෑවේ බැරිම තැනය. නිහඬව සිටීම වූ කලී නැන්දණියට තමා තළා පෙළා දමන්නට ලබා දෙන අවසරයක් බව ඇය අවබෝධ කරගත්තේ කාලාන්තරයකට පස්සේය.

“කට නං තියෙනවා වෙන මොක නැතත්. අර උඩහ ගෙදර ඉන්දරා ආයෙත් බඩිං... ආං ගෑනු... ඒකට මේ වඳියො.. මගේ කොල්ලගෙ කරුමෙ. වෙන මොකවත් නෙමේ සංසාරෙ කරපු පව් පල දීලා“

මවගේත් බිරින්දෑගේත් වදන් හරබයට මැදිහත් නොවන විජේපාල හෙම්න් සීරුවේ මඟ හැර යයි. කමලාවතීගේ කටොළු කතාවලට වඩා ඉවසිය නොහැක්කේ එයයි. දුක සැප බෙදා හදා ගන්නට දිවුරා පොරොන්දු වූ මිනිසාගේ නිහැඬියාවයි. පිටුපෑමයි. ජයන්ති ශෝකයෙන් නොව කෝපයෙන් දැවුණාය. ශෝකය තමා දුර්වල කරන අතරේ කෝපය නව ශක්තීන් ජනිත කරවන වග ඇය ඉඳුරා දැන සිටියාය.

“මට ළමයි නෑ තමා. මං වඳයි තමා. ඉතිං... මට මැරෙන්ඩද කියන්නෙ...? ළමයි නැති ගෑනු සේරම මරනවද? මැරෙනවද..? මිනිස්සු ඒ ගෑනු අතාරිනවද..?“

දුනු ඊතල අතැති දුනුවායෙකු මෙන් ඇය අභීතව පෙරට ඇදෙයි. ලේලියගේ කෝපාග්නියෙන් සසලව යන කමලාවතී පසුබසියි. එහිලා ඇගේ කෝපය මඳින් මඳ වියැකෙන්නේ ජයන්තිගේ දෙනෙත ගිනි පුපුරු හේතු කොටගෙනය.

“මේකි යස්සනී වගේ... මගේ බොටුව මිරිකලා ලේ බොන්ඩත් බැරි නෑ.“ යි තිගැස්සෙන ගැහැනිය දන්නා ගාථා සියල්ල කියමින් බුදුන් වඳින්නට පටන් ගනී. ඇයට පහර දෙන්නට පමණක් නොව ඇය මරා දමන්නට පවා සිතෙන තරමට උමතු වූ ගැහැනියට ආපසු හැරෙන්නට බල කරන්නේ නැන්දණියගේ මුවින් පිටවන ගාථා සමුච්චයයි.

මද්දහනේ ඇළට බහින්නේ එහෙව් දුක්ඛ දෝමනස්සයන්ගෙන් අවපැහැ ගැන්වුණ එකියකි. කෝපය හා ද්වේෂය පවා සිතට කයට ගෙන දෙන පීඩාව අතිමහත්ය. එහෙයින්ම උණුසුම් දිය දහරම ඇයට මවු තුරුලකි. ලෙන්ගතු උරහිසකි.

දිය නාන ගැහැනියට උත්තර දෙන්නට හිස නැඟූ ඩිංගිරා තිගැස්සුණේය. දණක් උස දියේ හිටගෙන ඉන්නා ඇය දිය රෙද්ද විසින් මනාව උළුප්පා දැමූ හැඩතල එක්ක සරාගී පෙනුමක් ඉසිලුවාය. ඔහු කිසි කලෙකත් ඇය දෙස මේසා විපරමින් බලන්නට උත්සුක නොවීය. එළදෙනක හෝ පැටවකු බඩවැටියට දක්කාගෙන එන කල ඇය දිය නාමින් සිටියහොත් වචනයක් දෙකක් කතා කරයි. එහෙත් ඒ කිසිඳු හැඟීමකින් නොවේ. මනුස්සයෙකුට මනුස්සයෙකු හමුවූ විට කතා බතා බැරි නම් හිනාවක් හෝ පා යුතු බවට නීතියක් ඔහුගේ පියා පනවා තිබූ බැවිනි.

“කූඹියෝ පේළියට යන දිහා බලාගෙන හිටපං. කූඹියෙක් තව කූඹියෙක්ට එයාකාර ළෙන්ගතුකමෙන් ළං වෙනවා නං මනුස්ස අපි කොහොම හිනාවෙලා කතා බහ කරන්ඩ ඕනෑ ද?“ යි අසන්නට ඔහුගේ පියා පුරුදුව සිටියේය. එහෙත් පොළෝපත්ලේ වස විස මුසුවූ නළ ළිං වතුරෙන් දුර්වර්ණ වූ දත් දෙපොළෙ විහිදා සිනාසෙන්නට ඩිංගිරා මැළි වෙයි.

“මො... මොකක්ද කිව්වෙ?“

ඇගේ තෙත බරිත සිරුර මත සක්මන් කරන්නට තරම් නොහික්මුණු දෙනෙතට ශාප කරමින් ඔහු ප්‍රශ්න කළේය. එහි වූ වරදකාරි ස්වභාවය ඇය වටහා නොගත්තාය. මේ කෙසඟ කිළිටි ගොපල්ලා තුළ රාගාන්විත හැඟීම් පහළ වනු ඇතැයි ඇය කිසි විටෙකත් නොසිතුවාය.

“නෑ.. මං කිව්වෙ.. ගාලෙ හිටිය නං නෙ හොඳ මේ වැස්සි...“

ඔහු අත වූ කෙවිටෙන් තමාගේම පිට කැසුවේය. සිත නොසන්සුන් වූ විට එය නිතැතින්ම සිදුවන්නකි.

“ගාලට වැඩිය මේකිට මෙතන හොඳා.. කන්ඩ තණකොළ ඕසෙට තියෙනවා... බොන්ඩ ඇළේ වතුර තියෙනවා.“

ඇය හිස සලා එකග වූවාය.

“මෙතනම පැටිය ගැහුවොත් තමා වැඩේ“ යි කී ඇය සිනාසෙන්නට තැත් කළාය. නිබඳ නෙත ගැටෙන ගුරුපාර වගේම ඩිංගිරා නිතර දුටුවද හැඟීමක් හෝ දයාර්ද්‍ර බවක් නොඋපන් සිතට මේ මක්වී දැයි ඇය නොසන්සුන් වූවාය. මේ තාක් කලකට මේ සා වචන කන්දරාවක් ඔහු සමඟ කතා නොකළ බව සිහිපත් වීමෙන් ඇය හැකිළී ගියාය.

“දැං මං ගියාට හැන්දෑවෙ ආයෙ එනවා. හෙට මේකි මෙතන තියලා බෑ...“ යි කී ඔහු යන්නට හැරුණේය.

ඇය යළි දියේ නොගිලී ඔහු දෙස බලාගත්වනම සිටියාය. ගැහැනියක ප්‍රිය කරන රුවක් නැතත් ඇගේ සිත ගත් යමක් ඒ කාලවර්ණ සිරුරේ විය.

හරක් එක්කම දවස ගෙවන, හරක් මත්තේම හැපෙන ඩිංගිරාට ඩිංගිරා කියන්නෙක් ගංගොඩේ නොසිටියි.

“මයිලා...“

ඩිංගිරා මයිලා වූයේ කවදාදැයි කාට නම් කිව හැකිද? එහෙත් දෙවුර සිඹින කෙස්සද සිරුර වසාගත් ලොම් ද කුඩා දරුවන් බියබීත කරවන සුලුය.

“බට්ටික ඔක්කොම නොකෑවොත් මං එන්ඩ කියනවා මයිලා මාමට“ යි කියන්නට පුරුදු වූ අම්මලා එමටය.

“ආං... ආං... බිල්ලා එනවා... කන්ඩ... කන්ඩ.. බට්ටික කන්න...“ යි අනතුරු අඟවන අම්මලාට දරුවන් බියපත් කරන්නට ඔහු නොමසුරුව දායක විය.

බිල්ලා ද, මයිලා ද වන ඩිංගිරා අඳුරේ ද ආලෝකයේ ද කල්පනා කළේ හරක් පට්ටිය පිළිබඳවය. හඳයාගේ තුවාලයට ඔසු සෙව්වේය. රත්තිගේ පැටවා රකින්නට වෙහෙසුණේය. ලපීගේ දඩබ්බරකම මට්ටු කරන්නට වෙහෙසුණේය. ඒ ඒ ගවයා පිළිබඳව ඔහු පමණටත් වඩා දැන සිටියේය. ඒ නිසාම එක් එක් සතා කෙරෙහි ඔහු තුළ වූයේ එකිනෙකට වෙනස් හැඟීම් සමුදායකි. ගව ගාලෙහි නායකත්වය ගන්නා තලවාට ඔහු ගෞරවය දක්වන්නට මැළි නොවෙයි.

ඩිංගිරා ආපසු යන්නේ තමාද උසුලාගෙන බව අනුමාන නොකළද, ජයන්ති තවදුරටත් ඇළ දියෙහි උණුසුම ද සැනසුම ද නොලද්දාය.

“යං“ යි නැන්දණිය හැන්දැකළුවේ සුදු වතින් සැරසී අණ කළ සැණින් ඇය කිපුණේ ද අසහනයෙන් පසුවූ බැවිනි.

“මට බෑ...“ යි එක එල්ලේ ප්‍රතික්ෂේප කරන්නට තරම් ඇය නිර්දය වූවාය.

“මොනවා... බෝධි පූජාවට යන්ඩ බෑ...?“

කමලාවතී ඇස් ගෙඩි උළුප්පාගෙන ඇසුවාය.

“යං... යං...“

විජේපාල වහා මැදිහත් වූයේ සුපුරුදු අඬ දබරයට බියෙනි.

“මට බෑ.. මට උණ ගැනෙන්ඩ වගේ...“ යි කී ඇය මඳක් කෙඳිරි ගාන්නට ද වග බලා ගත්තාය.

කමලාවතී සැකයෙන් දෙඇස හකුලා ගත්තද විජේපාල හිස සැලුවේය.

“එහෙනං ඉතිං මොනවා කරන්ඩද...?“ යි ඔහු කණස්සල්ලෙන් කීවේ අම්මාගෙන් බුරුලක් පතාගෙනය

“ඉතිං දෙයියෝ සාක්කි. අපි ගිහිං පලක් ඇතෑ පන්සල් ලෙඩා දුකා නැතුව“

“මං හෙට යන්නං... ඊයෙත් ගියානෙ..“

කමලාවතී මිදුලට බැස්සේ අමනාපයෙනි.

“දවස් හතම යන්ඩෝනා... නැත්තං වැඩක් නෑ..“ යි ඇය කොඳුළේ කණස්සල්ලෙනි.

“හරි හරි අම්මෙ... එයාට ඇඟට අමාරු ඇති. නැත්තං නෑවිත් ඉන්නෙ නෑනේ..“

“උණ නොගැනී තියෙයිද බං.. ගිනි මද්දහනෙ අර ඇළේ බැහැල ඉද්දි...“

කමලාවතීගේ වචන ගෙතුළට දුවන්නේ ඇඳ බදා වැලඳගත් ජයන්තිගේ දෙකනේ රිංගන්නටම වගේය.

ගිනි මද්දහනත් ඇළත් ඇගේ ඇස් අද්දරට කැන්දාගෙන එන්නේ ඔහු ය. ලොමින් ගහන ඩිංගිරා ය. ඇය වහා උඩුකය කෙළින් කළාය.

“මයිල්... දෙයි හාමුදුරුවනේ මයිල්..“ යි ඇය හදිසියේ හටගත් ආවේගයෙන් තොල් මතුළාය. යක්ෂා වේශයක් මවා පාන බවට ගම්මු අදහන ඒ ලොම් කැටියම ඇයට ඉන්ද්‍රජාලයකි. ඇය ඇඳෙන් බැස්සේ ද කාමරයෙන් පිට වූයේ ද කිසියම් ආවේශයකට නතු වූවක මෙනි.

අඩ අඳුරේ වුව පිළිකන්නේ මිරිස් ගල මත සබන් පෙට්ටිය දිලිණ. එහෙත් එය ගෙනා මිනිසා අඳුරට අඳුර එක් කළේය.

“ක... කව්ද?“ යි ඇය ඇසුවේ සැලෙන හඬිනි. අඳුර සඟවා ගන්නා අඳුරු රුව ඔහුගේම බව දැන දැනමය.

“මේ... ස.. සබං පෙට්ටිය බැරි වෙලා.. මං ඇරං ආවා.. කවුරුවත් පේන්ඩ නැති හිංදා යන්ඩ මේ හැදුවෙ...“

ඇය ඔහුගේ දුර්ගන්ධයෙන් නැහැපුඬු පිරී යනතුරුම ළං වූවාය. ඔහු වෙතින් හමන්නේ මනුස්ස සිරුරක ගන්ධය පමණක් නොවේ. හරක් පට්ටියකම ගන්දස්සාරයයි. ඇළේ වරුවක් ගිලී සිටියද සිරුර වෙළා ගත් ඒ ගඳ නොවියැකේ. ගොපල්ලෙකුට උරුම එවන් උරුමයක්මය.

“ස.. සබං පෙට්ටිය බැරි වුණේ නෑ..“ යි ඇය ඇත්තම කීවාය.

“ඇළ පඩිය උඩ තිබ්බෙ... මං හිතුවෙ.. මං හිතුවෙ..“

සුදුසු ආමන්ත්‍රණයක් සොය ගත නුහුණුව ඔහු තැතනුවේය. ඇගේ නම දැන සිටියද නම කියන්නට ඔහු පසුබායි.

“මගේ තමා... හැබැයි මට බැරි වුණේ නෑ.. මං බැරි කරලා ආවෙ..“

ඒ ඇයි දැයි වහා ප්‍රශ්න කළේ ඔහුගේ දෙනෙතයි. ඒ නොඇසු ප්‍රශ්නය හේතු කොටගෙන ඔහුගේ දෙඇස වඩාත් මහත් විය.

“මං හිතුවා වැස්සි ගෙනියන්ඩ එද්දි සබං පෙට්ටිය දකී කියලා...“

ඔහුට ඇගේ කතාවද ඇගේ හැසිරීමද වටහාගත නොහැක.

ඇය මේ සා තමා වෙත ළං වන්නේ මන්දැයි ඔහු සිතුවේ අප්‍රසාදයෙන් නොවේ. ආශා භරිත හදිනි.

“එයි කියලා තමා පන්සල් ගියේ නැත්තෙත්“ යි කී ජයන්ති ඔහුගේ පුළුල් ළය මඬලෙහි හිස හොවා ගත්තාය. අප්‍රමාණ විමතියෙන් වුව ඔහු ඇය වැලඳ ගත්තේය. මද්දහනේ පටන් ඈ නිසාම වේදනා ගෙන දුන් සිත කය සනසන්නට ඇයම නොපැකිළ ඉදිරිපත් වූ විට තමා පලා යා යුතු නැතැයි ඔහුට සිතිණ. වෑ පිටියේ දිවා රෑ ගත කරන බැවින් මැසි මදුරු දෂ්ටනයෙන් ගොපල්ලා ගලවා ගන්නට යුහුසුළුව ලොම් වැඩෙන බවක් ඔහු දැන නොසිටියේය. එහෙත් හුදු මනුෂ්‍ය වේශයක් ඉසිලුවද තමා තිරිසන් සත්ත්වයෙකු බවට රූපාන්තරණය වන්නේ යැයි පශ්චත්තාපයෙන් මිරිකෙමින් ඩිංගිරා අන්ධකාරයට පිංපෙත් දුන්නේය.

කුඩාවුන් බය භීත කරවන ලොම් කැටිය ඇගේ දෑසින් වසන් කරන අන්ධකාරය අභිමුව දණින් වැටෙන්නට පවා ඔහු බැතිබර විය.

අන්ධකාරය බොහෝ දෑ වසන් කළ බව සැබෑය. එහෙත් නවම් හිරු ගෙනා දීප්තිමත් ආලෝකය ඇගේ ඔක්කාරය හෙළිදරව් කළේය.

“දෙයියො බැලුවා“ යි ඇගේ සැමියා තිස්තුන් කෝටියක් දෙවියන් අතරින් එකෙකු හෝ දකින රිසියෙන් ඉහළ බැලුවේය.

“බෝධි පූජාවෙ අනුහස්“ යි කමලාවතී දෑත එක් කළාය. මඳින් මඳ ඉදිරියට නෙරා එන උදරයත් එක්ක ජයන්ති සබන් පෙට්ටිය තලා කුණුවළට විසි කළාය.

ගැබ්බර දෙනක හෝ මහලු ගවයෙකු බඩවැටියට දක්කාගෙන එන මයිල් ඩිංගිරා යළි කිසි විටෙකත් දිය නාන ගැහැනියගේ බැල්මක් හෝ නොලද්දේය.

එයින් ඔහු වේදනා වින්දේය. එහෙත් ඒ බව පිළිගන්නට ඔහු කැමති නොවීය. වරක් තමා වැලඳ බදා ගත් එකිය මේ අයුරින් නාඳුනන විලාසයෙන් ඉවත බලන කල ඔහුගේ හදවතේ සිහින් අග්නියක් දැල්විණ. එය නිවා දමන්නට විනා සරුසාර කරන්නට ඔහුට වුවමනා නොවීය. අව්වේ කරකුට්ටන් වෙනවා මදිවාට ගින්නේ දැවෙන්නට ද ඔහු කැමති වන්නේ කෙසේද?

කොතෙක් වෙද හෙදකම් කළ ද සුවපත් නොවන සුද්දා ඇළ කණ්ඩියට දක්කාගෙන යමින් ඔහු ඇගේ විපර්යාසය සිහි කළේය. ඒ හාම ඇගේ සිරුරේ මටසිලිටි බව යළි යළි සිය දෑතින් පසක් කර ගැන්මේ බලවත් ආශාවෙන් භරිත විය.

බැල්මක් හෝ නොහෙළන අඟනකගේ ස්පර්ශය පිළිබඳව සිහින මැවීම ද නිෂ්ඵල බව සිතන්නට හඟින්නට තරම් නිරවුල් මනසක් ඔහු වෙත නොවිණ. ඇය වෙත දිව යන සිත මෙල්ල කර ගන්නට රත්ති, හඳයා හෝ කබරී වෙත අලවා ගන්නට ඔහු දරන ලද්දේ සුළුපටු ආයාසයක් නොවේ. නොහික්මුණු ගවයෙකු අවනත කර ගැන්ම ඒ සා දුෂ්කර නැත.

ඇය මංකඩේ සිටින්නේදැයි කුහුලින් ඔහුගේ දෑස දිදුලන්නට විය. එහෙත් ඔහු රෝගී ගවයා අත්තික්කා ගසේ දිගේලි කරන ලද්දේ ඇළට පිටුපා හිටගෙනය.

ඇගේ සිනා හඬ බමනවියේ සදාහරිත සුන්දරත්වයට සරාගී බවක් එක් කළේය.

විටින් විට නිවා දමන්නට වෙහෙසෙන ගිනිමැලය ඔහුගේ ළයෙහි යළි ඇවිලෙන්නට පටන් ගත්තේය. එහි වේදනාවෙන් ඔහුගේ මුහුණ විකෘතව රෝගීව ගියේය.

“බොරු නෙමේ... අපේ කිරියත්තා ගියේ ළමයා නාවන්ඩ බේසමක් ඇරං එන්ඩනෙ.. එවුන්දැට ටවුමෙදි දම්පිටියෙ නෑයෙක් හම්බවෙලා...“

ඇය පමණක් නොව ඇගේ සැමියා ද ඇළ දියේ සිහිලස විඳින බව ඒ උස් හා ප්‍රීතිමත් හඬ අවධාරණය කළේය. ඩිංගිරා ආපසු හැරෙන්නට පැකිළුණේය. හැරුණු සැණින් ඇය ද ඔහු ද නෙත ගැටෙන බව දන්නා බැවිනි.

ඔවුන් අඹු සැමියන් බව ඔහු දනියි. එහෙත් ඒ අඹු සැමියන් මේ මද්දහනේදී දැකීම වේදනාවකි.

“ඉතිං... ඉතිං... ඊට පස්සේ?“

ඇය කුහුලින් ද ප්‍රබෝධයෙන් ද ඇසුවාය. නිහඬ හා සාංකාකූල සැමියාගේ මේ නව වේශය ඇයට අසිරියකි. බිරින්දෑ ගැබ්බරව හිඳින වග සැල වූ පසු ඔහු හැව හළ නාගයෙකු සේම නව ජීවයෙන් ද හැඩයෙන් ද සපුරා වෙනස් එකෙකු බවට පත්ව සිටියි. තොර තෝංචියක් නැතිව කතා කරයි. කවදාවත් නැතිව ඇය සමඟ නාන්නට එයි.

ඇය ප්‍රිය කරන ආහාරපාන සොයා වෙහෙසෙයි.

“අපුච්චියේ... අපේ එකාට සන්තෝසෙ ඉහිලුං නෑ.. උඩ ඉර හඳ ඉල්ලුවත් ගෙනැල්ල දෙන්ඩ වලිකයි.“ යි කමලාවතීගේ ස්වරයෙහි ගැබ්ව තිබුණේ ද ඉසිලිය නොහෙන උද්දාමයකි. ජයන්ති වහා ළිප වෙත හැරුණේ මුහුණේ අඳුර නැන්දණියගේ ඇසින් වසන් කරගන්නටය.

“මං මහා පව්කාරියක්“ යි හඬා වැළපෙන්නට තරම් වන ශෝකයකින් හා පශ්ච­ාත්තාපයකින් ඇය මිරිකී ගියාය. එහෙත් දිනෙන් දින ඒ ශෝකය ද පශ්චාත්තාපය ද සෙමින් වුවද නිශ්චිත ලෙස වියැකිණ.

ඇළ දියේ ගිලි ගිලී සැමියා සමඟ පිළිසඳරෙහි පසුවන්නිය වෙතින් ශෝකාන්ධකාරයක සේයාවක් හෝ දක්නට නොලැබේ. ජීවයක් දරා සිටින්නියකගේ අභිමානය ද පූර්ණත්වය ද ඇය නොමඳව පළ කළාය.

“ඉතිං තමයි... එවුන්දැ බේසමත් ඇරං එනකොට ළමයා මිදුලේ බට්ටො පනිනවලු. අම්මේ මේං කවුද ඇවිල්ලා කියලා කෑගහනකොට කිරියම්මා කුස්සියේ උය උයා ඉඳලා දුවගෙන ආවලු. ළමයා නාවන්ඩ බේසම ගේන්ඩ ටවුමට ගිය මනුස්සයා මේං බේසමකුත් උස්සගෙන මිදුල මැද්දෙ. කිරියම්මට ආපු තරහ කොච්චරද කියනවනං ගත්තලු පොල් පිත්තක්.“

ජයන්තිගේ සිනා හඬ කොතෙක් උස් වී ද කිවහොත් රූස්ස මාර ගස් පවා සලිත වූ සෙයකි. දිය රළ රැළි නැඟිණ.

“මොකද අපේ එච්චර කල් කරලා තියෙන්නෙ ටවුමට වෙලා?“

“අර නෑයත්තෙක්ක ගමේ ගිහිං.... ගොයං කැපිල්ලට අහුවෙලා.. ඊට පස්සෙ ආයෙ වපුරලා... ඒ අව් අස්සේ දෙයියන්ගෙ ලෙඩ හැදිලා. ඊටත් පස්සෙ හරකෙක් පස්සෙ දුවලා වැටිලා කකුල කඩාගෙන... ඔය ඔක්කෝටම පස්සෙ තමා ඕං ආපහු ඇවිත් තියෙන්නෙ“

යළිත් රැව් දෙන ඇගේ සිනාව ඉවසිය නුහුණු ඩිංගිරාට දෑතින් දෙකන වසා ගන්නට සිතිණ. එහෙත් බඩවැටියේ ඉන්නා තමා ද සුද්දා ද ඉතා පහසුවෙන් ඇළ දියේ සිටින්නෙකුගේ දෑසට ලක්වන බව දැන හුන් බැවින් අතක් පයක් සොලවා ගන්නට අපොහොසත් විය.

“බොරු අනේ... ඔයා බොරු කියන්නෙ...“

“බොරු නෙමේ.. ඇත්තමයි. ඇත්තටම අපේ කිරියත්තට වෙච්චි දෙයක්. මටත් මතකයි ඉස්සර අපේ කිරියම්මා ඔය කතාව කියනවා. එතකොට කිරියත්තා හීං සීරුවේ මගෑරලා යනවා...“

තවදුරටත් අත්තික්කා ගස දෙස බලා ගත්වනම සිටින්නට ඩිංගිරාට වුවමනා වුවද ඇගේ සිනාවෙන් පසුව කන වැකි හඬින් තිගැස්සුණේය.

“හා ඩිංගිරා... මොකද?“

විජේපාලගේ හඬ ද බැල්ම ද කුලුණුබරය.

ඩිංගිරා ආපසු හැරුණේ අකැමැත්තෙනි.

“හා... මේ... මේ... සුද්දට සනීප නෑ... ගෙඩියක්... හොඳ වෙන්නෙම නෑ...“ යි කියාගන්නට ඔහු සමත් විය.

“කෝ එන්ඩ පිට අතුල්ලන්ඩ“ යි ජයන්ති වහා ඉල්ලා සිටියේ සැමියා ගොපල්ලා සමඟ කතා බහ කිරීම නොඉවසමිනි.

ඇය ඔහුගේ පිට අතුල්ලන අයුරු බලා ඉන්නට ඩිංගිරාට වුවමනා නොවීය. එහෙත් ඉන්ද්‍රජාලයකට යටත් වූවෙකු මෙන් ඔහු බලාගත් වනම සිටියේය.

ඇය විජේපාලගේ ගැහැනිය බව ඒත්තු යාමෙන් ඔහු තුළ හට ගත්තේ මහත් වූ ශෝකයකි. ඊට කෝපය මුසු වන්නට වැඩි වේලාවක් ගත නොවීය.

කෙවිට තරයේ අමෝරා ගත් හෙතෙම ළපටි තණ පතක රසයට ලොබ වූ ගවයා වෙත කඩා පැන්නේය.

ඔහු වැරෙන් හා නොකඩවා එල්ල කරන කෙවිටි පහර වටහාගත නොහැකිව සුද්දා විපිළිසර වූ සෙයකි. තිරිසන් දෙනෙත නැඟි වේදනාව නොපෙනෙන තරමට මිනිස් දෙනෙත කඳුළින් පිරී ගියේය.

Comments