හරි වහර | සිළුමිණ

හරි වහර

අත් පද - පර පද

නිසි ලෙස දන්නේ

 

හරි වහර ලියැවෙනුයේ බසෙහි හරි වහර නිවැරැදි වහර - වැරැදි වහරින් වෙන් කොට පෙන්වා දෙනු පිණිස බව මෙයට පෙර ද කිහිප වරක් දක්වනු ලැබිණ. එසේ හරි වහර මතු කොට දැක්වෙනුයේ ද බොහෝ දෙනකුට වැටැහෙන පරිදි සරල ලෙසිනි. සිංහලය පිළිබඳ මඳ දැනුමක් ඇත්තකුට පවා වැරැදි - නිවැරැදි වහර තෝරා ගැන්මට හැකි වන පරිදි කරුණු දැක්වීමට මෙහි ලා උත්සාහ දරනු ලැබේ.

ව්‍යාකරණය ඉගැන්වීම මෙහි ලා අරමුණු කරනු නො ලැබේ. ‍එ වුව ද ඇතැමුන්ගේ සැක පසිඳලීම පිණිස, ගැටලු විසැඳීම පිණිස ඇතැම් වියරණ කරුණු පැහැදිලි කොට දැක්වීමට සිදුවේ.

‘හරි වහර’ කියැවූවෙක් එසේ පැහැදිලි කොට කරුණු දැක්විය යුතු පැනයක් නඟයි. එ නම් ගිය වර ‘හරි වහරේ’ එක්තරා ක්‍රියා මූලයක් (ධාතුවක්) වර නැඟීමෙහිදී කියැවුණු ආත්මනේ පද - පරස් මෛ පද යනු කවරක් ද යන්නයි. එය පහදා දෙන ලෙස හේ ඉල්ලා සිටී. එහෙයින්, වෙන දා යන මඟින් තරමක් බැහැර වුවද ගැටලුව හැකි තරම් ලිහිල් ලෙස විසඳාලන්නට මෙහිලා තැතක් දැරේ.

පුරාණතම සිංහල ව්‍යාකරණය වන සිදත් සඟරාවේ හෝ ඒ අනුව ලියැවුණු ව්‍යාකරණ ග්‍රන්ථවල හෝ මේ ක්‍රියා ප්‍ර‍භේදය ගැන කරුණු නොදැක්වේ. එසේ නොදැක්වුණ ද සම්භාව්‍ය සාහිත්‍ය ග්‍රන්ථවල බෙහෙවින් මේ භේදය සහිත ක්‍රියා පද යෙදී ඇති සැටි දක්නා ලැබේ.

සිදත් සඟරාවේ ම පවා නිදසුන් වැකි ලෙස දැක්වුණු ‘බෙළේ බළාම් කෙරේ’ ආදියෙහි ආත්මනේ පදය යෙදී ඇති සැටි දැකිය හැකි ය.

සිංහලයෙහි ආත්මනේ පද -පරස්මෛ පද යන ප්‍රභේදය යෙදෙන බව මුලින් ම පෙන්වා දෙන ලදුයේ කුමාරතුංග මුනිදාස සූරීන් විසිනි‍. එතුමෝ සිය ‘එළු අත්තනගලු වංශ විවරණයේදී මේ කරුණ සාධක සහිතව දැක්වූහ. ඉක්බිති වැ එතුමන් විසින් රචිත ‘ක්‍රියා විවරණය’, ‘ව්‍යාකරණ විවරණය’ යන ග්‍රන්ථ දෙකෙහි ම මෙය මැනැවින් පැහැදිලි කරනු ලැබ ඇත.

ආත්මනේ පද - පරස්මෛ පද භේදය ඇත්තේ ක්‍රියා වර නැඟීමෙහිදී යෙදෙන ප්‍රත්‍යයවල ය. (වර නැඟීම යනු යම් ක්‍රියා මූලයෙකින් හෙවත් ධාතුවෙකින් ඇති වන රූප සමූහය දැක්වීමයි.‍

එය පාඨකයාට පහසුවෙන් වටහා ගනු පිණිස මෙසේ සටහනක් මඟින් දැක්විය හැකියි. මුලින් ම දැක්විය යුතු කරුණ නම් ආත්මනේ පද පරස්මෛ පද යනු සංස්කෘත ව්‍යාකරණයේ දැක්වෙන යෙදුමක් බව යි.

පාලියෙහි දී අත්තනෝ පද - පරස්ස පද යනුවෙන් ඒ හැඳින්වෙයි. “ආත්මගාමීවෙත් ඵලමාත්මනේ පදං - පරගාමීවෙත් පරස්ස පදං ප්‍රයෝක්ත ව්‍යක්තම” යැයි සුප්‍රකට සාරස්වත ව්‍යාකරණයෙහි දැක්වේ. (ක්‍රියාවෙහි) ඵලය තමා කරා පැමිණේ නම් ඒ ආත්මනේ පද යැයි ද (ක්‍රියාවෙහි) ඵලය අනුන් කරා යේ නම් ඒ පරස්මෛ පද යැයි කියැවේ යනු එහි අරුතයි.

ව්‍යාකරණ කාරයන් එ සේ කියන නමුදු මෙහි දැකිය හැක්කේ රූප භේදයක් පමණෙකි. එ නම් ආත්මනේ පද - පරස්මෛ පද දෙක්හි ක්‍රියාරූපවල ඇති වෙනස පමණෙනි. අර්ථයෙහි වෙනසක් නැත. එහෙයින් අර්ථය අතින් ගත් කල්හි මෙහි එ තරම් වැදැගත් කමක් දැකිය නොහැකි ය. එහෙත් ආත්මනේ පද රූපය ම වෙනත් ක්‍රියා භේද සඳහා ද යෙදෙන බැවින් මෙය මැනැවින් විමසා බලා උගත යුතු ය.

සිංහලයෙහි ද ආත්මනේ පද - ‍පරස්මෛ පද දෙකෙහි ඇත්තේ ක්‍රියා රූපවල වෙනස පමණෙකි. එහෙයින් දෝ, අද දක්නා ලැබෙන

ආත්මනේ පද ප්‍රත්‍යය

ඒක බහු

වර්ත ඒ එති

අතීත ඉණි උණු

පරස්මෛ පද ප්‍රත්‍යය

ඒක බහු

ආ, ඊ අති, ඉති

ඊ, ඉ ඌ, උ, ඉ

මේ අනුව ‘බබළ’ (බැබැළීමෙහි) ධාතුව (ක්‍රියා මූලය) ආත්මනේ පද ප්‍රත්‍යයගෙන ‘බැබැළේ - බැබැළෙති - බැබැළිණි - බැබැළුණු යනුවෙන් වර නැඟේ. (බැබැළිණි - බැබැළුණු’ යනුවෙන් වර නැඟේ. (බැබැළුණු යන්න වහරෙහි බෙහෙවින් යෙදෙනුයේ ‘බැබැළුණහ’ යන රූපයෙනි. එහි ‘හ’ යනු වාක්‍ය වසනා නිපාතයක් ලෙස සැලැකේ.

ඒ ‘බබළ’ ධාතුව ම පරස්මෛ පද ප්‍රත්‍යය ගෙන ‘බබළා - බබළති - බැබැළී - බැබැළූ’ යැයි වර නැඟේ. (‘බබළා’ යනු ‘බබළයි’ යැයි ද ‘බැබැළුණු යනු ‘බැබැළූහ’ යනුවෙන් ද වහරෙහි බෙහෙවින් යෙදෙන බව සැලැකුව මනා ය.

වෙනත් ධාතු ද මෙසේ වර නඟා බැලීමෙන් ආත්මනේ පද - පරස්මෛ පද භේදය හොඳින් අවබෝධ කැරගනු හැකි වනු ඇති. ‘ක්‍රියා විවරණය වැනි ග්‍රන්ථ පරිශීලනයෙන් මේ පිළිබඳ වැ නිවැරැදි නිරවුල් දැනුමක් ලබාගත හැකිවේ. මෙහි දක්වන ලද්දේ කෙටියෙන් කරුණු විමැසුමක් ද පමණෙකි.

ආත්මනේ පද කර්මකාරක භේදය ද මැනැවින් වටහා ගත යුතු ය. කර්මකාරකයෙහි දී ද ආත්මනේ පදයෙහි යෙදුණු ප්‍රත්‍යය ම යෙදේ. මෙහි දී අර්ථයෙහි වෙනසක් වන බව ද වාක්‍යයෙහි කර්මය උක්තවන බව ද පැහැදිලිව පෙනේ.

 

1‍. මිනිසා රැකේ

2. මිනිසා විසින් බල්ලෙක් රැකේ.

යන වාක්‍ය දෙක ඉතා සැලැකිල්ලෙන් කියැවුවහොත් අර්ථයෙහි වන වෙනස මැනැවින් වටහාගත හැකි වේ‍.

උක්ත රහිත වැ යෙදෙන ආඛ්‍යාතවල දී ද ආත්මනේ පද ප්‍රත්‍යය ම යෙදේ. ‘ඇයට හැඬේ’ , ‘රිළවාට නියැවේ’ වැනි වාක්‍ය විමසා බැලී‍මෙන් එ බව වැටැහෙනු ඇති.

සිංහලයෙහි බොහෝ ධාතු ආත්මනේ පද, පරස්මෛ පද දෙක්හි ම වර නැඟේ. එ බඳු ධාතු උභය පද නමින් හැඳින්වේ.

 

Comments