‍දුර ඈත සිට පාඨක අපට ආනන්දනීය ඉසව්වක් පෙන්වන්නී... | සිළුමිණ

‍දුර ඈත සිට පාඨක අපට ආනන්දනීය ඉසව්වක් පෙන්වන්නී...

 

පියදෝර් දොස්තයෙව්ස්කි සියවසක් පුරා බිහිවූ විශිෂ්ටතම ලේඛකයෙකි. එහෙත් ඔබ දන්නා පරිද්දෙන් ම ඔහු සිය ජීවිතය ගෙවා දැමුවේ තැන තැන ඇවිදිමින්, රහමෙර යහමට පානය කරමින් රස්තියාදු කරුවකු ලෙස ය. පොත් ලියා දෙන බවට පොරොන්දු වී ඔහු පොත් ප්‍රකාශකයන්ගෙන් අත්තිකාරම් ලෙස මුදල් ලබා ගත්තේ ය. සූදු කප්පිත්තකු වූ ඔහු ඒ සියලු මුදල් පැරදී දඩාවතට වැටෙයි. එවිට ඔහුව කාමරයක දමා සිරකර සිය මුදල් සඳහා ඔහු ලිවීමට පො‍රොන්දු වූ පොත්; පොත් ප්‍රකාශකයෝ ලියවා ගනිති. අප විස්මයෙන් අළලන කෘති ඔහු අතින් ලියැවී ඇත්තේ එසේ සිරකොට තිබියදී ය. සිතන්න ඔහු ඒ අප පිළිකුල් කරන රස්තියාදුකාර ජීවිතයෙන් ලද අත්දැකීම් නොවන්නට, සිරගත කර සිටියදී එවැනි ශ්‍රේෂ්ඨ කෘති ලිවිය හැකි වේද?

 

කවදා කෙදින හෝ ලබා ගන්නා අත්දැකීම් නිර්මාණකරණයේදී වැදගත් වන්නේ ඒ නිසා ය. අද නිර්මාණයක පෙරනිමිති ලිපියට සිය අත්දැකීම් ගොනු කරන ශමෙල් ජයකොඩි ලේඛිකාව ද වාසය කරන්නේ ලංකාවේ නොවේ; ප්‍රංසයේ ය. ඇය ද එක්තරා අන්දමකට සිය ඉපැදුණු දේශයෙන් පිට වෙනත් දේශයක ජීවත් වීමේ කාන්සිය දරා ගන්නියකි. ඇගේ නවකතා සිය අත්දැකීම් පරිධියෙහි හැඩ වන්නේ දොස්තයෙව්ස්කිගේ තරම් දුක් කම්කටොලු මැදින් නොවූව ද අපමණ විඳීම් මැදිනි. ඇගේ ඒ වෙනස් අත්දැකීම ස්වර්ණ පුස්තක අවසන් වටය ද නියෝජනය කළ ‘ප්‍රංශ පෙම්වතා‘ ඇසුරෙන් ඇය විග්‍රහ කරන්නේ මෙසේ ය.

‘ප්‍රංසයේ හිටිය කාලය තුළ මම ග්‍රහණය කර ගත් රසවත්ම කාරණාව තමා එරට ජන ජීවිතයේ ප්‍රමිතිය, සම්ප්‍රදාය කියන දේවල් සෞන්දර්යය මත පදනම්ව තිබීම. ප්‍රංස සම්ප්‍රදායයේ ඇති චින්තන විධි, හැඟීම්, ක්‍රියාවන් තැනී ඇත්තේ සදාචාරය රැකීම වෙනුවට සෞන්දර්යය රැකීම කියන කාරණාව මත, මේ ප්‍රංශ සමාජයේ සෞන්දර්යාත්මක රීතිය පසුබිම් කර ගත් නවකතාවක් ලිවීමට මට කැමැත්තක් ඇති වුණා. බොහෝ විට නිවැරදි බව, ප්‍රයෝජනවත් බව නොතකා සෞන්දර්යය රකින පරමාර්ථයෙන් තමයි ඔවුන් නොයෙක් තීරණ ගන්න පෙලඹෙන්නෙ. උදාහරණයක් විදිහට ප්‍රංස ජාතිකයන් ආහාර වර්ග, ඇඳුම් මෝස්තර ගැන ප්‍රමිතියට ගොඩනගා ගෙන ඇති සැටි, පැරීසියේ නගරාලංකාරය සඳහා ඇති සියවස් ගණනක් තිස්සේ ඇති ප්‍රතිමා, උද්‍යාන පරම්පරා කිහිපයක් පුරා, මහජන නැගිටීම්, ලෝක යුද්ධ, ආණ්ඩු බිඳ වැටීම් අතර පවා එකම තේමාවකින් නඩත්තු වෙන හැටි දැක්විය හැකිය. ‘ප්‍රංශ පෙම්වතා’ කතාවේදී පැරීසියේ ඉගෙනගන්න ලාංකීය ශිෂ්‍යයෙක් හා ශිෂ්‍යාවක්, ඔවුන්ට නවාතැන් දෙන ඊට කලකට පෙර පැරීසියට පැමිණි තරුණ දෙදරු මවක් කියන තිදෙනා අතර ඇති වෙන මිනිස් සබඳතා පසුබිම් කරගෙන තමයි මම මේ සෞන්දර්ය හා බැඳුණු ප්‍රංස ජන ජීවිතය ගැන ලියන්නෙ. මෙතැනදී ඔවුන් තිදෙනා විවිධාකාර අන්දමින් ප්‍රංස සමාජයේ හොඳ නරක උකහා ගත් හැටි කියවෙනවා‘

අත්දැකීම් පිළුණු වන්නේ නැත. ඒවා විවිධ අවස්ථාවන්හි ඇතිවෙන මනෝභාව ඔස්සේ ඒ ඒ තැනට ආදේශ වෙයි. ජීවිතයේ කියැවීම ඒ ආදේශය ඇතුළට එකතු වෙයි. ඒවා සුන්දර ජීවන වියමන් ව අපමණක් පාඨක හදවත් කියවා ගන්නට යත්න දරයි. ශමෙල් ලේඛිකාව ලියන්නේ ද තමා ඇසූ දුටු දෑ ය. එහෙත් ඒවා පොදු සාමාන්‍ය පාඨකයාගේ මනසේ ශක්තිමත් බීජ සේ පැළ වෙන්නේ ය. ජීවත් වීමේ බර විසින් අහිමි කරන ලද නිදහස, එහෙත් අප සොයාගත යුතු අප්‍රමාණ නිදහස ගැන ලියැවුණු ‘වීනස් උපත‘ කෘතියත් ශමෙල්ගේ ලේඛන දිවියේ නොමැකෙන ලකුණකි. නිර්මාණකරුවන් නිරන්තරයෙන් සිය සිත හා ආත්මභාෂණයක යෙදෙන්නේ ය. ඒ ආත්මභාෂණය ඔහුට හෝ ඇයට සිය අත්දැකීමට දාර්ශනික ප්‍රවේශයක් නිර්මාණය කිරීමේ ලා උපස්ථම්භක වෙන්නේ ය.

‘ජීවත්වීමේ අරමුණ, සාරය කතා කිරීම, අපට අපේ ජීවිතය නිර්මාණ කර ගැනීමට තිබෙන අප්‍රමාණ නිදහස, අපේ ජීවිතයට අරමුණක් ඇති කිරීමට බල කෙරෙන පුද්ගලයන් අපමණයි කියන කාරණාව තමා මම ‘වීනස්ගේ උපත” හරහා ඉදිරිපත් කරන්න උත්සාහ ගත් අදහස් වුණේ. මේ කතාව ගොඩනැඟෙන්නෙ ටෙලි නාට්‍යයක රඟපෑමට අවස්ථාවක් හොයාගෙන දුර ඥාති සබඳතා පාවිච්චි කරමින් ගමෙන් කොළඹට එන දහඅට හැවිරිදි තරුණියකගේ චරිතයක් වටා. නිතර අහන දකින පුවත්පත්වලින් කියවන ප්‍රවෘත්ති, රියැලිටි වැඩසටහන්වලින් තමයි මම මේ කාල්පනික චරිතය කතාවට උකහා ගත්තේ. පොතේ විශේෂත්වය වන්නේ ඇය ඉතාමත් බොළඳ, හිතුවක්කාර දැරියක් නමුත් නොපසුබස්නා වීර්යයෙන් තම අරමුණ හඹා ගිය තරුණියක් වීම. ඇගේ ඒ වීරිය, නොවෙනස් වෙන අනාගත සැලසුම්, නොලැබීම් හමුවේ නැඟී සිටීම් ඔප් නංවන තවත් චරිත ඇය වටා ගෙතෙනවා. ඇය ඇගේ අරමුණ වෙනුවෙන් දුරක් කැඳවාගෙන යන අතරම තරුණිය නිසාම ධනාත්මක පැත්තට හැරෙන තරුණයන් තිදෙනකු ගැන කතාවේ කියවෙනවා.

මම හිතනවා පොතක් ලියන්න එහෙමත් නැතිනම් ඕනෑම කලා මාධ්‍යක් හසුරුවන්න පුළුවන්, තීව්‍ර විදිහට ආත්මභාෂණයේ යෙදෙන්න හැකි කෙනෙක්ට විතරයි කියලා. ඒ නිසා නිර්මාණයක් තුළට මම අහපු, දැකපු චරිත අතරට මගේ සිතිවිලි කාවැදීම වළක්වන්න බැහැ. මම කෙනෙක් තුළ දකින වටිනාම අංගයක් වෙන අනෙකාගෙන් ඉගෙනීමට තියෙන ඉඩ හසර අහුරගන්නෙ නැති එක, අපට අපෙන් ඉගෙනීමට ඇති ශක්තිය ප්‍රයෝජනයට ගැනීම මම මේ චරිතය තුළට ආරෝපණය කළා‘

මනෝ මූලික කාරණා සුන්දර ව පොදු අත්දැකීම් බවට පත් කරන්නට කතුවරිය සමත් ය. මේවා පොදු මහ සමාජයේ ජනප්‍රිය අත්දැකීම් නොවුව ද වරින්වර චූල සම්ප්‍රදායේ අත්දැකීම් බවට පත්වූ එවා ය. කෙසේ වෙතත් යම් කිසි ඕනෑම අවස්ථාවකදී නිදහසේ ලද අත්දැකීම් කතුවරියට මඟ පෙන්වන්නට ඇති බව නම් නිසැක ය.

සාමාන්‍ය පිළිගැනීම අනුව නවකතාවක අත්දැකීම් වපසරිය පටුවන විට එහි පැතිරීම ද සීමා වෙයි. සමාජ පෘථූලකරණය රස වින්දනය සඳහා අනිවාර්යයෙන් බලපෑම් කරයි. පෘථුල අත්දැකීම් ලබාගන්නට නම් නිර්මාණකරුවා ‍මහ සමාජයේ සැරිය යුතු ම ය. ශමෙල්ගේ අත්දැකීම් ගොන්නට මේ සියල්ල නිර්මාණ කාර්යයක්ව ආලෝකය දෙයි. සිය අත්දැකීමක් ම නොවුණත් තමා ලියන වපසරිය ගැන කරන හැදෑරීම සහෘදය සිත් රංජනය කරන නිර්මාණයක් බිහි වීමේ ලා හේතු කාරණා වන්නේ ය. ශමෙල්ගේ ‘කුමර කොබෙයි‘ බිහි වීමේ ලා හේතු කාරණා සම්පාදනය වෙන්නේ මෙපරිද්දෙනි.

‘උතුරු අමෙරිකානු රටවල් දෙකක රැකියාව කළ කාලය අතරතුර මට මුණ ගැසුණු අසාමාන්‍ය වීර්යයකින් යුතු චරිත ගැන ලියා තැබීමේ ආසාවක් මට තිබුණා. මොකද ඒ චරිත නොයෙක් හේතු උඩ තමන්ගේ මවු රටින් ඈත්ව හිඳිමින් ආගන්තුක සංස්කෘතියක, ගෝලීයකරණයට ලක් වූ ලෝකයක තමන්ගේ අනන්‍යතාව මතු කරගන්න ගන්නා අපිරිමිත උත්සාහය නිසා. විශේෂයෙන් අමෙරිකානුවන් වැඩ කිරීම සතුට කර ගත්, බාහිර ලෝකය ගවේෂණය කිරීමට කැමැති පිරිසක් නිසා අපේ ජීවිත ඇගයීම් සමඟ එහි ජීවත් වීම පහසු නැහැ. ඒත් එක්ක ම පවුල කියන සංකල්පය, සංස්කෘතික වටිනාකම්, ආදරය හා විවාහය අතර වෙනස්කම් බොහොමයක් තිබෙනවා. මෙහි කතාවෙන් කියැවෙන්නේ කෘෂිකර්ම උපාධියක් ඇතිව අමෙරිකාවට ගොස් කෘෂිකර්ම පර්යේෂණ සහායිකාවක ලෙස සේවය කරන වයස හතළිස් දෙකක ලාංකික තරුණියක්, අන්තර්ජාලයෙන් හොයාගත් පෙම්වතෙක් මුණ ගැසීමේ පරමාර්ථයෙන් යන ගමනක් ගැන කතාවක්. මම එතෙක් කල් හැඳිනගත් නොයෙක් හේතු උඩ විවිධාකාර විදිහට එරටට සංක්‍රමණය වුණු විශේෂිත චරිත කිහිපයක් එකතු කිරීමට ගත් උත්සාහය තමයි මේ කතාවේ කියැවෙන මහාද්වීපයක් හරහා යන ගමන. දේශ සීමා පසු කරමින් ඔවුන් ගිය අලුත් තැන ගැන ලියන්න, එතැනදී ඔවුන්ට ඉන්න තැනට හැඩ ගැහෙන්න වුවමනා නිසා අතහැරිය උපන් දා ඉඳන් රැකගෙන ආ තමන්ගේ වටිනාකම් ගැන, ඔවුන්ට වැලඳ ගන්න සිදු වුණු අනුන්ගේ කොටස ගැන ලියන්න මට ඕනෑ වුණා. ඒ වගේමයි මේ සියලු චරිත තමන් ගිහින් රැඳෙන තැනක පවතින ක්‍රමය තුළ තමන්ව වඩාත් හොඳින් ආලෝකවත් කර ගැනීම යුතුකමක් විදිහට හිතන අය ලෙසටයි නවකතාව තුළ පවතින්නේ.

අපි ලියන දේ ගැන විශ්වාසයක් කියවන කෙනා තුළ ඇති කරන්න නම් සත්‍ය කතාවක්ම ලිවිය යුතුයි කියලා මම හිතන්නේ නෑ. අවංකව ලිවීමයි කළ යුත්තේ. අපි වටපිටාවට සංවේදී නම් අපි අහන දකින දේවල් මතක ගබඩාවක තැන්පත් වෙනවා. අපි ඒක වුවමනාවෙන් කරන දෙයක් නෙමෙයි. ඉබේ වෙන දෙයක්. නවකතාවක් ලිවීමට ගත් විට අර අත්දැකීම් ඒ පසුපස එනවා‘

ශමෙල් ජයකොඩි සිය අත්දැකීම් මෙන්ම පරිකල්පන ද සුන්දර ව ගොතා අප වෙත ඉදිරිපත් කරන්නී ලයාන්විත ව ය. ඒ අස්සේ අපේ ජීවිත වියමන් හරි අපූරුවට ලියැවී ඇත්තේ ය. ලෝකය පුරා මිනිසුන් කරන්නේ එකක් ය; කියන්නේ එකක් ය; පිළිගන්නේ තව එකක් ය; පෙන්වන්නේ තව එකක් ය. මිනිස් සිත කියන්නේ මේ වැනි එකකටය. මේ සියල්ල ම ජීවිතයට අයත් දෑ ය. මේ සියුම් දෑ හසු වන්නේ නිර්මාණකරුවන්ට ය. ශමෙල් ද මේ සියලු දෑ එක්තැන් කර පාඨක අපට ආනන්දනීය ඉසව්වක් පෙන්වන්නී ය. ඒ මාවතේ ජීවිතයේ සියලු දුක්ඛ දෝමනස්සයන් මෙන්ම සතුට සැනසුම ද නොඅඩුව තිබෙන්නේ ය.

Comments