විලාසිතා ලොවට නව අරුතක් දුන් කොළඹ විලාසිතා සතිය | සිළුමිණ

විලාසිතා ලොවට නව අරුතක් දුන් කොළඹ විලාසිතා සතිය

කොළඹ විලාසිතා සතිය උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. ඒ 18 වැනි වරට. ඒ විලාසිතා සතිය පැවැත්වෙන්නෙම සමස්ත ලෝකයේ මිනිස්සුන්ගේ ජීවන විලාසිතාවත් වෙනස් වුණු සමයක. 2021 කියන්නෙ ලෝකයේ සිතිවිලිවල පරිවර්තනීය අවුරුද්දක්. ලෝක වසංගතය, මරණීය උවදුරු සමය ඇසුරු කරමින් ජීවත්වීම පටන් ගත්තෙ 2021 අවුරුද්දෙදි . මේ වෙනස්වුණු සිතිවිලි ධාරාව විලාසිතා ලෝකයට බලපෑවේ කොහොමද? එය නිර්මාණාත්මකව විලාසිතා ලෝකය තුළ හසුරුවා ගන්නේ කොහොමද යන කාරණාව පිළිබඳ ලෝකය පුරා සංවාදයක් ඇති වුණා. මෙන්න මේ ලෝක සංවාදය කොළඹ විලාසිතා දැක්මට තේමාව වුණා.

 

පසුගිය 25 සිට 27 දක්වා පැවැත්වුණු කොළඹ විලාසිතා සතියේ තේමාව මිනිස්සුන්ගේ සිතිවිලි මෝස්තරය වෙනස් වෙනවත් සමඟම විලාසිතා හී නැවත සිදු වුණු පෙරැළියයි. විලාසිතා හී පුනරාවර්තනය ලෙස එය ඔවුන් හඳුන්වා තිබුණා. විලාසිතා සතිය නම් කර තිබුණෙත් පුනරාවර්තන සතිය කියලා. මේ නව චින්තන පරිවර්තනයට අනුගත වෙමින් ලංකාවේ නව විලාසිතා නිර්මාණය කිරීම සඳහා විලාසිතා කර්මාන්තය මෙහෙය වීම මෙහි ඉලක්කය වුණා.

නව පරිසර තත්ව හා අනුගත වෙමින් දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ සමාජ දුරස්ථභාවය අනුගමනය කරමින් 2021 දී කොළඹ විලාසිතා සතිය(CFW) වෙනස්ම ආකෘතියකින් සංවිධානය වෙලා තිබුණා. මේ වන විට විලාසිතා කර්මාන්තයේ ඇති සෘණාත්මක බලපෑම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය විසඳුම් සපයන්නන් ලෙස ක්‍රියා කරන අතරම, ඔවුනගේ තේමාවේ පදනම වූ වෙනස් පරිසරයක් තුළ සිදුවන පුනරාවර්තනය සහ ආරක්ෂිතව අපද්‍රවය බැහැර කිරීම යන සංකල්පවලට අනුකූලව නිර්මාණ ඉදිරිපත් කළා.

HSBC කොළඹ විලාසිතා සතියේ මෙම කාර්තුවේදී නිර්මාණකරුවන් 21 දෙනකු දින තුනක් තුළ ඔවුන්ගේ විලාසිතා එකතුවක් ප්‍රදර්ශනය කළා. මෙහිදී ප්‍රධාන පෙළේ නිර්මාණකරුවන් වන සොනාලි ධර්මවර්ධන, චරිනි සූරියගේ, ෆවුසුල් හමීඩ්, අමිලානි පෙරේරා, අස්ලම් හුසේන්, අසංක ද මෙල් සහ දිනුෂි පමුණුව යන අය මෙම කාර්තුවේ පුනරාවර්තන තේමාවට අනුකූලව ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කළා. CFW හි නිර්මාණකරුවන්ගේ සංවර්ධන වැඩසටහනේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසර 3 ක කාලය තුළ දී ශ්‍රී ලංකාවේ දීප්තිමත්ම නිර්මාණ දක්ෂතා දැක්වූ තිදෙනකු වන අයේෂ් මිලේන්ද්‍ර, නිලූෂා මඩුමාගේ සහ හිමාෂි විජේසේකර යන අය ඔවුන්ගේ නිර්මාණ ඉදිරිපත් කළා..

"වෙනස් වූ නව පරිසරය හා එක්වෙමින් 2021 වර්ෂයේදී ඉදිරිපත් කරන විලාසිතා ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත්. වසර ගණනාවක් තිස්සේ CFW සදාචාරාත්මක විලාසිතා පිළිබඳ දැඩි අවධානයකින් මෙන්ම හොඳ දැනුම්වත්භාවකින් කටයුතු කළා. විලාසිතා පුනරාවර්තනය වෙන කවරදාටත් වඩා අද දවසට අදාළයි. විලාසිතා නිර්මාණකරුවන්ට සහ විලාසිතා පාරිභෝගිකයන්ට වැඩි වගවීමක් ඇති කිරීමට CFW මෙම අදියරේදී වැඩි අවධානය යොමු කළා" යැයි CFW නිර්මාණ සහ කළමනාකාර අධ්‍යක්ෂක, අජේ වීර් සින්ග් පැවසුවා.

එමෙන්ම කොළඹ විලාසිතා සතිය තුළ සමාජ භූමිකාවකුත් තිබුණා. මෙම කාර්තුවේදී, HSBC කොළඹ විලාසිතා සතිය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ හවුල් වී කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිළිබඳ දැනුම්වත් කරනු ලැබුවා. සියලුම කාන්තාවන්ට හා ගැහැනු ළමයින්ට සුරක්ෂිත ලෝකයක් ප්‍රවර්ධනය කිරීමට වේදිකාවක් ලෙස විලාසිතා භාවිත කිරීමට HSBC කොළඹ විලාසිතා සතියේදී කටයුතු කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාවේ UNFPA හි නියෝජිත රිට්සු නැකන් කතා කර තිබුණෙ ප්‍රසාදයෙන්.

වසර ගණනක් වැඩි වර්ධනය වෙමින් විලාසිතා කර්මාන්තය හා නිර්මාණ ශිල්පයේ සෑම ඉසව්වක්ම ආවරණය වන ආකාරයට වේදිකාවක් සැකසීමට හැකි වීම සහ සමාජමය වශයෙන් වැදගත් භූමිකාවකට උරදිය හැකි වීම ගැන සංවිධායකවරුන් කතා කළේ ආඩම්බරයෙන්.

Comments