සාගර විද්‍යාඥවරියක් වීමට සිහින මවන උණවටුනේ සිඟිති දිය කිඳුරිය | සිළුමිණ

සාගර විද්‍යාඥවරියක් වීමට සිහින මවන උණවටුනේ සිඟිති දිය කිඳුරිය

දැනට ජාත්‍යන්තර මට්ටමේ කිමිදුම් සහතිකයක් සහිතව ලංකාවේ ජීවත්වන  ලොව පිළිගත් සිඟිති  පිහිනුම්කාරිය ඇය ය

කොර­ල්ප­ර­වල  ප්ලාස්ටික්  බැඳී  අපි­රි­සුදු වෙනවා.  එලෙස කොර­ල්පර  මිය යන­වාට මම කැමති නැහැ. එ් නිසා වෙරළ තීර­යට,  මුහු­දට කුණු දමා අපි­රි­සුදු කරන්න එපා.“ 

ඇය ඇම්බර් රෝස් මාතරගේය. තවම දස හැවිරිදි විය සැපිරුවා පමණය. ඇය ඉගෙනුම ලබන්නී කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේ 05 වසරේය. ඇය ගැන මේ සටහන තබන්නට විශේෂ හේතුවක් තිබේ. දැනට ජාත්‍යාන්තර මට්ටමේ කිමිදුම් සහතිකයක් සහිතව ලංකාවේ ජීවත් වන ලෝකය පිළිගත් සිඟිති පිහිනුම්කාරිය ඇය ය.

රෝස්ගේ තාත්තා දුමින්ද රෝෂාන් මාතරගේය. ඔහු සංචාරක හෝටල් ව්‍යාපාරිකයෙකි. මව ක්‍රිස්ටිනා මාතරගේය. ඇය ගෘහණියකි. රෝෂාන් හා ක්‍රිස්ටිනා යුවළගේ එකම දියණිය වන්නේ ඇම්බර් රෝස් ය. මොවුන් ගාල්ල උණවටුණ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

රෝස් මාතරගේ පුංචි දියණියට බහතෝරන වියේ සිටම උණවටුන වෙරළ තීරයේ පහස විඳ දරාගැනීමට අවස්ථාව උදාවිය. ඇය තම මවුපියන්ගේ දෑත්වල එල්ලී වෙරළ තීරයට ගොස් එහි සුන්දරත්වය හා අසිරිය කුඩා කාලයේ සිටම විඳ දරා ගත්තාය. ඇය කුඩා කල සිට හැදී වැඩුණේ උණවටුන වෙරළ තීරයේම ජීවියෙක් ලෙසය.

මේ සිඟිති දැරියට යමක් තේරෙන අවධියේ සිට මුහුද යට ඇති හරි අපුරු ලෝකයේ අසිරිය විඳ දරාගැනීමට පැවතියේ නොනිත් ආශාවකි. ඒ පිළිබඳ රෝස් ගේ පියා අපට මෙසේ කීවේය.

“එයා පොඩි කාලේ ඉඳන්ම කියන්නෙ තාත්තේ මට මුහුද යට තියෙන කොරල්පර බලන්න ඕන. මාළු බලන්න ඕන... කටේම තිබුණේ ඔය වචන ටික“

රොෂාන් ද දක්ෂ කිමිදුම්කරුවෙකි. ඔහු මුහුදේ කිමිදීමට ප්‍රවීණතා සහකිකයක් ලබා ඇති අයෙකි. ඒ මීට වසර 18ට පෙරය. මහ මුහුදට පෙම්බැඳි මේ පුංචි දැරිවිය සමඟ රොෂාන් ඉඩ ලැබුණු හැමවිටම උණවටුන වෙරෙළ තීරය ආශ්‍රිතව කිමිදෙමින් මුහුද යට ඇති අපුරු ලෝකය පෙන්වීමට කටයුතු කළේය. මේ නිසා රෝස් මාතරගේ දැරිවියට වයස අවුරුදු හතර පහ වන විටම පිහිනීමට හැකියාව ලැබිණි.

ඇය කොරල් පරවලට සතා සිවුපාවන්ට පරිසරයට දැඩිව ආදරය කළාය. වෙරළ තීරයේ ප්ලාස්ටික් කැබල්ලක්, කොළ කැබැල්ලක් වැටි තිබෙණු දුටුවිට එවා ඉවත් කිරීමට කටයුතු කළාය.

“එක දවසක් මුහුදෙ කිමිදෙන වෙලාවක දුව මට කිව්වා “තාත්තේ... මට කවදා හරි සාගර විද්‍යාඥවරියක් වෙන්න ඕන කියලා.

මම කිව්වා ඔයාට මුහුදේ කිමිදෙන්න ලයිසන් එක ගන්න ඕන. වයස අවුරුදු 10ක් වුණාට පස්සෙ තමයි ලයිසන් එක ගන්න පුළුවන් කියලා.“ රොෂාන් අපට කීවේය.

කොවිඩ් වසංගතය නිසා පාසල් නිවාඩු දීමත් සමඟ රොස් මාතරගේ දැරිවිය වසරකට ආසන්න කාලයක් උණවටුනේ රැඳී සිටියාය. කොවිඩ් වසංගතය අස්සේ ඇය පියා සමඟ උණවටුන වෙරළ ආශ්‍රිතව මුහුද යට ඇති කොරල්පර හා අලංකාර මත්ස්‍යයන් මුහුදු ජීවින් බලමින් මුහුද යට ඇති ලස්සන ලෝකය බැලීමට කරක් ගැසුවාය.

මේ අතර පිහිනුම් උපදේශකවරයකු වන ෂර්ලි කෝරළගේ යටතේ මේ පුංචි දැරිවිය පුහුණුව ලැබිය. පිහිනුම් පාඨමාලාව හෑදෑරීමේ දී පිහිනුම් උපදේශකවරයා උගන්වන දේ ඉතා හොඳින් කෙටි කාලයක් තුළ දී ග්‍රහණය කරගැනීමට ඇය තුළ පැවතියේ සුවිශේෂි වු හැකියාවකි. මේ නිසා ඉතා කෙටි කාලයකින් පිහිනුම් පාඨමාලාව හදාරා නිම කිරීමට ඇයට හැකි විය.

කිමිදීමට ඇති සහජ හැකියාව හා දක්ෂතාව නිසාම මේ පුංචි දිය කිඳුරිය වයස අවුරුදු දහය පිරෙන විටම මුහුදේ කිමිදීමට අන්තර් ජාතික ප්‍රවිණතා සහතිකයක් ලබා ගත්තාය. ඇය ලබා ගත්තේ ඔස්ට්‍රේලියාවේ ඇති කිමිදුම් උපදේශකයන්ගේ වෘත්තිය සංගමයේ විවෘත කනිෂ්ඨ ජල කිමිදුම්කරු සහතිකය ය.

මෙම ප්‍රවීණතා සහතිකය අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් ඇති සහතිකයකි. දැන් ඇයට ලෝකයේ ඕනෑම රටක PADI කිමිදුම් මධ්‍යස්ථානයක කිමිදුම් කිරීමට අවසරය ඇත්තේය. ඇය ඉන් ඉහළ මට්ටමේ ප්‍රවීණතා ලබා ගැනීම සඳහා තවදුරටත් මුහුදේ කිමිදෙමින් පුරුදු පුහුණු වන්නීය.

රෝස් රසඳුන සමඟ පුංචි සංවාදයකට එක් වූවාය. ඇගේ සුරතල් හඬේ අනාගත ප්‍රභූ පරිසරවේදිනයකගේ රුව ගුණ හඳුනා ගතිමි.

“මම පුංචි කාලෙ ඉඳන්ම කොරල්පර බලන්න මුහුද යට ඉන්න සත්තු බලන්න ගොඩක් ආසයි. කොරල්පරවල ප්ලාස්ටික් බැඳී තියෙනවාට එ්වා අපිරිසුදුව තිබෙනවාට මම කැමති නැහැ. තාත්තා එක්ක තමයි මුලින්ම මුහුදේ කිමිදෙන්න පුරුදු පුහුණු වුණේ. මුහුදු ජීවින්ගැන, කොරල්පරවල තොරතුරු ගැන තාත්තාගෙන් හා පුහුණුකරුගෙන් දැන ගන්නවා. ඊට අමතරව අන්තර්ජාලයෙන් ද ඒ ගැන තොරතුරු හොයා බලනවා. කොරල්පර මිය යනවාට මම කැමති නැහැ. වෙරළ තීරයට, මුහුදට කුණු දමන්න එපා. වෙරළ තීරය අපිරිසුදු කරන්න එපා.“ මේ පුංචි කෙල්ල රටෙන් ඉල්ලන්නීය. දුව ලොකු වුණාම කවුරු වෙන්නද කැමති...

“ සාගර විද්‍යාඥවරියක් වෙන්න...“ ඇය කියන්නී බර කරය.

රෝස් දියණිය පාසලේ දී පිහිනුම් තරගවලට මෙන්ම ජිම්නාස්ටික් තරගවලට ඉදිරිපත් වන්නීය. රෝස් මාතරගේ දියණියගේ පියා තම එකම දියණියගේ හපන්කම් ගැන වැඩිදුරටත් රසඳුන සමඟ කීවේ මෙවැනි කථාවකි.

“දුවට පුංචි කාලේ ඉඳන්ම පිහිනීමට පුළුවන්. මාත් එක්ක තමයි මුලින්ම මුහුදේ කිමිදෙන්න පටන්ගත්තේ. කොරල්පරවලට මුහුදු ජීවින්ට ඇය ගොඩක් කැමතියි. කොරල්පර මිය යනවාට ඇය කැමති නැහැ. ඒ කාලයේ උණවටුන මුහුදු තීරයේ කොරල්පර තිබු විදිය හා වර්තමාන තත්ත්වය ගැන මගෙන් අහනවා. මා ඇයට ඒ ගැන කියා දෙනවා.“

“පස්සේ මගේ මිතුරකුවන පිහිනුම් උපදේශක ෂර්ලි කොරළගේ යටතේ මුහුදේ කිමිදෙන්න පුරුදු පුහුණු වුණා. ඇත්තටම මේ වගේ ළාබාල දියණියකට ඒ පාඨමාලාව කරන්න අපහසුයි. දිය යටදි මාස්ක් එක ගලවන්න ඕන. ඔක්සිජන් ටැංකිය නැතිව මිටර් ගණනාවක් මුහුදු යට ඉඳලා උඩට එන්න ඕන. නමුත් කෙල්ල ඒ ඔක්කොම ඉතා හොඳින් කළා.“

“රෝස්ගෙ වයස අනුව ඇයට කිමිදෙන්න පුළුවන් මිටර් 12ක් යටට පමණයි. නමුත් ඇය මුහුදේ කිමිදෙන විට මිටර් 12ක් වඩා යටට යන්නත් දැඩි කැමැත්තක් දක්වනවා. මුහුදු පතුලේ ඇති දේවල් දැක බලාගන්න ඇය ඉන්නේ ලොකු කුතුහලයකින්. අඩු වයසකින් මෙවැනි සහතිකයක් ලංකාවේ පළමු වරට ලබාගෙන ඇත්තේ රෝස් බව අපි මේ ගැන තොරතුරු සේවීමේ දි දැන ගත්තා.

“ දුව නිවාඩුවට උණවටුනට ආවිට වැඩි කැමැත්තක් දක්වන්නේ මුහුදේ කිමිදෙන්න.“ රොෂාන් කීවේය.

පුංචි රෝස් අපේ සංවාදය අසමිනි. එහෙත් ඇය ඉන්නේ වෙනම ලෝකයකය. සිය ආඩම්බරකාර දියණිය ගැන උපන් ආඩම්බරයකින් රොෂාන් ඇය දෙස බලා ඉන්නේය. අවශ්‍ය මඟ පෙන්වීම, පහසුකම් ඇති නම් මෙවැනි දියණිවරු කොතෙක් මේ බිමේ විවිධ ඉසව් ජයගැනීමේ අභිලාෂයෙන් පසුවන්නේ දැයි කල්පනා කරමින් ඇගෙන් සමුගතිමි.

Comments