හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

අභිෂේක් ගේ අපූරු පිළිතුර

අභිෂේක් බච්චන්ට එතරම් කැමැත්තක් නොදක්වන සිනමා ලෝලීන් සමාජ මාධ්‍ය හරහා ඔහුට එල්ල කරන ප්‍රහාර ගැන බොහෝ අවස්ථාවල මාධ්‍ය ඔස්සේ පළවෙනවා. මෑතකදීත් එවැනි අයකු ඔහු සමච්චලයට ලක් කරමින් පළ කර තිබූ කමෙන්ටුවක් ගැන ලොකු අවධානයක් යොමු වී තිබුණා. මෙම පුද්ගලයා ඉහත කී කමෙන්ටුව පළ කර තිබුණේ අභිෂේක් ගේ The Big Bull චිත්‍රපටයේ ට්‍රේලරයට ප්‍රතිචාර දක්වමින්. එහි දී ඔහු පවසා තිබුණේ අභිෂේක් යනු කිසිම දෙයකට දක්‍ෂතාවක් නැති කෙනකු බවයි. ‘යාළුවා, ඔයා නං කිසිම දේකට දක්‍ෂතාවක් ඇති කෙනෙක් නෙවෙයි. මට ඔබ ගැන ඉරිසියා හිතෙන එකම එක දෙයයි තියෙන්නෙ. ඒ ඔබට ඉතා රූමත් බිරියක සිටීමයි. ඇය වුණත් ඔබට හොඳ වැඩියි’ අර පුද්ගලයා සඳහන් කර තිබුණා. ඔහු එහි දී තවත් කලාකරුවන් කිහිප දෙනෙකු ‘ටැග්’ කර තිබූ බවත් සඳහන්. අභිෂේක් මෙවැනි ප්‍රහාරවලට අපූරු විදියට පිළිතුරු ලබා දෙන කෙනකු හැටියටත් ප්‍රසිද්ධයි. ඔහු මෙම කමෙන්ටුවට ද පිළිතුරු දෙමින් මෙසේ පවසා තිබුණා: ‘බොහොම හොඳයි, ඔබේ අදහස ගැන ස්තුතියි. නමුත් මට දැනගන්න දෙයක් තියෙනවා. ඔබ කා ගැන ද මේ කතා කරන්නෙ? මං එහෙම අහන්නෙ ඔබ බොහෝ දෙනකු ටැග් කර ඇති නිසයි.’

 

අතරමඟ නැවතුණු ‘Lucknow ‘ යළි වැඩ

ඉන්දීය නිර්මාණකරුවකු වන අනිල් කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ ‘Lucknow ‘ නමැති මලයාලම් සිනමා පටයට අපේ රටේ ප්‍රවීණ රංගන ශිල්පිනි ජැක්සන් ඇන්තනී සහ රංගන ශිල්පිනි පියුමි හංසමාලි රංගන දායකත්වය ලබා දී තිබුණා. රූ ගත කෙරෙමින් සිටියදී ලොව පුරා පැතිරුණු වසංගත තත්ත්වය හමුවේ චිත්‍රපටයේ රූ ගත කිරීම් මගදී නතර කරන්නට නිර්මාණ කණ්ඩායමට සිදු වුණා. එසේ නතර කර තිබූ එම චිත්‍රපටයේ අවසන් රූ ගත කිරීම් ඉදිරි මාස වලදි ඉන්දියාවේ ලක්නව් නුවරදී පැවැත්වෙන බවයි පසුගියදා ආරංචි වුණේ. ‘Lucknow ‘ චිත්‍රපටය ලබන නොවැම්බර් 16 වැනිදා ලොව පුරා තිරගත කිරීමට ද සැලසුම් කර ඇති බවයි ආරංචිය.

 

 

ප්‍රියංකාගේ එළිදරව්ව

හැරී කුමරු සහ මෙගන් මාර්කල් සහභාගි වූ රූපවාහිනී සාකච්ඡාවක් පසුගිය දිනවල ලොව පුරා විශාල අවධානයක් දිනාගත්තා. එම වැඩසටහන මෙහෙයවූයේ රූපවාහිනී සාකච්ඡා වැඩසටහන් මෙහෙයවන්නන් අතර ඉහළම ස්ථානයක වැජඹෙන ඔප්රා වින්ෆ්‍රි යි. හැරී සහ මෙගන් සමඟ සාකච්ඡාවෙන් පසු ඇය සුප්‍රකට බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා සමඟ ද සාකච්ඡාවක් පවත්වා තිබුණා. හැරී-මෙගන් දෙදෙනා මෙන්ම ප්‍රියංකා ද මෙහි දී තම ජීවිතයේ අප්‍රකට තොරතුරු රැසක් හෙලිදරව් කළා. එහි දී ඇය සඳහන් කර තිබූ එක් කාරණාවක් වූයේ කුඩා කාලයේ ඇමරිකාවේ පාසලක ඉගෙන ගනිද්දී එල්ල වූ වර්ණභේදවාදී උසුළු විසුළු යි. කලක් තමා නැන්දා කෙනකු සමඟ ඇමරිකාවේ ජීවත් වූ බවත්, ඇමරිකාවේ පාසලක අධ්‍යාපනය ලැබූ බවත් පැවැසු ඇය එහි දී තමා ට සුදු ජාතික සිසුන්ගේ උසුළුවිසුළුවලට මුහුණ දීමට සිදු වූ බව පැවසුවා. ඔවුන් ඒ ආකාරයෙන් ඇය සමච්චලයට ලක් කර තිබුණේ ඇය සුදු ජාතිකයකු නොවීම නිසයි. මෙම උසුළු විසුළු නිසා ඇය කෙතරම් පීඩාවට පත්ව සිටියාද කියතොත් ඉන්දියාවේ සිටි සිය මවට කතා කර තමාට නැවත ඉන්දියාවට පැමිණිමට අවශ්‍ය බව කියා තිබුණා. ‘මට මේ රටේ ඉන්න අවශ්‍ය නෑ කියලා හිතුණා. මම අම්මාට කතා කරලා ඒ ගැන කිව්වාම ඇය ඇවිත් මාව ඉන්දියාවට එක්කගෙන ගියා’.

 

 

 

පේෂල - පූර්ණිකා කැදැල්ලට අලුත් අමුත්තෙක්

ජනප්‍රිය නිවේදක දෙපළක් වන පේෂල මනෝජ් සහ පූර්ණිකා පිරීස් කැදැල්ලට අලුත් අමුත්තකු පැමිණ සිටිනවා. පේෂල සිය සතුට වචනවලට පෙරළමින් තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ ජීවිතේ කලින් කලට විවිධ සංධිස්ථාන සටහන් වන අලුත් සමාජිකයා තම පවුලට සාදරයෙන් පිළිගන්නා බවයි. පේෂල සහ පූර්ණිකා ට ආදරය කරන බෝහෝ දෙනෙක් මේ ආදරණීය කැදැල්ලට සුබ පතා තිබුණා.

 

 

 

ක්‍රිස් දැන්ම සමුගන්නේ නැහැ

තව වසර පහක් ගතවන තුරු තමා ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු නොගන්නා බව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් පවසනවා. ක්‍රිස් ගේල් හෙවත් ක්‍රිස්ටෝපර් හෙන්රි ගේල් මේ වනවිට 41 වැනි වියෙහි පසුවන අතර ක්‍රිකට් ක්‍රීඩකයකු ට එය සෑහෙන වයසක් බව අමුතුවෙන් කිව යුතු නැහැ. ඇතැම් ක්‍රිකට් විචාරකයන් පවසන්නේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි දෙක සඳහා තරග කිරීම ට ඔහු බලාපොරොත්තුවෙන් සිටිනවා විය හැකි බවයි. එක් තරගාවලියක් ලබන ඔක්තෝබර්-නොවැම්බර් මාසවල ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත අතර තවත් තරගාවලියක් ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ වනවිට විස්සයි විස්ස ලෝක ශූරයන් ලෙස පසුවන්නේ ද බටහිර ඉන්දීය කණ්ඩායමයි. ඔවුන් දෙවතාවක්ම මෙම කුසලානය හිමි කරගෙන තිබෙනවා. ක්‍රිස් ගේල් පසුගිය දිනෙක පවසා තිබුණේ තෙවැනි වතාවටත් කුසලානය තම කණ්ඩායමට හිමි කර දීම සඳහා ඕනෑම වගකීමක් ඉටු කිරීමට තමා සූදානම් බවයි.

 

 

 

නදී විදෙස් වැඩක

සම්මානිත රංගන ශිල්පිනියක වන නදී කම්මැල්වීර නව විදෙස් නිර්මාණයකට එක්ව සිටිනවා. A psychological Mystery නම් වූ එම නිර්මාණයේ පිටපත Kristen Dunphy විසින් රචනා කර ඇති අතර කලකට ඉහතදී ඔහු මානසික රෝග සඳහා ප්‍රතිකාර කරන රෝහලක නේවාසික සිටිද්දි ලැබූ අත්දැකීම මෙයට තේමාව වී තිබෙනවා. BBC ආයතනය විසින් නිෂ්පාදනය කළ කොටස් අටකින් යුතු මේ ටෙලි නිර්මාණය පසුගිය දෙවැනිදා සිට ABC iview ඔස්සේ නැරැඹිය හැකි අතර එය අප්‍රේල් 18 වැනිදා සිට ඉරිදා රෑ 8.30 ට ABC නාළිකාවෙන් ද විකාශනය වෙනවා. නදී මෙම නිර්මාණයේ ‘ජෙශ්නා‘ නමින් චරිතයක් නිරූපණය කරන අතර නිකිල් කටිරා නමින් එහි එන ප්‍රධාන චරිතය රඟන රූඩි ධර්මලිංගම් ද ලාංකේය සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ජාතික නළුවෙකි.

Comments