‘ව්‍යවසාය විශිෂ්ටත්ව තරු’ සම්මාන උලෙළේ දී ක්‍රිස්බ්‍රෝ ඇගයුම් ලබයි | Page 2 | සිළුමිණ

‘ව්‍යවසාය විශිෂ්ටත්ව තරු’ සම්මාන උලෙළේ දී ක්‍රිස්බ්‍රෝ ඇගයුම් ලබයි

ශ්‍රී ලාංකීය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ඉහළ අවධානයක් යොමු කරන මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක්‍රිස්බ්‍රෝ, මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන උලෙළේදී ඇගයුමට ලක් විය.

මෙහි දී මධ්‍යම පළාතේ මහා පරිමාණ නිෂ්පාදන කාණ්ඩයේ විශිෂ්ටතම සමාගමට හිමි තරු සම්මානය ක්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත ෆාම්ස් ප්‍රයිඩ් පුද්ගලික සමාගම හිමිකර ගත් අතර මිඩ්ලන්ඩ් බ්‍රිඩර්ස් පුද්ගලික සමාගම මෙම කාණ්ඩයේ කුසලතා සහතිකයෙන් පිදුම් ලැබීය.

කර්මාන්ත සංවර්ධන සහ ව්‍යවසාය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ 2020 ව්‍යවසාය විශිෂ්ටත්ව තරු සම්මාන පෙබරවාරි 12 වැනි දින මහනුවර ග්‍රෑන්ඩ් කැන්ඩි හෝටලයේ දී උත්කර්ෂවත් අන්දමින් පැවැති අතර මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා සහභාගී විය.

වාර්ෂිකව සංවිධානය කෙරෙන මෙම සම්මාන උලෙළ මධ්‍යම පළාත් ව්‍යවසායකයන් ජාතික තලයට හඳුන්වාදෙනු ලබන ප්‍රධානතම සම්මාන උලෙළ ලෙස සැලකේ. ක්ෂේත්‍ර චාරිකා, සම්මුඛ පරීක්ෂණ සහ ඉදිරිපත් කිරීම් ඇතුළුව අවස්ථා ගණනාවක දී මේ සඳහා අයදුම් කරනු ලබන ව්‍යවසායකයන් දැඩි ඇගයුම් ක්‍රියාවලියකට ලක්කෙරේ.

මෙහි දී සලකා බැලෙන නිර්ණායකයන් තුළින් සමාගමේ මූල්‍ය කාර්යසාධනය, මෙහෙයුම් ක්‍රියාවලිය සහ ව්‍යවසාය ජීවගුණය පිළිබඳ විමසා බැලේ.

Comments