එදා රත්තරන් අශ්වයෝ, ලැම්බොගිනි... මෙදා පරිසර විනාශය... | Page 2 | සිළුමිණ

එදා රත්තරන් අශ්වයෝ, ලැම්බොගිනි... මෙදා පරිසර විනාශය...

“බේබිලාට පදින්න ලැම්බෝ ගිනි ගෙනල්ලා. බේබිලාට පිට උඩයන්න රත්තරන් අශ්වයෝ ගෙනල්ලා. බේබිලාට හෙලිකොප්ටර් ගෙනල්ලා.” “ශාරුක් ඛාන්ලා ඇවිල්ලා මෙහේ බජව් දානවා.” යනුවෙන් ප්‍රචාරයක් දිගට හරහට ගෙන ගියේ 2014 වර්ෂයේ අග ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක වේදිකාවෙනි. “මහින්දගේ රුපියල් බිලියන 19 ක් ඩුබායිවල හංගලා; ඩුබායි මැරියට් හෝටලයක් අරගෙන. මේ සේරම අපි හෙළි කරනවා.” යනුවෙන් ද පොදු අපේක්ෂකයාගේ වේදිකාවෙන් සටන් පාඨ අසන්නට ලැබිණ.

“මෙන්න රාජපක්ෂලාගේ තවත් ගෙවල් අහු වෙලා. කෞතුකාගාරය ඉස්සරහ තියෙන බංගලාවත් බැසිල්ගෙලු, කිරුළපන බලපොකුණ පාරේ තියෙන මහ විශාල මන්දිරයත් බැසිල්ගෙලු.”‍ යනුවෙන් ද ප්‍රචාර එක දිගට ගෙන ගියේය.

මෙම මඩ ප්‍රචාරයේ මූලිකත්වය ගත්තේ මංගල සමරවීරය. ෆේස්බුක් ඇතුළු අන්තර්ජාලයට අමතරව කටකතා බළකායක් ද මංගල මේ සඳහා යොදා ගත්තේය.

උදාහරණයක් ලෙස මංගලගේ අනුදැනුමින් සහ වියදමින් ඈත පළාතකට යන දුම්රියට නගින හතර පස් දෙනකු රාජපක්ෂවරුන්ට මඩ ගසමින් විවිධ කටකතා පතුරවන්නේ ඉතාම නිර්මාණශීලීවය; එය ඇඟට පතට නොදැනී සිදු කිරීම ද එක්තරා දක්ෂතාවකි.

මෙම මඩ ප්‍රචාර යොදා යොදාගනිමින් රාජපක්ෂවරුන් ජනතාවගෙන් ඈත් කරමින් ජනතාව තුළ කලකිරීමක් ඇති කිරීමේ ක්‍රමවේදය ඉතා සූක්ෂම ආකාරයෙන් සිදුකරගෙන ගිය අතර රාජිතගේ සහ පාඨලීගේ සහාය ද මංගලට ලැබුණි.

මෙම මඩ ප්‍රචාර එල්ල කිරීමේ බළඇණියට ඇතැම් බටහිර රටවලින් සහ ඇතැම් විදෙස් සංවිධානවලින් හොඳ හැටි මුදල් පොම්ප කරමින් ඔවුන් ද උපදෙස් ලබා දුන්නේ රාජපක්ෂවරුන් පන්නා දැමීමට ක්‍රියා කළ යුතු බව ප්‍රකාශ කරමිනි.

එම මඩ ප්‍රචාර මුළුමනින් ම අසත්‍ය බව යහපාලන ආණ්ඩුව සමයේ දීම ඔප්පු විය.

යළිත් වර්තමානයේ දී සිදු වෙමින් පවතින්නේ ද 2015 ට පෙර රාජපක්ෂවරුන්ට සහ ඒ් ආණ්ඩුවට එල්ල කරන ලද මඩ ප්‍රචාරයක් ද යන්න කියා දේශපාලන බේදයකින් තොරව මෙම කාරණා දෙස බලන ඕනෑම කෙනකුට වැටහෙන කාරණයකි.

අලුත් ම මඩ ප්‍රහාරය වී ඇත්තේ කැලෑව විනාශ කරනවා යන ප්‍රචාරයන් ය.

“ආණ්ඩුව කැලේ කපනවා. ආණ්ඩුව බලාගෙන ඉන්නවා. කැලේ කපන්න ආණ්ඩුව සම්බන්ධයි. සිංහරාජය විනාශ කරනකම් ආණ්ඩුව නිදාගෙන ඉන්නවා. ජනාධිපතිවරයාගේ ගම සමඟ පිළිසඳරෙනුත් කැලේ විනාශ වෙනවා.” යනුවෙන් මෙම ප්‍රචාර විපක්ෂයට හිතවත් ෆේස්බුක් හා ඇතැම් මාධ්‍ය හරහා දිගින් දිගට ම ප්‍රචාරය වෙයි.

මේ ගැන ආණ්ඩුව එතරම් තැකීමක් කරන බවක් නොපෙනුණ ද මෙහි තිබෙන බරපතළකම වැටහුණු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පසුගිය දා එක් රැස්වීමකදී ප්‍රකාශ කළේ එදා බොරු ප්‍රචාරවලට රැවටී කරගත් විනාශය යළිත් සිදුකර ගැනීමට කටයුතු නොකරන ලෙසයි.

එදා කරගත් විනාශයට බලපෑ කටකතා, මඩ ප්‍රචාරවල අසත්‍යතාව එකින් එක යහපාලන ආණ්ඩුව සමයේ දී ඔප්පු වූ ආකාරය ඉතා වැදගත්ය.

2015 ජනවාරි 08 වැනි දා බලයට පත්වූ යහපාලන රජයට අවශ්‍ය වූයේ එම චෝදනා කෙසේ හෝ ඔප්පු කර ගැනීමටය.

“බේබිලාට පදින්න ලැම්බෝ ගිනි” මෙම කතා රහ කරමින් ප්‍රකාශ කරන ලද්දේ පොදු අපේක්ෂකයාගේ වේදිකාවේ දී පමණක් නොවේ. පොදු අපේක්ෂකයාට සහයෝගයක් ලබාදුන් ජනතා විමුක්ති පෙරමුණෙන් ද එම ප්‍රචාරයන්ට ලැබුණේ ඉතා ඉහළ ප්‍රතිචාරයකි.

අනුර කුමාර දිසානායක, බිමල් රත්නායක ඇතුළු පිරිස මෙම චෝදනා එල්ල කළේ නාමල් රාජපක්ෂ ලැම්බෝ ගිනි පදිනවා තම ඇස් දෙකෙන් බලා සිටියාක් මෙනි.

ලැම්බෝ ගිනි සොයා යහපාලන ආණ්ඩුවේ පොලිසිය විශේෂ මෙහෙයුම් රැසක් සිදු කළේය. සොයා ගැනීමට හැකි වූ ලැම්බෝ ගිනියක් නොවීය.

අවසානයේ දී පිළියන්දල ප්‍රදේශයේ දී ලැම්බෝ ගිනියක් සොයාගත් අතර එයට රාජපක්ෂ කෙනෙකුගේ නමක් සම්බන්ධ කර ගැනීමට දැඩි උත්සාහයක් ගත්ත ද එය සාර්ථක නොවීය.

එම ලැම්බෝ ගිනිය අයිතිව තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ සහෝදරයකුටය.

එම මන්ත්‍රීවරයා සුජීව සේනසිංහ වූ අතර ඔහු රඟපෑ “යහළුවෝ” සිනමාපටය සඳහා එම ලැම්බෝ ගිනිය යොදා ගත් අතර; එම ලැම්බෝ ගිනියේ අයිතිකාරයා වූයේ සුජීව සේනසිංහගේ විදේශගතව සිටින සහෝදරයාය.

වැඩි කාලයක් යන්නට කලින් රාජපක්ෂ පුත්‍රයන්ට ලැම්බෝ ගිනි නැති බවට කරුණු අනාවරණය විය.

රත්තරන් අශ්වයන් ගැන කතාව ද ඊට එතරම් වෙනස් නොවේ.

බේබිලාට ගෙනාපු රත්තරන් අශ්වයන් සොයා ද මෙහෙයුම් දියත් වූ අතර සොයාගැනීමට හැකිවූ රත්තරන් අශ්වයෙක් නොවීය.

මේසය උඩ තිබෙන ෆයිල් හෝ කඩදාසි සුළඟේ යනවාට තබන කුඩා ප්‍රමාණයේ අශ්වයන් එක්කෙනෙක් දෙන්නෙක් අරලියගහ මන්දිරයේ සිටිය ද එම අශ්වයන් නිර්මාණය කර තිබුණේ රත්තරන්වලින් නොවේ.

නමුත් ඉන් සෑහීමට පත් නොවූ යහපාලන ආණ්ඩුවේ පොලිසිය විසින් නුවරඑළිය, මහනුවර ඇතුළු ප්‍රදේශ රැසක වැටලීම් සිදු කළේ රත්තරන් අශ්වයන් සොයා ගැනීමටය. නමුත් ඔවුන් බොහෝ දෙනෙකුට හමුවූයේ නුවරඑළියේ සිටින පෝනියන්ය.

මේ ගැන විමසූ විට යහපාලන ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමතිවරයකු ප්‍රකාශ කළේ සමහර අශ්වයන්ගේ හිසේ සිට බෙල්ල දක්වා විහිදී තිබෙන කෙඳි රන්පැහැ බවයි.

එම මඩ ප්‍රචාරයට ද ඉන්පසුව අත්තටු ලැබුණේ නැත.

බේබිලාට හෙලිකොප්ටර් යන ප්‍රචාරයට ද අත් වූයේ ලැම්බෝ ගිනි, රත්තරන් අශ්වයන්ට අත්වූ ඉරණමට සමාන ඉරණමකි.

සැහැල්ලු‍ ගුවන් යානයක් රාජපක්ෂ පුත්‍රයකු ගෙන්වා ඇති බවට ද යහපාලකයන් දිගින් දිගට ම ප්‍රචාර ගෙන ගියේය.

නමුත් කිසිදු සැහැල්ලු‍ ගුවන් යානයක් තබා රාජපක්ෂ පුත්‍රයන්ගේ සෙල්ලම් ගුවන් යානයක්වත් ඔවුන්ට සොයා ගැනීමට නොහැකි විය.

අවසානයේ දී නාරාහේන්පිට ප්‍රදේශයේ ගබඩාවක තිබී සැහැල්ලු‍ ගුවන් යානයක කොටස් හමුවීම මංගල, රාජිත, පාඨලී ඉතා සතුටින් ඉපිල ගියේ රාජපක්ෂ පුත්‍රයකුගේ ගුවන් යානයක් හමුවූ බව සිතා ගත් නිසාය.

ඔවුන්ගේ එකම අරමුණ වී තිබුණේ ඔවුන් කරන ලද එක් ප්‍රචාරයක් හෝ සත්‍ය වන බව දැකීමටය.

නමුත් කරන ලද සොයා බැලීම්වල දී අනාවරණය වූයේ එම ගුවන් යානය චිත්‍රපටයක් සඳහා ෆිල්ම් ලොකේෂන් සර්විස් ආයතනයේ අධිපති චිත්‍රපට අධ්‍යක්ෂක චන්ද්‍රම්රත්නම් විසින් මෙරටට ගෙන්වා ගත් සැහැල්ලු‍ ගුවන් යානයක් කියාය.

හෙලිකොප්ටර්, සැහැල්ලු‍ ගුවන් යානා ප්‍රචාරයක් අසත්‍ය ප්‍රචාරයක් බව එතනින් ම ඔප්පු විය.

ෂාරුන් ඛාන්ලා ගෙනවිත් බජව් දමන බව ප්‍රකාශ කළේ ද පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන විසිනි.

නමුත් මෙරටට පැමිණියේ ෂාරුක් ඛාන් නොව සල්මන් ඛාන්ය. ෂාරුක් ඛාන් පැමිණි බවට කරන ලද ප්‍රකාශය එතනින්ම අසත්‍යක් විය. සල්මන් පැමිණ සිටියේ ඔහුගේ කැමැත්ත අනුව මෙරට සංචාරයක් සිදු කිරීම සඳහාය. මීට පෙර ද මැයි දින රැලිවලට සහ එක් එක් ප්‍රචාරක රැලිවලට ඉන්දියානු කලා ශිල්පීන් මෙරටට පැමිණීම සාමාන්‍ය දෙයක් වී තිබුණි.

රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටින විට 80 දශකයේ මැද භාගයේ දී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන ලද සංගීත ප්‍රසංගයකට ඉන්දියානු ගායක නිතික් මුකේෂ් ඇතුළු ඉන්දියානු ශිල්පීහු රැසක් මෙරටට පැමිණියහ.

දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරගැනීම සඳහා මෙසේ කලා ශිල්පීන් දෙරටටම යාම සාමාන්‍ය කටයුත්තක් වුවත් රාජපක්ෂ ආණ්ඩුව සමයේ ඉන්දියානු ශිල්පීන් මෙරටට පැමිණීම යහපාලකයන්ට නම් එතරම් දිරෙව්වේ නැත.

මහින්ද රාජපක්ෂ පිටරට මුදල් සඟවා තිබෙන බවට ප්‍රචාරය ගෙන ගිය පිරිසට අවශ්‍ය වූයේ එසේ සඟවා තිබෙනවා නම් එම මුදල් පොලිස් බාරයට ගැනීමටය.

එතකින් නොනැවතුණු ඔවුන් රාජපක්ෂවරුන්ගේ මැදමුලන වීරකැටිය ප්‍රදේශවල පිහිටා තිබෙන ඉඩම් ද හෑරුවේය.

යහපාලකයන් සමඟ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් ද කීවේ රාජපක්ෂවරුන් හම්බකරගත් මුදල් යාන වාහන ආදිය කෙසේ හෝ සඟවා තිබෙන්නට ඇත කියාය.

රාජපක්ෂවරුන්ගේ ඉඩම් පමණක් නොව රාජපක්ෂවරුන්ට හිතවත් අයගේ ඉඩම් ද ඩෝසර් යොදා හැරීමට යහපාලකයන් කටයුතු කළේය.

මහින්ද රාජපක්ෂගේ ඇතැම් ආරක්ෂක නිලධාරීන්ගේ ඉඩම් ද බැකෝ යන්ත්‍ර දමා හෑරුවේය.

රත්තරන්, මුදල්, රථවාහන, තෑගිබෝග ඇතුළු වටිනා දේ සොයා සිදුකරන ලද මෙම බැකෝ මෙහෙයුම්වලින් සිදුවූයේ ගැඩවිල්ලන් හමුවීම පමණි.

මේ වන විට සමගි ජන බලවේගයේ ප්‍රබලයෙකු වන එවකට රාජපක්ෂ ආණ්ඩුවේ ද ප්‍රබලයකු වූ කුමාර වෙල්ගමගේ ගේ ද මතුගම පිහිටි වත්තක් බැකෝ යන්ත්‍ර යොදා ගෙන මුළු දවසක් තිස්සේ හෑරුවත් කිසිවක් හමු නොවීය. විශාල ගෙයක් දුටු විට ඒ රාජපක්ෂ කෙනකුගේ යැයි පෙන්වීමට ද එවකට විපක්ෂය දැඩි වෙහෙසක් ගත්තේය. මංගල ඇතුළු ඔවුන්ගේ කටකතා බළකාය ද මෙහිදී විශාල කාර්යභාරයක් සිදු කළ බව අමතක නොකළ යුතුයි.

කොළඹ කෞතුකාගාරය ඉදිරිපිට පිහිටි දැවැන්ත නිවස බැසිල් රාජපක්ෂයන්ගේ බවට ප්‍රබල කටකතාවක් ඒ දිනවල ප්‍රචාරය කෙරිණ.

නමුත් මේ සුවිශාල නිවස බැසිල්ගේ නොව එය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරාගේ නිවසක් බව තහවුරු වී තිබුණි.

නමුත් ඒ බව දැන දැනත් කිසිදු ලැජ්ජාවක් බියක් නැතිව මෙසේ වැරදි ප්‍රචාර සිදුකරමින් මඩ ගැසුවේ ඇයි ද? කියා තේරුම් ගැනීම අපහසු නොවේ.

තවත් නිවසක් බැසිල්ගේ බව සඳහන් කරමින් තවත් කටකතාවක් ඒ දිනවල ප්‍රබලව ගෙන ගියේය.

මංගල ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරීන් මේ නිවාසවල ඡායාරූප යොදා ගනිමින් මෙම ප්‍රචාර සිදු කර තිබුණි.

බැසිල්ගේ කීවට මෙම නිවස ද බැසිල්ට අයත් නොවූ අතර මෙම නිවස අයත් වූයේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන හවුස් ඔෆ් ෆැෂන් ආයතනයේ හිමිකරුට ය.

මෙසේ කරුණු එකින් එක පසුගිය යහපාලන ආණ්ඩුව කාලය තුළ දී අනාවරණය විය.

එසේ එම කරුණු අනාවරණය වූව ද ගොබෙල්ස් න්‍යාය අනුව මේවා සමාජගත කිරීමට එවකට පැවති විපක්ෂය ගත් ප්‍රබල උත්සාහයක් සැලසුම් දෙස රාජපක්ෂ ආණ්ඩුව දැඩි අවධානයක් යොමු නොකිරීම දුර්වලකමකි.

හිට්ලර්ගේ කාලයේ සිටි ගොබෙල්ස්ට අවශ්‍ය වූයේ අසත්‍ය නිතර නිතර කියමින් එම අසත්‍ය සත්‍යයක් ලෙස සමාජගත කිරීමයි.

බොරුව නිතර නිතර කියන විට එය ඇත්තක් ලෙස සමාජගත වීම ගොබෙල්ස් න්‍යායයි. එය එක් පැත්තකින් මහා ගොබ්බ වැඩක් යනුවෙන් හැඳින්වූවාට ද වරදක් නැත.

යහපාලන ආණ්ඩුව වැඩි කාලයක් යාමට පෙර මේ රටේ පොදු මහජනතාවට එපා වූයේ ඇයි?

ජනතාවට සේවාවන් සිදුකර රට සංවර්ධනය කරනවාට වඩා ඔවුන් කළේ දේශපාලන පළිගැනීම් සිදු කිරීමයි.

මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය නීති විරෝධී ලෙස ස්ථාපිත කිරීමෙන් අනතුරුව දිගට හරහට දේශපාලන පළිගැනීම් සිදුකිරීම සඳහා එවකට පැවති යහපාලන ආණ්ඩුවේ මූලික අරමුණ වී තිබුණි.

FCID ට අමතරව ජනාධිපති කොමිසන් සභා ද ගණනාවක් ම මෙම දේශපාලන පළිගැනීම් දිගින් දිගටම සිදු කළ අතර ඊට වැඩි අවධානයක් යොමු කරන විට රටේ සංවර්ධන කටයුතු සිදු කිරීමට එවකට පැවති යහපාලන ආණ්ඩුවට අවස්ථාවක් හිමිවූයේ නැත.

එම පාඩම සැලකිල්ලට ගෙන වර්තමාන ආණ්ඩුව බොරු ප්‍රචාරවලට පිළිතුරු ලබාදීමට එතරම් කාලයක් ගත කිරීමට අකමැත්තක් දක්වනවා වෙන්නට පුළුවනිය.

නමුත් 2015 දී රාජපක්ෂ ආණ්ඩුව කඩාගෙන වැටුණේ එම අසත්‍ය ප්‍රචාරයන්ට එරෙහිව නිසි පිළිතුරු ලබා නොදුන් නිසා බව ද හොඳින් සිහි තබා ගත යුතුව ඇත.

එදා ලැම්බෝ ගිනි, රත්තරන් අශ්වයන් බොරුව සමාජ ගත කළ ආකාරයට මෙදා සමාජගත කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ ඉතාම සංවේදී කාරණයක් වන පරිසරයයි.

පරිසරයට තිබෙන දැඩි සංවේදීකම නිසා අපි සියලුම දෙනා කිසිදු බේදයකින් තොරව පරිසරයට ආදරය කරන්නෙමු.

ආණ්ඩුව සිංහරාජයේ කැලෑ කපනවා යනුවෙන් ඉතාම සංවේදී කාරණයක් ඉතාම සැලසුම් සහගත ලෙස සමාජගත කිරීමේ සාර්ථක ආරම්භයක් විපක්ෂය විසින් ගෙන තිබුණි.

මේ සඳහා ඇතැම් විදෙස් රටවලින් යම් යම් ආධාර ලබා දී සමාජ මාධ්‍ය ජාලා මෙහෙයවීමටත්, ඇතැම් පරිසර සංවිධාන එක්කරගැනීමටත් ඉතා සූක්ෂම ලෙස කටයුතු කර තිබුණි.

ඇතැම් පරිසර සංවිධාන මීට එක්කර ගත්තේ මේ ආණ්ඩුවට එරෙහිව සිදු කරනු ලබන පහරදීමක් නොවන බවට සහතිකයක් ද ලබා දෙමිනි.

අවසානයේ දී මෙම සටන් පාඨ සැකසෙන්නේ කාගේ වුවමනාවට දැයි දැනගත් ඇතැම් පරිසර සංවිධාන මෙම ක්‍රියාවලියෙන් ඉවත් විය.

සිංහරාජයේ කතාවට ආණ්ඩුවෙන් පිළිතුරු ලබා දීම සිදු වූයේ බොහෝ ප්‍රමාදවයි. මෙය සමාජගත වීමට එය ද හේතුවක් විය.

සිංහරාජයේ එවැනි විනාශයක් සිදු නොවුව ද ආණ්ඩුව කොළඹ සිට ලබාදෙන පිළිතුරු එතරම් සාර්ථක නොවීය.

ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමක් සිංහරාජයට ගොස් එම චෝදනා අසත්‍ය බව තම ඇස් දෙකෙන් ම තහවුරු කර ගත්තේය.

නමුත් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ ගමන කලින් ගියා නම් සිංහරාජය ගැන මවපු බොරුව මෙතරම් සමාජගත වෙන්නේ ද නැත. එදා රාජපක්ෂ ආණ්ඩුව කාලයේ දී එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ නිරීක්ෂණය කිරීමට ගිය අන්දම වර්තමාන ආණ්ඩුවේ පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයක් සිටින ජනතා නියෝජිතයන්ට අමතක වීම කනගාටුදායකය.

අනෙක් කාරණය රජයේ ඇතැම් නිලධාරීන් කුමන හෝ ආකාරයකට ජනප්‍රිය වීම සඳහා කුමන හෝ ආකාරයකට රජයේ සංවර්ධන ක්‍රියාවලියට විරුද්ධවීම වර්තමානයේ දී යම් මෝස්තරයක් වී තිබේ.

සාධාරණ හේතු මත පරිසර විනාශ වෙනවාට විරුද්ධව නැගී සිටිනවාට අපි ද කැමතිය.

නමුත් ඒ මුවාවෙන් වෙන වෙන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කර රටේ සංවර්ධනය අවුල් කිරීමට වගකිව යුතු රජයකට නොහැකිය.

කරඳ ගහ යොදාගෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම්වලට කරනු ලැබූ බලපෑම කෙතරම් අසාධාරණ ද යන්න සමාජය මේ වන විට තේරුම් ගෙන තිබේ.

නමුත් කරඳ ගහ සම්බන්ධයෙන් ඇතැම් නිලධාරීන් සිදුකළ ප්‍රකාශ කෙතරම් දුරට සත්‍යයක් ද කියා දැන් වැටහෙනු ඇති. තිරසාර සංවර්ධනයක් යටතේ ඕනෑම සංවර්ධනය සිදුවිය යුතු බව ලෝක මතයයි.

විපක්ෂයට සටන් පාඨවල හිඟයක් පවතින නිසා දැන් පරිසරය සුරැකීමේ සටන් පාඨ තරගයක සමගි ජනබලවේගය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ නිරතව සිටි.

පරිසරය සුරකිමු බෝඩ් ලෑලි උස්සාගෙන ඔවුන් දැන් පෙළපාළි යන්නේ තරගයකට මෙනි. ලැම්බෝ ගිනි, රත්තරන් අශ්වයන්, බේබිලාට හෙලිකොප්ටර් සටන් පාඨ බොරු වූ නිසා යළිත් එම සටන් පාඨ ඉදිරිපත් කිරීමට නොහැකිය. ලැම්බෝ ගිනිවලින් පරිසරයට සටන් පාඨ මාරු කළේ එම නිසා විය හැකිය.

විපක්ෂය අද මෙහෙයවනු ලැබූ ඇතැම් සමාජ මාධ්‍ය ජාලා එදා තිබුණා නම් රණසිංහ ප්‍රේමදාසට ගම් උදාව හෝ ගාමිණී දිසානායකට කඩිනම් මහවැලි ව්‍යාපාරය සිදු කිරීමට නොහැකි වනු ඇත.

ගස්ලබු ගසක් කැපුවත් එය සමාජ මාධ්‍ය යොදාගෙන එය ආණ්ඩුවේ කැලෑ විනාශය වශයෙන් පෙන්වීමට තරම් මේ දේශපාලන අද පහතට වැටී ඇත. ඔය විදිහට ගොයම් කැපීම ද ඉදිරියේ දී ප්‍රශ්නයක් විය හැකිය.

Comments