ජනතා මුදල් කාබා­සි­නියා කර රට පැන්න ඇදුරෝ | සිළුමිණ

ජනතා මුදල් කාබා­සි­නියා කර රට පැන්න ඇදුරෝ

 ගිවිසුමට අනුව අයකර ගැනීමේ ක්‍රමවේදයක් තිබුණා

 

 ඔවුන් එදා මට නඩු දාන්න උත්සාහ කළා - හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ

 

 දැන් විශ්වවිද්‍යාල පද්ධතිය හැර යන ආචාර්යවරු අඩුයි

 

ලංකාවේ විශ්වවිද්‍යාලයකින් බිහිවන විද්‍යාර්ථියකුට ජාත්‍යන්තරයේ ඇත්තේ ඉහළ පිළිගැනීමකි. එය කොතරම්ද පැවැසුවොත් ඉතා විශාල වැටුප් තලයන්ට සේවය කිරීමේ අවස්ථාවන්ට ඔවුහු උරුමක්කාරයෝ වෙති. නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් මල්ඵල නෙළා ගත් ඔවුහු තමන් ලද ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් මෙරට තවත් දරු පිරිසකට සිය යුතුකම් පැහැර හරිමින් සිටි කතා පුවතක් දිග හැරුණේ පසුගිය රජය කාලයේ උසස් අධ්‍යාපන ඇමැතිව සිටි විජයදාස රාජපක්ෂ විසින් කළ අනාවරණයේදීය. ඒ වැටුප් සහිත අධ්‍යයන නිවාඩු ලබා ගනිමින් විදෙස්ගත වූ ඇදුරෝ 500 කට ආසන්න ප්‍රමාණයක් සිය ගිවිසුම් කොන්දේසි කඩ කළ බවත්, ඒ හේතුවෙන් රජයට ලැබෙන්නට තිබු රුපියල් මිලියන 850 ක මුදලක්ද ගෙවීම පැහැර හැර ඇති බවත්ය. 2018 ජූලි, අගෝස්තු මස එවකට ඇමැති වූ විජයදාස රාජපක්ෂ විසින් කළ මේ හෙළිදරවුවේදී අදාළ ආචාර්යවරුන්ගේ නම් ගම් සහිතව ඔවුන්ටද ගෙවන්නට සිදුවන මුදල් වන්දිද ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ හෙළිදරවු විය.කෙසේ වෙතත් මේ අනාවරණයෙන් පසු ආචාර්යවරුන්ගේ ඒ ගිවිසුම් මුදල ගෙවා තිබුණේද නැද්ද යන්න පැහැදිලි කිරීමක් සිදුව නොතිබුණු අතර සමහරක් මාධ්‍ය හරහා අනාවරණය වූයේ එම වන්දි මුදලින් සියයට 25 ක ප්‍රමාණයක් ගෙවා අහවරව ඇති බවකි.

ඇත්තෙන්ම එදා අනාවරණය වූ පරිදි එතරම් වන්දි මුදලක් ආචාර්යවරුන්ට ගෙවන්නට තිබුණද යන්න විමසීමේදි විවිධ පිරිස් ඊට දක්වන්නේ විවිධ ප්‍රතිචාරය. සාමාන්‍යයෙන් මේ වන්දි මුදල් පිළිබඳ ඇස්තමේන්තු පවතින්නේ ඒ ඒ විශ්වවිද්‍යාල වලට වන බැවින් එදා එක්රැස් වූ මේ තොරතුරු සාවද්‍ය බව සමහරකුගේ මතය වී ඇත්තේය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් එදා ප්‍රමුඛ වී කටයුතු කළ හිටපු උසස් අධ්‍යාපන ඇමැති වූ ජනාධිපති නිතීඥ විජයදාස රාජපක්ෂ අද පවසන්නේ මෙවැනි අදහසකි.

“අපි එදා 500 කට ආසන්න වූ ආචාර්යවරු පිරිසක් පිළිබඳ නොබියව සෘජු අනාවරණයක් කළා. මේ අයගෙන් රුපියල් මිලියන 860 කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙන්න තිබුණා. මේ බොහෝමයක් දෙනා පශ්චාද් උපාධි කරන්න විදෙස්ගතව ඇත්තේ අදාළ ගිවිසුම්වලට යටත්වයි. එදා මම මේ තොරතුරු පුවත්පත් හරහා අනාවරණය කළේ ඉතා අමාරුවෙන්. ඒ ඒ ආචාර්යවරයාගේ නම, ගෙවීමට ඇති වන්දි මුදල, ඔවුන්ගේ පදිංචිය, විශ්වවිද්‍යාල ඇතුළු සියලු තොරතුරු ලබා ගෙන භාෂා තුනෙන්ම මාධ්‍ය හරහා පළ කළා. මේ අය අද විශාල වැටුප් ලබන්නේ රටේ ජනතාවගේ මුදලින්. ඒ නිසා මේ අයට රටේ ජනතාවට සේවයක් කිරීමේ වගකීමක් තියෙනවා. මේ අනාවරණයෙන් පසුව සමහරක් දෙනා කුඩා ප්‍රමාණවලින් මුදල් යළි ගෙවීමක් කළා. ඒත් දිගින් දිගටම මේ ගැන සොයා බැලීමක් වුණේ නැහැ. මම මේ දේවල් පුවත්පත්වල නොබියව පළ කළ පසු විශ්වවිද්‍යාල ආචාර්ය සංගම් නඩු දාන්න උත්සහ කළා. මම නොබියව ඊට අභියෝග කළා. ඇත්තටම ඔවුන් මේ පිළිබඳව ලැජ්ජා විය යුතුයි. අද විශ්වවිද්‍යාල අරාජික වෙලා. මම 2018 විශ්වවිද්‍යාලවලට යනකම් කිසිම ඇමැතිවරයෙක් විශ්වවිද්‍යාලවට ගිහින් තිබුණේ නැහැ. අවුරුදු 50 කට පසු විශ්වවිද්‍යාලයකට ගිය පළමු ඇමැතිවරයා මමයි....“ ඒ හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයකු වන විජයදාස රාජපක්ෂයි.

සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාල ඇදුරකු සිය අධ්‍යයන කටයුතු සඳහා විදෙස්ගතවීම් අනිවාර්ය වන්නේ ඔවුන් පර්යේෂණ සිදු කර දැනුමින් යාවත්කාලීන විය යුතු නිසාය. මේ නිසා අදාළ විශ්වවිද්‍යාලයේ අවසරය ඇතිව විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු මෙන්ම කථිකාචාර්යවරු විදෙස් ගතවන්නේ වැටුප් සහිත රාජකාරි නිවාඩුද සමඟිනි. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන පරිදි වසරකට ආචාර්ය මහාචාර්යවරු160 කට ආසන්න ප්‍රමාණයක් විදෙස්ගත වෙති.

විශ්වවිද්‍යාල ආචාර්යවරුවරුන් සිය උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගත වීමේදී ඊට අනුකුල ගිවිසුම්ගත වීම් මුලින්ම අර්ථකතනය වෙන්නේ 1988 අගෝස්තු 1 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම චක්‍රලේඛ අංක 377 නි. ඒ අනුව යම් ආචාර්යවරයකුගේ ගිවිසුම් කඩ කිරීම් ගණනය කර ඇත්තේ ඒ ආචාර්යවරයා ලබන වැටුපට අනුවයි. ආචාර්යවරුන්ගේ මෙම ගිවිසුම සම්බන්ධ කරුණු යළිත් සංශෝධනය වන්නේ 2009 මාර්තු 9 වැනි දින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් චක්‍රලේඛ අංක 907 නුයි. මෙහිදී ගිවිසුම් ගණනය කිරිමේදි වැටුපට අමතරව ඒ ආචාර්යවරයා විදෙස් ගතවූ ශිෂ්‍යත්වයේ වටිනාකමත් එකතු වෙයි. ඒ අනුව ගිවිසුමේ මුදලද විශාල අගයක් ගන්නේ ඒ වන විට ආචාර්යවරුන්ගේ වැටුප් වැඩිවීම හා වටිනා ශිෂ්‍යයත්ව අපේ ආචාර්යවරුන්ට හිමිවීම නිසාය. එසේම 907 යටතේ වූ 3 වන ඡේදයේ බී කොටසට යළිත් සංශෝධන එකතු වෙමින් මෙම ගිවිසුම් මුදලට ලබා දෙන පර්යේෂණ හා අධ්‍යයන වියදම් එකතු වන්නේය.

 

එසේම ඒ ඡේදයේ සඳහන් වන පරිදි යම් ආචාර්යවරයකු තමන්ගේ මහන්සියෙන් සොයා ගත් ශිෂ්‍යත්වයක් නම් එම ශිෂ්‍යත්වයේ මුළු වටිනාකම නොව එයින් තුනෙන් එකක වටිනාකමක් ගිවිසුම් මුදලට එකතු වන බවකි. ගිවිසුම් අත්සන් කිරීම ගැන සඳහන් වන්නේ චක්‍රලේඛ අංක 920 නි. මෙම ගිවිසුම කඩ කිරීමේදී එය නැවත අයකර ගැනීමේ මාර්ගද මේ චක්‍රලේඛයේ සඳහන් වෙයි. මෙහිදි ඇප කරුවන් 6 දෙනෙක් ගිවිසුමට අත්සන කරති. සාමාන්‍යයෙන් ආචාර්ය උපාධියක් වෙනුවෙන් අවුරුදු 3යි මාස 9 ක වැටුප් සහිත නිවාඩුවක් හිමි වෙයි. මේ නිසා එවන් අවස්ථාවක ගිවිසුම් ගත මුදල විශාලය.

“මේ පිළිබඳ පසුගිය කාලයේ විවිධ වාර්තා පළ වූ පසු අපි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සමඟ මේ ගැන කතා කළා. එවැනි තොරතුරු ලබා ගත් ක්‍රමවේදය ගැන අපි විමසීම් කළා. මෙවැනි තොරතුරු ලබා ගත යුත්තේ විශ්වවිද්‍යාල පරිපාලනයෙන්. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මෙම ගිවිසුම් කඩකිරීම විවිධ අර්ථකථන වලින් විග්‍රහ කළ හැකියි. සමහරු ඇත්තමට ගිවිසුම් කඩකර රට දාලා ගිහින් තිබුණා. නමුත් බහුතරයක් එසේ වී නැහැ. විශ්වවිද්‍යා ප්‍රතිපාදන කොමිසම ගිවිසුම් කඩ කළා යැයි කිව්වට එසේ කර නැහැ. එදා 500 දෙනකු ගැන සඳහන් වුවත් පිරිසක් රට හැර ගිහින් තිබුණේ නැහැ. ඔවුන් ඒ වන විට වෙනත් විශ්වවිද්‍යාලවල සම්බන්ධව සිටියා. තවත් පිරිසක් උපාධිය අවසන් නොකර අතරමග ලංකාවට පැමිණ සිටියා. නමුත් තමන්ට ලබා දුන් අවස්ථාව පැහැර හැරීම හා උසස් අධ්‍යයන කටයුතු අවසන් නොකිරීම නිසා ඔවුන්ද ගිවිසුම් කඩ කිරීමට ඇතුළත් වුණා.

මෙහිදී ඔවුන්ටත් එම මුදල ගෙවන්න සිදුවුණා. සමහර ආචාර්යවරු තමන් රැකියාව කරන විශ්වවිද්‍යාලය හැර යෑමට විවිධ හේතු බලපාලා තිබුණා. විශ්වවිද්‍යාල ආචාර්යවරු විශ්වවිද්‍යාල හැර යෑම සම්බන්ධ සංඛ්‍යා ලේඛන කොහේවත් නැහැ. නමුත් විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්ද්‍රා ජයවර්ධන මේ පිළිබඳ පර්යේෂණයක් කර තිබුණා. එහි සඳහන් වුණේ 1990 සිට 2012 වසර දක්වා බුද්ධිගලනය වූ ආචාර්ය පිරිස 250ක් පමණක් බව. මෙයින් 24% ක් රට හැර ගොස් ඇත්තේ රටේ එවකට පැවැති තත්ත්වය අහිතකර වීම නිසා.

තවත 20% ක් රට හැර ගොස් තිබුණේ අදාළ විශ්වවිද්‍යාලයේ හෝ පීඨයේ තමන්ට පවතින තත්ත්වය සුදුසු නැති නිසා. තවත් 15% බැගින් රට හැර ගොස් ඇත්තේ ආකර්ෂණීය රැකියා ලැබීම හා තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිසා. එදා හිටපු උසස් අධ්‍යාපන ඇමැතිවරයා හා අදාළ බලධාරීන් පුවත්පත් දැන්විමකින් මේ ගැන ප්‍රසිද්ධ කර තිබුණා. ඒත් අපි දන්නේ නැහැ මේ තොරතුරු කොහොන් සොයා ගත්තද කියලා. එදා මේ අය කියා තිබුණා අය විය යුතු මුළු මුදල රුපියල් මිලියන 860 ක් කියලා. ඒත් මෙයින් භාගයක්වත් නැහැ කියලයි අපි කියන්නේ. ඔවුන් ශිෂ්‍යත්ව වටිනාකමත් මෙයට එකතු කළා. බොහෝමයක් ශිෂ්‍යත්ව ආචාර්යවරුන් ලබා ගන්නේ ඔවුනගේ දක්ෂතාව පෙන්වායි.

එදා මේ දේවල් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පුවත්පත්වල පළකර බලාපොරොත්තු වූයේ කුමක්ද? ඇත්තමට විශ්වවිද්‍යාල දාලා රට ගොස් සිටි සුළු පිරිසක් සිටියා. මේ අය නිසා අනිත් අයටත් සිදුවූණේ දැඩි අපහසුතාවකට ලක් වෙන්න. මෙම ගිවිසුම් කඩ කිරීමේදී හා එය අය කිරීමේදි බලය ඇත්තේ අදාළ විශ්වවිද්‍යාලවලට. නමුත් මේ අවස්ථාවේ විශ්වවිද්‍යාල කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පුවත්පත්වල පළ කිරිම වැරදියි. ඒ වගේම මෙවැනි ගිවිසුම් ගත වෙද්දි එය කඩ කිරීම් කළහොත් නැවත අය කර ගැනීමේ ක්‍රියාමාර්ග තිබෙද්දී ඒ කිසිවක් නොකර සිටිම වැරදියි“ ඒ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති මහාචාර්ය කේ. කේ. අයි. යූ අරුණකුමාරය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසන පරිදි මේ වන විට යම් පිරිසක් තමනට ගෙවන්නට සිදුව ඇති මුදල් ප්‍රමාණයක් ගෙවා ඇතිද, එදා කියූ තරමේ විශාල මුදලක් අය කර ගැනීමට නැත. එසේම විශ්වවිද්‍යාල කොමිසම් සභාවට මේ සම්බන්ධ නීතිමය ක්‍රියාමර්ග ගැනීමට නොහැකි අතර ඔවුන්ට කළ හැක්කේ අදාළ විශ්වවිද්‍යාල වලට නීතිමය ක්‍රියාමාර්ග ගැනිමට යොමු කිරිමටය.කෙසේ වෙතත් මේ වන විට අපේ 15 ක්වූ ජාතික විශ්වවිද්‍යා පද්ධතියේ ජාත්‍යන්තර තලයේ විශ්වවිද්‍යාල බවට පත් වෙමින් තිබෙයි. විශ්වවිද්‍යාලවල ගුණාත්මක බවද දිනෙන් දින වැඩි වෙයි.

“මේ වන විට අපි විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් විශාල පරිවර්තනීය වෙනසක් සිදු කරමින් යනවා. සිසුන් ඇතුළත් කිරිම වසරින් වසර වැඩි කරමින් යනවා. ඒ නිසා මුලින්ම අපි මේ සංවර්ධන වැඩ වේගවත් කළ යුතුයි. අපේ විශ්වවිද්‍යාල පද්ධතිය ඉහළ ගුණාත්මක බවින් යුතු වෙනසක් ඇති කරනවා නම් මෙවැනි ගැටලු ඇති වීම අඩුයි. ඒ නිසා අපි වැඩි අවධානයක් විශ්වවිද්‍යාල පද්ධතියේ සංවර්ධනිය වැඩ කටයුතු කෙරෙහි යොමු කරන අතර, සමහර ආචාර්යවරු එවැනි ගිවිසුම් කඩ කිරීම් සිදු කර ඇති නම් ඒ කෙරෙහිත් අවධානය යොමු කරනවා. ......“ ඒ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අදහසය.

කෙසේ වෙතත් නිදහස් අධ්‍යාපනයෙන් ඵල ප්‍රයෝජන ලබා ආත්මාර්තකාමිත්වයෙන් මෙසේ කටයුතු කිරීම උගත් බුද්ධිමතුන්ට නුසුදුසුය. දුපපත් ජනතාව ඔවුන්ව දැනුමින් පොහොසත් කරන්නේ තම දරුවන්ගේද අනාගත යහපත වෙනුවෙන්මය. ඒ නිසා එවන් පිරිසක් සිටි නම් ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීම බලධාරීන්ගේ වගකීමද වන්නේය.

Comments