පස්සර බස් අන­තු­රේ අනියම් මිනීමරුවෝ | Page 2 | සිළුමිණ

පස්සර බස් අන­තු­රේ අනියම් මිනීමරුවෝ

දුල්ල මොනරාගල මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේ දී මගී ප්‍රවහන බස් රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 34 දෙනෙකු බරපතළ ලෙස තුවාල ලැබීය. මෙසේ තුවාල ලැබු සියල්ලන්ම සුවවුවත් ඔවුන්ගෙන් වැඩිපිරිසක් සදාකාලික ආබාධ සහිත පුද්ගලයන් වනු ඇත. එහෙත් අද ඇති ගැටලුව මේ අයගේ අනාගතයට වග කියන්නේ කවුද යන්නයි.

මේ අනතුර සිදුවූ මොහොතේ පටන් මෙහි වගකීම බස් රථයේ හා ට්‍රක් රථයේ රියදුරු පිට පැටවීමට සියලු පාර්ශ්වයන් දැඩි උත්සාහයක නිරත වන බව පෙනෙන්නට තිබිණි. විශේෂයෙන් මෙම අනතුරට වගකිවයුතු ප්‍රධාන පාර්ශ­්වයන් කිහිපයක් ඒ වෙනුවෙන් දැවැන්ත වැඩපිළිවෙළක් දියත් කළේ රියදුරන් බිල්ලට දී තමන් බේරෙන්නටය. මේ අනතුර සම්බන්ධයෙන් රියදුරන් දෙපළම වගකිවයුතු බව සැබෑය. අනතුර වළක්වා නොගැනීම, අපරීක්ෂාකාරි ධාවනය ඇතුළු වැරදි කිහිපයක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ සමඟම මෙම වදන් රියදුරන් පිට පමණක් පටවා ඇඟ බේරගන්නට උත්සාහ කරන උදවිය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුතුව ඇත.

මාරක බස් අනතුර සිදුවී දින 5කට පසු අනතුර සිදුවූ ස්ථානයේ අනතුරු සංඥා සවිකිරීමටත්, මාර්ගය අවහිරවන පරිදි මාර්ගයට ඇද වැටී අනතුරට ප්‍රධාන හේතු සාධකය වූ දැවැන්ත කළුගල මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසක් එක්ව විද කඩා ඉවත් කිරීමටත් පියවර ගෙන තිබේ. මෙම අනතුරට පෙර ඒ කාර්ය සිදුකර තිබුණේ නම් මේ ජීවිත සියල්ල බේරා ගැනීමට තිබුණි. මාර්ග සංවර්ධන අධිකාරිය අනතුරෙන් පසුව සිදුකළ කාර්ය අනතුරට කලින් සිදු නොකළේ ඇයි?

බදුල්ල චෙන්කලඩි මාර්ගය කාපට් කිරීමේ ව්‍යාපෘතිය කොටස් තුනකට වෙන්කර කොන්ත්‍රාත් සමාගම් තුනක් විසින් බාරගෙන තිබූ අතර බදුල්ල සිට පස්සර දක්වා වූ දුර කිලෝමීටර් 20 ක මාර්ගයේ ඉදිකිරීම අයි. සී. සී. සමාගම ලබාගත් කොන්ත්‍රාත් මුදල බිලියන 2.6 කි. මේ ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් මුදලින් සියයට විස්සක් හෙවත් රුපියල් මිලියන 531 ක අත්තිකාරම් මුදලක් ගෙවා තිබු අතර එහි වැඩ කටයුතු අවසන් කර ඇත.

පස්සර සිට ලුනුගල දක්වා වූ කිලෝමීටර් 21 ක් වූ කොටස රුපියල් බිලියන 2.7 කින් මාස 30ක කාලයක් තුළ නිම කිරීමට වීවීකේ - ඒ එම් එස් කේ/ වී කොන්ත්‍රාත් සමාගම රුපියල් මිලියන 556 ක් සමඟ බාරගෙන ඇත්තේ 12/01/2017 දිනය. එහි වැඩකටයුතු 11/07/2019 අවසන් විය යුතුව තිබුණ ද, එදිනට අවසන් නොකර 27/02/2020 දින දක්වා කාලය දීර්ඝ කරවාගෙන ඇත. එසේ වුවද මේ දක්වා අවසන් කර ඇත්තේ සියයට 76.8 ක ප්‍රමාණයකි. ලුනුගල සිට බිබිල දක්වා වූ කිලෝමීටර් 19 ක ප්‍රමාණය මාස 30 ක කාලයක් තුළ රුපියල් බිලියන 2.2 කින් ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 401 ක අත්තිකාරම් මුදලක් සමඟ 26/07/2017 දින බාරගත් ඊබට් ඇන්ඩ් සන්ස් පුද්ගලික සමාගම මේ ව්‍යාපෘතිය 25/01/2020 දින අවසන් කළ යුතුව තිබුණත් 20/11/2020 දක්වා කාලය දීර්ඝ කරගෙන ඇතත් මේ දක්වාම නිම කර ඇත්තේ සියයට 52 ක් තරම් වැඩ කොටසකි.

බදුල්ල චෙන්කලඩි මාර්ගයේ ඉදිකිරීම් නිල වශයෙන් වැඩ කටයුතු පටන් ගත්තේ 2017 පෙබරවාර මස 19 වෙනි දින ඓතිහාසික බදුල්ල පුරවරය සමීපයෙනි. මෙදින රජය නියෝජනය කරමින් එවකට මහමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සමඟ, නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, හරීන් ප්‍රනාන්දු , චාමර සම්පත් දසනායක, ඌව පළාත් හිටපු ආණ්ඩුකාරවරුන් වූ නීතිඥ පී.බී.ජයසිංහ, ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා යන අය සහභාගී වූහ.

එහි ව්‍යාපෘති වර්තාව සඳහන් කරන ආකාරයට වැඩ බිමෙහි ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය කොළඹ පිහිටුවා ඇත. අතර ඒ යටතේ MG සහ RDC නමින් හැඳින්වෙන උපදේශක සමාගම් දෙකකින් මෙහි පරිපාලන කටයුතු ඇතුළු අනෙකුත් කාර්යයන් ඉටු කරයි. මෙම ව්‍යපෘතිය සඳහා ඔපෙක් සංවිධානයෙන් හා සෞදි අරාබි රජයෙන් ද ලබා දී ඇති අතර ඩොලර් මිලියන 20,000 ක් රජය විසින් සපයා ඇත. එහි කාර්යක්ෂමතාව වැඩිකර ගැනීම උදෙසා එම උපදේශක සමාගම් හා බද්ධ කොට ICC, AMBC,KD EBERT,CEC,හා MAGA යන කෙටි නාමයන්ගෙන් ප්‍රකාශක කර ඇති පළමු පන්තියේ පිළිගත්, ක්‍රියාකාරී තවත් ඉදිකිරීම් ආයතන 5ක ක්‍රියාකාරීන් මෙම මාර්ග සංවර්ධන ක්‍රියාදාමයේ වැඩ බිමට බද්ධ කොට තිබුණි.

බදුල්ල සිට චෙන්කලඩි දක්වා කි.මී. 147 ක බිලියන ගණනක් වැය කර ඉදි කෙරෙන මාර්ග ව්‍යාපෘතියේ සියලු කටයුතු සඳහා කොළඹ පිහිටා ඇති ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක්, නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක්, අඩවි ඉංජිනේරුවන් පස්දෙනකු, අභ්‍යන්තර විගණක නිලධාරියෙක් ද කටයුතු කරනු ලබයි. මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිට මේ දක්වා මෙම නිලධාරීන් කී දවසක් බදුල්ලට පැමිණියේ ද, මාර්ගයේ කටයුතු අධීක්ෂණය කළේද යන්න කිසිවකුත් නොදන්නා තැනට ක්‍රියාත්මක වෙමින් පවතී. විගණන නිලධාරියා මේ ගැන විගණනය කළේ ද යන්නත් සැක සහිතය.

ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරු, උපදේශක සහ සේවා යෝජකයා (එනම් ව්‍යාපාති කළමනාකරණ අංශය) ඇතුළුව ව්‍යාපෘති ප්‍රගති සමාලෝචන රැස්වීම මසකට වරක් පවත්වනු ලැබුවද, එහි සාකච්ඡා කළේ කුමක් පිළිබඳවද, එහිදි මෙවන් අවදානම් ස්ථාන හා ඊට පිළියම් යෙදීම පිළිබඳව කිසිවක් සාකච්ඡා කර හෝ මෙවැනි ගැටලු විසඳීම සඳහා සුදුසු ක්‍රියාමාර්ග කිසිවක් නොගැනීමට හේතු වූ කාරණා කවරේද? මේ අවදානම් ගල ඉවත් කරන ලෙස ඒ ප්‍රදේශයේ පදිංචිකරුවන් මාර්ග සංවර්ධන අධිකාරියේ හා කොන්ත්‍රාත්කරුවන්ගෙන් අවස්ථා රැසක දී ඉල්ලා ඇතත් ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද අනාවරණය කෙරිණි. මාර්ග පළල් කිරීම සඳහා කඳු කැපීමේ දී ඇති වූ මේ අවදානම් ගල් පර්වතය පහතට ඇදී විත් දීර්ඝ කාලයක් පවතින බැවින්, එය මේ අනතුර සිදුවන තෙක්ම ඉවත් කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ විසින් මාර්ග සංවර්ධන අධිකාරිය නියෝජනය කරන ඉහළ පෙළේ වගකිවයුතු නිලධාරියකු ලෙස අවසාන වගකීම ඔහු විසින්ම බාර ගත යුතු නොවේද?.

වසර 100 ඉක්මවූ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මාර්ගයක් ලෙසට මෙය ලේඛනගත කොට ඇත. ඒ නිසා අදාළ සාමාගම්වලට පනවා ඇති යම් යම් නියමයන්ට යටත්ව මාර්ගයේ ඇතැම් කොටස් වැඩි දියුණු කිරීමට සිදු ව තිබිණි. උදාහරණයක් ලෙස මාර්ගයේ හඳුනාගෙන තිබූ බෝක්කු 800 සහ පාලම් 57 වැඩිදියුණු කිරීමේදී යම් යම් සීමාවන්ට යටත්ව කටයුතු කිරීමට අදාළ සමාගම්වලට උපදෙස් ලබා දී වැඩ ආරම්භ කර තිබිණි. එසේ වැඩ ආරම්භ කරන මොහොතේ බදුල්ල MG සමාගමේ ප්‍රධාන උපදේශක කණ්ඩායම් නායක ඉංජිනේරු උදේනී වික්‍රමරත්න කියා සිටියේ මාර්ග තනා වසර 30ක් අත්දැකීම් සහිත මා මේ ව්‍යාපෘතිය ගිවිසුම් ගතවූ කාලය වන මාස 30ට මෙහි වැඩ නිමා කරන්න හැකි වේවි යැයි හිතනවා යනුවෙනි.

මෙම මාර්ග ව්‍යාපෘතිය අධීක්ෂණය සහ පාලනය කිරීම සඳහා අමාත්‍යාංශය විසින් වෙනම ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවා තිබුණි. ගිවිසුමට අනුව ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ සමස්ත වගකීම මේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය වෙත පැවරී ඇති අතර එතුළින් විය හැකි අවදානම් අවම කිරීම සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් විසින් මෙම මාර්ග ව්‍යාපෘතිය අධීක්ෂණය කරමින් නිවැරදි ලෙස පාලනය කළ යුතු අතර කොන්ත්‍රාත්කරුවන් අතින් සිදුවන වැරදි නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගෙන ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබා දිය යුතුය.

ඒ සඳහා ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ක්‍රියාත්මක විය යුත්තේ වැඩබිමේ මිස බත්තරමුල්ලේ සීතල කාමර තුළ නොවේය. නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂවරුන් දෙදෙනා වෙනුවෙන් මසකට රුපියල් 342500 ක මුදලක්ද ඉංජිනේරුවකුට රුපියල් 170000 ක වැටුපක් හා රුපියල් 70000 ක දීමනාවක් වශයෙන් රුපියල් 240000 බැගින් පස් දෙනකුට රුපියල් රුපියල් 12,00000 ක් බැගින් ව්‍යාපෘති කාර්යාලයේ ඉහළ නිලධාරීන් සඳහා පමණක් මසකට රුපියල් රුපියල් ලක්ෂ විස්සකට ආසන්න මුදලක් වැය කරනු ලබයි.

මීට අමතරව මෙම ව්‍යාපෘතිය සඳහා පත්කරන ලද උපදේශක මණ්ඩලය ඉහළ නිලධාරීන් 27 දෙනෙකුගෙන් සමන්විතය. එම උපදේශක මණ්ඩලයට කණ්ඩායම් නායක, නේවාසික ඉංජිනේරුවෙක්, සහකාර නේවාසික ඉංජිනේරුවරු තිදෙනෙකු, ද්‍රව්‍ය හා පදික ඉංජිනේරුවරයෙක්, මහමාර්ග සැලසුම් ඉංජිනේරුවරයෙක්, ව්‍යුහාත්මක ඉංජිනේරු, බලපත්‍ර මිනින්දෝරු, පාරිසරික විශේෂඥ, අඩවි ඉංජිනේරුවන් - 03, ප්‍රමාණ මිනින්දෝරුවන් - 03, තාක්ෂණික නිලධාරීන් 06, සහයක මිනින්දෝරුවරුන් 03, පර්යේෂණ සහකාරවරු 03 දෙනකුද සේවයේ නිරතව සිටිය දීත් මේ කිසිවකුට මේ අවදානම් ගල හෝ මාර්ගයේ අවදානම් තත්ත්වය නොපෙනීම ගැන විමර්ශනයක් සිදු නොවිය යුත්තේ ද ? රජය එතරම් වියදමක් දරා හෝ නිසි සේවාවක් ලබාගත්තේ ද යන ගැටලුව මතුව තිබේ.

කොන්ත්‍රාත්කරු ඊබට් ඇන්ඩ් සන්ස් හට අදාළ වන ලුනුගල සිට බිබිල ප්‍රදේශය දක්වා සිවිල් කටයුතු සම්පූර්ණ කර නැතත් ඔහු ගිවිසුමට අනුව 26/01/2020 කොන්ත්‍රාත් වැඩ නිම කළ යුතුය. ඔහු මේ වන විට සම්පූර්ණ කර ඇත්තේ 52% ක් පමණි. එහි ප්‍රතිඵලයක් ලෙස මාර්ග භාවිත කරන්නන්ට විශාල දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදු වේ.

ගිවිසුමට අනුව කොන්ත්‍රාත්කරුවන් විසින් 2019/07/11 දිනට වැඩ නිම කළ යුතු වුවත්, මේ වනවිටත් කොන්ත්‍රාත්කරු සම්පූර්ණ කර ඇත්තේ 77% ක් පමණ වැඩ කොටසකි. මේ අනුව එකී ගිවිසුමට අනුව වැඩ නිම කිරීමට කොන්ත්‍රාත්කරු අපොහොසත් වී ඇති අතර; මාර්ග ආරක්ෂාව පවත්වා ගෙන ගොස් නැති බව මේ අනතුරෙන් පමණක් නොව තවත් අනාරක්ෂිත යැයි හැඟෙන ස්ථාන නිරීක්ෂණය කිරීමේ දී පෙනී යයි. එවැනි භයානක ස්ථානයන් හි මාර්ග බාධක, දැනුම්වත් කිරීමක සඳහා දැන්වීම් පුවරු, බිඳ වැටීම් බාධක ආදිය කිසිවක් මෙම මාර්ගයේ සවිකර නොතිබිණි.

වසරකට අධික කාලයක් තිස්සේ අන්තරාදායක ගල ඉවත් නොකර අවදානම සලකුණු කරන කහ පොලිතින් තීරුවක් වුවද නොදා සිටි කොන්ත්‍රාත්කරුවන් එම පියවර ගන්නට කටයුතු කළේ ජීවිත 14 ක් බිලිදීමෙන් පසුවය.

මේ පිළිබඳව කරන ලද විමසුමකට පිළිතුරු දුන් බදුල්ල චෙන්කලඩි මාර්ග ව්‍යාපෘතියේ හිටපු ව්‍යාපෘති අධ්‍යක්ෂ ජේ. ඒ. වී. එස්. ජයකොඩි පැවසුවේ,

මේ අනතුර සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය ද වගකිව යුතුයි. මේක අහඹු ලෙස සිදු වූ සිදුවීමක් වගකීම් පැහැර හැරීම්ද සිදුව තිබෙනවා. උපදේශක මණ්ඩලයක් තියෙන එකත් ඇත්ත. මේ ගැන ක්‍රියාමාර්ග ගත යුත්තේ කොන්ත්‍රාත්කරුවන්. ඒ අය හරියට වගකීම් ඉටු නොකළේ නම් දඬුවම් කළයුතු බවයි.

 

Comments