2021 අප්‍රේල් 04 සිට අප්‍රේල් 10 දක්වා ලග්න පලා­පල | සිළුමිණ

2021 අප්‍රේල් 04 සිට අප්‍රේල් 10 දක්වා ලග්න පලා­පල

 මේෂ - ආගමික උත්සවයකට මුල් තැන

 

මේෂ ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා පුණ්‍යවන්ත වෙයි. චන්ද්‍රයා 09,10,11,12 යන ස්ථාන පසුකර යන නිසා දේපළ රැකියා ආර්ථික යහපත්කම් සතිය අවසානයේ පිටරට යෝග පවා එළඹේ. තම ධන සම්පතක් පිළිබඳ යටපත්වූ උරුමයක් මතු කෙරේ. මවු පාර්ශ්වයේ සහයෝගය නොඅඩුව ලැබේ. සතිය ආරම්භ වන්නේ ද ආගමික උත්සවයකට මුල් තැන දෙමිනි.

 

 

වෘෂභ - ආත්ම අභිමානය දැඩිවේ

 

වෘෂභ ලග්නයට අනුව මෙම සතිය ඔබගේ කේන්ද්‍රයට අනුව සතිය ආරම්භය යම් හදිසි අනතුරු ස්වභාවයක් පෙන්නුව ද සතිය මැද භාගයේ සිට සතුටුදායක වෙයි. තමා නතරකර දමා තිබූ වැඩකටයුතු යළි ආරම්භ වේ. ඒ අතර නිවසක් පිළිබඳ සිහිනය සැබෑවේ ඉඩමක වැට මායිම් ගසා සකසා ගැනීමට හැකිවේ. සිය පුතකු නිසා සිය ආත්ම අභිමානය දැඩි වන සතියකි. තුනටියේ ආපදා පෙන්වයි.

 

මිථුන - ආර්ථික වාසි

 

මිථුන ලග්නයට අනුව ඔබ කාර්මික අංශ කෙරේ වැඩි නැඹුරුවක් දක්වන සතියකි. චන්ද්‍රයා ද 07, 08,09,10 යන ස්ථාන පසුකරමින් යන නිසා විවාහ ස්ථානගත ගැටලුවකට මුහුණ දීමට සිදුවේ. ඔබ දුරදිග නොබලා කරන කටයුත්තක් නිසා අපහාස විඳින්නට පවා සිදුවේ බාල දරුවකුට උවදුරු පැමිණේ. ඒ උඩක සිට වැටීම හෝ දණහිසට සිදුවන ආපදා ලෙසිනි. කෙසේ නමුදු ආර්ථික සම්පත් උරුම වනු ඇත.

 

කටක - නීති ගැටලුවකට විසඳුම්

 

 කටක ලග්නයට අනුව මෙම සතිය ඔබට සුබයි. ඒ සතිය අවසාන භාගයේ උදාවන හදිසි ධන ලාභයක් නිසා ය. තම දේපළවලට තිබූ නීති ගැටලුවක් නිසා සතිය ආරම්භය සිට සතිය මැද භාගය වනතෙක් ඒ වෙනුවෙන් වෙහෙසීමට සිදුවේ. වෙහෙසේ ප්‍රතිඵල උදා කරමින් ඉහත කී පරිදි සැනසුම උදා වේ‍. තමාගේ කේන්ද්‍රයට අනුව චන්ද්‍රයා 06,07,08,09 යන ස්ථානවල ගමන් කිරීම තුළ තම වාසස්ථානයෙන් බැහැරට දුර බැහැර ගමනකට ද හේතු වනවා ඇත.

 

සිංහ - වාසනාවන්ත දරු සම්පත්

 

 

 සිංහ ලග්නයට අනුව චන්ද්‍රයා මෙම සතියේ ඔබ කේන්ද්‍රයේ 05,06,07,08 යන ස්ථානවල ගමන් කිරීම නිසා විශේෂයෙන් ආර්ථිකයට යහපත් ය. දරු සම්පත් අතින් වාසනාව මතු කරයි. නමුත් වියදම් ඉතා ඉහළ යනු ඇත. තම එදිනෙදා කටයුතු අධික වීම නිසා මානසික ඒකාග්‍රතාව බිදෙනු ඇත. දණහිසට අගුණයි. වාහනවලින් ගමන් කිරීමේදී වේගය පාලනය කර ගත යුතුවෙයි.

 

 

 කන්‍යා - වාහනයක සිහිනය සැබෑවේ

 

කන්‍යා ලග්නයට අනුව චන්ද්‍රයා මෙම සතියේ 04,05,06,07 යන ස්ථාන පසුකර යන නිසා සුබයි. වාහනයක් පිළිබඳ තිබූ සිහිනය සැබෑවේ. තම ඥාති පාර්ශ්වය විසින් තමාට ලබාදෙන සහාය සතුටුදායක වෙයි. පපුවේ ආබාධයක් මුල් වීම හේතුවෙන් සතිය මැද භාගයේ සිට කටයුතු අඩාළ වීමට පුළුවන. එහෙත් තම ආත්ම ශක්තිය වැඩිවීම තුළ ඇති වන බාධා මගහරවා ගැනීමට ඔබට හැකිය.

 

 

 තුලා - පැරැණි දේ අලුත්වැඩියාවට

 

තුලා ලග්නයට අනුව ඔබ කේන්ද්‍රයේ චන්ද්‍රයා 03,04,05,06 යන ස්ථාන පසුකර යන මෙම සතිය වඩාත් සුබ වන්නේ පරණ දේවල් අලුත්වැඩියා කර ගැනීමට වැඩි කාලයක් කැප කිරීමෙනි. නිවසක් හෝ වාහනයක් යළි අලුත්වැඩියා කිරීම් වැනි දේ ඒ අතර වෙයි. කෙසේ නමුදු හදිසි ධන සම්පත් පෙන්වයි. ලොතරැයි ජය, තරග විභාග ජය ඔබට හිමිවේ. බුධ 05 හි පුත්‍ර ඵලයකට ද චන්ද්‍රයා 03 හි තමාගෙන් ඈත්ව සිට ඥාතියකුගේ පැමිණීම ද සිදු‍වේ.

 

 වෘශ්චික - යුග දිවියට ගැටලු

 

 

වෘෂ්චික ලග්නයට අනුව ඔබට මෙම සතිය ඉතා සුබයි. ඒ චන්ද්‍රයා 02,03,04,05 යන ස්ථානවල ගමන් කිරීම ද බුධ 04 හි ගුරු ශනි 03 හි ද වන නිසා ය. ආර්ථික වාසි දේපළ උරුමකම් හදිසි මුදල් ලැබීම් ඒ අතර වෙයි. කොහොම නමුත් රාහු - කුජ 07 හි හැසිරෙන මෙම සතිය තම යුග දිවියට විවිධ ගැටලු මතු විය හැක. පිටස්තර අයගේ අතපෙවීම් නිසා එසේ විය හැකි අතර අන් අයගේ වචනවලට අවනත නොවී කටයුතු කිරීම ඔබට සුබවෙයි.

 

 ධනු - අන් අයගේ ප්‍රසාදය

 

 ධනු ලග්නයට අනුව මෙම සතිය තුළ චන්ද්‍රයා 01,02,03,04 යන ස්ථානවල ගමන් කිරීම ද අනෙකුත් සුබ ග්‍රහයන් යහපත් ස්ථානවල හැසිරීම ද නිසා සතිය පුරාවටම සුබයි. අන් අයගේ ප්‍රසාදයට හේතුවීම - ආර්ථික ලාභ භෞතික සම්පත් ලාභ තෑගි බෝග ලැබීම ඒ අතර වෙයි. තම වෘත්තිය පිළිබඳව ද සතුටු විය හැකිය. රැකියා ස්ථානගත වගකිවයුතු අයගේ ප්‍රසාදය ඒ අතර වෙයි.

 

 මකර- අලුත් මිත්‍ර සංගම්

 

මකර ලග්නයට අනුව මෙම සතිය ආරම්භය දුර බැහැර කටුක ගමනකට හේතුවෙයි. බොහෝ විට සමීපතමයන් හා පවුලේ සාමාජිකයන්ගෙන් දුරස්වීම නිසා සිතේ අසහනයට හේතු වුව ද සතිය මැද භාගයේ සිට සතුටුදායක වෙයි. අලුත් අලුත් හිත මිතුරන් ඇසුරට ලැබේ. තම එදිනෙදා කටයුතු ඉතා අධිෂ්ඨානශීලීව කඩිනමින් කරගෙන යාමට හැකිවේ‍. හිසේ සෙම ගතිය නිසා හිස කැක්කුම් මෙන් ම දත්වල කැක්කුම් වේදනා නිසා ගැටලු මතු කෙරේ.

 

 කුම්භ - ඔබට නව ශක්තියක්

 

 කුම්භ ලග්නයට අනුව මෙම සතිය ඔබගේ ජයග්‍රහණ කීපයක් නිසා සිත සතුට දැඩි වන සතියකි. චන්ද්‍රයා 11, 12, 01, 02 යන ස්ථාන පසුකර යාම ද බුධ ලග්න ගතවීම හා පැහැදිලි මානසික සුවතාව නිසා සිතේ සතුට ඇතිවනු ඇත. කෙසේ නමුදු තම අත්උදවුවට සිටින අය ද කැපවී කටයුතු කිරීම ඔබට නව ශක්තියක් වීමට හේතුවෙයි. පපුවේ නහරගත ආපදා මතුවීමට පුළුවන.

 

 

 මීන - රැකියා නව මුහුණුවරකින්

 

මීන ලග්නයට අනුව ඔබට මෙම සතිය සුබයි. චන්ද්‍රයා 10,11,12,01 යන ස්ථානවල හැසිරීම නිසා රැකියාවල ආර්ථික ප්‍රතිලාභ පෙන්වයි. තම දූපුතුන් නිසා අභිමානය තවත් වැඩි වන්නකි. තමා ගෙන ආ යෝජනාවකට අනුව රැකියා ස්ථානයේ කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට හැකිවේ‍. එයින් ආදායම් ඉහළ යයි. ප්‍රධානින්ගේ සහාය නොඅඩුව ලැ‍බේ. ඒ නිසා සතිය පුරා සතුට සැනසුම වැඩිවේ. තම ගමන ජීවිතය ද සතුටුදායක වෙයි. උරහිස ආශ්‍රිත අසුබ සතියකි.

Comments