මත්තල සංවර්ධනයට පියවර | Page 2 | සිළුමිණ

මත්තල සංවර්ධනයට පියවර

සංචාරකයින් සඳහා ආකර්ෂණීය ගුවන් තොටුපළක් වශයෙන් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමට රජය තීරණය කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (07) ප්‍රකාශ  කළේය. 
 
ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා සහ පිරිවැඩියා අංගනයක්,  (MRO) මෙන්ම  තීරුබදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇතැයිද ඇමතිවරයා පැවසිය.  
 
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ  ඉදි කිරීම සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 247.7 ක මුදලක් වැය කර ඇති අතර ඒ සඳහා චීන එක්සින් බැංකුව සහනදායි ණය පදනම යටතේ ඇමෙරිකානු ඩොලර් 
මිලියන 190 ක් ඒ සදහා ලබා දුන් බවත්, ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම ඉතිරි මුදල් යෙදවූ බවද ඇමතිවරයා සඳහන් කළේය.  මත්තල ගුවන් තොටුපළ , 2013 මාර්තු 18 වන දින සිට මෙහෙයුම් කටයුතු ආරම්භ කළ  අතර 2020 නොවැම්බර් මස දක්වා  රුපියල් 445,319,656 ක ආදායමක් උපයා තිබූ බවද හෙතෙම පෙන්වා දුන්නේය. 
 
පසුගිය යහපාලන ආණ්ඩුව මෙම ගුවන් තොටුපළේ වී ගබඩා කිරීම හේතුවෙන් ඊට දැවැන්ත  අපකීර්තියක්  සිදු වූ  බවත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මත්තල ගුවන් තොටුපළ සක්‍රීය ගුවන් තොටුපළක් බවට පත්කීරීමට සැලසුම් කර ඇති බවයි.
 
 එහෙත්  කොවිඩ් වසංගතය පැතිරීම හේතුවෙන් එම ඉලක්ක වලට යාම අසීරු වූ බව වැඩිදුරටත් පෙන්වා දුන් ඇමතිවරයා මත්තල ගුවන් තොටුපළ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විකල්ප ගුවන් තොටුපළක් ලෙස දියුණු කිරීමට සැලසුම් කර ඇති බවද සඳහන් කළේය .
 
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ මහතා විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය. 
 
මත්තල ගුවන්තොටුපොළ විවෘත කළ දින සිට 2020 නොවැම්බර් මස දක්වා ගුවන් ගමන් වාර ගණන 10,206 ක් ක්‍රියාත්මක වී ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සමාගම් 23 ක් මෙහි ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කර ඇති බවද අනාවරණය කළේය. 
 
එම කාලය තුළ දී (2020 නොවැම්බර් මස දක්වා) මගීන් 58,651 ක් පැමිණ  ඇති අතර  ඉන් පිටව ගොස් ඇති මගීන් සංඛ්‍යාව 73,513ක් බවද ඇමතිවරයා කියා සිටියේය.  
 
මත්තල ගුවන් තොටුපළ තව දුරටත් සංවර්ධනය කිරීම සදහා  තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ කටයුතු නැවත ආරම්භ කිරීමටත්, ගුවන් බඩු පර්යන්තයේ පහසුකම් වැඩි දියුණු කිරීමටත් සැලසුම් කර තිබේ. වාණිජ  ගුවන් යානා ආකර්ෂණීය කර ගැනීම සදහ අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙන අතර MRO අංගනයක් ඇති කිරීමට ද සැලසුම් කර ඇතැයි ඇමතිවරයා මෙහි දී සදහන් කළේය. 
 
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න 

Comments