ජාතික රුක් රෝපණ නැකතට පැළ රෝපණය කෙරේ | සිළුමිණ

ජාතික රුක් රෝපණ නැකතට පැළ රෝපණය කෙරේ

 
 
2021 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට මෙවර අභිනව නැකැත් චාරිත්‍රයක් වශයෙන් ජාතික රුක් රෝපණ නැකතක් ජාතික නැකැත් කමිටුව විසින් ඇතුළත් කර තිබේ.
 
ඒ අනුව අද(16) පෙරවරු 6.40ට යෙදෙන සුබ මොහොතින් නැගෙනහිර දිශාව බලා පැළ රෝපණය කිරීමට නැකැත් කමිටුව විසින් නිර්දේශ කර තිබිණි. ඒ අනුව සෑම ගෙවත්තකම රෝපණය කිරීමේ ප්‍රධාන නිල වැඩසටහන පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අගුණකොළපැලැස්ස නිවසේ දී සිදුවිය. මේ සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (15) පරිසර අමාත්‍යවරයාට සුදු සඳුන් පැළයක් පිරිනමනු ලැබීය.
 
මෙම දුර්ලභ ජාතික රුක් රෝපණ නැකත පරිසර අමාත්‍යවරයාගේ අදහසක් පරිදි "ජාතියට හුස්ම දෙන නැකත" ලෙස නම් කර ඒ යටතේ "නැකතට පැළයක්" යන තේමාව මුල් කර ගනිමින් ප්‍රකාශයට පත් කර තිබිණි. මෙම අවස්ථාවට සමාගාමීව තංගල්ල, ත්‍රිකුණාමලය, කොළඹ හා මහියංගනය යන ප්‍රදේශවල ප්‍රධාන වැඩසටහන් කිහිපයක් පැවැත්විණි.
 
මෙම අවස්ථාවට එක්වෙමින් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.
 
අපේ රටේ පවුල් මිලියන 5.3ක් සිටිනවා. ඒ සියලු දෙනාට ජාති හෝ ආගම් භේදයකින් තොරව මෙම රුක් රෝපණ නැකතට එක්වෙන ලෙස පරිසර අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියා. එමෙන්ම අඩු තරමින් පැළ මිලියන 03ක් වත් 16 දින රෝපණය කිරීමට හැකි වුවහොත් එක් දිනයක, එකම මොහොතක වැඩිම පැළ ප්‍රමාණයක් රෝපණය කළ රට ලෙස අපේ රට ඉතිහාසගත වෙනවා. අපි විශේෂයෙන් අපේක්ෂා නොකළත් ඇතැම් විට මෙම පැළ ප්‍රමාණය අපේ රටේ අද දින රෝපණය කර තිබේ නම් ඒක සමහර විට ලෝක වාර්තාවකුත් විය හැකියි.
 
මින් පෙර කිසිදු රටක එකම දිනෙක, එකම මොහොතක මෙවැනි පැළ රෝපණය කිරීමක් සිදු වී නැති නිසා එය වාර්තාවක්ද විය හැකිව තිබුනා. ඒ වගේම අපි මින් පසු සෑම වසරකම සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පසුව යෙදෙන දිනෙක මෙවැනි රුක්රෝපණ වැඩසටහන් මීටත් වඩා සංවිධානාත්මකව පවත්වනවා. අපි සංවිධානය කළ මෙම කාර්යයට රජයේ මුදල් ශත පහක්වත් වියදම් කළේ නැති බව කියන්න කැමැතියි. පුද්ගලික අංශය තමයි අද මේ සඳහා සියලු දායකත්වය ලබා දුන්නේ.
 
අපේ ඉළක්කය තමයි අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව 2025 වන විට මේ රටේ වන වැස්ම සියයට 30 දක්වා ඉහළ නැංවීම. ඒ නිසා පරිසරය ආරක්ෂා කිරීම අපි හැම දෙනාගේම වගකීමක් යුතුකමක් වෙනවා.
 
විශේෂයෙන් සියලුම මාධ්‍ය ආයතන අපිට නැකතට පැළයක් වැඩ සටහන සඳහා පුළුල් ප්‍රචාරයක් ලබා දුන්නා. ඒ වගේම ඒ සියලු මාධ්‍ය ආයතනවලට මගේ ස්තුතිය පිරිනමන ගමන් ඩයලොග් ආයතනය, INSEE සිමෙන්ති සමාගම, ජාතික රූපවාහිනිය ඇතුලු සියලුම නාලිකා, පුවත්පත් හා ගුවන් විදුලි ආයතන, ඇට්ලස් සමාගම, හෙළකුරු සමාගම , නිපොන් පේන්ට් සමාගම ඇතුළු සියලු දෙනාට මගේ කෘතඥතාවය පල කරනවා.
 
අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා ඇතුළු සියලු අමාත්‍ය මණ්ඩලයම මේ සඳහා අපිට සහයෝගය පල කළා. ඒ වගේම මම හිතනවා පරිසර හානිය ගැන සඳහන් කළ සියලුදෙනා අද නැකතට පැළයක් රෝපණය කිරීමට එක්වෙන්නට ඇති කියා. යැයි ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට අවට ප්‍රදේශයේ ජනතාවද එක්ව සිටි අතර ඒ සියලු දෙනාට අමාත්‍යවරයා විසින් උද්‍යාන භෝග වශයෙන් වගා කළහැකි පලතුරු පැළ පිරිනමනු ලැබීය.

Comments