බුධ නීච­යෙන් මිදී ප්‍රබල ත්‍රිත්ව යෝග­යක | සිළුමිණ

බුධ නීච­යෙන් මිදී ප්‍රබල ත්‍රිත්ව යෝග­යක

 

 

බුධ සෞරග්‍රහ මණ්ඩලයේ ඥානකාරක ග්‍රහයාය. යම් විටෙක බුධ නීච වූ විට පාප පීඩිත වූ විට සතුරු වූ විට මිනිස් වර්ගයා අනුවණ අසෝභන කටයුතු කෙරේ යොමුකර වන්නේය.

 

දුරදිග නොබලා කටයුතු කරන්නේය. කොටින්ම නීච බුධ තම අණසක පතුරුවන්නේ ඉතා අපරික්ෂාකාරි ලෙසිනි. ඒ අනුව එබඳු ක්‍රියා මාර්ගයක ගමන් කළ බුධ 2021 අප්‍රේල් 16 වැනි දින රාත්‍රී 08.58ට සිය සම රාශියක් වන මේෂ රාෂියට පැමිණියේය. එහිදි බුධ ප්‍රබල රාජකාරක රවි හා සෞන්දර්යවාදි සිකුරු සමඟ සංයෝග වෙමින් ප්‍රබල ත්‍රිත්ව යෝගයක් ගොඩනැඟීම මෙහිදී සුවිශේෂි වෙයි.

බුධ සංයෝග වූවේ ප්‍රබල ආලෝක කදම්බ පිටකරන ග්‍රහලොව පියා ලෙස හඳුන්වන රාජ්‍යකාරක රවි හා ඥානකාරක බුධ මෙන්ම සෞම්‍ය ග්‍රහයකු වන සුන්දර ගති ලක්ෂණ ඇති සිකුරු ද සමඟය. මේ එකතුව අපට අපේ රටට ඉතා සුවිශේෂි වන්නේ කුම්බ ලග්න ලංකා කේන්ද්‍රයට අනුව මහපොළොවේ සම්පත් මතු වන මිනිස් සංහතියේ සතුට අභිවෘද්ධිය ඇති කරන තත්ත්වයක් ලෙසිනි. මහ‍ෙපාළොවේ සම්පත් කිව් විට විශේෂයෙන් ජනතාවට තම වාසස්ථාන ඉඩම්වල ස්ථිර හිමිකම ද ගොවි ජනතාවට තම කෘෂි භෝග වලින් උසස් ප්‍රතිලාභ ද ඥානය යොමුකොට කරන වැඩ කටයුතු එනම් මෙතෙක් පැවති රෝගකාරක තත්වයන් නිසා අඩාළවී තිබූ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත ආරම්භ වීම - මිනිසුන් නොමිනිසුන් ලෙස හැසිරුණු තත්ත්වයක් යහපත් පැත්තට පරිවර්තනය වීම හා සෞන්දර්ය කලාව පරිසර යහ පැවැත්ම නිසි මඟකට යොමුවනු ඇත.

සෞන්දර්ය ගැන කතා කරනවිට චිත්‍රපට, රූපවාහිනි, නිර්මාණ වේදිකා නාට්‍ය හා නර්තන කටයුතු නැවත පණ ගැන්වෙන ලකුණු මේ රවි - බුධ - සිකුරු සංයෝගය නිසා ඇති වන්නේමය. රටට හොඳ නිර්මාණශීලී පිරිස් බිහිවනු ඇත. රටට ආදරය කරන දේශපාලන අධිකාරියක් සැකසෙනු ඇත.

ඒ තුළින් මිනිස් ජීවන රටාව යහපත් වී රට සංවර්ධනය කරා යන මං මාවත් විවර වී ස්වයංපෝෂිත රටක් නිර්මාණය විමට මෙම ග්‍රහ ත්‍රිත්වය මුළුමනින්ම බලපානු ඇත.

ජනරජ කේන්ද්‍රය නියෝජනය කරන සිංහ ලග්නයට අනුව ද රවි, බුධ, සිකුරු ග්‍රහ ත්‍රිත්වය 09 වැන්නේ සිදුවන එක්වීමක් ලෙසින් රජයේ කටයුතු කෙරේ දේවාශිර්වාදය ලැබෙන පෙර පිංමහිමයෙන් ඒවා සාර්ථක වන ලකුණු පෙනෙන්නට තිබේ.

රටේ මං මාවත් දියුණු වීම සංවර්ධන ක්‍රමෝපාය නවීකරණය වීම හා කාගේත් ඕන එපාකම් අනුව පොදු එකඟතාවෙන් කෙරෙන ඉදිරියට යාමක් මෙම ග්‍රහ ත්‍රිත්වය තුළින් විද්‍යමාන වන්නේය. ඒ අනුව කාටත් එක ලෙස සතුටු විය හැකි තෘප්තිමත් විය හැකි එකඟ විය හැකි මහජන පවුරක් ඉදිරියේදි අප රට තුළ ගොඩනැ‍ඟෙනු ඇත.

Comments