එජාප ප්‍රබ­ල­ය­කු­ගෙන් නායක රනිල්ට චරිත සහ­ති­ක­යක් | සිළුමිණ

එජාප ප්‍රබ­ල­ය­කු­ගෙන් නායක රනිල්ට චරිත සහ­ති­ක­යක්

සිංහල, දෙමළ අලුත් අවුරුදු අසිරියෙන් පසුගිය සතියේ මුළු රටම වෙළාගත් නිසා දේශපාලන ක්ෂේත්‍රයේ ද බොහෝ දුරට ක්‍රියාත්මක වූයේ ද එම අවුරුදු අසිරිය සමඟයි.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලනඥයන් ද අවුරුද්ද සැමරුවේ වසර 2 කට පසුව අවුරුදු අසිරිය විඳ ගැනීමට අවස්ථාව උදාවූ නිසා ය.

2019 වසරේ අවුරුදු අසිරිය නියමාකාරයෙන් විඳ ගැනීමට නොහැකි වූයේ සහරාන්ගේ අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදුකරන ලද මරාගෙන මැරෙන ප්‍රහාරයන් සමඟය.

2020 වසරේ අප්‍රේල් අවුරුදු අසිරිය විඳගැනීමට නොහැකි වූයේ කොවිඩ් - 19 ලෝක වසංගත තත්ත්වය නිසාය.

එම නිසා කොවිඩ් - 19 මර්දනය කිරීමේ කටයුතු සහ එම රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා මෙරට ගෙන තිබෙන තීරණ අනුව සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් අනුව අවුරුද්ද සැමරීමට අවශ්‍ය වාතාවරණය රජය මඟින් සපයා දී තිබුණි.

අවුරුදු නැකතට චාරිත්‍ර ඉටුකිරීම රටපුරා සිදුවූයේ එකම තැනකට සියලු කටයුතු එකවර සිදුකිරීමේ සුවිශේෂි අවස්ථාව ඇති කරමිනි.

අවුරුද්දේ තිබෙන අපූරුතම චමත්කාර දේ වන්නේ ද එයයි.

මුළු රටම එසේ අවුරුදු සමරන විට පසුගිය 14 වැනිදාට යෙදුණු අවුරුදු නැකත් අනුව චාරිත්‍ර ඉටු කිරීමේ කටයුතුවලට ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයෝ මෙන් ම විපක්ෂයේ ද දේශපාලනඥයෝ සහභාගි වූහ.

ජනපති මිරිහානේ දී අවුරුදු සමරයි

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සිය බිරිය වන අයෝමා රාජපක්ෂ සමඟ එක්ව අලුත් අවුරුද්ද සැමරුවේ මිරිහානේ පැගිරිවත්ත මාවතේ පිහිටි සිය නිවසේදීය.

ළිප ගිනි මෙලවීම, ආහාර අනුභවය ඇතුළු වැඩ ඇල්ලීම සිදු කෙරුණු අතර ජනාධිපතිවරයා විසින් ම තම බිරියට කිරිබත් කෑල්ලක් කවා ආහාර අනුභවය ඇරඹීය.

මිරිහානේ ගෙවත්තේ ජනාධිපතිවරයා හා බිරිය එක්ව පැළයක් සිටුවන ලදී.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු එම පවු‍ලේ සාමාජිකයන් අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට එක්වූයේ තංගල්ලේ පිහිටි කාල්ටන් නිවසේදීය.

ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂගේ උපන් දිනය යෙදී තිබුණේ අප්‍රේල් 10 වැනිදා ය.

රාජපක්ෂ පවුලට අලුත් සාමාජිකයෙක්

 

එම දිනයේදී නාමල්ට සුබපැතුම් ගලාගෙන එන්නට වූයේ සිංහල අවුරුද්දට ද සුබ පැතුම් එක් කරමිනි. මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ද නාමල්ට සුබපැතුම් එක් කළේය.

මේ අතර රාජපක්ෂ පවුලට පැමිණි අලුත් සාමාජිකයෙක් නිසා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා සිටින්නේ දැඩි සතුටකිනි.

අග්‍රාමාත්‍යවරයා වඩාත්ම සතුටු වී සිටින්නේ එම අලුත් සාමාජිකයා දියණියක්වීම නිසා ය.

අගමැතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ දෙවැනි වරට පියෙකු වී සිටින අතර අලුත් සාමාජිකාව සිඟිති දියණියකි.

තමාට පුතුන් තිදෙනෙකුත් රෝහිත බාල පුතාට සහ නාමල් වැඩිමහල් පුතාට පළමු දරුවන් ලෙස පිරිමි දරුවන් ලැබී ඇති අවස්ථාවක රෝහිතගේ දෙවැනි දරුවා දියණියක් වීම ගැන අග්‍රාමාත්‍යවරයා සිටින්නේ සතුටිනි.

තම පවුලට එක්වූ අලුත් මිනිබිරිය අතට ගෙන සුරතල් කරන අග්‍රාමාත්‍යවරයා තම හිතවතුන් සමඟ මිනිබිරිය ගැන කතා කිරීමට ද අමතක නොකරයි.

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා තම බිරිය ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ, වැඩිමහල් පුත් ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ, දෙවැනි පුත් අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ ඇතුළු පවුලේ සාමාජිකයන් සමඟ අලුත් අවුරුද්දේ චාරිත්‍ර ඉටු කරන ලද්දේ තංගල්ලේ කාල්ටන් නිවසේදීය.

කොළ පාට වර්ණය සහිත ඇඳුම්වලින් සැරසී රාජපක්ෂ පවුල නියමිත නැකතට අවුරුදු චාරිත්‍ර සිදුකිරීමට එක්ව සිටියහ.

අවුරුදු දිනයේදී බුලත් දී ආචාරකොට අග්‍රාමාත්‍යවරයාට සුබ පැතිමට තංගල්ල කාල්ටන් නිවසට විශාල පිරිසක් පැමිණ සිටියහ.

මේ අතර ආණ්ඩු පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සුබපැතීම සඳහා තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණියේ අප්‍රේල් 13 වැනිදා ය.

2015 වසරේ සිට තම නායකයාගේ ගෙදරට නෑගම් යාම සඳහා පුරුද්දක් කරගෙන තිබුණේ දකුණු පළාත් සභාවේ ජනතා නියෝජිතයන් සහ දකුණු පළාතේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ය.

2015 වසරේ අප්‍රේල් 13 වැනිදා සිංහල අවුරුද්දට තෑගිබෝග රැගෙන පැමිණි ඔවුන් මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයාට වැඳ නමස්කාර කරමින් සුබ පැතුවේ යළිත් මෙරට බේරාගන්නා ලෙසට කරන ලද ඉල්ලීමත් සමඟය.

එදා එසේ පැමිණි බොහෝ දෙනෙකු මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පත්වී ඇති අතර ඔවුන් පසුගිය 13 වැනිදා තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණියේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමට ය.

අගමැතිතුමා බලන්න මන්ත්‍රීවරුන් නෑගම් ගිය හැටි

 

ආණ්ඩු පක්ෂය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 35 දෙනෙක් පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සම්පත් අතුකෝරාළ, අජිත් රාජපක්ෂ. වීරසුමන වීරසිංහ, කපිල අතුකෝරාළ, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ලලිත් එල්ලාවල, ඉසුරු දොඩංගොඩ, ඩබ්ලිව්. වීරසිංහ, සමන් ප්‍රියලාල්, සහන් ප්‍රදීප්, කෝකිලා ගුණවර්ධන ඇතුළු ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයෝ 35 දෙනෙක් පමණ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයාට සුබ පැතීමට පැමිණ සිටියහ.

මෙම පිරිස සම්බන්ධීකරණය කරමින් නෑගම් යන ගමනට අවශ්‍ය පසුබිම සැකසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ය.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දුරකතනයෙන් කතා කොට පිරිස 13 වැනිදා උදෑසන 10.00 වනවිට තංගල්ල තානායමට එක් රැස්කර ගැනීමට කටයුතු යොදා තිබුණි.

මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තංගල්ල කාල්ටන් නිවසට පැමිණීමට පෙර තංගල්ල තානායමට රැස්වී සිටින බව දැනගත් ක්‍රීඩා හා තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ එම ස්ථානයට ගියේය.

එම මන්ත්‍රීවරුන් සමඟ සුහද ලෙස කතාබස් කරමින් නාමල් සිටි අතර එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේ පැන් සංග්‍රහයකින් ද සප්පායම් වූහ.

මෙහිදී ආගිය තොරතුරු කතාබස් කරන අතරතුර මන්ත්‍රීවරයෙක් නාමල් රාජපක්ෂගෙන් විමසා සිටියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අජිත් රාජපක්ෂ පිළිබඳවයි.

“අජිත් අයියා මෙහේ තියෙන හැම ඉස්කෝලෙකටම ගිහිල්ලා තියෙනවා. හුංගමට ගියොත් හුංගම ඉස්කෝලෙට ගිහිල්ලා. හාතාගලට ගියොත් හාතාගල පිරිවෙනටත් ගිහිල්ලා. මූලනට හෝ අගුණකොළපැලැස්සට ගියොත් එහෙත් ඉස්කෝලේ ගිහිල්ලා” යනුවෙන් නාමල් කියපු කතාවට සියල්ලෝම සිනහසුණහ.

 

කාල්ටන් අවුරුදු උත්සවයේදී සෙල්ලම් කාර්, සෙල්ලම් අශ්වයන්

 

අප්‍රේල් 13 වැනිදා පෙරවරු 11‍.00 ට පමණ කැවුම්, කොකිස්, ආස්මී ඇතුළු රස කැවිලි කඳ මලු බැඳගෙන මේ පිරිස තංගල්ලේ කාල්ටන් නිවසට පැමිණ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවී වැඳ නමස්කාර කර සුබපැතුම් එක් කළහ.

“දැන් දවල් වෙලා කට්ටිය දවල්ට කෑම කාලම යන්න ඕන” යනුවෙන් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

“සර්, උදේට කෑවේත් දැන් ටිකකට කලින්. ඒක නිසා දැන්ම දවල්ට කන්න බැහැ. අපි තේ එකක් බොමු” යනුවෙන් මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළ අතර ඉන් අනතුරුව මන්ත්‍රීවරුන්ට කැවිලි මේසය විවෘත විය.

රටේ වත්මන් තත්ත්වය සහ දේශපාලන කටයුතු සම්බන්ධයෙන් ද මෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අග්‍රාමාත්‍යවරයා සමඟ කතාබස් කළහ.

2015 වසරේ අප්‍රේල් 13 තංගල්ල කාල්ටන් නිවසේ පැවැත්වුණු අවුරුදු උත්සවයක් ගැන ද මෙහිදී කතා බස් කෙරුණි.

“එදා අවුරුදු උත්සවය සර්ට මතක ඇති. තරගවලින් දිනපු කට්ටියට දුන්නේ සෙල්ලම් කාර්, සෙල්ලම් හෙලිකොප්ටර්, සෙල්ලම් අශ්වයන්” යනුවෙන් අතීතයේ පැවැති අවුරුදු උත්සවය මතක් කළේ සම්පත් අතුකෝරාළ විසිනි.

“එදා යහපාලන ආණ්ඩුව රාජපක්ෂවරුන්ට මඩ ගැහුවේ රත්තරන් අශ්වයන්, හෙලිකොප්ටර්, ලැම්බෝ ගිනි ගැන කියලයි. ඒක නිසා ඒ බොරු චෝදනා සංකේතවත් කරමින් තමයි එදා අවුරුදු උත්සවයේදී සෙල්ලම් කාර්, සෙල්ලම් හෙලිකොප්ටර්, සෙල්ලම් අශ්වයන් බෙදුවේ” යනුවෙන් ඊට පිළිතුරු ලබාදෙමින් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ ය.

සජිත් - ජලනි යුවළ කතරගම

 

ඒ කතාවලට මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අනෙකුත් පිරිසට හොඳටම සිනා ගියහ.

ජානක වත්කුඹුර, සුසිල් ප්‍රේමජයන්ත, ලොහාන් රත්වත්තේ යන රාජ්‍ය අමාත්‍යවරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂයේ නායක සුගත් හේවාපතිරණ සිය පවුලම සමඟ පැමිණ අග්‍රාමාත්‍යවරයාට සුබ පැතිය.

සමඟි ජනබල වේගයේ සහ එක්සත් ජාතික පක්ෂයේ සිටි පිරිස් ක්‍රමයෙන් දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය වටා එක්වෙමින් සිටින බව සුගත් හේවාපතිරණ මෙහිදී කියා සිටියේය.

අවුරුද්ද උදාවන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හිටියේ කතරගමයි. සජිත් බිරිය ජලනි සමඟ කතරගම කිරි වෙහෙර වැද පුදා ගැනීමට පැමිණ සිටියහ.

ඉන්පසුව කතරගම මහා දේවාලයට පැමිණ වැද පුදා ගැනීමට සජිත් යුවළ කටයුතු කළහ‍.

ඉන් අනතුරුව පවුල් 750 ක් වෙනුවෙන් සහල් සහ වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීම ද සිදුවූයේ සජිත් අතිනි.

ඒ වගේම අවුරුදු දිනයේ තවත් කටයුත්තක් සිදුකිරීමට සජිත් අමතක නොකළේය.

තම මිත්‍රයෙකු මෙන් ම තම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ දැනට අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ සිරදඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීමට සජිත් කටයුතු කර තිබුණි.

“සර් සමහරුන් කියනවා , රන්ජන් ඇතුළට යනකම්ම සමගි ජනබලවේගය බලාගෙන හිටියා කියලා.” යනුවෙන් සජිත්ට පැවසුවේ සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ අශෝක් අබේසිංහය.

 

රන්ජන් වෙනුවෙන් දිගටම අරගල

 

“එහෙම විතරක් නෙවි‍. යූ.ඇන්.පී. එකේ සමහරුත් ඒ කතාවම කියලා තිබුණා.” යනුවෙන් මුජිබර් රහුමාන් සිහිපත් කළේය.

“තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇස්වල තිබෙන රොඩ්ඩ හොයනවා කියන්නේ ඒකටයි” යනුවෙන් මුජිබර්ට පිළිතුරු ලබාදුන්නේ සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාරයි.

“නායකතුමා රන්ජන් වෙනුවෙන් පාර්ලිමේන්තුවේත් ඉන් පිටදීත් මොනතරම් අරගල කළා ද? පක්ෂය හැටියට මොනතරම් සටන් කළාද? මේවා නොදන්න කුහකයො මිසක් මනසක් තියෙන කවුරුත් ඔය වගේ කතා කියන්නේ නැහැ.” යනුවෙන් ප්‍රතිචාර දැක්වූයේ සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ය.

සරත් ෆොන්සේකාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන්ද මෙහිදී කතා බහක් ඇති විය.

“ෆොන්සේකා මහතාගේ මන්ත්‍රී ධුරය ගලවනවිට එදා විපක්ෂ නායකයෝ මොනවද කළේ. ඒ අය අද මැරිල ඉපදිලා වගේ කතා කරනවා. මොන පණ්ඩිතකම් ගැන කතා කළත් තවම එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පුරවන්නවත් ඒ අයට බැරි වුණානේ.” යනුවෙන් පැවසූයේ තරුණ කමිටු රැස්වීමට පැමිණ සිටි රොහාන් ජයවික්‍රමයි.

රනිල් අවුරුද්දට  කොළඹින් පිට

 

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙවර අවුරුද්ද සැමරුවේ කොළඹින් පිටතදීය.

රනිල්, සිය බිරිය මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ සමඟ මාතලේ හා බෙරගල ප්‍රදේශවල සංචාරයක නිරතවූහ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පාලන සමයේදී මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළේ එජාප ප්‍රබලයකු වන ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වූ රොනී ද මැල් ය.

රොනී ද මැල්ගේ 96 වැනි ජන්ම දිනය යෙදී තිබුණේ අප්‍රියෙල් 11 වැනිදාට ය. රොනීගේ කොළඹ පිහිටි නිවසේ මේ වෙනුවෙන් කුඩා සාදයක් සංවිධානය කර තිබූ අතර ඒ සඳහා 77 ආණ්ඩුවේ රොනීගේ සමීපතමයෙකු වන රනිල් වික්‍රමසිංහට ද ආරාධනා කිරීමට ‍රොනී අමතක නොකළේ ය.

එදින පෙරවරුවේ යෙදී තිබුණු මෙම උත්සවයට රනිල් එක්වූයේ සිය පැරැණි මිතුරාට සුබ පැතීමට ය.

රොනී රනිල්ගෙන් ඉල්ලීමක් කරයි

 

ටික වේලාවක් රොනී සමඟ කතාබස් කර රොනීට සුබ පැතීමෙන් අනතුරුව ආපසු යාමට රනිල් සූදානම් විය. රනිල් සමුදීමට නැගී සිටින විටම රොනී කළේ රනිල්ගේ අත තදින් අල්ලා ගැනීමය. “දැන්ම යන්න බැහැ. උත්සවයේ ඔබතුමාටත් කතාවක් තිබෙනවා යනුවෙන් රොනී කළ ඉල්ලීමට රනිල් එකඟ විය.

1977 5/6 ක බලයක් තිබුණු එජාප ආණ්ඩුවේ රසවත් සිදුවීම් ගැන ද මෙහිදී කතාබස් විය.

මඳක් අසනීප තත්ත්වයෙන් පසු වුව ද වර්තමාන ආර්ථික හා දේශපාලන තත්ත්වය ගැන ද එම දෙපළ කතාබස් කළේ එම කරුණු ගැන රොනී නිතරම යාවත්කාලීන වන නිසා ය.

“මම රනිල් දන්නේ 1977 ටත් කලින් ඉඳලයි. මේ වගේ ‍පරිනත දේශපාලනඥයෙක් අද දේශපාලනයේ නැහැ‍.

මොන අඩුපාඩු තිබුණත් අපි 77 කරපු විප්ලවය තාමත් කාටවත් කරන්න බැරි වුණා. එදා හිටපු කණ්ඩායමේ ගාමිණීට, ලලිත්ට පස්සේ හිටපු හොඳම වැඩකාරයා රනිල්. ඒ නිසා මේ රට ගොඩගන්න පුළුවන් නායකයා රනිල් බව අමතක කරන්න එපා. ඔබතුමත් ඒක මතක තබාගෙන වැඩ කරන්න.” යනුවෙන් රොනී ද මැල් ප්‍රකාශ කළේ 1977 ආණ්ඩුවේ සංවර්ධන කටයුතුවලට රනිල් දායක වූ ආකාරය ද සිහිපත් කරමිනි.

උපන් දින කේක් කැපීමෙන් අනතුරුව රොනී ද මැල් ගේ වෙබ් අඩවිය එළිදැක්වූයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනි.

Comments