පටුන ගම් සොඳයි දොළු­කන්ද දෑලේ පලවැල තිබෙයි එම කන්දේ හිමාලේ | සිළුමිණ

පටුන ගම් සොඳයි දොළු­කන්ද දෑලේ පලවැල තිබෙයි එම කන්දේ හිමාලේ

 

 

ළා හිරු රැසින් නිදි ගැට කඩා අවදි වූ ගොයම් පැළ හමනා සුළඟින් ඒ මේ අත වැනෙමින් එකිනෙකාට මොන මොනවාදෝ මුමුනයි. සිහින් ජල දහරාව ඉඩෝරයට ඉඩ නොදෙමින් පැළ අතරින් ගලා බසිමින් තමාට පැවරුණු රාජකාරිය ඉටු කරයි. නිල්ල පිරුණු කෙත් යායට එපිටින් පිහිටි දිගැටි කන්ද නිදා සිටින යෝධයකු වැන්න.

 

ඉතිහාසය වෙළාගත් මහා ජනප්‍රවාදයක් වන රාම රාවණ යුද්ධයේදී හනුමන්තා ගෙන ආ කඳු කොටස වැටුණු බවට විශ්වාස කරන ස්ථාන අතරින් දොළුකන්ද එක් ස්ථානයකි. කුවේණිය හා සබැඳි ජනප්‍රවාද නිසාත් දොළුකන්ද ජනප්‍රවාදවලට තෝතැන්නකි. ඖෂධ වනයක් ලෙසින් නම් දරා ඇති නිසාම බුද්ධදාස රජු මෙම ඔසු උයනට අස් රියෙන් පැමිණ දෝලාවකින් කන්ද මතට පැමිණි බව තවත් මතයකි. ඔසු වනයක ඇවිදිනු රිසියෙන් පාන්දරම පැමිණි අපි උදෑසන අටේ කණිසම වදින විට දොළුව ගමට ළඟා වුණෙමු.

බොහෝ දෙනා කන්ද තරණයට භාවිත කරනා පන්සල පිහිටි මාර්ගය වෙනුවට කන්දට දකුණු දෙසින් පිහිටි මාර්ගය අප තෝරා ගත්තේ එය වඩාත් සුන්දර බවට අසා තිබූ බැවිනි. කඳු පාමුල තිබූ නිවෙසක් අසල අපගේ යතුරුපැදි නවතා දැමූ අපි කන්ද දෙසට පිය මනින්නට විය. ඒ මාර්ගය අතහැර දැමූ මාර්ගයක් බවට සනාථ කරන සලකුණු එමටය. පඩි පෙළකින් සමන්විත මාර්ගයේ මුල් කොටස තණකොළ වසා පැතිර තිබුණි.

පටුන ගම් සොඳයි දොළුකන්ද දෑලේ

පලවැල තිබෙයි එම කන්දේ හිමාලේ

ගල් වැඩ සොඳයි රජ දුටුගැමුණු තාලේ

මුහුද පෙනෙයි දොළුකන්දට වයිතාලේ

අපේ කණ්ඩායමේ සමාජිකයෙක් සෙමෙන් කවියක් මුමුනයි. එය අපට දැනෙන සුළු විඩාව වුවද අමතක කරලයි. වන වැස්මද ඊට අඩු වැඩි සපයයි. ගල් අතරින් සැකසුණු මාර්ගයේ ක්‍රමයෙන් අපි ඉහළට ගමන් කෙරුවෙමු. විනාඩි කිහිපයක ගමනකින් පසුව අපට කුඩා ගල් පොත්තකට ළඟා වීමට හැකි විය. කුවේණිය හිස ගසා ගත් ලේගල එය බවට සමහරු විශ්වාස කරති. ඇතැමුන්ට එය බැලුම්ගලකි. ඈතට දිව යන තැන්නත් ඒ අතරින් නැඟී සිටින කඳුත් දෙස වශීකෘත දෑසින් මම බලා සිටින්නට වූයෙමි. එබිම, අපිළිවෙළට බිම එළූ හරිත වර්ණ සළුවකි. අම්බොක්ක, සැලගම කුඩා ලෝකාන්තය, නැව්ගල හඳුනාගන්නට වෙර දරමින් සිටියෙමි.

වන සුවඳින් මන් මත්ව සිටින විට කාලය පැන යන්නේ අශ්වයකු පරිද්දෙනි. අපට නොදැනුවත්ව ගෙවී ගිය කාලය ඉතිරි කරනු වස් අප නැවත වේගයෙන් ගමන් කරන්නට ඉටා ගත්තෙමු. ගල් තලාව මත දිගැටි හැඩයෙන් වූ පොකුණ අපගේ ඊළඟ නැවතුමය. ගමන් වෙහෙස දුරු කරනු පිණිස සිහිල් ජලයෙන් මුහුණ දොවා ගත්තෙමි. නියං සමයකදී වුවද නොසිඳෙන ඒ කුඩා පොකුණු අනාදිමත් කාලෙක සිට අපගේ පැරැන්නන්ට කොපමණ සේවයක් සලසන්නට ඇත්දැයි සිතේ.

ඉතිහාසයක් ගොඩනැඟු බිමකට අප අවතීර්ණ වූයේ ඉන් පසුවය. ප්‍රාදේශීය පාලකයකුට සෙවණ දුන් ස්ථානයක් බවට විශ්වාස කරන මාළිගාතැන්නෙහි තැන තැන විසිරී ගිය ගල් කණුය. ජන මතය අනුව රජ මාළිගයක් එහි තිබෙන්නට ඇතැයි අපට අනුමාන කළ හැකි විය. ඒ ජනමතයට බුද්ධදාස රජතුමා කන්ද තරණය කර මෙහි මොහොතක් සිටින්නට ඇති බවට ජන මතය ගළපන්නට මට සිතේ. ඔසු පැළ හැරුණු විට මොන තරම් ජාතික සම්පත් මේ කඳු වැටිය තුළ වේදැයි හැඟී ගියේ එහා මෙහා සක්මන් කරන විටය. තැන තැන වූ වළවල් සබරගමුවේ පතල් මෙනි. අපේ රටේ දේශීයත්වයේ සලකුණ බඳු මෙවන් නටබුන් නිදන් හොරුන් විනාශ කිරීම කොපමණ අපරාඳයක් ද මා සිත ප්‍රශ්නයට නඟයි.

ක්‍රමයෙන් අම්බනගල වෙත ළඟා වෙමින් එහි සිට ද අවට දර්ශන නැරඹීමට අපි අමතක නොකළෙමු. දොළුකන්ද ආරණ්‍ය සේනාසනය ද කුරුණෑගල සහ වාරියපොළ අවට විශාල ප්‍රදේශයක් ඒ මත සිට නැරඹිය හැකිය.

රාස්ස මුහුණතත් ඒ ප්‍රදේශයේ වූ ගරා වැටුණු දාගැබක් යැයි අනුමාන කළ හැකි ගොඩැල්ලත් සුළං කපොල්ලත් පරිසරයට බද්ධ වූ ජන සමාජයක අතීත මෙන්ම වරතමාන මිනිස් ක්‍රියාකාරකම් පෙන්නුම් කරයි. මිනිසුන්ගේ කෙලෙස් බලයට වනයත් පුරාවස්තුත් වන්දි ගෙවමින් සිටින බව පසක් වන සාක්ෂි බොහෝය. අපි ඒ දෙස සුසුම් හෙළමින් බලා සිටියෙමු.

ඡායාරූප - ප්‍රසාද් ශ්‍රීමාල්

Comments