ගම්මි­රිස් වගාවට රජයෙන් සහන රැසක් | සිළුමිණ

ගම්මි­රිස් වගාවට රජයෙන් සහන රැසක්

හාර පිළියෙල කිරීමේදී බහුලවම භාවිතා වන කුළුබඩු වර්ගයක් වන ගම්මිරිස් “කුළුබඩු වල රජ” ලෙසද හැඳින්වේ. එහෙත් මේ වන විට වෙළෙඳපොළ තුළ ගම්මිරිස් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර මේ වන විට දේශීය වෙළෙදපොළේ ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 600/-ත් 550/- ත් පමණ වේ. එලෙස ගම්මිරිස් මිල පහළ යාම නිසා ඉතා වෙහෙසී සිය වගා කරගෙන ගිය වගාකරුවන් දැඩි පීඩාවට පත්ව ඇති අතර ගොවින් පෙන්වා දෙන්නේ, වසර දෙකක පමණ කාලයක සිට ගම්මිරිස් මිල පවතින්නේ මෙවැනි පහළ අගයක බවයි. සිය ඵලදාව සඳහා නිසි මිලක් නොලැබීමෙන් ගම්මිරිස් අස්වැන්න නෙළීමට අවශ්‍ය ශ්‍රමිකයන් සොයා ගැනීමට අපහසු වී ඇති බවද ඔවුන් පෙන්වා දෙයි. ඒ හේතුවෙන් මෙරට ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය ගම්මිරිස් පමණක් නොව මෙරටින් විදේශ රටවලට අපනයනය කරනු ලබන ගම්මිරිස් ප්‍රමාණය ද සැලකිය යුතු ප්‍රතිශතයකින් අඩු වී තිබේ.

ගම්මිරිස් ප්‍රධාන වශයෙන් ආහාර කර්මාන්තයේ දී කුළුබඩුවක් සහ රසකාරකයක් ලෙස භාවිත කරන අතර ඖෂධ නිපදවීමට මෙන්ම සුවඳ විලවුන් නිපදවීම සඳහාද ඒවා යොදා ගැනේ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගම්මිරිස් වගා කරනු ලබන්නේ පහතරට හා මැදරට තෙත් සහ අතරමැදි කෘෂි දේශගුණික කලාපවල වන අතර මාතලේ, මහනුවර, කෑගල්ල, බදුල්ල, රත්නපුර, මොනරාගල සහ කුරුණෑගල ගම්මිරිස් වගා කරන ප්‍රධාන දිස්ත්‍රික්ක වේ.

සමස්තයක් ලෙස හෙක්ටයාර 42,989 ක භූමි ප්‍රමාණයක මෙරට සිදු කරන ගම්මිරිස් වගාව පැතිරී ඇත.

ගම්මිරිස් වගාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් දක්වන නාරම්මල අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කර ඇති අතුරු වගා හා සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ පර්යේෂණ ආචාර්ය එච්. එම්. පී. ආනන්ද සුබසිංහ සඳහන් කර සිටියේ ගම්මිරිස් අස්වැන්න අඩුවීමට ප්‍රධාන සාධකයක් වී ඇත්තේ කාලගුණික සාධක බවයි.

මෙම කාලගුණික සාධක හේතුවෙන් ඇතැම් වර්ෂවල මෙරට ගොවීන්ගේ ගම්මිරිස් අස්වැන්න අඩු වී ඇති බවද පැහැදිලි කළ ඔහු සාමාන්‍ය තත්ත්ව යටතේ වසරකට ගම්මිරිස් මෙට්‍රික් ටොන් 25,000 ක් පමණ මෙරටින් විදේශ රටවලට අපනයනය කළත් පසුගිය 2020 වසරේදී අපනයනය කළ ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 9,000ක් පමණක් බවද සඳහන් කළේය.

මේ වසරේ ගතවූ මාස තුන තුළදී පමණක් ගම්මිරිස් මෙට්‍රික් ටොන් 3000ක් පමණ විදේශ රටවලට අපනයනය කිරීමට අප රටට හැකි වී ඇති බවද පසුගිය වසර වලට සාපේක්ෂව මේ වසරේදී ඉහළ ගම්මිරිස් අස්වැන්නක් බලාපොරොත්තු විය හැකි බවද සුබසිංහ පැහැදිලි කළේය.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ද පෞද්ගලිකවම මෙරට ගම්මිරිස් ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බලමින් ගම්මිරිස් වගාව හා නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු ආකාරය පිළිබදව සොයා බැලූ අතර ගම්මිරිස් ආනයනය සම්පූර්ණයෙන් නතර කර දැමීමටද පියවර ගන්නා ලදී.

එමෙන්ම ඒ වන විට පහතටම වැටී තිබුණු ගම්මිරිස් මිල ඉහළ නැංවීමට අවශ්‍ය සැලසුම් සකස් කර, ඉදිරි දෙවසර තුළ ඒ සඳහා ඉහළ මිලක් ලබාගැනීම ඉලක්ක කරගත යුතු බව නිලධාරීන්ට උපදෙස් ද ලබා දුන්නේය. වියළීම, විෂබීජ හරණය, දිස්ත්‍රික් මට්ටමින් සැකසුම් මධ්‍යස්ථාන ස්ථාපනය කර ගම්මිරිස් සඳහා ඉහළ අගයක් එකතු කළ හැකි පරිදි සකස් කිරීම සඳහා අවශ්‍ය පියවර කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රමුඛ ආයතන එක්ව සැලසුම් කරන්නැයි වගකිවයුතු නිලධාරීන් වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා අවශ්‍ය යන්ත්‍රෝපකරණ සඳහා මිලදී ගැනීමට ප්‍රතිපාදනද වෙන් කර දෙන ලදී.

ගම්මිරිස් වගාව මෙරට තුළ දියුණු කිරීම සඳහා ගන්නා උත්සාහය තුළ ප්‍රධාන උපායමාර්ගය විය යුත්තේ අගය එකතු කළ නිෂ්පාදන ලෙස ගම්මිරිස් ලෝක වෙළෙඳපොළට සැපයීම බවද ජනාධිපතිතුමාගේ ස්ථාවරය විය.

මේ වන විට ලෝක ජනතාවට අවශ්‍ය ගම්මිරිස් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 350,000 ක් බව ගණන් බලා ඇත. එම අවශ්‍යතාව සපුරාලීම සඳහා ගම්මිරිස් නිෂ්පාදනය ජයටම සිදු කරනු ලබන්නේ වියට්නාමයයි.

ඒ අනුව ලෝක ජනතාව පරිභෝජනය කරනු ලබන ගම්මිරිස් ප්‍රමාණය අතරින් 65% ක්ම නිෂ්පාදනය කරනු ලබන්නේ වියට්නාමයයි.

ගම්මිරිස් වගාවේ හා නිෂ්පාදනයේ වර්තමාන තත්ත්වය පිළිබදව වැඩිදුරටත් සිළුමිණ සමඟ අදහස් දැක්වූ අතුරු බෝග සහ බුලත් පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ එච්. එම්. පී.ආනන්ද සුබසිංහ ප්‍රකාශ කර සිටියේ මෙරට ගම්මිරිස් අස්වැන්නෙහි ඵලදායීතාව වැඩි කිරීම සඳහා පියවර රාශියක් ගෙන ඇති බවයි.

අස්වැන්න වැඩි වන විට විකුණුම් මිල අඩු වීම සාමාන්‍ය තත්ත්වයක් වන බවද ප්‍රකාශ කළ ඔහු සාමාන්‍යයෙන් ගම්මිරිස් එක් කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රු.250/--ක පමණ මුදලක් වැය වන බවද ගම්මිරිස් වගා කරන ගොවීන්ට සාධාරණ මිලක් ලබා දීම සඳහා යුරෝපය හා ජපානය වැනි රටවල් ඉලක්ක කර ගනිමින් අපනයනය කිරීම තුළ ඉහළ විදේශ විනිමය ආදායමක් ඉපැයිය හැකි බවද සඳහන් කළේය.

මේ වන විට මෙරට නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස් අස්වැන්න වැඩිපුරම අපනයනය කෙරෙන්නේ ඉන්දියාව, ඇමරිකාව, කැනඩාව හා ජපානය යන රටවලට බවද ඔහු ප්‍රකාශ කළේය.

මේ වන විට මෙරට තුළ ගම්මිරිස් වගාවේ නිරත වී සිටින පිරිස ලක්ෂ තුනක් පමණ වේ.

එලෙස ගම්මිරිස් වගා කරන ගොවීන් සිය ඵලදාව සරු අස්වැන්නක් බවට පත් කර ගැනීම සඳහා කෘෂිකර්ම බලධාරීන් ලබා දෙන උපදෙස් අනුව කටයුතු කිරීම ඉතා වැදගත් වන බව සුබසිංහගේ අදහසයි.

එම උපදෙස් අනුව ගම්මිරිස් වගාව සිදුවන්නේ නම් හොඳම ප්‍රමිතියෙන් යුත් අස්වැන්නක් ලබා ගත හැකිවන අතර දැනට ලැබෙන අස්වැන්නට වඩා වැඩි අස්වැන්නක් ලබා ගැනීමටද එමඟින් හැකියාව ලැබේ.

මේ වන විට ගම්මිරිස් වගාව ව්‍යාප්ත කිරීම සඳහා මෙන්ම එම වගාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා රජය විසින් නව වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර එහි එක් වැඩසටහනක් ලෙස වගා කිරීමට අවශ්‍ය ගම්මිරිස් පැළ නොමිලයේ ලබා දීමද සිදු කෙරේ.

ඊට අමතරව වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා එම ගොවි ජනතාව දැනුම්වත් කිරීමට මෙන්ම දිරි ගැන්වීමටද කටයුතු යොදා ඇති අතර ගම්මිරිස් ඵලදාව නෙළීමට අවශ්‍ය නව තාක්ෂණයන්ද හඳුන්වා දී තිබේ.

ඊටත් අමතරව ගොවීන්ගේ අස්වැන්න සාධාරණ මිල ගණන් අනුව මිලදී ගැනීමටද මුදල් ආධාර අවශ්‍ය ගොවීන් හඳුනා ගනිමින් ඔවුන්ට අවශ්‍ය මූල්‍ය ආධාර ලබා දීමටද පියවර ගෙන තිබේ.

Comments