අභි­මා­න­වත් දොළො­ස්වසර සපු­රන මානු­ෂීය මෙහෙ­යුම | සිළුමිණ

අභි­මා­න­වත් දොළො­ස්වසර සපු­රන මානු­ෂීය මෙහෙ­යුම

 

දිනය - 1975 වසරේ ජූලි 26 වැනිදාය.

ස්ථානය - යාපනය

පොන්නාලෙයි කෝවිල

වේලාව - දහවල් 12.00ට ආසන්නය

තරුණයන් සිවුදෙනකු කෝවිලේ ගල් පඩිය මත අසුන්ගෙන උසුළු විසුළු කරමින් සිටියහ. කිසිවකුගේ අවධානය ඒ කෙරෙහි යොමු වූයේ නැත. තරමක් වේගයෙන් පැමිණි මෝටර් රථයක් කෝවිල අසල නැවැත්වූයේය. බටහිර ඇඳුමින් සැරසුණු තිදෙනෙක් එයින් බැස ගත්හ. ඒ එක් අයෙක් කවුරුත් දන්නා හඳුනන යාපනය නගරාධිපතිවරයා වූ ඇල්ෆ්‍රඩ් දොරේ අප්පාය. සෙසු දෙදෙනා ඔහුගේ මිතුරන් වූ යෝගනාදන් හා රාජරත්නම්ය.

මෝටර් රථයෙන් බැස ගත වූයේ තත්ත්පර කිහිපයකි. එක්වරම පසෙක තිබූ මල්ලෙන් එළියට ගත් තුවක්කුව අතැතිව තරුණයෝ නගරාධිපතිවරයා වෙත දිවූහ. තුවක්කුව නගරාධිපතිවරයාට මානමින් පැමිණෙනු දුටු රාජරත්නම් පැන දිව්වේය. යෝගනාදන් අසල තිබූ කඩයකට දිව ගිය අතර තරුණයන් දොරේ අප්පාට වෙඩි තබා ඔහු පැමිණි මෝටර් රථයෙන්ම පලා යන්නට විය.

මෙරට තිස් අවුරුද්දක් යුද ශාපයෙන් වෙළාගත් කුරිරු යුද්ධයේ ප්‍රධාන ආරම්භය එය විය. එදා දොරේ අප්පාට වෙඩි තබා ඝාතනය කළේ දෙමළ නව කොටි (ටීඑන්ටී) සංවිධානයේ ප්‍රබලයන් වූ වේලුපිල්ලේ ප්‍රභාකරන්, කලාපති, පද්මරාජා, හා සෙට්ටි යන සිවුදෙනාය. එයින් ආරම්භ වූ ප්‍රභාකරන්ගේ ඝාතන රැල්ල වඩාත් උණුසුම් වූයේ 1983 වසරේ යාපනයේ තිරුනෙල්වීදි හිදී ලුතිනන් වාස් ගුණවර්ධන ඇතුළු හමුදාවේ 13 දෙනකු බිම් බෝම්බයකක් අටවා ඝාතනය කිරීම මඟිනි. එයින් ඇති වූ කළු ජූලිය නිසා එල්ටීටීඊය ශක්තිමත් සංවිධානයක් ලෙස නිර්මාණය කරන්නට හැකියාව ලැබුණි. 1983 වන විට 40 දෙනකුගෙන් පමණ සමන්විත වූ සංවිධානය සන්නද්ධ කල්ලියක් ලෙස වර්ධනය කර ගන්නට හැකියාව ලැබුණේ කළු ජූලියෙන් බැට කෑ දෙමළ ජනතාවගේ සහාය ප්‍රභාකරන්ට ලැබුණු නිසාය. එයින් උදම් වූ ප්‍රභාකරන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම ඊළාම් රාජ්‍යය සංකල්පය ජනතාවගේ මනසට කා වැද්දුවේය.

එය නොනවතින අරගලයක් බවට පත් විය. ආරම්භයේදී සාමාජිකයන් සොයා ගැනීම පවා ප්‍රශ්නයක් වුවද අගතියට පත් දෙමළ තරුණයන් සංවිධානයට බැඳීම නිසාත් පසුව තරුණයන් බලහත්කාරයෙන් සංවිධානයට එක් කර ගැනීම නිසාත් එල්ටීටීඊ ත්‍රස්තවාදී කණ්ඩායම මෙරට ක්‍රියාත්මක වන්නට වූ අතර පසුව විදේශීය රටවලත් එල්ටීටීඊ ශාඛා ඇති කළ අතර ගරිල්ලා සටන් ක්‍රමද ඔවුන් පුරුදු පුහුණු වූයේ උතුරු හා නැඟෙනහිර ව්‍යාජ නිජබිම් සංකල්පයක් අරමුණු කරගෙනය.

ඒ වෙනුවෙන් ඔවුන් අවියම භාවිත කළහ. සාම සාකච්ඡා අවස්ථා කිහිපයකදීම පැවැත්වුවද මස් රාත්තලම ඉල්ලන න්‍යාය නිසා ඒ කිසිවක් සාර්ථක වූයේ නැත.

ආරම්භයේදී ආරක්ෂක හමුදා උතුරින් ඉවත් කරන්නට ත්‍රස්තවාදීන් උත්සාහ කළ අතර පසුව ඔවුන් විසින් උතුරු පළාතේ සිංහල ජනතාව පලවා හරින්නටත් සිංහල ගම්මාන පිටින් සමූල ඝාතනය කරන්නටත් විය. විශේෂයෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේ ඩොලර් ෆාම් හා කෙන්ට් ෆාම් ගම්මානවල ජනතාව ඝාතනය කර තිබුණේ කපා කොටා දමමිනි. ඒ 1984 වසරේ නොවැම්බර් මස 30 වැනිදාය. ගම්මාන වට කළ ත්‍රස්තවාදීහු ගම්වාසීන්ගේ අත් ගැටගසා බිම නිදි කරවා ඔවුන්ගේ සිරුරුවලට මුත්‍රා කර යළි නැගිටුවා ඝාතනය කළහ. එය මෙරට සාමාන්‍ය ජනතාවට ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද පළමු ප්‍රහාරයයි.

එතැන් පටන් උතුරු නැඟෙනහිර මායිමේ පිහිටි සිංහල ගම්මානවලට ප්‍රහාර එල්ල කරන්නටත් හමුදා හා පොලිසිවලට ප්‍රහාර එල්ල කරන්නටත් විය. පසුව දකුණේ සිවිල් ජනතාව හා ප්‍රභූවරුන් හා ආර්ථික මර්මස්ථානවලට ප්‍රහාර එල්ල කරන්නටත් ඔවුහු කටයුතු කළහ.

මේ නිසා අසරණ වූයේ සිංහල ජනතාව පමණක් නොවේ. දෙමළ මුස්ලිම් ජනතාවත් දැඩි බියෙන් සැකෙන් යුතු දිවියකට හුරු විය.

‘ඊළාම් රාජ්‍යය‘ සංකල්පයට එකඟ නොවන ඕනෑම අයකු ඝාතනය කරන්නට තරම් කොටි ත්‍රස්තවාදීන් කුරිරු විය. ප්ලොට් සංවිධානයේ නායක උමා මහේෂ්වරන් පවා ඔවුන් විසින් ඝාතනය කරන ලදි. ඒ වැල්ලවත්තේදීය. සියලු ජාතීන් සමඟිව එක්ව දිවි ගෙවිය යුතුයි යන සංකල්පය මත සිටි හිටපු විදේශ ඇමැති ලක්ෂ්මන් කදිරිගාමර් ඝාතනයට ද ඔවුහු කටයුතු කළහ. එසේම අමාත්‍ය ඩග්ලස් දේවානන්දා ඝාතනයකටද කළුතර බන්ධනාගාරයේදී සැලසුමක් තිබුණු බව අනාවරණය වූයේ ඔහු බන්ධනාගාරයේ එල්ටීටීඊ රැඳවියන් බැලීමට ගිය අවස්ථාවකදී කළ පහර දීම් ඔස්සේ කළ පරීක්ෂණයකදීය. එපමණක් නොවේ. සාමාන්‍ය දෙමළ සිවිල් ජනතාව ප්‍රවාහනය කළ ලයන් එයාර් යානයට ප්‍රහාරයක් එල්ල කර එහි ගමන් ගත් සාමාන්‍ය සිවිල් දෙමළ ජාතිකයන් සියලු දෙනාම ඝාතනය කරන්නට තරම් ත්‍රස්තවාදීන් කුරිරු විය. මේ අනුව දෙමළ ජාතික නායකයන් සහ සාමාන්‍ය දෙමළ ජනතාව පවා ඝාතනය කරමින් තමන් පමණක් රජ වීමේ සංකල්පයක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් අනුගමනය කළ බව පැහැදිලිය.

කාත්තාන්කුඩි මුස්ලිම් දේවස්ථානයක යාඥා කරමින් සිටි මුස්ලිම් ජාතික භක්තිකයන් 108 දෙනකු පල්ලිය තුළදීම වෙඩි තබා ඝාතනය කරන ලද්දේද මේ ම්ලේච්ඡත්වයේ තවත් අවස්ථාවක් පෙන්නුම් කරමිනි. මීට අමතරව පල්ලිය ගොඩැල්ල, පොළොන්නරුවේ පුදුර් - මුස්ලිම්ගම මෙන්ම මන්නාරමේ නානාට්ටාන් ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට ත්‍රස්තවාදීන් පහර දුන්නේ වරක් දෙවරක් නොවේ.

සාමාන්‍ය සිංහල ජනතාව ඉලක්ක කර ගනිමින් ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද ඝාතන මෙන්ම බෝම්බ ප්‍රහාරද සංඛ්‍යාත්මකව අතිවිශාලය.

පිටකොටුවේ බෝම්බයත්, මරදානේ බෝම්බයත් ඒ අතර මුල් තැනක් ගනී. ඊට අමතරව රටේ තවත් ස්ථාන රැසක සිදු වූ බෝම්බ පිපිරීමේ මෙන්ම බස් රථවල හා දුම්රියවල පුපුරවන ලද බෝම්බ සංඛ්‍යාවද සුළු පටු නොවේ. මේ අතුරින් යාල්දේවි දුම්රිය කොකාවිල්හිදී පුපුරවා හැරීම මෙන්ම තවත් අවස්ථාවකදී බෝම්බ අටවා වේයන්ගොඩදී දුම්රිය මැදිරියක් පුපුරුවා හැරීම සිදුවීම් දෙකක් පමණකි.

එසේම කැබිතිගොල්ලෑවේ බස් බෝම්බය මෙන්ම කන්තලේ සේරුවිල මාර්ගයේ සේරුවිල සිටි කොළඹ බලා පැමිණි අංගොඩ ඩිපෝවේ බස් රථයක් ඉලක්ක කර බිම් බෝම්බයක් තැබීම නිසා මඟීන් 50කට ආසන්න සංඛ්‍යාවකට දිවි අහිමි විය.

මීට අමතරව සිදු කරන ලද බෝම්බ පිපිරවීම් සංඛ්‍යාව අතිවිශාලය. මේ සියල්ලෙන්ම සිදු වූයේ ජනතාව දැඩි අසීරුතාවන්ට පත් වීම මෙන්ම ජනතාවට තම ඥාතීන් අහිමි වීමය.

රටේ ආර්ථිකයට ඔවුන් විසින් එල්ල කරන ලද ප්‍රහාරද සුළු පටු නොවේ. එයින් මුල් තැනක් ගෙන සැලකිය හැකි ස්ථාන දෙකක් වන්නේ මහ බැංකුවට එල්ල කරන ලද ප්‍රහාරය සහ කටුනායක ගුවන් තොටුපළට එල්ල කරන ලද ප්‍රහාරයයි. මීට අමතරව කොලොන්නාව හා ඔරුගොඩවත්ත තෙල් ටැංකි සංකීර්ණ ඉලක්ක කර එල්ල කරන ලද ප්‍රහාර නිසා මෙරට ආර්ථිකයට දැඩි ලෙසින් කඩා වැටෙන්නට විය. ජාතික ආරක්ෂක බද්දක් ජනතාව පිට වැටුණේ මේ තත්ත්වය නිසාය.

කන්තලේ වැව් බැම්ම පුපුරා හැරීම නිසා අසීරුතාවට පත් වූයේ ද සිංහල දෙමළ මුස්ලිම් යන සියලු ජනතාවය.

සිංහල බෞද්ධයන්ගේ මුඳුන් මල් කඩක් සේ සලකන දළදා වහන්සේ වැඩ සිටින දළදා මාලිගාවට එල්ල කරන ලද ප්‍රහාරය සහ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස සිල් සමාදන් වූ උවසු උවැසියන්ට වෙඩි ප්‍රහාර එල්ල කර ඔවුන් ඝාතනය කිරීමෙන් ත්‍රස්තවාදීන් පෙන්නුම් කෙළේ ඔවුන්ගේ ම්ලේච්ඡත්වයයි.

සිංහල ජනතාව පදිංචිව සිටි ගම්මාන වෙත රාත්‍රියේ ගොස් ඔවුන් කපා කොටා මරා දැමීමේ තිරස්චීන ක්‍රියාදාමයේ ගොදුරු බවට පත් වූ ගම්මාන අතර ඒ අතුරින් අම්පාර ගෝනගල ගමට එල්ල කරන ලද ප්‍රහාරයත් පොළොන්නරුව කඩවත්මඩුව හා දම්මින්න ගම්වලට එල්ල කළ ප්‍රහාරත් මොනරාගල නියදැල්ල හා අනුරාධපුර සේරුණෑවගමට එල්ල කළ ප්‍රහාරයන් ඉතාමත් නින්දිත ප්‍රහාරයන් බවට එවකට රොයිටර් පුවත් සේවය මඟින් පවා වාර්තා කර තිබුණි. එමෙන්ම 1987 වසරේ අවුරුදු උත්සව සමයේ රජය විසින් සටන් විරාමයක් ප්‍රකාශ කළ අවස්ථාවේදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා පැමිණි බස් රථ හා ලොරි රථවල සිටි මඟීන් 126ක් කිතුල්උතුව ප්‍රදේශයේදී ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරන ලද්දේ ඉතාම ම්ලේච්ඡ අයුරින් අන්තර්ජාතික මානුෂීය අයිතීන් ප්‍රසිද්ධියේම කඩ කර දමමිනි. එම බස් රථවල සිටි තරුණියන් ම්ලේච්ඡ ලෙස දූෂණය කර ඝාතනය කිරීමත් ත්‍රස්තවාදීන් විසින් සිදු කරන ලද අමානුෂික ක්‍රියා අතරට එක්ව ඇත.

එසේම අරන්තලාවේදී බස් රථයකින් වැඩම කරමින් සිටි භික්ෂූන් වහන්සේ 32නමක් අමානුෂික ලෙස ඝාතනය කරන ලද අතර ඒ අමානුෂික ප්‍රහාරයෙන් හෑගොඩ ඉන්ද්‍රසාර හිමියෝද අපවත් වූහ. ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ඝාන්ධි ඝාතනය කිරීමටද එල්ටීටීඊ ත්‍රස්තයෝ කටයුතු කළහ. අන්තර්ජාතික අවධානය කොටි ත්‍රස්තවාදීන් මැඬලීම පිණිස යොමුවුණේ ඉන් පසුවය.

බටහිර රටවල් රැසකින්ම එල්ටීටීඊ සංවිධානය තහනම් කරන්නට තීරණය කරන ලද්දේ ඔවුන්ගේ මේ ම්ලේච්ඡත්වය නිසාමය. එසේ වුවත් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අවසන් වූයේ නැත. 2006 වසරේ ජූනි මස 21 වැනිදා මාවිල් ආරු සොරොව්ව වසා ගොවි ජනතාවට වතුර ලබා ගැනීමට ත්‍රස්තවාදීහු බාධා කළහ. මේ නිසා දහස් ගණන් ජනතාවට තම ගොවිතැන් බත් කර ගන්නට නොහැකි විය. ගොවිතැන් පාළු වී ගියේය. මේ අවස්ථාවේදී මානුෂීය මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්නට යුද හමුදාව විසින් පියවර ගන්නා ලදී. මාවිල් ආරු ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නා ලදී. ඒ හරහා නැඟෙනහිර පළාතේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාවට යළිත් වගා බිම් සකස් කර ගන්නට හැකි විය. 2007 වසරේදී නැඟෙනහිර පළාත ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගන්නට හමුදාවෝ සමත් වූහ.

එමෙන්ම ත්‍රස්තවාදීන්ගේ කුරිරු ක්‍රියාවන්හි අවසානයක් දැකීම අවශ්‍ය වූ හෙයින් මානුෂීය මෙහෙයුමක් ආරම්භ කරන්නට එවකට සේනාධිනායකයා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂයෝ කටයුතු කළහ. ඔහු විසින් එවකට ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින්ද අවසන් සටනට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලදී.

සියලු ජාතීන්ට සමඟිව විසීමේ පරිසරයක් ලංකාව තුළ ඇති කිරීමේ අරමුණින් අවසන් සටන එසේ අරඹන ලදී.

ත්‍රස්තවාදීන්ගේ සියලු බලකොටු බිඳ හෙළමින් ආරම්භ කළ අවසන් මානුෂීය මෙහෙයුම මැයි මාසයේ මැද භාගය වන විට පැහැදිලි පරාජයක් එල්ටීටීයට උරුම වන බව පෙනේනට විය.

2009 වසරේ මැයි මස 15 වැනිදා වන විට එල්ටීටීඊ ත්‍රස්තයෝ මුලතිව් දිස්ත්‍රික්කයේ වඩ්ඩුවාකල් පාලම අවට කොටු විය. ඒ වන විට ඔවුහු සිවිල් ජනතාව පවුරක් සේ වටේට තබාගෙන සිටියහ. එයින් පැන යන්නට උත්සාහ කළ අයට වෙඩි තැබූහ. එහෙත් නන්දිකඩාල් කලපුව හරහා සිවිල් ජනතාවෝ හමුදා පාලන ප්‍රදේශ කරා ආහ. පරාජය උරුම වූ ත්‍රස්තයෝ කර කියා ගත නොහැකිව අතරමං වූහ. එහෙත් තව දුරටත් සටන් කරන්නට උත්සාහ කළ පිරිස්ද වූහ. මැයි 18 වැනිදා වන විට යුද්ධය අවසන් වූ බව ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කරන ලදී.

පසුව මැයි මස 18 වැනිදා අවසන් මෙහෙයුම සිදු වූ අතර ප්‍රභාකරන්ගේ සිරුර සොයා ගන්නා ලද්දේ මැයි මස 19 වැනිදාය. ප්‍රභාකරන්ගේ සිරුර දුටු හමුදා භටයෝ තම තුවක්කුවල ඇති පතුරම් වැල් අවසන් වන තෙක් අහසට වෙඩි තබන්නට වූයේ හතර අතේ දිව යමිනි. එය නැවැත්වීමට හමුදා නිලධාරීන් උත්සාහ දැරූ විට එවකට යුද පෙරමුණේ සිටි මේජර් ජනරාල් කමල් ගුණරත්න ඒ සඳහා සොල්දාදුවන්ට අවකාශ ලබා දුන්නේය. එලෙස ත්‍රස්තවාදය අවසන් කිරීමට ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ 27937කගේ ජීවිත පුජා කර තිබේ. එසේම 20242 පිරිසක් මේ වනතෙක් ආබාධිත තත්ත්වයට පත්ව ඇත.

මේ සටනේදී එල්ටීටීඊ සටන්කාමීන්ද 28,000කට අධික පිරිසක් මියගොස් 27,639ක් ආබාධිතව තිබේ. මේ සියල්ල රටේ සංවර්ධනයට යොමු කළ හැකි ජීවිතය. එක් අයකුගේ දෙදෙනකුගේ අවශ්‍යතාවකට රටේ මහා ධන සම්පතක් විනාශ කළ කුරිරු යුද්ධය එසේ අවසන් වූයේ රට සංවර්ධනයට අලුත් මාවතක් විවර කරමිනි. එම නිදහස උදා වී මේ වසරට අප වසර 12ක් ගෙවා ඇත. ඒ නිදහස වඩාත් අර්ථවත් කිරීමට සියලු ජාතීන් එක්විය යුතුය.

ඡායාරූප - රුක්මල් ගමගේ

 

Comments