කතුවැකිය | සිළුමිණ

කතුවැකිය

හීන් සැරය

 ජාතික වශයෙන් මුහුණ දෙන ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් ගෙනදීම සඳහා සෙමෙන් යන සාර්ථක ගමනකට අන්තර්ජාතික ප්‍රජාවගේ සහාය පතන බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසී ය. ජාතික සංහිඳියාව, ආර්ථික සමෘද්ධිය හමුවේ එන අභියෝග වෙනුවෙන් මුහුණ දීමට වේගවත් ගමන් හෝ කෙටිකාලීන විසඳුම් නැති බවත්, ස්ථිරසාර විසඳුම් ලබා ගැනීම සඳහා සෙමෙන් ගමන වැදගත් බවත්, එමෙන් ම වේගවත් ගමන අනතුරුදායක බවත් ජනාධිපතිතුමා එහි දී අවධාරණය කළේ ය.

තම මවු බසින් ලෝක නායකයන් අමතමින් ජනාධිපතිතුමා කළ ඒ කතාව, ශ්‍රී ලාංකික සංස්කෘතියේ හැඩරුව මතු කළ අවස්ථාවකි; එමෙන් ම ලෝකයාට එයින් ආදර්ශයක් ගත හැකි බව ද අඟවයි. සමාජීය වශයෙන් මතු වන ගැටලු හමුවේ වේගවත් විසඳුම් සොයා ගොස් හිටියාටත් වඩා අගාධයකට වැටුණු බවට නිතර අත්දැකීම් ලබන අවස්ථා ගැන නැවත සිතා බලන්නටත් ‘සෙමෙන් යන සාර්ථක ගමන‘ පිළිබඳ කරන මේ අවධාරණය වැදගත් ය.

සෑම රටකට ම, සෑම සමාජයකට ම අභියෝග ලෙස මතු වී ඇති මත්ද්‍රව්‍ය උවදුර, ළමා ආරක්ෂාව, ජාතික ආර්ථිකය, පාරිසරික ගැටලුව, ජාතික සංහිඳියාව සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ ඒ කතාවේ දී සෙමෙන් යන සාර්ථක ගමන ගැන මතු කෙරුණේ ශ්‍රී ලංකාවේ ස්ථාවරය ගැන පහදන්නට යි; අර්බුද තව තවත් අර්බුද බවට පත් වන්නට ඉඩ නොතබා ජන සමාජයට දිගු කලකට සැනසෙන්නට හැකි තිරසර විසඳුමක් ළඟා කර ගන්නට හැකි ගමන් මඟ පැහැදිලි කරන්නට යි. සංකීර්ණ ගැටලු සඳහා විසඳුම් සොයා ගැනීමට ඉවසීම ද අත්‍යවශ්‍ය සාධකයක් බව යි, තව දුරටත් ඉන් අවධාරණය කෙරුණේ.

මේ කතාව ගැන ජාතිකව හෝ අන්තර්ජාතිකව හෝ විවිධ කෝණවලින් කරුණු ඉදිරිපත් විය හැකි යි. යම් ප්‍රශ්නයක් මෝරා වැඩුණේ දශක කිහිපයක් තිස්සේ වුව ද පැය විසිහතරෙන් විසඳුම් ඉල්ලන වටාපිටාවක දී නම් මේ කතාවට ප්‍රසාදයක් හිමි නොවනු ඇත. රටට බාහිරින් අවවාද අනුශාසනා කරන කණ්ඩායම් ද තමන්ට අවශ්‍ය ආකාරයට ගැටලු විසඳෙන්නේ නැතැ යි මෙහිදී මැසිවිලි නඟන්නට පුළුවන. එහෙත් ජාතික වශයෙන් හෝ වේවා අන්තර්ජාතික වශයෙන් හෝ වේවා රට මුහුණ දෙන ගැටලු - ප්‍රශ්න විසඳන විට රටේ සමාජයේ, සංස්කෘතියේ සම්ප්‍රදායේ හැසිරීම, පිළිගැනීම ගැන නොසලකා හැරිය නොහැකි ය.

ගැටලු ඉදිරිපත් කරන, ඊට වහා විසඳුම් ඉල්ලන කණ්ඩායමක් හෝ පුද්ගලයකු හෝ වුව ද ඍජු ව ගැටලුවකට මුහුණ දෙන විට මේ යථාර්ථය අත්දකිනු ඇත.

‘ස්ථිරසාර විසඳුමකට සෙමෙන් ගමන ප්‍රතිඵල දායක යි‘ යන ස්ථාවරය වටින්නේ යථාර්ථයට මුහුණ දෙන විට යි. අනෙකාට උපදෙස් දෙන තමාට වුව ද ප්‍රශ්නය තමාගේ වූ විට මේ ස්වභාවය දැනෙනු ඇත. රටක් සමාජයක් ස්වාධීනව ගත් විට ද මේ සංකීර්ණ වටාපිටාවෙන් වියුක්තව කල්පනා කළ නොහැකි ය.

යම් ගැටලුවකට විසඳුම් බලාපොරරොත්තු වන ඉක්මන බොහෝ වෙලාවට පැන-නඟින්නේ ඇත්තට ම ඊට මුහුණ දෙන අයට නො ව, අදාළ ගැටලුව දඩමීමා කර ගත් කණ්ඩායම්වලට හෝ අවස්ථාවාදි පාර්ශ්වයන්ට ය. 2015ට පසු රටට උදා වූ ප්‍රජාතන්ත්‍රවාදි නිදහසට මුවා වී ඊට පෙර පැවති ‘රජුට වහල් දේශපාලන සමාජය‘ සාධාරණීකරණය කරන්නට නොහික්මුණු ඉක්මනක් පෙන්වීම නිදසුනකි.

එක්සත් ජාතීන්ගේ 72 වැනි සමුළුවේ තේමාව වන්නේ ‘තිරසර ලොවක මිහි මත ජීවත් වන මිනිසාට යහපත් හෙටක් උරුම කිරීම‘ යන්න යි. අද මතු වන ගැටලුවලට විසඳුම් සොයන්නට සිදු වී ඇත්තේ නොදුටු හෙටක් වෙනුවෙන් වීම නිසා - එනම්: දීර්ඝ අනාගතයක් වෙනුවෙන් වීම නිසා - එපමණක් නොව: ඒ වෙනුවෙන් සාර්ථකව අත්හදා බැලූ දේශපාලන දර්ශනයක් ද නැති නිසා, ‘ස්ථිරසාර විසඳුමකට සෙමෙන් ගමන ප්‍රතිඵලදායක යි‘ යනු බැහැර කළ නොහැකි අත්දැකීමකි. ඒ බව තහවුරු කර ගන්නට රට හමුවේ ඇති කුණු කඳු හා ණය කඳු වුව ද හොඳට ම ප්‍රමාණවත් ය. බොහෝ ගැටලුවලට සාර්ථක විසඳුම් මඟ සම්මුතියෙන් එකඟතාවෙන් විසඳුමකට පිවිසීම වුව ද ඊට පදනම වැටෙන එකිනෙකාගේ හිත් ඇතුළේ සම්මුතිය ඇති කර ගැනීම ඉක්මනින් හෝ වේගයෙන් කළ හැකි දෙයක් නොවන බව ද මෙහි දී සිහි තබා ගත යුතුය.

කුමාරතුංග මුනිදාස පඬිවරයා ‘හීන් සැරය‘ කතා පුවත ජාතියට දායාද කරමින් දුන් පණිවිඩය ද එය යි. එතෙක් ජන කතාවෙන් කටින් කට ආ එම පණිවිඩය මඟින් අනෙක් අතට කියැවෙන්නේ, මෙරට පොදු සංස්කෘතියේ හැඩ රුව යි. 

අදහස්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.