ජන සංගීතය හා ඉන්දුනීසියාවේ ගැ‍මේලන් | සිළුමිණ

ජන සංගීතය හා ඉන්දුනීසියාවේ ගැ‍මේලන්

 හදවත ඉතා ම සමීප කලාව සංගීතය ය යනු බොරුවක් නො වේ. සංගීතය තරම් මිනිසා ප්‍රිය කරන වෙනත් කලාවක් නැත්තේ ය. පහළ ම තලයේ සිට ඉහළ ම තැන තෙක් කවර මිනිසා වුව ද එය රස විඳී. සංගීතය නමින් රස විඳින්නේ අනෙකක් නො ව තාලය යි. තලය සියලු මිනිසුන් සිය වසඟයට ගනී. එය බිහි වන්නේ, පැතිර යන්නේ කො තැකක් ද? සොබා දහමිනි, මහ පොළොවේත් අහසේත් ඇති වස්තුවලිනි. එ හෙයින් සංගීතය යනු සොබාදහමේ ම කොටසකි. එය මුලින් ම අත්දුටුවේ ද සොබාදහම සමඟ ජීවත් වූ මිනිසා ය.

ලොව කවර සංගීත සම්ප්‍රදායයෙක වුව ද මුල ගැමි ගීය වනුයේ, ජන සංගීතය වනුයේ මේ සොබාදහමේ සැබැඳියාව නිසා ය. සොබාදහම නිසි ලෙස අත්දකින්නෝ මහ පොළොවත් සමඟ ජීවත්වන ගැමියෝ ය. එහෙයිනි සංගීතයේ මුල ගැමි ගීය වනුයේ, වර්තමාන ලෝකයේ මහා සංගීත සම්ප්‍රදාය තුන ලෙසින් ගැනෙන භාරතීය, බව පෙන්වා දෙනු ලැබ ඇත.

අප බෙහෙවින් ඇතැමුන් පවස උත්තර භාරතීය සංගීතය පවා ගැමි මුලෙකින් පැන නැඟී පසු වැ වෙනත් සම්ප්‍රදාය කෙරෙන් පෝෂණය වූවකැ යි සැලැකේ. ඒ පිළිබඳ ප්‍රාමාණිනයන් පවසන පරිදි, මුම්රි, ඛ්‍යාල් වැනි ගායන ක්‍රම ගැමි ගී ඇසුරෙන් ධ්‍රැපද් පවා ගැමි ගී ආර මුල කොටගෙන බිහි වූවකැ යි සැලැකීමෙන් මහා සංගීත සම්ප්‍රදායවල ගැමි ගී සබැඳියාව හොඳන් වටහාගත හැකිය.

අප ගේ ද ගැමි ගීය-ජන සංගීතය- ඇසුරු කොට දේශීය සංගීතයක් බිහි කිරීමේ ලා මකුලොළුව සූරීහු විශිෂ්ට ප්‍රයත්නයක් දැරූහ. සුළු තිත, මහ තිත, දෙ තිත ඈ විසින් තිත් ක්‍රමයෙහි ගැමි ගීය පිහිටුවා විශ්ලේෂණය කොට සිංහල සංගීත සම්ප්‍රදායයක් නිමවන්නට එ කුමක් ගත් නැත ඉතා හරසරින් අගය කළ යුතු ය. මහා සංගීතඥ සුනිල් සාන්තයෝ ද සිය දිවියෙහි පැසුළු අවදියෙහි දී ගැමි ගී ඇසුරෙන් නොයෙක් පර්යේෂණාත්මක ගීත නිර්මාණය කළහ. මේ හැම කරුණෙකින් ම මැනැවින් පෙනෙන්නේ සොබාදහම හා බැඳුණු ගැමි බව ම කවර විදග්ධ සම්ප්‍රදායයට වුව ද පදනම සපයන බව යි.

ඉන්දුනීසිය, සංස්කෘතියෙහි අප අත්විඳිමේ මහඟු වරය ලැබිණ. බාලි දූපතෙහි දී (කලින් වරෙක විස්තර කැරුණු‘ බැ‍ණෙං‘ රංගය නැරැඹූමේ දී) ද ජෝග්ජාහි දී ද කීහිප වරක් ගැමේලන් සංගීතයට සවන් දීමේ ද ඒ හා අනුගත වූ රංගන නැරැඹීමේ භාග්‍යය උදා විය. අප ගේ වින්දනයට හොඳින් සැසැඳෙන බවත් එයට සවන් දීමේ දී නැඟිණි. හුරු පුරුදු රසයක් දැනිණ. තව දුරටත් මෙ ගැන තොරතුරු සොයන්නට පෙලැබුණේ එ හෙයිනි.

ගැමේලන් සංගීතය වනාහි ඉන්දුනීසියාවේ ජාව හා බාලි දූපත්වල පවත්නා සාම්ප්‍රදායික, ප්‍රාසංගික සංගීතය යි. ගැමේලන් යන වදන තැනී ඇත්තේ, ලීයෙන් තැනූ මිටිය හඳුන්වන ‘ගැමල්‘ (gamel) යන ජාවා වදන ඇසුරිනි. ගැමේලන් වාද්‍ය වෘන්දයේ බොහෝ උපකරණ එකට ගැටීමෙන් හඬ උපදවන්න, කෙංඩං (kendhang) නමින් හඳුන්වන බෙර ආදියයි. උණ බටනළා, රිබැබ් (rebab) අළුවෙන් වැයෙන භාණ්ඩ, සයිලපෝන (xylophones) එහි ලා යොදා ගැනෙන අවශේෂ වාද්‍ය භාණ්ඩ යි.

මේ ගැමේලන් සංගීත කලාව ඉන්දුනීසියාවේ ආදිතම හින්දු බෞද්ධ සංස්කෘතිය පැවැති කාලයේ ප්‍රභව වූ දේශීය කලංගයන් ලෙසිනි සලකනු ලැබේ. ඉන්දුනීසියාවේ වෙනත් කලාංගවල භාරතීය ආභාසය බෙහෙවින් දක්නා ලැබෙන නමුදු මෙහි එය එතරම් ම දක්නා නො ලැබේ. ජාවා දූපත්හි පුරාවෘත්ත අනුව නම් මෙය නිර්මාණය කරනු ලැබ ඇත්තේ කතු වසරින් 230 පමණේ දී ජාවා ප්‍රදේශ පාලනය කළ සං හ්යැං ගුරු (Sang Hyang Guru) නම් පාලකයා විසිනි. ඔහුට දෙවියන් කැඳවීමට සංඥාවක් නිකුත් කිරීමට අවශ්‍ය වූ හෙයින් ලෝහ තාලිය (gong) නිර්මාණය කරන ලද බවත් වඩාත් සංකීර්ණ වූ සංඥා නිකුත් කරන පිණිස තවත් ලෝහ තාලි දෙකක් නිර්මාණ කරන ලද බවත් ඒ අනුව ක්‍රමයෙන් මූලික ගැමේලන් වාද්‍ය භාණ්ඩ ඇති වුණු බවත් ඒ පුරාවෘත්තවලින් කියැවේ.

‍‍ඓතිහාසික වශයෙන් බලන කල, මේ සංගීතයට අයත් ලෝහ වාද්‍ය භාණ්ඩ (metallophoneps) පූර්ව ඓතිහාසි (pre-historic) යුගයට අයත් යැයි සැලැකේ. කිතු වසට පෙර තුන්වන සියවසේ දී ඉන්දු-චීන ප්‍රදේශයෙන් පැමිණි බව සැලැකෙන ඩොං සන් ලෝකඩ සංස්කෘතියේ ආභාෂයෙන් ලෝහ තාලි හා බෙර නිපැදෙවෙන්නට ඇතැයි සිතනු ලැබේ.

ගැමේලන් ප්‍රසංගයක් පිළිබඳ පැරැණිතම සටහන දක්නට ලැබෙන්නේ ඉන්දුනීසියාවේ ලෝකප්‍රකට බොරෝබුදුර් කැටයම් අතරය. උණ බට නළා, සීනු, නොයෙක් ප්‍රමාණයේ බෙර, තන්ත්‍රී වාද්‍ය ආදිය ඒ කැටයම් හි දක්නට ලැබෙන නමුදු ලෝහ වාද්‍ය භාණ්ඩ, සයිලපෝන ආදිය නම් එහි නොදැක්වේ. ඒ අනුව මෙය ටැමේලන් හි ඉතා පුරාණ ස්වරූපයක් වන්නට ඇතැයි ද සිතනු ලැබේ.

සාමාන්‍යයෙන් පහේ සිට හතලිහ තෙක් වාද්‍ය භාණ්ඩ සංඛ්‍යාවක් ගැමේලන් වාද්‍ය වෘන්දයට අයත් වේ. මේ භාණ්ඩ, ප්‍රසංගයකදී හැර කිසිවිටක නිකං වාදනය නො කැරේ. එ සේ හුදෙකලා ව (ප්‍රසංගයක දී හැර) වාදනය කරනු දැකිය හැක්කේ භාණ්ඩ දෙකක් පමණෙකි. එ නම් (මධ්‍යම හා නැගෙනහිර ජාවාහි ප්‍රභව වූ සේ සැලැකෙන හත් දෙනක් සහිත වූ ද අළුවෙකින් වසන්නා වූ ද භාණ්ඩයක් වන) රිබාබ් ( rebab) හා උණ බටනළා වෙසෙසක් වන සුලිං (suling) හා පමණෙකි. මේ භාණ්ඉ ගැමේලන් වාද්‍ය වෘන්දයට පසුව එකතු කරන ලද සේ සැලැකේ.

ගැ‍ෙම්ලන් සංගීතය සියුම් ලෙස නිමැවී ඇති ආකාරය එහි වාද්‍ය භාණ්ඩ ප්‍රභේද නොව ඇති ආකාරයෙන් පෙනී යයි. නිදසුනක් ලෙස ගත හොත් ලෝහ තාලි (gongs) මඟින් මේ සංගීතයෙමි මූල පදනම, නැතහොත් ව්‍යුහය පවත්වාගෙන යනු ලැබේ. මධ්‍යම ප්‍රමාණයේ නාද පරාසයෙකින් යුත් ලෝහ වාද්‍ය භාණ්ඩ මඟින් මුඛ්‍ය රසය සපයනු ලැබේ. කෙංඩං යනුවෙන් කලින් දැක්වුණු දැවමුවා බෙරය මෙහි තාලය (Tempo) මැනැවින් පාලනය කරමින් වාද්‍ය වෘන්දය මෙහෙයවයි. සැරැසිල්ලක් , අලංකාරයක් ලෙස නාදය සපයයි. මේ ඇතැම් ඉන්දුනීසියා සංගීතඥයෝ ගැමේලන් සංගීතය වෘත්ෂෝපමාවෙන් (ගසකට සමාන කොට) දක්වති. ඒ අනුව ගස දරා සිටින ගැඹුරු, සවිමත් මුල් වනාහි පහළ නාද පරාසය යි. ස්වර මාධුර්යය එහි කඳ වේ. ගසෙහි අතු, කොළ, මල් ලෙස සැලැකෙන්නේ ඒතීභූත වූ අලංකරණයක් ලෙස වාද්‍ය භාණ්ඩවල නාදයෙන් නැ‍ඟෙන සියුම්, සංකීර්ණ රසය යි.

සංස්කෘතික වශයෙන් ගත් කල්හි වඩාත් වැදැගත් වන්නේ ඉන්දුනීසිවෙහි අභිචාර විධි සමඟ ගැමේලන් සංගීතයෙහි පවත්නා අභේද්‍ය, අවියෝජනීය සම්බන්ධය යි. ජන සංගීතයක් වශයෙන් මෙහි පදනම ද මෙයින් ස්ථිර වේ. ජාවා වැසියන් කියන්නේ ගැමේලන් සංගීතය වැයෙන තෙක් කිසි ම ශාන්තිකර්මයක් හෝ අභිචාර විධියක් හෝ නියම ලෙසින් පිළිගැනීමක් නොලබන බවයි. බාලි දූපතේ සියලු ආගමික කර්තව්‍යයන්හි දී මේ සංගීතය භාවිතයට ගැනේ. එ මෙන්ම යෝග්‍යකර්තාහි (ජෝන්ජාහි) සුල්තාන් ගේ පැමිණීම වැනි රාජකීය අවස්ථාවල දී අවශ්‍යයෙන් ම මෙය භාවිතයට ගෙන ඇත. මිලාද් උන් - නබි (නබිතුමන් ගේ උපන් දිනය) උලෙළේ දී ගැමේලන් සෙකටාන් (Sekatan) අත්‍යවශ්‍ය අංගයෙකි. (ලන්දේසි බලපෑමෙන් පසු) කතෝලික පල්ලිවල ද ගැමේලන් සංගීතය පවත්වනු ලැබේ. මේ අනුව බලන කල්හි වර්තමානයේ මෙය හැම ආගමයකට ම සම්බන්ධ වූවකි. ඉන්දුනීසියාව වැනි විවිධත්වයේ ඉහළ තලයෙක පවත්නා රටෙක මේ නොවැළැක්විය හැකි තත්ත්වයෙකි.

ගැමේලන් සංගීතය සාම්ප්‍රදායික වූවක් බැවින් එහි ස්වර ප්‍රස්තාර කිරීමක් නො වී ය. එය මුඛ පරම්පරාවෙන් පැවැත ආවක් විය. එහෙත් 19 වන සියවසේ දී යෝග්‍යකර්තා, සුරකර්තා (සොලෝ) වැනි පෙදෙස්හි සංගීතඥයෝ මෙය ප්‍රස්තාරගත කළ හ. පසු ව 20 වන සියවස මුල දී සූරකර්තාවේ කෙපටිහා හි දී නැවැත මෙය ප්‍රස්තාරගත කරන ලදි. මේ වන විට ඉන්දුනීසියවෙන් බැහැරට ද මේ මධුර සංගීතය ව්‍යාප්ත වැ ඇත. ඇමෙරිකාව, මැලේසියාව වැනි රටවල මෙය සංගීත සම්ප්‍රදායයක් වශයෙන් ව්‍යාප්ත වැ ඇත. මෙ රට (ශ්‍රී ලංකාවේ) ද ගිනිකොන පෙදෙසේ ඇතැම් ද්‍රවිඩ ජාතිකයන් අතර ගැමේලන් සංගීතය පවතින බව කියැවේ. ඉන්දුනීසියාවට සීමා ව පැවැති මේ විශිෂ්ට සංගීතය ලෝකයට අනාවරණය වූයේ 1893 දී පැරිසියේ අන්තර්ජාතික ප්‍රදර්ශනයෙක දී ජාවා සංගීත කණ්ඩායමක් පැවැත්වූ ප්‍රසංගයෙක දී ක්ලවුඩ් ඩ්බුසි (Claud Debussy) හට මෙය අසන්නට ලැබීමෙනි. ජාප් කුන්ස්ට් (Jaap Kunst), කොලින් මැක්පී (Colin Mcphee) වැනි විද්වතුන් ගේ සියුම් විමැසුමට ලක් වූ මේ ජන සංගීත සම්ප්‍රදායය දැන් ලෝකයේ විදග්ධ සංගීත කලාවක් සේ පිළිගැනේ. එ මතු ද නො ව, එය ඉන්දුනීසියා සංස්කෘතියේ නාදය ලෙස ඒකාන්තයෙන් පිළිගැනේ.

අදහස්