වනාතවිල්ලුව අවි ගබඩාව කාගේද? | සිළුමිණ

වනාතවිල්ලුව අවි ගබඩාව කාගේද?

පසුගිය 17 වැනිදා පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් අපට අසන්නට ලැබුණේ තරමක් බිය උපදවන කතාවකි. වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේදී පුපුරන ද්‍රව්‍ය කිලෝ 100කට අධික ප්‍රමාණයක් හා ඩෙටනේටර් 100ක්ද එහි තිබී හමු වූ බවට වාර්තා විය. යුද්ධය පැවති ස‍මයේදී නම් මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස පැහැදිලිවම නිගමනය කළ හැකිය.

එහෙත් උතුරු-නැ‍‍ඟෙනහිර යුද්ධය සහමුලින්ම අවසන් කර වසර 10ක් ගෙවී ගොස් ඇති කලෙක එවන් සිදුවීමක් වාර්තා වීම තරමක් ගැටලු සහගතය. මේ පුපුරන ද්‍රව්‍ය තොගය හමුවූයේ මාවනැල්ල බුදුපිළිම කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවටය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාවනැල්ලේ බුදු පිළිම සිද්ධියට අදාළව බුදු පිළිමවලට හානි පැමිණවූ ආකාරය හා පුපුරන ද්‍රව්‍ය ලබා දුන් ආකාරය ගැන සොයා විමර්ශන සිදු කිරීමේදී මේ බව හෙළිදරවු විය.

මේ පුපුරන ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයේ ගොවිපොළක සූක්‍ෂ්ම ලෙස සඟවා තිබියදීය. සොයාගැනුණු පුපුරන ද්‍රව්‍ය වර්ගය සී-4 හෝ වෙනත් වර්ගයක් විය හැකි නමුත් පුවත්පත මුද්‍රණය‍ට යන තුරුත් ඒ සම්බන්ධව නිල ව‍ශයෙන් මාධ්‍යයට වාර්තා කර නොතිබිණි.

වනාතවිල්ලුව ලැක්ටෝවත්ත ප්‍රදේශයේ අක්කර 60ක පමණ විශාලත්වයෙන් යුත් පොල්වත්තක මෙසේ වළ දමා තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගනු ලැබූ මේ පුපුරන ද්‍රව්‍ය කිලෝග්රෑම් 100ට අමතරව ඩෙටනේටර් 100ක්, ලීටර් 20 බැගින් වූ කෑන් 6ක බහා තිබූ නයිට්‍රේට් ඇසිඩ් ලීටර් 120ක්, පතොරම් තුවක්කුවක්, පතොරම් තොගයක්, වියළි ආහාර, කුඩාරම් 2ක්, ලැප්ටොප් පරිගණක ඇතුළු විද්යුත් කැමරා ඇතුළු උපකරණ රැසක්ම හමුව ඇත.

මේ ගොවිපොළට සූර්ය බලයෙන් විදුලිය පවා ලබාගෙන තිබේ.

මාවනැල්ල බුදුපිළිම කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන්ගෙන් ලද තොරතුරුවලට මේ පුපුරන ද්‍රව්‍ය වළ දමා තිබූ වත්ත හමුව ඇත.‍

මෙහිදී සැකකරුවන් සිවු දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පවත්වන්නට විය. ඔවුන්ගෙන් මේ වන විටත් මේ පුපුරන ද්‍රව්‍ය ගබඩා කිරීම සම්බන්ධව විස්තර ලබාගෙන ඇත.

යුද්ධයෙන් පසුව ‍අපේ ර‍ටේ මෑතදී හමු වූ වැඩිම පුපුරන ද්‍රව්‍ය අඩංගු සිදුවීම ලෙස මෙය හඳුන්වා දිය හැකිය.

මීට පෙර වවුනියාව, පුලියන්කුලම, පුදූර් ප්‍රදේශයේදී බෝම්බ හා පිස්තෝල ඇතුළු උපකරණ රැසක් හමු විය. එහිදී ඒ සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරු හිටපු එල්ටීටීඊ සාමාජිකයකු වීම තරමක ගැටලු සහගත තත්තවයකට මඟ පෑදීය.

පුලියන්කුලම පුදූර් ප්‍රදේශයේ නාඳුනන පුද්ගලයකු සැක සහිත ලෙස ගමන් මල්ලක්ද ගෙන ගමන් කරන බවට ලද තොරතුරක් මත පුලියන්කුලම පොලීසිය අදාළ පුද්ගලයා පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු ගමන් මල්ල දමා පලා ගියේය. ඔහුගේ බෑගයේ තිබී අත්බෝම්බ හතරක්, පිස්තෝලයක්, පිස්තෝල පතොරම්, ජංගම දුරකතන දෙකක්, සූර්ය‍කෝෂ මඟින් ක්‍රියාත්මක දුරකතන චාජර් හා අධිප්‍රෝටීන පෙති ඇතුළු උපකරණ රැසක් සොයාගනු ලැබීය. මෙහි විශේෂත්වය වූයේ අදාළ දුරකතන තුළ එල්ටීටීඊ ක්‍රියාකාරකම් සහිත විඩීයෝ තිබීමයි.

පුලියන්කුලම් පොලීසිය හා යුද හමුදාව ඒකාබද්ධව සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකින් පසුව පලා ගිය ප්‍රධාන සැකකරු පදිංචිව සිටි බවට සැක කෙරෙන නිවෙසේ හිමිකාරිය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරනු ලැබිණි. පසුව එම සැකකාරියගේ නිවෙස හා අවට සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී ටී-56 ගිනිඅවියක් හා මෝටාර් බෝම්බ දෙකක් හමු වී ඇත.

පලා ගිය ප්‍රධාන සැකකරුට අවශ්‍ය මුදල් හා දුරකතන පහසුකම් සලසා දුන් සැකකරුවන් දෙදෙනකු හා සැකකරුට නවාතැන් දුන් නිවෙසේ සිටි කාන්තාවද පසුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වව්නියාව අධිකරණයට ඉදිරිපත් කොට පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ නියෝගය මත තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදු කරන ලදි.

මීට මාස දෙකකට පමණ පෙර වවුනතිව් පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ඔවුන් සතු ගිනි අවි පැහැර ගෙන යෑමද මේ මාස කිහිපය තුළදී උතුරු හා නැ‍ඟෙනහිර පළාත්වලින් මතු වූ අඳුරු සෙවණැලි කිහිපයක් ලෙස පෙන්වා දිය හැකිය.

ඒ අතරේ ලක්ෂ්මන් කදීර්ගාමර් හිටපු විදේශ ඇමැතිවරයා ඝාතනයට සම්බන්ධ යැයි සැක කෙරෙන ප්‍රධාන සැකකරුවකු ජර්මනියේදී අත්අඩංගුවට ගන්නා ලදි. ඔහු ඩග්ලස් දේවානන්දා මහතා ඝාතන ප්‍රයත්නයටද සම්බන්ධ අයකු බව මේ වන විට හෙළිව තිබේ.

එසේ වුවත් දකුණේ සිදු වන පාතාල රැල්ල මෙන් දිනෙන් දිනම වර්ධනය වන තත්ත්වයකත් මේ සිදුවීම්හි දක්නට නැත.

මේ කොටි ඩයස්පෝරාව නිකම් බලා සිටින්නේ නැත. ඔවුහු මොනවා හෝ ජල්ලියක් ඇල්ලීමට බලා සිටිති. මීට කලකට පෙර ඔවුන් විසින් ලන්ඩනයේදී සිදු කළ උද්ඝෝෂණයකදී මරණ තර්ජන එල්ල කළ බව ‍පවසමින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව මේ වන විට ලන්ඩන් අධිකරණයේ නඩුවක් පැවරීමට කටයුතු යොදා ඇත. මේ සියලු කරුණු ඔස්සේ බැලූ කල අපට පෙනී යන්නේ කුමනාකාරයෙන් හෝ එල්ටීටීඊ සංවිධානයට පණ පොවන්නට ඩයපෝරාවට දැඩි වුවමනාවක් ඇති බවයි.

විශේෂයෙන්ම මේ වන විටත් තහනම් සංවිධානයක් ලෙස බොහෝ යුරෝපා රටවලද සලකනු ලබන එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරී සුබසාධක සංවිධානයක් බව පෙන්වා දීමට මේ ඩයස් පෝරාව දැඩි උනන්දුවක් දක්වති‍.

ඔවුන්ගේ එකම අදිටන වී ඇත්තේ එල්ටීටීඊ සංවිධානය ලෝක පිළිගත් සංවිධානයක් බව පෙන්වා දීමත් ඒ සඳහා අවශ්‍ය ඕනෑම කටයුත්තක් සඳහා කැස කැවීමත්ය.

ශ්‍රී ලංකාවේ වුවද මේ ක්‍රියාකාරකම් යළි ඉදිරිපත් කිරීමට ඔවුන් දරන උත්සාහය අපට පැහැදිලිය. එසේ වුවත් මේ ක්‍රියාකාරකම් දකින උතුරේ සාමාන්‍ය දෙමළ ජනතාව වරින් වර සුසුම් හෙළති.

30 වසරක යුද්ධය ඔවුන්ට හොඳට හුරුය. විඳි දුක් තවමත මතකය. නිවාස ඉඩම් නොමැතිව සරණාගත කඳවුරුවල වසර ගණනාවක් සිටි අයුරු මතකය. ඔවුහු කිසිවිටකත් එවන් දෙයක් යළි නොපතන්නාහ.

එසේ වුවත් මේ ඉඳහිට කල එළි දකින කොටි සෙවණැලි වලට අප නොරැවටිය යුතුය.

වවුනතිව් ඝාතනයට හිටපු එල්ටීටීඊ සාමාජිකයකු අත් අඩංගුවට ගත්තද වවුනතිව් පොලිස් මුරපොළේදී ඝාතනයට ලක් වූයේ සිංහල හා දෙමළ පොලිස් නිලධාරීන් දෙදෙනකු බව අප සිත්හි තබාගත යුතුය.

එමෙන්ම එතැන පොලිස් මුරපොළ හොර හරක් වෙළෙඳාමේ යෙදෙන්නන්ට මෙන්ම වැලි හොරෙන් අදින්නන්ටද මහත්ම වූ කරදරයක් වූ බවද මෙහිදී පෙන්වා දිය යුතු ය. එවන් බාධාවලට විසඳුම ඒ මුරපොළ ඉවත් කරදැමීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගැනීමයි.

යාපනයේදී මහාධිකරණ විනිසුරුවරයාට වෙඩි තබන්නට පැමිණ, එය වැරැදුණු තැන පොලිස් නිලධාරියා ඝාතනය කළේද හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකි.

එමෙන්ම මේ වන විට 12,000ක් පමණ එල්ටීටීඊ සාමාජිකයෝ පුනරුත්ථාපනය වී විවාධාකාර වූ වෘත්තීන්හි නියැළී සිටිති. වසර 30ක යුද්ධ‍යක යෙදී සිටි වෙනත් කර්මාන්තයක් වෘත්තියක් නොදන්නා අයට යම් යම් ක්‍රියාකාරකම් මඟින් තම ජීවන මාර්ගය සකසාගැනීමද අරුමක් නොවේ. එමෙන්ම යාපනයේ ආවා කල්ලියද හුදෙකලා තරුණ පිරිසකගේ ක්‍රියාකාරකම් එළිදැකීමක් බව උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.

දකුණු ඉන්දියාවේ චිත්‍රපට නරඹමින් තම මවුපියන් නෑදෑයන් විසින් එවනු ලබන මුදල්වලින් ජීවත් වී වෙනත් කරන්නට දෙයක් නොවුණු විට ‘ආවා’ වැනි කල්ලි බිහි වීමද වැළැක්විය නොහැක්කේය.

එසේම වනාතවිල්ලුවෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය තොගය ඇතැම් විට ජාතිවාදයක් හෝ ආගම්වාදයකත් ‍හෝ ඇති කරන්නට ගෙනාවා විය හැකිය. මේ වන විට වාර්තා වී ඇති පරිදි එම පුපුරන ද්‍රව්‍ය කාලාන්තරයක් තිස්සේ එම ස්ථානයේ ගාල් කර තිබී ඇත.

අප එක්වරම කලබල විය යුතු නැත; සිදු වන දේ දෙස බලා සිටිය යුතුය. එහෙත් අවධානය වැදගත්ය. යුද හමුදාපතිවරයා වරක් අප සමඟ සිදු කළ සාකච්ඡාවකදී පැවසුවේ සියලු ක්‍රියා සම්බන්ධයෙන් අවධානය වැදගත් බවයි. යළි මෙරටේ යුද්ධයක් ඇති නොවෙතත් එය මේ අවස්ථාවේ අපි යළිදු මතක් කර සිටිමු.

 

ඡායාරූපය අන්තර්ජාලයෙනි.

Comments